2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

බැඳුම්කරේ ඉඟිබිඟි

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 310

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මිස්ට ක්ලීන් වශයෙන් කලින් සිටම හැඳින්වුණේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහය. ඔහු දේශපාලන නායකත්වයට පිවිසි කාලයේ පටන්ම ජනතාව අතරේ මිස්ට ක්ලීන් විය. ආණ්ඩු පක්ෂයේ සිටි කාලවලදී පමණක් නොව විපක්ෂයේ සිටියදී ද ඔහුගේ මිස්ට ක්ලීන් නාමයට හානියක් වුණේ නැත. දේශපාලනයේදී ක්ලීන් කෙනකු වීම හොඳට ලකුණු ගතහැකි හැඳින්වීමකි. නායකයකුට එහි විශේෂ වැදගත්කමක් ද තිබේ.

දැන් ලංකාවේ දේශපාලන කරළියේ අලුත් මිස්ට ක්ලීන් කෙනකු බිහිවීමට පෙරනිමිති පහළ වෙලාද? මෛත්‍රීපාල ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (28) කළ ප්‍රකාශයක් ගැන සැලකීමේදී එවැනි අදහසක් කෙනකු තුළ පහළ නූනොත් පුදුමය. 

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ කොළඹ බණ්ඩාරනායක සමරුහලේදී පැවැති එ.ජ.නි.ස. නිදහස් සම්මුතිය ප්‍රතිඥාව ලබාදීමේ උත්සවයේදීය. ඔහුගේ කතාවේ සඳහන් වූයේ මෙසේය.

“කිළිටි නැති පරම පවිත්‍ර අවංක දේශපාලන නායකයන් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේදී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවිදැයි දන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ භෞතික සම්පත් සංවර්ධනයට වඩා දේශපාලනයට සුදුසු පිරිසුදු අවංක ජනතාවාදී දේශපාලන නායකයන්. මම ප්‍රමුඛත්වය දෙන්නේ එතැනටයි. අංක එක එතැනයි. එතැන හරිගියොත් අනෙක් ඔක්කොම හරි යනවා. එතැනින් පල්ලෙහාත් හැදෙනවා. මෙතැනින් වැඩේ පටන්ගත්තාම ඒක කරන්න පුළුවන්. හෘදසාක්ෂිය හොඳ සාක්ෂියක් කරගනිමින් අපි හොඳ රටක් හදමු. ගමේ පුංචි ආණ්ඩුව ආදර්ශමත් තැනක් කරගෙන ඉන් එහාට ශක්තිමත් ආණ්ඩුවක් හදාගනිමු.”

පළාත් පාලන ඡන්දය අරමුණු කරගනිමින් ප්‍රතිඥාව ලබාදීම අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ කථාව කියන්න ඇත්තේ නිකම්ම දේශපාලන කථාවක් වශයෙන් නොවන බව පැහැදිලිය. පුංචි ඡන්දයේ ප්‍රචාරක යාන්ත්‍රණයේ තේමා පාඨය මෙය වීමට හොඳටම ඉඩ තිබේ. ඒ කියන්නේ අවශ්‍ය තැනට කඩුව දමා ඕනෑම කෙනකු කපා දමා පිරිසුදු දේශපාලන ගමනකට යාමට තමා අදහස් කරගෙන සිටින බව ජනාධිපතිවරයා රටටම පැහැදිලිව කියා තිබේ. ඒ කියන්නේ දැන් තිබෙන පාලනය පිරිසුදු නැත කියන එකද?

එහෙමත් වියහැකි බව කෙනකුට සිතා ගැනීම අපහසු නැත. එහෙත් හොදි හලාගන්නේ නැතුව ගැටේ ලිහාගන්න සමත් වූ බවට උදම් අනන හවුල් ආණ්ඩුවක එක් නායකයකු තමන් ඉන්නේ පිරිසිදු පාලනයක නොවේ යැයි කියන එක පිටුපස ලොකු කතාවක් තිබිය යුතුය. හෙට අනිද්දා එළියට ඒමට නියමිත බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ අළුයට ගිනි නිවි නිවී දැල්වෙද්දී මෙවැනි කතාවක් කියන්න ඇත්තේ පුංචි ඡන්දයේදී තමන් නායකත්වය දෙන ශ්‍රීල.නි.ප.යට සහ එ.නි.ජ.ස.ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණින් වියහැකි වුවද එය ආණ්ඩුවේ අනෙක් හවුල්කරු වන යූ.එන්.පී.යට කළ අනතුරු ඇඟවීමක් ද වියහැකි බව පැහැදිලිය. ඡන්දයෙන් පස්සේ ලබා ගතහැකි ප්‍රතිඵලය සහ සිදුවිය හැකි දේ පිළිබඳව එ.ජ.නි.ස ප්‍රබල ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත දැක්වූ අදහස් ද මෙහිදී සැලකිල්ලට ගැනීම වැදගත් වන්නේ එනිසාය.

ඡන්දයෙන් පසුව බහුතර බලයක් නොලැබෙන ආයතනවල බලය පිහිටුවීම සඳහා වෙනත් කණ්ඩායමක් සමඟ එකතුවීමට සිදුවන්නේ නම් ශ්‍රීල.නි.ප ප්‍රමුඛ එ.ජ.නි.ස. එකතුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ බව ඔහු කිව්වේය. ශ්‍රීල.නි.ප. ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ පසුගිය බදාදා (27) පැවැති මාධ්‍ය හමුවකදී සුසිල් මේ බව කියා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන්නේත් ශ්‍රීල.නි.ප.යේ කොටසක් බවද සඳහන් කර තිබුණි. ඔහුගේ ගණන් බැලීමට අනුව මේ දෙපිරිස එක්වූ විට 55%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට ද හැකිවනු ඇත.

මේ ගණන් ගැනීම් පිළිබඳ අවසන් නිගමනයකට ඒම අපහසු වුවද තවදුරටත් යූ.එන්.පී. සමඟ එකතුවී ආණ්ඩුවේ ශ්‍රීල.නි.ප. පාර්ශවයට ගමනක් යාමට නැති බව එම ප්‍රකාශයෙන් පැහැදිලිය. පක්ෂ දෙකේ සම්මුතිය අදින් (31) අවසන් වීමට නියමිතව තිබුණත් එය පුංචි ඡන්දයේ ප්‍රතිඵල එනතුරු කල්දැමීමට තීන්දුවක් ගෙන තිබූ බවද සඳහන් වී තිබේ. මේ අනුව ජනාධිපතිවරයාගේ අතේ තිබෙන කඩුවෙන් බෙල්ල කැපෙන්නේ කාගේදැයි එකවරම කිව නොහැකි වුවත් එහි කැපෙන පැත්ත යූ.එන්.පී. දෙසට එල්ල වන බව නම් පැහැදිලිය.

ශ්‍රීලනිපය එසේ කිව්වත් යූ.එන්.පී. මේ දක්වා හවුල් ආණ්ඩුවට හානිකර කිසිවක් නොකීමට පරෙස්සම් වී තිබේ. එයින් වෙනස් වූයේ සුජීව සේනසිංහ පමණි. ඔහු වරක් අතදිග හැර සිරිසේන ජනාධිපතිට එරෙහිව කතා කළේය. පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් යම් යම් අවස්ථාවල සම්මුතියට පටහැනි දේ කියවුණත් නායකයන්ගේ වචනවලින් සම්මුතියට හානියක් වන කතා කියැවෙන්නේ නැත. පසුගිය ඉරිදා (24) හෝමාගමදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව ඊට උදාහරණ සපයයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය කළ ජාතික ආණ්ඩුවේ නවදැක්ම හරහා සංවර්ධනයේ මූලික අඩිතාලම අපි ඇති කරනවා... නිසි සැලැස්මක්, දර්ශනයක්, එකමුතුකමක් නොතිබූ රටට අනාගතයක් ලබාදීමට හැකිවූයේ ජාතික රජය නිසයි.

මේ කතාවෙන් පැහැදිලි වන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හවුල් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බලාපොරොත්තු අත්නොහැර ඇති බවය. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා තම කඩුවෙන් කවුරු කැපේදැයි කියන විට යූ.එන්.පී.යට කිසියම් තිගැස්මක් ඇති නොවුණානම් පුදුමය.

තව හරියටම දවස් 08කින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා තම පාලන කාලය වසර තුන සපුරන එක ගැන කතා කළ යුත්තේ මේ පසුබිමේය. ඒ සමග ඊට පසුදින රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් වී වසර 03 ද පිරෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති පදවියට පත්වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ ඇමැති මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙක් විය. ශ්‍රීලනිප ලේකම්වරයාද විය. 1989 වසරේදී පැවැති මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණි සිරිසේන මහතා 1994 වසරෙන් පසුව විවිධ අමාත්‍ය තනතුරු දැරුවේය. 2014 නොවැම්බර් 21 වැනිදා වනවිට ඔහු මහින්දගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති වූ අතර 2015 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ප්‍රකාශයට පත්කිරීම එම තනතුරේ අවසානය විය. ඉන්පසුව ඔහුගේ ජනාධිපති ජීවිතයේ ඇරුඹුම සිදුවිය.

වසර තුනක් සපුරන තම පදවියට ඉතිරිව ඇත්තේ තව වසර දෙකක් පමණක් බව මෛත්‍රීපාල සිරිසේන මහතා දැන සිටී. ඔහු තම ධුර කාලය තුළදී ජනාධිපති පදවියේ බලතල කිහිපයක් කප්පාදු කිරීමට ඉදිරිපත් වීම කැපී පෙනුණු සිද්ධියක් බව සඳහන් කළ යුතුය. වසර හයක ජනාධිපති ධුර කාලය වසර 5කට සීමා වූයේද ඒ අනුවය. එසේම තම ධූර කාලය තුළදී රට හමුවේ ඔහු විසින් පෙන්නුම් කරන ලද සරල පාලන රටාවද කැපී පෙනෙන්නකි. ඇතැම් ඇමැතිවරැන් පවා තම දුරකථනය ඔස්සේ ලැබෙන ඇමතුම්වලට පිළිතුරු දීම මගහරිද්දී ජනාධිපතිවරයා එම ඇමැතුම්වලට පිළිතුරැ දෙන බවද එය මගහැරී ගියොත් ආපසු කතා කිරීමේ සිරිතක් පවත්වාගෙන යන බවද සඳහන්ය. ඔහුගේ ධුර කාලය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් වූ යුගයක් වශයෙන්ද සටහන් විය යුතු අතර බැඳුම්කර වංචාව සම්බන්ධ සිදුවීමේදී ඔහු විසින් ගනු ලැබූ ඇතැම් තීරණද රටේ කතිකාවක් ඇති කිරීමට සමත් විය. ඒ හේතුව නිසා අමාත්‍ය පදවි කිහිපයක වෙනස්කම්ද සිදුවූ බවත් සඳහන් විය යුතුය.
ඒ කෙසේ වුවද මීට වසර 03කට පෙර රට හමුවේ ලබාදෙන ලද පොරොන්දු ඉටුකිරීම අතින් ඔහුගේ පාලන කාලය පෙන්වා ඇත්තේ දුර්වල වාර්තාවකි. රටට හඳුන්වා දීමට පොරොන්දු වූ ප්‍රජාතාන්ත්‍රික සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවමත් එක තැනමය. පත් කරන ලද ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන ලෙස ක්‍රියාත්මක වන්නේදැයි ගැටලුවකි. කොටින්ම ව්‍යවස්ථා කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවට පසුගිය දිනක ජනාධිපති විසින්ම සිදුකරන ලද ප්‍රකාශය ඊට හොඳම සාක්ෂියකි.

සිරිසේන ජනාධිපතිවරයාගේ තුන් අවුරුදු පාලන කාලය පිළිබඳ මේ වනවිට හොඳම විග්‍රහය ඇත්තේ මහින්ද රාජපක්ෂ අතේ බව පැහැදිලිය. මහින්ද පසුගිය මාස කිහිපය තිස්සේම නිකුත් කළ ප්‍රකාශවල එම විග්‍රහය හොඳින්ම ගැබ් වී තිබුණේය. පුංචි ඡන්දය පැවැත්වීම දිගින් දිගටම කල්ගියේද මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපය තුළත් රට තුළත් ඇතිකළ මොළ සේදීමේ ව්‍යාපෘතිය සෑහෙන තරම් දුරට සාර්ථක වීම නිසා බව පැහැදිලිය. මහින්දගේ වටේ සිටින, පසුගිය පාලන සමයේත් ඔහු අසලින්ම සිටි කිහිප දෙනෙකු රටේ මහජනතාව තුළ ඔහුගේ පාලන සමයේ සිදුවූ වැරදි ක්‍රියා යළි යළිත් මතක් කර නොදෙන්නට සිරිසේන ජනාධිපතිවරයාට පුංචි ඡන්දයට මේ තරමින් හෝ ඉදිරිපත් වීම අපහසු වන්නට ඉඩ තිබිණි. 2018 වසර තුළ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළේ ප්‍රමුඛත්වය ඡන්දවලින් ශ්‍රීලනිපය පෙරට ගැනීම නම් ඔහු එක්කෝ මහින්දලාගේ ගැම්ම ආපසු හැරවීමට සමත් වන බලයක් නිර්මාණය කරගත යුතුය. නැත්නම් ඔවුන් සමඟ එකතු විය යුතුය. මේ දෙකින් කුමක් කළත් එහි බලපෑම වඩාත් දැනෙනු ඇත්තේ යූ.එන්.පී.යටය.

යූ.එන්.පී. තම ආණ්ඩුවටත් වසර තුනක් පිරෙන ලබන වසර ගැන ගණන් හැදිය යුත්තේ මේ පසුබිමේය. පුංචි ඡන්දයේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරන්නටත් පෙර කඩුව අතට ගැනීමට ජනාධිපතිවරයා සූදානමින් සිටී නම් ඡන්ද ව්‍යාපාරය තුළ බොහෝ දේ සිදුවීමට ඉඩ තිබෙන බව සිතාගැනීම අමාරැ නැත. ඡන්දයෙන් පස්සේ තනිවම ආණ්ඩු හැදීමට යූ.එන්.පී. සේම ශ්‍රීලනිපයත් ඇඟිලි ගනිමින් සිටීමද දේශපාලන කරළිය තවත් උණුසුම් කර තිබේ. එසේම පසුගිය 2015 අගෝස්තු මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වය නොදෙන බව කියා මැතිවරණ ව්‍යාපාරය තුළ පෙරුළියක් කළ ජනාධිපති මෛත්‍රීපාල මෙවර එවැනි ස්ථාවරයක් ගැනීමෙන් වැළකී පිරිසුදු දේශපාලනයක් සඳහා කඩුව වනන්නට තීන්දු තීරණ ගැනීම ගැන යූ.එන්.පී.යට වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතන්නට සිදුවන බව නම් ස්ථීරය.

 ශශීන්ද්‍ර