2018 ජනවාරි 06 වන සෙනසුරාදා

නීතිපති ළඟ ඔහොම යවපු ෆයිල් කාෙච්චර තියෙනවද?

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

- සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී 

  • වංචා දූෂණ උසාවියේ පළමු නඩුවට බැඳුම්කරේ ගන්න පුළුවන් 
  •  සාමාන්‍ය මිනිහෙක් නම් රිමාන්ඩ් කරලයි ප්‍රශ්න කරන්නෙ 
  • දෙගොල්ලම බලන්නෙ හොරු රකින්න 
  • බැඳුම්කරේ රකින අයයි ෆුට් නෝට් දැම්මෙ 
  • විපක්ෂ නායකයා හරියට වැඩේ කරන්නෙ නැහැ  
  • යූඇන්පීකාරයොයි පොහොට්ටුකාරයොයි දොගොල්ලගෙම ඡන්දෙ අපටයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔබ සභාපතිත්වය දරන කෝප් කමිටුවෙන් පරීක්ෂණයක් සිදුකළා. මේ වෙනකොට ජනාධිපති කොමිසමේ වාර්තාවත් එළියට ඇවිත් තියෙනවා. මේ වාර්තා දෙකේ පරස්පරතා තියෙනවද?

මේ වාර්තාවයි මම ඉදිරිපත් කළ කෝප් වාර්තාවෙයි වෙනසක් නෑ. ඇත්තටම මේ වාර්තාවෙන් කරලා තියෙන්නේ කෝප් කමිටුවෙන් සිදුකළ වාර්තාව විස්තරාත්මක කිරීම. මගේ වාර්තාවේ කිව්වා, අර්ජුන මහේන්ද්‍රන් ඍජුව මේ ගනුදෙනුවට වගකියන්න ඕන කියලා. ඒ සමාගම අයුතු ලාභ ලබලා තියෙන බව, මේවා නැවත පවරාගන්න, මීට සම්බන්ධ අයට දඬුවම් දෙන්න ඕන කියලා කිව්වා. මේ කාරණා සියල්ල මගේ නිර්දේශවල තියෙනවා. ඒ නිසා දැන් පරස්පරයක් නෑ. දැන් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. හරියට මම දුන්නේ රිපෝට් එක. මැච් එකේ අම්පයර් දුන්න තීන්දුව නම් දැන් තර්ඩ් අම්පයර් තීන්දුව දීල තියෙන්නේ.

හැබැයි ඔබ එදා කිව්වා ඒ වාර්තාව හදන්න බෑ, ඉවත් වෙනවා කියලා?

මට ආපු බලපෑමක් වාර්තාවේ නෑනේ. කාගෙවත් බලපෑමක් ඒකෙ නෑ. ඒ වගේම කවුරුත් දාපු ෆුට් නෝටුත් නෑ. මගේ වාර්තාව කියවනකොට වාර්තාව කරන කොට ඇතිවුණු තත්ත්වයන් පිළිබඳවත්, වාර්තාව ගැනත් මම ලියලා තියෙනවා. ඒ නිසා ඒ දේවල් මගේ කාරක සභාවේ තීරණවලට බලපාලා නෑ. ඒ කාරක සභාව බෙදුණු කාරක සභාවක්. මේ සිද්ධියට විරුද්ධ පිරිසක් හිටියා. ඒ වගේම මේක ආරක්ෂා කරන්න පිරිසක් හිටියා. එහෙම ආරක්ෂා කරපු කට්ටිය ෆුට් නෝට් දැම්මා. අනිත් අය මගේ වාර්තාව පිළිගත්තා.

ක්සත් ජාතික පක්ෂයේ වැඩි පිරිසක් පහුගිය කාලේ කිව්වේ තමන්ගේ පක්ෂය මූලික කරගනිමින් සිදුකරන ප්‍රහාරයක් කියලා?  

මෙහෙමයි. එක්තරා පක්ෂයක් මැදිහත් වුණා නම්, එක්තරා පක්ෂයකට මේ චෝදනාව එනවා ඇති. එක්තරා පක්ෂයක් විසින් මහ බැංකු අධිපතිව කැඳවාගෙන ආවා නම්, ඒ ගනුදෙනුවට උදව් කළා නම්, ඒ පක්ෂය ඉලක්ක වන එක නවත්වන්න බෑනේ. එතකොට ඒ අය මුකුත්ම කරලා නැද්ද? එතකොට ඒ පක්ෂයේ අය සම්බන්ධ නෑ කියලද ඔය කියන්නේ. කෝප් කමිටුවට නම් පක්ෂ නියෝජනයක් තියෙනවා කියමුකෝ. දැන් එතකොට ජනාධිපති කොමිසම මොකක්ද? ඒකත් විරැද්ධ පක්ෂයද? විකාරනේ.

විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඔවුන්ට මේවා හංගන්න වුවමනාවක් නෑ. ඒ වගේම කෝප් කමිටුවේ සභාපතිත්වය පවා වෙනත් පක්ෂයකට දුන්නේ විනිවිදභාවය රකින්න කියලා?

ඒකට මට හිනාවෙනවා ඇරෙන්න කියන්න දෙයක් නෑ. මොකද දන්නෝ දනිති.

විශේෂයෙන් මේ බැඳුම්කර සිද්ධිය කරළියට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. දැන් මේ වාර්තාවෙන් පස්සේ ඔබලා බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

ඇත්තටම වාර්තා නෙමෙයි ජනතාවට වැදගත් වෙන්නේ. විශේෂයෙන් කෝප් කමිටුවේ වාර්තාව සාමාන්‍ය නීතිපොතට අනුව නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒක ප්‍රමාණවත් නොවුණේ මේකට ලොකු අතු මැදිහත් වෙච්ච නිසානේ. ඒකනේ ලොකු නීතිපොත ඕන වුණේ. ඒ නීතිපොත අනුවත් වැරදිකරුගේ දෑත් ආයිත් හෝදන්න දෙයක් නෑනේ. ඒ කියන්නේ වාර්තා ඇති. දැන් ඕන නීතිය ක්‍රියාත්මක කරන්න. මේ වැරදිකරුවන්ට දඬුවම් දීලා මුදල් ආපහු ලබාගන්න.

නීතිය ගැන කතා කරද්දී කමිටු වාර්තාවෙන් පෙන්නලා දීලා තියෙනවා සමහර අණපනත් සංශෝධනය කරන්න කියලා. ඒ අණපනත් සංශෝධනය කරන කොට කාලයක් යන්න පුළුවන් නේද?

දැන් හිතන්න බැංකු නිලධාරියෙක් රුපියල් 5000 ක් සාමාන්‍ය හිතවතකුට දුන්නොත් මොකක්ද තියෙන නීතිය. නීතිපොත් දෙකක් තියෙන්න බෑනේ. රජයේ සේවකයෙක් යම් වැරැද්දක් කළොත් කරන්නේ දෙකක් දීලා රිමාන්ඩ් කරන එකනේ. ඊටපස්සෙනේ ප්‍රශ්න කරන්නේ. දැන් එතකොට ඒ ක්‍රමය මේකට අදාළ වෙන්නේ නැත්තේ ඇයි? නීතිය පැත්තකින් තියන්නකෝ. මේ ඇලෝසියස්, මහේන්ද්‍රන් සම්බන්ධයි කියලා තහවුරු වෙලා තියෙනවා. ඔහුගේ පාස්පෝට් එක නවත්වන්න පුළුවන්, බැංකු ගිණුම් අත්හිටුවන්න පුළුවන්. ඒ වගේ වැඩවලින්නේ මේකට වැට බඳින්න පුළුවන්. ඒ නිසා අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක් වෙන්න බැරිකමකුත් නෑ. ඒ නිසා අපිට සාධාරණ සැකයක් තියෙනවා ජනතාවටත් තියෙනවා.

ඔබ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට ඔබට අත්දැකීම් ඇති ආණ්ඩුවේ නීතිගරුක බව ගැන?

ඒ ගැන මම දන්නවනේ. මම වාර්තා කිහිපයක් සකස් කළා. ආණ්ඩුවට නීතිය ගැන ඇල්මැරුණු ස්වභාවයක් තියෙන්නේ. දෙගොල්ලොම හොරු ආරක්ෂා කරන තැනක ඉන්නේ.

ජනාධිපතිවරයා කිව්වා වාර්තාව නීතිපතිට යොමුකරලා තියෙනවා කියලා. ඒකෙන් බලාපොරොත්තු තියාගන්න පුළුවන් නේද?

ඒ වගේ වචනවලට බලාපොරොත්තු තියාගන්න එක අපි හුඟක් කල් ඉඳලා කරලා තියෙන්නේ. මේ හැටනම අවුරුද්දෙම කොමිෂන් සභා පත් කරන එක ගැන, වාර්තා ඉදිරිපත් කරන එක ගැන, පාර්ලිමේන්තුවට ඉදිරිපත් එක ගැන බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා දැන් ඇති. ඔය නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකළ ෆයිල් කීයක් තියෙනවද? කැරකෙන ෆයිල් කීයක් තියෙනවද? මීට කලින් වෙලාවට වැඩේ වෙලා තියෙනවද? මම කෝප් වාර්තාවක් දුන්නා. ඒකට මාස 15කින් පිළිතුරක් නෑ.

හැබැයි ශ්‍රීලනිප ඇමැතිවරු කියන්නේ කිසිදු ජනාධිපතිවරයෙක් නොකළ දෙයක් මෛත්‍රීපාල මහත්තයා කළ නිසා ඉතිරියත් හරියට සිදුකරනවා කියලා?

හොඳයිනේ. අපි නරකයි කියන්නේ නෑනේ. කොමිසම පත් කළ එක අපි නරකයි කියන්නේ නෑනේ. ජනාධිපතිතුමා කිව්වනේ මගේ කඩුවට ඕන කෙනකුගේ බෙල්ල කැපෙයි කියලා. හැබැයි කඩුව බෙල්ල ළඟට තියලා මම කපන්න වගේ ඉන්නේ කියලා කිව්වට වැඩක් නෑ.

ඉදිරියේ දී රජයෙන් විශේෂ මහාධිකරණ තුනක් ස්ථාපිත කරන්න යනවා. ආණ්ඩුව නීතිය බලාත්මක කරන්න විශාල වෙහෙසක් ගනිමින් ඉන්නවා නේද?

පළවැනි නඩුව හැටියට මේ බැඳුම්කර නඩුව ගන්න කියන්නකෝ. අන්න ඒකට තීන්දුව දුන්නට පස්සෙ අපිත් අත්පුඩි ගහලා සතුට පළකරලා මේ මහාධිකරණ පිහිටුවන එකේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා මමම මාධ්‍යයට කියන්නම්. ඒ වගේම රාජපක්ෂලගේ දේවලුත් දාන්න කියන්නකෝ ඒ අධිකරණවලට.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියලා තිබ්බා මේ බැඳුම්කර කොමිසම තීන්දු කළ පාඩුව පිළිගන්න බෑ, ඊට වඩා වැඩි පාඩුත් වෙලා තියෙනවා කියලා. ඇත්තද?

බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා කරන්න ඕනේ එයාගේ ගණන් ටික එළියට කියන එක. එතුමා වාර්තාවල ඉලක්කම් වැරදියි කියනවා නම් ඒ දේවල් කියන්නේ එතුමා පොර වෙන්න නම් හොඳම දේ තමයි එතුමා කියන එක කියල මම පිළිගන්නවා. අපි වාර්තාව හැදුවේ විගණකාධිපතිවරයා විසින් අසීරුවෙන් මහබැංකුවේ සහයෝගයකින් තොරව සිදුකළ ගණනය කිරීමක් සමඟ. ඒක සාමාන්‍ය විගණනයක්. ඒක විගණනාධිපති වාර්තාවෙත් තියෙනවා. හැබැයි ඊට එහා ගිය ජනාධිපති කොමිසම ඇයි ඒක නිහතමානීව පිළිගන්න එපැයි. බන්දුල ශ්‍රීමතානෝ එහෙම නෙමෙයි කියලා කියනවා නම් ඒක අගය නොකර කියන්නකෝ.

ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් නැතුව මෑතක සිට එල්ල වන චෝදනාවක් තමයි එ.ජා.ප.ය රකින තැනක ඉන්නේ කියලා ඇයි එහෙම චෝදනාවක් ඒකාබද්ධ විපක්ෂයෙන් එල්ල වෙන්නේ?

අපි ඒ අයට කියන්න ඕන ඒ අයත් එක්ක තියෙනවා කියලා. කොහොමද අපි කියන්න ඕන අපිට තියෙන්නේ මේ රටේ ජනතාව එක්ක සම්බන්ධයක්. අපි හැමදාම කියනවා හැබැයි එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ මේ පාර ඡන්දය දෙන්නේ අපිට. එක්සත් ජාතික පාක්ෂයේ ගම්මට්ටමේ නායකයෝ කළකිරිලා මේ පාර ඉල්ලන්නේ අපෙන්. ඔය පොහොට්ටු මහත්තුරුන්ගේ පිරිසකුත් ඉන්නවා. එහෙම ගත්තොත් ඔය කියවන කතාව ඇත්ත. හැබැයි අපි රෑට රෑට ගිහින් ගිහින් නායකයෝ හම්බවෙලා නඩු ලිහාගන්න සල්ලි ඉල්ලගන්න ඩීල් නෑ.

ඔබලා කොතරම් කිව්වත් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ විශාල පසුබෑමකට ලක්වුණානේ?

පෙබරවාරි 10 වැනිදාට ප්‍රතිඵල බලමුද. එතකොට ඔය ප්‍රශ්නයට පිළිතුරු බලමු. ඉක්මන් වෙන්න එපා. ඇත්ත අපි පිළිගන්නවා මැතිවරණ ප්‍රතිඵලවලදී පසුගිය කාලයේ පසුබෑමක් තිබ්බා. ඒකට බලපාපු දෙයක් තිබ්බා පැවතිච්ච මැතිවරණ ක්‍රමය. ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 06 දෙනයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. හැබැයි ඡන්ද පන්ලක්ෂ ගාණක්. දෙමළ සංධානේ මන්ත්‍රීවරැ 16 දෙනයි. ඡන්ද තුන්ලක්ෂ ගාණයි. දැන් එතකොට පසුබෑම අපේ ද අනික අපි ජනතාව රවට්ටලා ඡන්ද ගන්නේ නෑ. වටිනා ඡන්ද ටොයිලට් කටවල්වලට දෙන ඡන්ද නෙමෙයි.

පාර්ලිමේන්තුව ඇතුළෙත් ඉන් පිටතත් කතා වෙන්නේ විපක්ෂයේ කාර්යභාරය ඉතා දුර්වලයි කියලයි. ඇයි මේ?

අපේ නෙමෙයි විපක්ෂ නායකයාගේ කාර්යභාර්ය හරියට ඉෂ්ඨ වෙන්නේ නෑ. සම්පන්ධන් මහතා අයවැයේදී අත උස්සනවා රවී කරුණානායක ඉල්ලා අස්වුණාම එයා කියවනවා රවී ඉල්ලා අස්වෙන එක වැරදියි කියලා. ඒකාබද්ධ මහත්වරුත් එහෙමමයි. අර හම්බන්තොට වරාය අවුරුදු 32කට බදු නිදහස් කළාම එයට විරුද්ධ නොවී හිටියේ මොකක් නිසාද? මරු ඒකාබද්දෙත් මහින්ද රාජපක්ෂ එක අයවැයකට විරුද්ධව ඡන්දය දීලා තියෙනවාද? පළාත් පාලන පනත සම්මත කරද්දී කාන්තාවට ඡන්දය ඉල්ලන අයිතියට විරුද්ධ වුණේ ඇයිද දන්නේ නෑ.

ඒ වගේම ඔබලටත් චෝදනාවක් තියෙනවා පළාත් පාලන පනතේදී තරුණ නියෝජනයට විරැද්ධ වුණා කියලා ඇත්ත ද?

නෑ... එහෙම ප්‍රශ්නයක් නෑ. මේ ලයිස්තුවල තරුණ නියෝජනය ඉන්නේ.

නෑ තරුණ නියෝජනය කියන වගන්තිය ඔබලත්, එ.ජා.ප.යත් ඉවත් කළානේ අන්තිම මොහොතේදී?

නෑ තරුණ නියෝජනයට තිබ්බා සීමාවක්. දැන් මේ සංශෝධනයට අනුව ඕන ප්‍රමාණයක් දාන්න පුළුවන් ඉල්ලන්න. මොකක්ද වඩා හොඳ එක.

ඔබලට ආණ්ඩුවේ සමහර ඇමැතිවරු චෝදනා කරනවා ජනතාව, ශිෂ්‍යයන් උසිගන්වනවා කියලා?

ඔක්කොම අපිට විරුද්ධව තියෙන චෝදනා ටිකනේ ඔයා කියන්නේ. හොඳ දේවල් නැද්ද. ජේ.වී.පී. එක සියඹලා ගෙනල්ලම නැද්ද.

විශේෂයෙන් සයිටම් ප්‍රශ්නයේදී?

පොඩ්ඩක් ඉන්න... ඔය දැන් ඉස්සෙල්ලා කිව්වනේ අපි ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් තියෙනවා කියලා. දැන් කියනවා උසිගන්වනවා කියලා. ඇයි එකම පක්ෂයකට එකම තාලයේ චෝදනා දෙකක් එල්ල වෙන්නේ.

ඒකයි අපිටත් තියෙන ප්‍රශ්නය?

ආණ්ඩුව එක්ක ඩීල් දානවානම් අපි ජනතාව කුලප්පු කරනවා කියන්නේ නෑනේ. අපේ යාළුවෝ කියලනේ කියන්නේ. ඒකෙන් තේරෙනවා නේද කියන කතාවලට වඩා අපේ භාවිතය වැදගත් කියන එක. රටේ ජනතාවගේ ප්‍රශ්න ආපුවම කවුද ඉදිරිපත් වුණේ. ඔය මාධ්‍ය සාකච්ඡා තියෙන මහත්වරුද? නැත්නන් අපිද? අපි මහපොළවේ දේශපාලනය කරන්නේ.

මොන ජනතා ප්‍රශ්නවලට පෙනී සිටියත් අවසානයක් කරන්න ඔබලට බැරිවෙලා තියෙනවා නේද?

අපේ වරදක් නෙමෙයිනේ. ඒක ආණ්ඩුවේ වැරැද්දක්. ආණ්ඩුවනේ මිනිස්සු රවට්ටන්නේ. සයිටම් එක අහෝසි කරනවා කියලා සපථ කළේ ආණ්ඩුවනේ. 

ඇයි ඔබලා පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ ඒවා රටට හොඳ නැද්ද?

එතකොට රජයේ විශ්වවිද්‍යාල හොඳ නැද්ද? ඒවා රැකගන්න එක හොඳ නැද්ද? සල්ලි තියෙන අයයි නැති අයයි එකට ඉගෙන ගන්න එක හොඳ නැද්ද?

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියන්නේ රටේ මුදල් විදෙස් රටවලට යනවා මේ පෞද්ගලික විශ්වවිද්‍යාල සොයාගෙන ශිෂ්‍යයන් රට යන නිසා කියලා?

රටේ සල්ලි පිටරට යන්නේ ඒ නිසා නෙමෙයිනේ. ඔය උසස් අධ්‍යාපන ඇමැතිලා හයිවේ එකෙන් ගහලා ඉතුරු කරන සල්ලි මෙහේ දාන්නේ නෑනේ. බැඳුම්කරු වංචාවේ සල්ලි අපේ රටේ ඉතුරු කරන්නේ නෑනේ. දැන් මෙච්චර ප්‍රශ්න වෙනකොට මේ අය ඉතුරු කරන්න යන්නේ. මේ රටේ ළමයෙක් දෙන්නෙක් රට යන සල්ලි ද? මේ රටේ ජාත්‍යන්තර පාසල් දැම්මා කියලා රට යන එක්කෙනා නතර වෙන්නේ නෑ. ඕකෙන් රටේ ආර්ථිකය හදන්න පුළුවන් ද?

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මැතිවරණ සමයේදී දූෂණ වංචාවන් පිටුදකින්න විශාල මෙහෙයුමක් සිදුකළා. දැන් වැඩේ සාර්ථකද?

නෑනේ. දැන් මොකද කරන්නේ. ඒ නිසා දැන් තියෙන තැන්වලට නොගිහින් ඉන්නවාද? එහෙම නැතුව ඒ තැන්වලට යන ගමන් හොරකම් නොකරන පාලකයන් හදාගන්න එක හොඳ නැද්ද. ජනතාවටත් කියන්න තියෙන්නේ හොරකම් කරන පාලකයෝ ටිකක් පත්කරලා හොරකම් අල්ලන්න ඒ ආයතනවලට අපිව යවන්න එපා. ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ අල්ලස් කොමිසමට යන්න කොන්ත්‍රාත් ගත්ත පක්ෂයක් හැටියට නෙමෙයි. හොරකම් නොකරන කට්ටියක් තෝරාගන්න එක ජනතාවගේ වැඩක්.

මේ රටේ දක්ෂිණාංශික පක්ෂ බලයට ගේන්න වාමාංශික පක්ෂ උදව් කළා. එහෙව් වාමාංශික පක්ෂ ගැන ජනතාවට විශ්වාස කරන්න පුළුවන්ද?

ජනතා විමුක්ති පෙරමුණ එහෙම උදව් කරලා නෑ. සම්පූර්ණ වැරදි ඔබ කියන කාරණාව ගත්තොත් එක මොහොතකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවකට උදව් කළා. ඒ යුද්ධය අවසන් කිරීමේ උවමනාව වෙනුවෙන්. දැන් අවුරුදු 69ක් මේ පක්ෂවලට බලය දුන්නනේ. කලකිරීමෙනුත් දුන්නනේ. ඒ නිසා අපි කියන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාවක් දීලා බලන්න. නොදී කරන්න බෑනේ. ඒවා හීනෙන් හිත හිත ඉන්න බෑනේ. අපි හොඳ නැත්නම් අපිට එපා අයිත්.

ඔබලට විශ්වාසයක් තියෙනවද ජනතාව ගැන?

එහෙම නැත්තන් දේශපාලනය කරන්නේ නෑනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා දේශපාලනයේ බැටකාපු ජනතාව මෙවර ඒ වෙනස කරන්න අපිට බලය දෙනවා කියලා.

► ගයාන් ගාල්ලගේ