2018 ජනවාරි 06 වන සෙනසුරාදා

කුලරත්නගේ අවසාන වික්‍රමය

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

පී. ද ඇස්. කුලරත්න මහතා ආනන්ද විද්‍යාලයේ ප්‍රධානාචාර්යවරයා වශයෙන් වැඩ භාර ගත්තේ 1918 දීය. එම වැදගත් සංසිද්ධියට ශත වර්ෂයක් පිරෙන මෙදා එතුමා කළ අනුපමේය සේවය නැවතත් අප සිහියට නැගීය යුතුයි. එම පත්වීම නූතන ලාංකික සමාජය ගොඩ නැගීමට තීරණාත්මක වූ එකකි.  එතැන් පටන් ආනන්දය ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධාන සාධකයක් බවට පත්විය. එමගින් එතෙක් මිෂනාරිවරුන්ට පමණක් සිමාවී තිබු අධ්‍යාපන රටාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැකි ආයතනයක් කරළියට පැමිණියේය.

ඉතාම ලාබල වයසේදීම පැට්‍රික් කුලරත්න ප්‍රධාන විදුහලක මුල් ගුරු හැටියට පත්කිරීම පිළිබඳව හොඳ කතාවක් තිබේ. අම්බලන්ගොඩ සාමාන්‍ය පවුලක උපන් ඔහු කුඩා කල පටන්ම උසස්ම බුද්ධියක් සතු දරුවෙක් විය. ඔහුගේ පියා මහත් කැපකිරීම් කරමින් තම දරුවා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කළේය. එහිදි කුඩා පැට්‍රික්ට පාසලේ ප්‍රධානියා වූ ස්මෝල් නමැති දේවගැතිතුමා හමුවිය. ස්මෝල් තම ශිෂ්‍යයාගේ විශේෂ හැකියාව වූයේ ගණිත ශාස්ත්‍රය බව හඳුනා ගත්තේය. ගණිතය පිළිබඳ නිපුණත්වය හැමකෙනා තුළම පිහිටන්නක් නොවේ. තම පාසලේ එම දක්ෂ ළමයාගේ හැකියාව දෙවියන් විසින් දෙනු ලබන්නක් බව සමහරවිට දේවගැතිවරයෙක් වූ ස්මෝල් උපකල්පනය කරන්නට ඇති. මේ ප්‍රධානාචාර්යවරයා මෙරට සිටි අධ්‍යාපනඥයින් අතුරින් සුවිශේෂ තැනක් දරන්නෙකි.  කුලරත්න පමණක් නොව සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි අය ද ඔහුගේ ශිෂ්‍යයින් අතර විය. දරුවාගේ හැකියාවන් ගැන පැහැදුණ ගුරුවරයා ඔහුව තම මෙතෝදිස්ත නිකායේම ප්‍රධාන පාසැල වූ කොළඹ වෙස්ලි විද්‍යාලයට පිටත්කර යැවුවා පමණක් නොව ඔහුට ශිෂ්‍යත්වයක් ද ලබා දුන්නේය.  ඉන් පසුව සිරිත් පරිදි ඔහුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩන් නුවරට යැවීමට අවශ්‍ය විය. එහෙත් ශිෂ්‍යයාට එතරම් වත්පොහොසත්කමක් තිබුණේ නැත. මේ උභතෝකෝටික ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වූයේ ලංකාවේ අනාථපිණ්ඩික නමින් හැඳින්වු පොහොසත් ජනනායකයෙක් වූ දොස්තර ඩබ්ලිව්. ඒ. සිල්වාය. දුප්පත් පවුලක ඉපදුණ ද දක්ෂ ශිෂ්‍යයෙක් වූ ජනනායක සිල්වා ද අමාරුවෙන් කල්කටා සරසවියට බැඳී පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳව උසස් උපාධියක් ලබා ගත් අයෙකි.  උසස් පෙළේ වෘත්තිකයෙකු වූ දොස්තර ඩබ්ලිව්. ඒ. ද සිල්වා සමඟ විවාහ වීමට කැමති කොළඹ ධනපති සමාජයෙන් කාන්තාවක් සෙවීම අසීරු දෙයක් නොවුණි.  ඔහු විවාහ වූයේ කොළඹ ධනවත්ම වෙළෙඳ ව්‍යාපාරිකයෙක් වූ චන්ද්‍රසේකර මුදලිතුමාගේ දුව සමඟය. එම විවාහය නිසා දොස්තර සිල්වාට බෞද්ධ නායකයෙක් හැටියට විශාල සේවයක් කිරීමට හැකියාව හිමිවිය.

දොස්තර සිල්වා ද වෙස්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විය. එකල සිංහල බෞද්ධ මැද පන්තියට වඩාත්ම හිතකර පාසැල වුයේ වෙස්ලි විද්‍යාලයයි. ඉංග්‍රිසී අධ්‍යාපනය සඳහා වලිසිංහ හරිස්චන්ද්‍ර, ඩී. බී. ජයතිලක, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි නායකයින් බැඳුනේ වෙස්ලි විද්‍යාලයටයි. මොවුන්ට රෝයල් හා සැන් තෝමස් වැනි පාසැල්වලට යෑමට වත්කමක් නොවීය. දානපතියෙක් වූ දොස්තර සිල්වා කුලරත්නගේ බටහිර අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට ඉදිරිපත් විය.  ඉන්පසුව තරුණ කුලරත්න සමඟ ලිපි ගනුදෙනු කිරීමට පුරුදු වුණ ඔහු දෛවෝපගත සිද්ධියකට මුහුණ දුන්නේය.  දුෂ්කර ආර්ථික අර්බුදයක වෙලී සිටි බෞද්ධ පරමවිඥානාර්ථ සමිතිය සිය සාමාන්‍යාධිකාරවරයා වශයෙන් දොස්තර සිල්වා පත්කර ගැනීමට කැමති විය. ඔහුගේ ධනය බෞද්ධ අධ්‍යාපනය සඳහා වැය කිරීමට මැලි නොවූ දොස්තර එම පත්වීම භාර ගත්තේය. එකල බෞද්ධ පුනර්ජීවනයට නායකත්වය දුන් “ත්‍රිමූර්තීය” වුයේ එෆ්. ආර්. සේනානායක, ඩී. බී. ජයතිලක හා දොස්තර ඩබ්ලිව්. ඒ. සිල්වාය.

ආනන්දයට අලුත් මුල් ගුරුවරයෙක් සොයන අතර සිල්වාට සිය අනුග්‍රාහකයා වූ කුලරත්න මතක් විය. පරම විඥානාර්ථ සමිතියේ නිලධාරින්ගේ විරුද්ධතාවය ද නොසලකා ඔහු තරුණ කුලරත්නව එම තනතුරට පත් කරමින් ඒ බව දන්වන විදුලි පුවතක් ලන්ඩන් වෙත යැවීය.  එංගලන්තයේදී ඉහළම ගණයේ  ගණිත ශාස්ත්‍රඥයෙක් ලෙස පිළිගන්නා ලද කුලරත්න බැරිස්ටර් කෙනෙක් වශයෙන් ද දිවුරුම් දීමට සුදානමින් සිටියේය. ඔහු අති දක්ෂ ශාස්ත්‍රඥයෙක් බව ලන්ඩන් විශ්වවිද්‍යාලය සැලකීය.  නමුත්  අකමැත්තෙන් වුව ද කුලරත්න ඒ සියල්ල අතහැර ලංකාවට පැමිණියේය. ඔහු කළේ සුළුපටු පරිත්‍යාගයක් නොවේ.  බැරිස්ටර්වරයෙක් වශයෙන් පොහොසත්කමේ හිනි පෙත්තටම නැගීමේ හැකියාව තිබියදී ඔහු බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් ඒ සියල්ල කැප කළේය.  එපමණක් නොව අධ්‍යාපනය පිළිබඳ නවතම ලිබරල්වාදී මතවලින් සන්නද්ධ වී සිටි ඔහු අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආනන්ද විද්‍යාලයට හඳුන්වා දුන්නේ ක්‍රිස්තියානි හා කතෝලික පාසැල්වලටත් පෙරය. කුලරත්න විසින් ආනන්දය වෙනුවෙන් කරන ලද සේවය මා වෙනත් ලිපිවල සඳහන් කර තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය කෙනෙකුට කාමලිකා පීරිස් මහත්මිය විසින් රචිත “පී. ද ඇස්. කුලරත්න චරිතාපදානය” කියවිය හැකිය. 

කුලරත්න මහතාගේ  අප්‍රකට සේවයක් මේ ලිපියෙන් හෙළිදරව් කිරීමට කැමැත්තෙමි.  1962 දී අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් දියත් කරන ලදී. එම කුමන්ත්‍රණයට මෙරට යුද්ධ හමුදාව, නාවික හමුදාව, සිවිල් සේවකයින් හා පොලිසියේ උසස්ම නිලධාරින් ද සම්බන්ධ වූහ. එයට එකල ආණ්ඩුකාරවරයා වූ ඔලිවර් ගුණතිලක ද වක්‍රව සම්බන්ධව සිටි බව පසුව හෙළිදරව් විය.  කැරලිකරුවන්ගේ  උපක්‍රමය වූයේ හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් රජයේ මර්මස්ථාන සියල්ලම ග්‍රහණයට ගැනීමයි.  ඒ සමගම මැතිනිය ද සිරභාරයට ගැනීමට පිඹුරැපත් සකස්කරන ලදී. මේ කුමන්ත්‍රණයේ නායකයා වුයේ ද සේරම් නැමැති මැතිනියගේ ඥාතියෙක් වූ හමුදා ප්‍රධානියෙකි. එහෙත් එහි මහමොළකරුවා වූයේ පොලිසියේ දෙවැනියා වූ සිඩ්නි ද සොයිසායි.  සිඩ්නි 1956 දී බණ්ඩාරනායක මහතා යටතේ මුදල් ඇමති තනතුරට පත්වූ ස්ටැන්ලි ද සොයිසාගේ සහෝදරයෙකි. පොලිස්පති වීමට පෙරැම්පුරාගෙන සිටි සිඩ්නිට එම තනතුර ලබා දීමට මැතිනිය අකමැති විය. ඒ බණ්ඩාරනායක ඝාතනයට ඔහු සම්බන්ධ වුවා යැයි සැකයක් තිබුණ නිසාය.  

එම කුමන්ත්‍රණයට පොලිසීයේ උසස් නිලධාරියෙකු වූ ද  කුලරත්නගේ බෑණා වූ ද ස්ටැන්ලි සේනානායක මුලදි හවුල් වී සිටියේය. ජනප්‍රිය හා අතිශයින් කඩවසම් පොලිස් නිලධාරියෙක් වූ ස්ටැන්ලි විවාහවී සිටියේ කුලරත්නගේ දියණිය වූ මායා සමගය. මායාගේ මව වූයේ හිල්ඩා කුලරත්න මැතිනිය නම් වු ඉංග්‍රිසී ජාතික කාන්තාවකි. මේ කුමන්ත්‍රණය බෞද්ධ විරෝධි ස්වරූපයක් ගැනීම නිසා යහපත් බෞද්ධයෙක් වූ ස්ටැන්ලි සේනානායකට දෙලෝ රත් විය. නිලධාරියෙක් වශයෙන් කුමන්ත්‍රණකරුවන් සමඟ කුලුපගව සිටිය ද ඔහු බෞද්ධයෙක් වශයෙන් මේ මහා ව්‍යයසනයට අනුබල දීමට අකමැති විය. එසේනම් කුමන්ත්‍රණය පරාජය කිරීමට රජයට ඔත්තුවක් දිය හැකි වුයේ කෙසේද? මෙතැනදි ස්ටැන්ලිට මතක් වූයේ ඔහුගේ මාමණ්ඩිය වූ වයෝවෘද්ධ කුලරත්න මහතාය. රජයට ඔත්තුවක් දීමට ස්ටැන්ලිගේ බිරිය වූ මායා ද අනුබල දුන් බවට සැක නැත. කුලරත්න දක්ෂ “බ්‍රිජ්” නමැති කාර්ඩ් සෙල්ලම්කාරයෙකි.  ඔහුගේ ශිෂ්‍යයෙක් වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ද බ්‍රිජ් ක්‍රීඩකයෙකි. ඔවුන් නිතර කොළඹ “ඔරියන්ට්” නැමැති සමාජ ශාලාවේ “බ්‍රිජ්” සෙල්ලම් කළහ. මෙම “බ්‍රිජ්” කඩදාසි කුට්ටම් සෙල්ලම් කිරීමට සමාජ ශාලාවට පැමිණ සිටි පොලිස්පති අබේකෝන්ට හමුදා කුමන්ත්‍රණය පිළිබඳව කරැණු කුලරත්න විසින් හෙළිදරව් කරන ලදී. මුලදී අබේකෝන් උදාසීන වුවද කුලරත්නගේ බලපෑම් නිසා ක්‍රියාශිලී වූ ඔහු පීලික්ස් ඩයස් බණ්ඩාරනායක ද සමඟ එක්වී  හමුදා කුමන්ත්‍රණය පරාජය කළේය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00