2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

විරෝධතා මැද සිදු වූ මැලේසියා අගමැති - විග්නේෂ්වරන් හමුව

මැලේසියා අගමැති නජීබ් තුන් අබ්දුල් රසාක්ගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය මතභේද වලින් තොරවූවක් නොවීය.

ඉන් එක් සිද්ධියක් වූයේ අගමැති රසාක් උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් සමඟ යොදාගෙන තිබූ සාකච්ඡාවය. තමන්ගේ කිසිදු නායකයකු මේ රැස්වීමට කැඳවා නොතිබීම පිළිබඳව ටී.එන්.ඒ. සිටියේ බලවත් කෝපයෙනි. එක් නායකයෙක් මේ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පැමිණිලි කළේය.

කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය මේ සිද්ධිය ගැන තමන්ගේ ඇති අසතුට විදේශ අමාත්‍යාංශයට දැනුම් දුන්නේය. එහි නිලධාරීන් විසින් මේ රැස්වීමට රජයේ අනුමැතිය නොමැති බව පවසා එය අවලංගු කිරීමට උත්සාහයන් ගණනාවක්ම ගනු ලැබුවත් ඒවා අසාර්ථක විය. මැලේසියානු අගමැති සමඟ පැමිණි ඉහළ පෙළේ නිලධාරීන් පැවැසුවේ එම රැස්වීම තම අගමැතිවරයා විසින් යොදාගත් එකක් වීම නිසා එය කිසිසේත්ම අවලංගු කළ නොහැකි බවය. එක් නිලධාරියකු ප්‍රකාශ කර තිබුණේ තම අගමැතිවරයා යාපනයේ සංචාරයක යෙදීමට ද කලින් සැලසුම් කර තිබූ බවය. විග්නේෂ්වරන් මහතා සමඟ අපේ අගමැති සිදුකළ සාකච්ඡාව සාර්ථකයි. එතුමා ඉතාම පැහැදුණා... යැයි ද ඔහු තම ශ්‍රී ලාංකික මිතුරකුට ප්‍රකාශ කර තිබිණි.

දෙදෙනා අතර පැවැති සාකච්ඡාවට සම්බන්ධ වූ අනෙක් තැනැත්තා වූයේ මැලේසියානු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය සුබ්‍රමනියම් සතාසිවම්ය. ඔහු මැලේසියානු ඉන්දීය කොංග්‍රසයේ නායකයායි. මැලේසියාවේ ඉන්දීය දෙමළ ජාතිකයන් නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ දේශපාලනඥයන් මුණගැසීමට මැලේසියා අගමැති තුළ තිබූ කැමැත්ත මේ මගින් පිළිඹිබු වෙයි.

තවත් සිදුවීමක් වූයේ දෙරට නායක හමුවේ දී අත්සන් කිරීමට නියමිතව තිබූ විදෙස් ආයෝජන ව්‍යාපෘති තුන න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ට සිදු වී තිබීමය. මැලේසියාවෙන් ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් (රුපියල් බිලියන 5.3කට අධික) ආයෝජනය කිරීමට නියමිත විය. මේ ආයෝජන ව්‍යාපෘති දෙරට නායකයන්ගේ සාකච්ඡා න්‍යාය පත්‍රයට ඇතුළු කිරීමට කොළඹ සහ ක්වාලාලම්පූර් විදේශ අමාත්‍යාංශ දෙකම සති ගණනාවක් තිස්සේ වෙහෙස වූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත විශේෂ වූ වාර්තාවක් වශයෙන් පසුගිය සතියේ දී හෙළිකරනු ලැබීය.

සන්ඩේ ටයිම්ස්

අලුත් ඡන්ද දායකයෝ

ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේ දී පළමුවරට තම ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම ලබන තරුණ පිරිසේ සංඛ්‍යාව 7,00,000 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. කෙසේ වුවද එම තරුණයන්ගේ, විශේෂයෙන්ම නාගරික තරුණ පිරිසේ ආකර්ශනය දිනාගැනීමට නම් සියලු දේශපාලන පක්ෂවලට දුෂ්කර කාර්යයක් වනු ඇත. ඡන්දාපේක්ෂකයන් විසින් සිදුකරන දේශපාලන කාර්යයන් කෙරෙහි ඔවුන් තුළ පවතින පිළිකුළ ඊට හේතුවය.

මැතිවරණ කොමිසම මගින් මෑතක සිට පවතින ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවණතා සොයා බැලීමේ සමීක්ෂණයක් මගින් සොයාගනු ලැබ තිබුණේ තරුණ වැඩිහිටියන්, විශේෂයෙන් වයස 30 – 35 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වීම ප්‍රතික්ෂේප කරන බවය. එයින් ඇඟවෙන්නේ පවතින දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් ඔවුන් තුළ බලවත් අකැමැත්තක් පවතින බවය.

ඩේලි එෆ්.ටී.
කතුවැකියකින්

මහ බැංකුව මුළුමනින් දූෂිතයි: අකාර්යක්ෂමයි

- රවි කරුණානායක

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් තම ධූරයෙන් ඉල්ලා අස් වූ හිටපු විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක ඩේලි මිරර් පුවත්පතට පසුගිය බ්‍රහස්පතින්දා (28) සාකච්ඡාවක් ලබාදුන්නේය. ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණේ වාර්තාව නිකුත් වූ පසුව සත්‍යය හෙළිදරව් වනු ඇති බවය. තමන්ට එරෙහිව නැගුණු චෝදනා ගැන කතා කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා තිබුණේ බැඳුම්කර කොමිසම මගින් වාර්තාව නිකුත් කිරීමෙන් පසුව ඒ ගැන තමා කතා කරන බවයි.
එම සාකච්ඡාව තුළ දී රවි කරුණානායක මහ බැංකුව දැඩි විවේචනයකට ලක් කළේය. රජයේ කාර්යභාරය අයහපත් වීමට වගකිව යුත්තේ මහ බැංකුව බවද තමා සහ වත්මන් මුදල් ඇමැතිවරයා ද මුහුණදුන් ලොකුම ගැටලුව මහ බැංකුවේ දූෂිත බව සහ අකාර්යක්ෂමභාවය බවද ඔහු කියා තිබිණි. එතුළ තවමත් හොර කපටින් සිටින බව තමන් සම්පූර්ණ වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් ඔහුගේ පිළිතුරක සඳහන් විය.

ඩේලි මිරර්