2018 ජනවාරි 13 වන සෙනසුරාදා

සටන් පාඨ හුළඟේ යැවීම

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන තරම් විධායක ජනාධිපති පදවියේ බලය හඳුනන වෙන කිසිවකුත් නැත. ඔහු එවැනි ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීමට අර ඇන්දේ හැට ගණන්වල මැද භාගයේ සිට බව රහසක් නොවේ. 1963දී එක් ඡන්දයකින් පාර්ලිමේන්තුවේ පනතක් පරදවා සිරිමාවෝගේ රජය බිඳ වැට්ටූ පසුව ජේ.ආර්. ට සතුටකට වඩා දැනී තිබුණේ අවිනිශ්චිත භාවයකි. තමන් නායකත්වය දෙන රජයකටද මේ දේම වියහැකි බව ඔහුට එදා සිතුණේය. කවදාවත් නොපරදින බලයක් නායකයකුට හිමි කර දෙන වර්ගයේ ව්‍යවස්ථාවක් හැදීමේ ආරම්භය එය විය.

කෙසේ වුවද එවකට විපක්ෂයේ යූ.එන්.පී. මන්ත්‍රීවරයකු පමණක් වූ ජේ.ආර්. 1973 දී ඩඩ්ලිගේ අභාවයෙන් පසුව යූ.එන්.පී. නායකයා වී 1977 දී ආණ්ඩුව පිහිටුවා 1978දී විධායක ජනාධිපති ව්‍යවස්ථාව හැදුවේ බලයේ ඉන්න නායකයා කවදාවත් නොපරදින විදියකටය. හැබැයි එම ව්‍යවස්ථාව අනුව ඒකාධිපති නායකයකු සහ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු අතර වැඩි වෙනසක් තිබුණේ නැත. තිබූ එකම වෙනස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි වාර ගණන දෙවරකට පමණක් සීමාකර තිබීමය. ඒ හේතුවෙන් එකම නායකයකුට මැරෙන තුරුම පදවිය දරමින් ඒකාධිපතියකු වීමේ අවස්ථාව කපා හැර තිබිණි. 

එකී ව්‍යවස්ථාවේ විධිවිධාන සහ බලවත්කම අනුව බලයේ සිටින නායකයා නියෝජනය කරන පක්ෂයට සන්ධානයට මැතිවරණවලදී විපක්ෂයෙන් කිසිම ගේමක් තිබුණේ නැත. ඕනෑම ඡන්දයක ප්‍රතිඵලය කල්තබාම කිව හැකි විය. එය හොඳින් හෝ නරකින් ලබාගන්නා ජයග්‍රහණයක් බවත් ඊට එරෙහිව කතා කරන්නට යාම ප්‍රජා අයිතිය පමණක් නොව ජීවත් වීමේ අයිතිය පවා අහිමි වීමට හේතු විය හැකි බවත් ඒ කාලයේ ඉඳන්ම රටේ මිනිස්සු දැන සිටියහ.

විධායක ජනාධිපති පදවිය ඇති කරද්දී ජේ.ආර්. ධූර කාලය සම්බන්ධයෙන් වාර දෙකේ සීමාව ඇති කිරීම බොහෝදෙනාගේ හිතට වැදුණත් එක් එක් ධූර කාලය වසරකින් දික් කිරීම කාගේවත් වැඩි අවධානයකට යොමු වුණේ නැත. එතෙක් මේ රටේ එක් ආණ්ඩුවක පාලන කාලය සීමා වී තිබුණේ වසර 5කටය. ලංකාවේ පමණක් නොව ලොවේ ප්‍රජාතන්ත්‍රවාදී සෑම රටකම පාහේ පාර්ලිමේන්තු ආණ්ඩුවක කාල සීමාව වසර 5කි. සමහර රටවල එය වසර 4කි. ජනාධිපතිවරුන්ගේ ධූර කාලය බොහොමයක් රටවල වසර 04කි. ජේ.ආර්. තමන්ගේ විධායක ජනාධිපති ව්‍යවස්ථාව හැදීමට ගුරු කොටගත් ප්‍රංශ ව්‍යවස්ථාව සහ අමෙරිකානු ව්‍යවස්ථාව අනුවද ජනාධිපතිවරයකුගේ පාලන කාලසීමාව වසර 04කි. එහෙම වුණත් ජේ.ආර්.ට එම කාලසීමාව මදියි කියා සිතෙන්නට ඇත. මේ නිසාදෝ ඔහු ජනාධිපතිවරයකු වශයෙන් පත්වීමට වාර දෙකේ සීමාව දමා ධූර කාලයක සීමාව වසර 06ක් දක්වා වැඩි කළේය. සමහරවිට ඒ වසර 06ක කාලය තුළ පවත්වන සියලුම මැතිවරණ ජයග්‍රහණය කිරීම එහි එක් අරමුණක් වන්නට ඇත. හොඳින් හෝ නරකින් ඡන්ද දිනාගැනීම පමණක් රටේ පාලන බලය පවත්වා ගැනීමට ප්‍රමාණවත් යැයි ඔහු සිතන්නට ඇත.

එහෙත් එය එසේ නොවන බව ජේ.ආර්.ට වැටහෙන විට රටේ දෙකොණම පත්තු වී හමාරය. ජේ.ආර්.ට විධායක ජනාධිපති බලතල කොපමණ තිබුණත් දෙවැනි ධුර කාලයේ එළියට බහින්න වූයේ පස්මහ බැලුම් බලා හතර කොණේ මුරකාවල් දාගෙනය. විධායක බලතල උතුරේත් ඈත දකුණේත් ක්‍රියාත්මක වූයේ නමට පමණි. අන්තිමට විධායක බලතල සහිතව රටේ ජනාධිපති ධුරයට පත් ඊළඟ යූ.එන්.පී. නායකයා වූ ආර්. ප්‍රේමදාස මහතා කොළඹදී මහදවල් ඝාතනය විය. විධායක ජනාධිපති බලතලවලට ඔහුගේ ජීවිතය රැක ගැනීමට හැකියාවක් තිබුණේ නැත.

එපමණක් නොවේ, විධායක ජනාධිපති ධුර කාලය වසර 06ක් තිබුණද වාර දෙකක් හැටියට අවුරුදු 12ක් තිබුණත් රටේ මෙතෙක් බලයට පත් කිසිම ජනාධිපතිවරයෙක් එකී ධුර කාලසීමාව සම්පූර්ණ කළේ නැත. ජේ.ආර්. 78 දී ධුරයේ දිවුරුම් දුන්නත් පළමු ධුර කාලය වසර 04කට සීමා කරමින් 1982 දී ජනාධිපතිවරණයට ගොස් දිනුවේය. නමුත් දෙවැනි කාල සීමාව අවසන් වූයේ ඔහු කවදාවත් අපේක්ෂා කළ ආකාරයට නොවේ. ප්‍රේමදාස මහතා සම්පූර්ණ කළේ වසර 04කි. අන්තර්කාලීනව මාස කිහිපයකට පත්වූ ඩී.බී. විජේතුංග මහතාගෙන් පසුව බලයට ආ චන්ද්‍රිකා පළමු ධුර කාලය අවසන් කොට ඊළඟ ධුර කාලය සඳහා ජනාධිපතිවරණයට ගියේ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව නූලෙන් ජීවිතය බේරාගෙනය. මේ ඔක්කොම වුණේ විධායක බලතල සියල්ලම අතේ තිබියදීය.

චන්ද්‍රිකාගෙන් පසුව බලයට ආ මහින්ද තම පළමු ධුර කාලය අවසන් කළේ යුද ජයග්‍රහණයේ නියමුවා වශයෙනි. එෙහත් ඔහුද පළමු ධුර කාලය අවසන් කළේ අවුරුද්දකට කලිනි. එෙස්ම දෙවැනි ධුර කාලය සම්පූර්ණ වනතුරු සිටියේද නැත. වසර දෙකක් ඉදිරියට තබාගෙන ඡන්දෙට ගිය මහින්ද විධායක බලතල තවත් ඉහළට ගෙන යමින් වාර දෙකේ සීමාවද ඉවත් කළ පසුබිමක ඡන්දය පරාජය වීම රටේ බොහෝ නායකයන්ට ප්‍රබල පණිවුඩයක් ලබා දුන්නේය.

මේ ඔක්කොම ඉතිහාසය දන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ධුර කාලය මුලින් අඩුකරගෙන අවුරුදු 03කට පස්සේ අවුරුදු 06ම ඉන්න පුළුවන්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්නේ ඇයි? විධායක ජනාධිපති ධුරයේ අතීත කතා අමතක වෙලාද? එසේ විය නොහැකිය. වැඩිම බලතල තිබූ විධායක ජනාධිපතිවරයා පරාජය කිරීමේ එක් සටන්පාඨයක් වූ විධායක බලතල අහෝසි කිරීමේ පොරොන්දුවත් තමන්ම හඳුන්වා දුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් වසර 06 ධුර කාලය වසර 05 දක්වා අඩු කළ බවත් අමතක වෙලාද? එහෙම වෙන්න බැරිය. එහෙනම් වෙන්න පුළුවන් මොකක්ද?

මතය විමසීමට හේතුව වශයෙන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වී තිබුණේ මෙසේය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මත දෙකක කතිකාවක් නීතිමය සිවිල් සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ පවතී. ඒ අනුව යම් ව්‍යාකූලතාවයක් ඇතිවිය හැකි බැවින්, එය මඟහරවා ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් ධුර කාලය පිළිබඳ නිවැරැදි මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබේ. එසේ විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලතල ඇති අතර, මීට පෙර ජනාධිපතිවරුන්ද මේ ආකාරයට සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා තිබේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැබ් වී ඇති විශේෂ ලක්ෂණයකි.

ජනාධිපති ලේකම් කාර්යාලය මේ ආකාරයට නිවේදනයක් නිකුත් කළේ ධුර කාලය පිළිබඳ මතය විමසීම රටේ විශාල දේශපාලන කැළඹීමක් ඇතිකර තිබෙන නිසාය. ජනාධිපති විසින් ඉදිරිපත් කර ඇති අයැදුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) තම මතය ජනාධිපතිවරයාට දැනුම් දෙනු ඇතැයි සඳහන්ය. මතය කුමක් විය හැකිදැයි යන්න විවාදයට තුඩු දී තිබුණත් නීතිපතිවරයා පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර හයක කාලයක් එම ධුරය දැරීමට හැකියාව ඇති බවය. ඊට එරෙහිව මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා කියා තිබුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ 49(1) සහ (ආ) වගන්ති අනුව ධුරය දරණ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් විය යුතු බවය. ඒ අතර මහාචාර්ය තිස්ස විතාරණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණේ වත්මන් ජනාධිපතිවරයා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යටත් නොවන්නේ නම් හිටපු ජනාධිපතිවරැන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටද නැවතත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට හැකියාව ලැබෙන බවය.

මේ මත දැක්වීම් මොකක් වුණත් ධුර කාලය පිළිබඳ මතය විමසීම යටින් පවතින්නේ රටේ දේශපාලනය තුළ මේ දවස්වල පවතින කැළඹීමේ රැලි ගැසීම්ය. ධුර කාලය පිළිබඳ මතය විමසීම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ උග්‍ර දේශපාලන අර්බුදයකට මුහුණ දෙන බව ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ මේ නිසාය. එය යූ.එන්.පී.යේද මතය බව නිසැකය. මෙහිදී වඩාත් වැදගත් කාරණයක්ද කිරිඇල්ලගේ ප්‍රකාශයේ සඳහන් විය. ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන තුරු යහපාලන ජාතික රජයේ හවුල්කාර පක්ෂ නායකයන් ඒ ගැන කිසිවක් දැන නොසිටි බවය. ඒ කියන්නේ තමන් කරන්න යන දේ ගැන යූ.එන්.පී.ය දැන නොගත යුතු යැයි ජනාධිපතිවරයා කලින්ම තීරණය කර තිබූ බවය.

මෙයින් පෙනෙන්නේ ජනාධිපතිවරයා තම ධුර කාලය පිළිබඳ මතය විමසා ඇත්තේ හවුල් ආණ්ඩුවේ උවමනාවක් හැටියට නොව තමන්ගේ උවමනාවක් හැටියට බවය. ජනාධිපතිවරයා නායකත්වය දෙන්නේ ශ්‍රීලනිපයට සහ එජනිස සංධානයට බැවින් මේ මතය වැදගත් වන්නේ ශ්‍රීලනිපයේ සහ එජනිස පැවැත්මට බව යථාර්ථයයි. පුංචි ඡන්දය හේතුවෙන්ද බැඳුම්කර වාර්තාව හේතුවෙන්ද තමන් නායකත්වය දෙන පක්ෂයට එල්ල වන අභියෝගය අවම කර ගැනීම එක් හේතුවක් විය හැකිය. මහින්දගේ ආශීර්වාදය හිමිවෙන ඒ නිසා ශ්‍රීලනිප ගම් මට්ටමේ අති බහුතර පාක්ෂිකයන්ගේ සහයද ලැබෙන පොදුජන පෙරමුණ විසින් ශ්‍රීලනිපය ගිලගැනීම වළක්වා ගැනීමට කාලය මැන එල්ල කළ හැකි ප්‍රහාරයක් වශයෙන්ද මේ මතය විමසීම පෙන්වා දිය හැකිය. ජනාධිපතිවරයා ශක්තිමත් වීමට නම් ධුර කාලය වසර06ක් බව ප්‍රකාශයට පත්වීම අවශ්‍යය.

මේ සම්බන්ධයෙන් තිරය පිටුපස සිදුකෙරෙන දේශපාලන කතාබහවලදී නැගෙන එක් තර්කයක් වන්නේ මතය විමසීමකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙනු ඇත්තේ තමන් අපේක්ෂා කරන මතය නොවේයැයි සැකයක් පවතින්නේ නම් ජනාධිපතිවරයකු හෝ වරියක මේ ආකාරයට ඉල්ලීමක් නොකරනු ඇතැයි කියාය.

එහෙම බැලුවොත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලටත් නොදන්වා ධුර කාලය වසර 06ක් දක්වා දිගුකර ගැනීමේ තව ඉදිරි ක්‍රියාමාර්ගද තිබෙන බව විශ්වාස කළ යුතු වෙයි. යූ.එන්.පී. මෙහිදී හොඳටම කලබල වී ඇත්තේ 2020දී තනි යූ.එන්.පී. රජයක් පිහිටුවීමේ ඉලක්කයට සිදුවිය හැකි බලපෑම නිසා පමණක් නොවේ. බැඳුම්කර වාර්තාව හේතුවෙන් පක්ෂයට ගෑවුණු කළු පැල්ලම් ටිකේ තීන්ත වේලෙන්නත් කලින් ජනාධිපතිවරයා 2021 වනතුරු සිටින බව ප්‍රකාශ වුවහොත් පුංචි ඡන්දයේ කඩුල්ල පැනගැනීමට බාධා පැමිණේද යන සැකයද ඔවුන්ට තිබේ. කැපෙන කඩුවක්ද අතැතිව 2021 දක්වා යන ජනාධිපතිවරයකු සමඟ එකට යා යුතු දුර කොතරම්දැයි යූ.එන්.පී.යට ඉක්මණින්ම තෝරාගත යුතු වන බවට ලකුණු පහළවෙමින් තිබෙන බව හොඳටම පැහැදිලිය.

ජේ.ආර්. වරක් විධායක ජනාධිපති ධුරය ගැන තමන්ට සමීප මාධ්‍යවේදියකුට කියා තිබුණේ මේක වෙනස් කොරනව නම් ඒකෙ වාඩිවෙලා සුමාන 3කට කලින් කොරන්න ඕනෑ කියලාය. පුටුවේ වාඩිවෙන්න කලින් කුමක් කිව්වත් වාඩි වී අවුරුදු 03ක් ගිය පසුව ජනාධිපතිවරයකු අතින් එහෙම වෙනස්කමක් නොකෙරෙන බවට වෙනත් කතා අවශ්‍ය නැත.

 ශශීන්ද්‍ර

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00