2018 ජනවාරි 13 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

වෝහාරික විගණනයට ඉන්දියා - අමෙරිකා එංගලන්ත විශේෂඥ සහාය

බැඳුම්කර වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සිදුකිරීමට යෝජිත වෝහාරික විගණනය සඳහා ඉන්දියා, අමෙරිකා සහ එංගලන්ත විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමට රජය අදහස් කර තිබේ.

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සොයාබැලීම සඳහා ජනාධිපති විසින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින් කර ඇති නිර්දේශවලට අනුකූලව කටයුතු කිරීම සඳහා මේ පියවර ගැනීමටයි.

මීට අතිරේකව මුල්‍ය පනත සහ ලියාපදිංචි කොටස් සහ සුරුකුම් නීතිය සංශෝධනයට ද පියවර ගැනීම ද එම නිර්දේශ අනුව සිදුවිය යුතුයි. වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තුන් පැත්තකින් ප්‍රවේශ වීම අවශ්‍යයි. නීතිපති දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව සහ මහ බැංකුව වෙන වෙනම කරුණු මෙහෙයවීම අවශ්‍ය වෙනවා යැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

ජනාධිපති සහ අගමැති දෙදෙනාම එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා හැම පියවරක්ම ගැනීමට ප්‍රතිඥා දී තිබේ.

පරීක්ෂණ කොමිසම මගින් කර ඇති නිර්දේශ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ අර්ජුන ඇලෝසියස්, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායකට එරෙහිව පියවර ගත යුතු යැයි සඳහන් විය.

නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ විශාල පාඩුවක් සිදුකරමින් 2008 වසරේ පටන් සිදුව ඇති බැඳුම්කර ගනුදෙනු සහ කොටස් වෙළෙඳපොළේ ඊපීඑෆ් මුදල් ආයෝජන පිළිබඳව ද විගණනයේ දී විමර්ශනය කරන බවය.

සන්ඩේ ටයිම්ස්

සංචාරක කර්මාන්තයේ හැලහැප්පීම්

ලංකාවේ තිබූ චීන රාජකීය විවාහ මංගල්‍ය උළෙල වෙනුවෙන් රුපියල් මිලියන තුනක බිලක් ගෙවීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට සංචාරක ඇමැතිවරයා විසින් ලිඛිත නියෝගයක් කිරීමත් එය නොගෙවීමත් සම්බන්ධ පුවතක් අපි පසුගිය සතියේ මේ තීරුවේ සටහන් කළෙමු. එහි අලුත් තත්ත්වය පිළිබඳව පසුගිය බ්‍රහස්පතින්දා (11) ඩේලිඑෆ්.ටී. පුවත්පතේ වාර්තාවක් පළ විය.

එම ප්‍රවෘත්තියට අනුව ජෝන් අමරතුංග ඇමැතිවරයා විසින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති උදය නානායක්කාර මහතා ඉල්ලා අස්විය යුතු බවට කර ඇති නියෝගය සංචාරක කර්මාන්තයේ දැඩි විරෝධයට ලක් වී තිබේ. ඉදිරියේ දී වඩාත් ක්‍රියාකාරීව සිදුවිය යුතු සංචාරක ප්‍රවර්ධන වැඩට මේ තීන්දුව බලවත් පසුබෑමක් බව ඔවුන්ගේ අදහස වී තිබේ.

කෙසේ වුවද ඇමැතිවරයාගේ නියෝගයට අනුව උදය නානායක්කාර මහතා තවමත් ඉල්ලා අස් වී නැත. සංචාරක කර්මාන්තයේ ප්‍රවීණයකු ප්‍රකාශ කළේ මැතිවරණ සමයක් තුළ රජයේ ආයතන නිලධාරීන් ඉවත් කිරීම හෝ පත් කිරීම මැතිවරණ නීතියට පටහැනි බවය.

ඇමැතිවරයා විසින් යවා ඇති නියෝගයට අනුව එම කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයම ඉල්ලා අස්විය යුතුය. එහෙත් නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත්තේ අනෙක් අධ්‍යක්ෂකවරුන්ගේ තීරණය තමන් නොදන්නා නමුත් තමන් ඉල්ලා අස්නොවන බවය. තමන් 09 වැනිදා සිට කාර්යාලයට නොඑන බවද ඒ මහතා කියයි.

ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට අස්වෙන්නැයි කියා තමා නියෝගයක් නොයැවූ බවය. එහෙත් සභාපතිවරයාට ලියුමක් යැවූ බව ඔහු පිළිගත්තේය.

කෙසේ වුවද ඩේලිඑෆ්.ටී. පුවත්පතට කරුණු පැහැදිලි කරමින් ඇමැති ජෝන් අමරතුංග මහතා පසුව ප්‍රකාශ කර තිබුණේ උදය නානායක්කාර මහතාට ජනවාරි 10 වැනිදා වන විට ඉල්ලා අස්වන්නැයි නියෝග කළේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වහා සිදුකළ යුතු ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ හේතුවෙන් බවය.

ඔහු ඉල්ලා අස්විය යුත්තේ ඔහුගේ පාලනයට එරෙහිව එල්ල වූ චෝදනා කිහිපයක් නිසා බවත් ඒ හැර පෞද්ගලික හේතුවක් නිසා එවැනි නියෝගයක් නොකළ බවත් ඇමැතිවරයා කියා තිබිණි.

ඩේලිඑෆ්.ටී.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00