2018 ජනවාරි 20 වන සෙනසුරාදා

තනි ආණ්ඩු හදන්න පෙර!

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව වෙන වෙනම ආණ්ඩු හදන කතා එ.ජා.ප.ය පැත්තෙන් මෙන්ම ශ්‍රී.ල.නි.ප.ය පැත්තෙන් ද ඇසෙයි. මෙලෙස තනිවම ආණ්ඩු කරන කතා මැතිවරණයට දින නියම කිරීමට කලින් සිටම තිබුණත් කතාවට පන්නරය ලැබුණේ ඡන්දයට සූදානම් වීම ඇරඹුණායින් පසුවය. තමන්ගේ පාක්ෂිකයන් ගේ මොරාල් එක නැග්ගීම එහි එක් අරමුණක් බව පැහැදිලිය. එහෙත් ඊට යටින් ඇත්තේ තනිවම ආණ්ඩු කිරීමේ දී ලැබෙන බලය හිතේ හැටියට භාවිත කිරීමට තිබෙන කැමැත්ත බව නොදන්නෝ කවරහුද?

රටේ පාලනයේ තාවකාලික භාරකරුවන් වශයෙන් පත්කරනු ලබන්නේ 225 දෙනකු පමණි. ඔවුන් මැතිසබයට යැවීමට කැමැත්ත ප්‍රකාශ කිරීමට වත්මන් තත්ත්වය අනුව සුදුසුකම් ලබාසිටින ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව එක්කෝටි පනස්හය ලක්ෂයකට ආසන්නය. ඒ අතරේ තනිවම ආණ්ඩු හැදිය යුතු යැයි කියන පාක්ෂිකයෝ ද සිටිති. එහෙත් රටේ බහුතරයට ආණ්ඩුව තනිද හයිබ්‍රිඩ් ද කියා ප්‍රශ්නයක් නැත. අවශ්‍ය රටට වැඩ කරනු දැකීමය. එය එසේ සිදුවන්නේ ද යන්න ලොකුම ගැටලුවයි.

ආණ්ඩුවක් තනිවම හෝ හවුලේ හෝ බලයට පත්වන්නේ තම තමන්ට සේවය කරගැනීමට වරප්‍රසාද ලබාගැනීමට නොවේ. රට සංවර්ධනය කොට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහාය. රටේ ආරක්ෂාව සැලසීම සඳහාය. රට නැංවීමට අවශ්‍ය අලුත් නීති සම්පාදනය සඳහාය. මේ මූලික වගකීම හෝ වත්මන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් අතින් ඉටුවෙනවාද යන්න අද විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ.

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීමට නම් රටේ ආර්ථිකය ප්‍රමාණවත් තරම් වර්ධනයක් අත්කරගත යුතුය. එහෙත් වර්තමානයේ දකින්නට තිබෙන්නේ ආර්ථිකය සම්බන්ධයෙන් කටින් බතල කොළ හිටවීමක් පමණි. වේගවත් සංවර්ධන වැඩ අරඹන බවට මහප්‍රාණ කතා රාශියකි. එහෙත් කෙරෙන වැඩ ඊට සාපේක්ෂව බොහොම කුඩාය. මේ රජය දැන් වසර තුනක් ගෙවා තිබේ. අපට පෙනෙන්නේ එම කාලය තුළ කතාව තරමට වැඩ නැති වග පමණි.

පක්ෂ දෙකම එකතුවී කර ගන්න බැරි වූ වැඩ කොටසක් තනිවම ආණ්ඩු හදාගෙන කරනු ඇතැයි කිසිවකුත් විශ්වාස කරන්නේ නැත. නිදහසින් පසුව බිහිවූ ශක්තිමත්ම ආණ්ඩුව වශයෙන් හඳුන්වා ගත්තත් මේ ආණ්ඩුවට අඩුම තරමින් සහල් කිලෝවක මිල අඩු කිරීමට නොහැකි වූ ගොවීන්ට කලට වෙලාවට පොහොර ටික බෙදාදීමට නොහැකි වූ බව ජනතාවට තවදුරටත් වසං කළ නොහැකිය.

මේ ආණ්ඩුව රටට කිසිම වැඩක් නොකළ බවක් අපි මෙයින් අදහස් නොකරමු. එහෙත් ජනතාව මහත් බලාපොරොත්තු ඇතිව 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් කළ යහපාලන ආණ්ඩුව එම බලාපොරොත්තු ඉටුකිරීමේදී පෙන්වා ඇත්තේ කනගාටුදායක ප්‍රගතියකි. 19 වැනි ව්‍යවස්ථාව සම්මත කරගැනීමත් එහි ඇතුළත් ඇතැම් කරුණු කිහිපයක් ක්‍රියාත්මක කිරීමත් යහපත් ලක්ෂණ බව සඳහන් කිරීම අවශ්‍යය. එහෙත් එම ව්‍යස්ථා සංශෝධනයේදී හොදි හලා ගන්නේ නැතුව ගැටය ලිහාගත් බව ප්‍රකාශ කළ ද රටේ ජනතාව නම් දැන් දකින්නේ ආණ්ඩුවේ පාර්ශව දෙකම ඇඟ පුරාම හොදි හලාගෙන ඇති බවකි. රටට වැඩ කිරීම පසෙකට දමා එළියට බැස එකිනෙකාට චෝදනා එල්ල කරගැනීම එයට සජීවී සාක්ෂි සපයයි.

එකිනෙකට චෝදනා එල්ල කරගැනීමේ අලුත්ම ජවනිකාව ඊයේ පෙරේදා ඇමැතිවරුන් දෙදෙනකු වෙතින් රටේ සියලු දෙනාට අසන්නට දකින්නට ලැබිණි. අර්ජුන රණතුංග ඇමැතිවරයා තමන් මේ රජයේ ඇමැතිවරයකු වීම ගැන ලැජ්ජාවනවායැයි කියූ විට ඊට පිළිතුරු දෙන දයාසිරි ජයසේකර ඇමැතිවරයා කියා තිබුණේ ලැජ්ජාවක් තිබෙනවා නම් ඇමැතිකමින් මුලින්ම යා යුත්තේ අර්ජුන බවය. මේ ගැටුම් එළිපිටම සිදු වනවිට රටේ ජනතාවට කොතරම් ලැජ්ජාවක් සිතෙනු ඇතිදැයි මේ කිසිදු ඇමැතිවරයකු නොසිතන බව සහතිකය. තනි තනිව ආණ්ඩු හදන්න කතා කරන්නේ තම තමන්ගේ ඇමැතිවරුන් ටිකවත් හරිහැටි පාලනය කරගත නොහැකි මැතිඇමැතිවරුන් සහ නායකයන් එකතුවෙලාදැයි ජනතාව ප්‍රශ්න කරනු ඇත. තමන් ඡන්දය දී මැතිසබයට යැව්වේ මෙවැනි පිරිසක්දැයි ඔවුන් ප්‍රශ්න කරනු ඇත.

තනි තනිව ආණ්ඩු හැදිල්ලට පෙර තමන් බලයට පත්වූයේ කුමකටදැයි දැන්වත් තම තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලීම ආණ්ඩුවේ සෑම මන්ත්‍රීවරයකුගේම යුතුකමක් යැයි අපි සිතමු. ජනතාව ඔවුන්ට රට පවරා දුන්නේ ඔවුන්ගෙන් පොරොන්දු ගණනාවක් ඉටුකරගැනීමටය. දැනට පෙනෙන්න තිබෙන්නේ පොරොන්දු පත්‍රය ඇඳ යටට විසිකොට තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුගත වී ආණ්ඩුව ගෙනයාමට දරණ උත්සාහයකි. රටේ ප්‍රශ්න එසේම තිබියදී තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට කුළල් කාගැනීමකි. රටේ ජනතාව මේ ආණ්ඩුව පත්කර තිබෙන්නේ එකතු වී රට ගොඩනගන බවට දුන් පොරොන්දුව මත බව ආණ්ඩුවේ කට්ටියට අමතක වුණාට ජනතාවට තාමත් මතකය. ආණ්ඩුවකට තමන් ලබාදුන් පොරොන්දු අමතක වනවිට ඒවා මතක් කරදෙන ක්‍රම සහ විධි ජනතාව සතු බව මතක තබාගැනීම තනිව ආණ්ඩු හදන්න කතා කරන දෙපාර්ශවයටම වැදගත් බව පෙන්වා දෙනු කැමැත්තෙමු.