2018 ජනවාරි 13 වන සෙනසුරාදා

චිත්‍රා මලලසේකර හා ලංකා ගුවන් විදුලිය

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

මෙරට ජාතික වීරයින් හතර දෙනෙක් සහ ඔවුන්ගේ සුදු බිරින්දෑවරුන් ගැන තීරු ලිපි කීපයකම මම සඳහන් කළෙමි.  එපමණක් නොව ඔවුන්ගේ දරුවන් ගැනත් මම බොහෝ දෙනා නොදන්නා කරුණු අනාවරණය කළෙමි. මායා කුලරත්න සේනානායක, සුරියා වික්‍රමසිංහ ප්‍රනාන්දු, කුමාරි ද සොයිසා ජයවර්ධන හා චිත්‍රා මලලසේකර රණවක ගැනද සැකෙවින් හෝ සඳහන් කිරීමට ලැබීම ගැන මට තෘප්තියක් ඇතිවේ. ඔවුන් ලාංකික සමාජයට විශේෂ සේවයක් කළ කාන්තාවන් හතර දෙනෙක් හැටියට හඳුන්වාදීම යුක්ති සහගතය.

ඔවුන් හතරදෙනාම මා තරමක් දැන සිටි නමුත් මා වැඩියෙන්ම ඇසුරු කළේ චිත්‍රා මලලසේකරය. ඊට හේතුව ඇය ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය අවධියේ විශේෂ කාර්යභාරයක් ඉටුකළ නිලධාරිණියක වීමයි. මා මුලින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වශයෙනුත් පසුව මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙනුත් අප ගුවන් විදුලි සේවය සමග කිට්ටුවෙන් වැඩ කර තිබේ. කලින් කලට එම සංස්ථාවේ සභාපතිවරයා හැටියට ද මා වැඩ බලා ඇත.

මුලින්ම කිව යුත්තේ මහාචාර්ය ගුණපාල මලලසේකරගේ තවත් හපන්කමක් අප විසින් මෙතෙක් සඳහන් කර නොමැති බවයි. එනම් ඔහුත් ලාබාල ලංකා ගුවන් විදුලි සේවයත් අතර ඇතිවූ කිට්ටු සම්බන්ධතාවයයි. බොරැල්ලේ කුඩා නිවසක ආරම්භ කරන ලද ලංකා ගුවන් විදුලි සේවය දැන් ක්‍රියාත්මක වන තැනට ගෙන එන ලද්දේ එවකට ගුවන් විදුලිය භාර ඇමැති වූ සර් ජෝන් කොතලාවල විසිනි. ඔහු එම රාජකාරිවලට සමගාමීව රජයේ ගොඩනැගිලි භාරව සිටි ඇමැතිවරයා වූයෙන් රමණීය භූමි භාගයක් මෙන්ම ආකර්ෂණීය ගොඩනැගිල්ලක් ද ලබා ගැනීමට සමත් විය. අලුත්ම පන්නයේ තාක්ෂණික මෙවලම් ද මිලදී ගත් නිසා මෙම සේවය ආසියාවේ වඩාත්ම දියුණු වූ ගුවන් විදුලි ආයතනයක් වශයෙන් සලකන ලදී.  එපමණක් නොව යුද්ධ සමයේ බ්‍රිතාන්‍යයන් විසින් ගෙන්වන ලද වටිනා ගුවන් විදුලි උපකරණ ද අපට ලබාගත හැකි විය.  එකල පැවති ප්‍රවාදයක් අනුව එම උපකරණවලට මුදලක් බලාපොරොත්තු වූ ඉංග්‍රිසීන්ට අපට කුලියක් ගෙවා ඒවා ආපසු ගෙන යන ලෙස තර්ජනය කරද්දී ඒවා නොමිලේ රටට ලබා ගැනීමට ඔලිවර් ගුණතිලක සමත්ව තිබේ. එය ඔහුගේ දේශමාමකත්වයේ මෙන්ම කපටිකමේ පිළිබිඹුවක් ලෙස කොළඹ උසස් සමාජය විස්තර කළහ.

මුලින්ම ඉංග්‍රිසී මාධ්‍යයෙන් ප්‍රචාරය කෙරුණ ද සිංහල හා දෙමළ යන මාධ්‍යවලින්ද ඉක්මනින් වැඩසටහන් ආරම්භ කළ යුතු යැයි අගමැති ඩී.ඇස්. සේනානායක හා ඇමැති කොතලාවල උපදෙස් දුන්හ. ගුවන් විදුලි නිලධාරීහු එම උපදෙස් ක්‍රියාත්මක කිරීමට මලලසේකර මහ ඇඳුරුතුමාව හවුල් කර ගැනීමට තීරණය කළෝය. ඒ අනුව ගුවණින් බණ, පෙරදිග සංගීතය හා ජන ගායනා ආදී වැඩසටහන් අප ගුවන් විදුලි සේවයට හඳුන්වා දෙන ලද්දේ මලලසේකර විසිනි. බොහෝ දේශපාලනඥයෝ දේශිය පුනරුදය ගැන උදම් ඇනුවත් ඒ සඳහා අවංක හා ප්‍රායෝගික ක්‍රියා මාර්ග සකස් කළේ මලලසේකර වැනි නිර්මාණශීලි මෙන්ම නිහතමානි බුද්ධිමතුන් කණ්ඩායමක් විසිනි. ගුවන් විදුලි බණ නිසා පැරැණි ගම්බද බණ කීමේ ශෛලියද වෙනස් විය. ගුවන් විදුලි වැඩ සටහනකට ලබාදිය හැකි විනාඩි පහළොවකින් පමණ සංක්ෂිප්ත දේශනාවක් කිරීම මුලින්ම රටට හඳුන්වා දුන්නේ පැලෑනේ වජිරඥාන නායක හිමියන් විසිනි. විද්‍යෝදය පිරිවෙනේ දීප්තිමත් ප්‍රාචීන භාෂා සිසුවෙකු වූ උන් වහන්සේ සරල බසින් ගිහි ජීවිතයට අවශ්‍ය උපදෙස් දීම සඳහා බුදුවදන යොදා ගත්තේය. බෞද්ධ පුනරුදයට උපස්ථම්භක වූ වජිරාරාමය ප්‍රසිද්ධ වූයේ පැලෑනේ හිමියන්ගේ මැදිහත් වීමෙනි. එම විහාරස්ථානයේම වැඩ විසූ නාරද හිමි, පියදස්සි හිමි හා මඩිහේ පඤ්ඤාසීහ හිමියන් වැන්නවුන් තම ගුරු හිමියන්ගේ මාවතේම යමින් වජිරාරාමය නාගරික බුද්ධාගමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහ. බෞද්ධ පුනරුදය ගැන ශාස්ත්‍රීය නිබන්ධන ඉදිරිපත් කරන ඇමෙරිකාවට ලැදි වූ බොහෝ සමාජ විද්‍යාඥයින් කිසි කෙනෙක් වජිරාරාමයේ කාර්යභාරය විභාග කර නැත. තොවිල් පවිල් හා දොළදුක ගැන ශාස්ත්‍රීය ලිපි පලවී ඇති නමුත් මේ ශ්‍රේෂ්ට බෞද්ධ මධ්‍යස්ථානය ඔවුන්ගේ මතකයෙන් ගිලිහී ගොස් තිබේ. ඒ අතින් පැලෑනේ හිමි, මලලසේකර, මහාචාර්ය රත්නසූරිය හා මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි අය විසින් සිංහල ගුවන් විදුලියට කර ඇති සේවය විභාගයට ලක් නොවීම බලවත් පාඩුවකි. මේ විශිෂ්ටයින් නිස්සරණාධ්‍යාශයෙන් සිය සේවය රටට ලබා දී තිබේ. 

අප ගුවන් විදුලිය සමග මලලසේකර සම්බන්ධය වඩාත් වර්ණවත් වූයේ ඔහුගේ වැඩිමහල් දියණිය වූ චිත්‍රා මලලසේකර නිසාය. මහඇඳුරු මලලසේකරගේ මුලින්ම විවාහ වූයේ ඔහු එංගලන්තයේ දී හඳුනාගත් බ්‍රිතාන්‍ය ජාතික යුවතියක් සමගිනි. බටහිර ශාස්ත්‍රීය සංගීතය උගත් ඇය රට පිළිගත් පියානෝ වාදිකාවක් වුවාය. ඇගේ මුළු පවුලේම අය සංගීතයට ලැදි අය වූ අතර, සහෝදරයෙක් ලන්ඩන් වාදක වෘන්දයක පියානෝ වාදකයෙක් විය. මලලසේකර යුවළ අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවය පිළිබඳ විස්තර ඇතුළත් රස කතාවක් ඔවුන්ගේ දියණිය වූ චිත්‍රා විසින් හෙළිදරව් කර තිබේ.  මලලසේකර සිය අනාගත බිරියගේ නිවසට ගිය මුල් ගමනේදී යුවතියට පියානෝ වාදනයක් ඉදිරිපත් කරන ලෙස එහි සිටි සියලුදෙනා බල කළහ. ඇය ප්‍රසිද්ධව සිටියේ බාක් හා බේතෝවන්ගේ ශාස්ත්‍රීය සංගීතය ප්‍රිය කරන්නියක් වශයෙනි.  එහෙත් එදා ඇය වාදනය කළේ එවකට ලන්ඩන්වල ජනප්‍රිය ගීතයක් වූ “ඉන්දියානු පෙම් ගීය” (ඉන්දියන් ලව් සෝන්ග්) නමැති සරල සංගීතයයි. මෙය ඇගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමේ වක්‍ර ක්‍රමයක් වූයේද? නැතහොත් එය ලංකාවෙන් පැමිණි අමුත්තාට කරන ලද ගෞරවයක් ද? එය කුමක් වුවත් තරැණ මලලසේකරගේ සිත මේ තරුණිය වෙත ඇදී ගොස් කලකින් ඔවුන් අතර විවාහය සිදුවිය. එහි සියලු වැඩකටයුතුවලට අනුබල දුන්නේ සුදු කාන්තාවක් සමග විවාහ වී සිටි පී.දඇස්. කුලරත්නයි.

තරුණ යුවළ ලංකාවට පැමිණ වසරකින් කුළුදුල් දියණියක් ලැබුණේය. ඇයට චිත්‍රා මලලසේකර යැයි නම් තබන ලදී. එහෙත් එම මලලසේකර යුවළට වැඩිකල් නොගොස් හෙණ ගුළියක් පතිත විය. ලංකාවේ දේශගුණය නිසා මලලසේකර මැතිනිය බලවත් සේ රෝගාතුර විය. ඇයට සහනයක් වශයෙන් නුවරඑළියේ පදිංචිවීමට පවා මලලසේකර සිතුවද වැඩිකල් නොගොස් තරුණ වියේදීම ඇය මියගියාය. චිත්‍රා කියන අයුරින් මේ ඛේදවාචකය නිසා දියණිය පියාගේ සුවිශේෂ ආදරයට ලක් විය.  “ඔහු මාගේ පියා මෙන් පමණක් නොව මවගේ හිඩැසත් පුරවමින් මා ඇතිදැඩි කළා යැයි” ඈ සඳහන් කර ඇත.  මලලසේකර තම දුවණියට දේශීය අධ්‍යාපනයක් ලබාදුන් අතර, මවගේ කලා හැකියාවන් ප්‍රගුණ කිරීමටද අවස්ථාව සලසා දුන්නේය. එම නිසා තම මව අනුගමනය කරමින් ඇයත් දක්ෂතම පියානෝ වාදන ශිල්පිනියක් වූවාය. උපාධිධාරිනියක් වූ ඈ ලංකා ගුවන් විදුලි සේවයේ බටහිර අංශයේ සංගීතය මෙන්ම කලාත්මක වැඩසටහන් භාර අධ්‍යක්ෂිකාවක් ලෙස වටිනා සේවයක් කළාය. ඇම්.ජේ. පෙරේරා, නෙවිල් ජයවීර හා තේවිස් ගුරුගේ වැනි අධිපතියන් සමඟ සේවය කළ චිත්‍රා විශ්‍රාමගියේ එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරියක් හැටියටය. ඉතාම ප්‍රසන්න හා මිත්‍රශීලි චරිතයක් වූ ඈ අප ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය සටහන් කරන්නකි. ඇගේ මිතුරු මිතුරියන් වෙනුවෙන් පියානෝ වාදනය කිරීම චිත්‍රාගේ ප්‍රියතම විනෝදාංශය විය. ඇගේ සුප්‍රසිද්ධ මවගේ සියලුම හැකියාවන් ඈ තුළත් පිහිටා ඇති බව අප කී විට චිත්‍රා සතුටින් සිනාසුණාය.

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30