2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

අලුත් බලාපොරොත්තු

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

අද 2017 වසරේ අන්තිම දවසය හෙට දිනය උදාවන්නේ අලුත් වසරක පළමුදවස හැටියටය. ගෙවීයන වසරක අවසන් රාත්‍රිය රටේ සමහරුන්ට නම් රුපියල් විසි තිස් දහසේ මිලක් නියම වී ඇති ගාලා ඩිනර් සමඟ තරුපහේ අත්දැකීමකි. තවත් පිරිසකට එතරම් මිල නොවුණත් රුපියල් දහස් ගණන් කෑම බීම සමඟ ගෙවීයන රාත්‍රියකි. මේ සියලු පිරිස සංඛ්‍යාත්මකව ගත්තොත් රටේ ජනගහණයේ ඉතා සුළු ප්‍රතිශතයකි. ඉතිරි සියලු දෙනා අඩු වැඩි වශයෙන් රුපියල් 100ක් ගෙවා ලබාගන්නා පොල් ගෙඩියක් සහ එවැනිම මුදලක් ගෙවා මිලදී ගන්නා සහලින් කිරිබතක් උයාපිහාගෙන ලුණුමිරිසක් තලාගෙන දවස අරඹන පිරිසය. අපි අවධානය යොමු කරන්නේ මුලින්ම කී සුළු පිරිස පිළිබඳව නොව යටින් කී පිරිසේ අලුත් අවුරුද්ද ගැනය.

පොල් ගෙඩියේ සහ සහල් කිලෝවේ මිල ගණන් සඳහන් කරමින් අලුත් අවුරුද්දක් ගැන කතා කිරීම කෙනකුගේ විවේචනයට හේතු වියහැක. එහෙත් රටේ වැඩිදෙනකුගේ මාතෘකාව බවට ජීවන වියදම පත්ව තිබෙන විට එයින් බැහැරව අලුත් අවුරුද්ද ගැන කතා කිරීමෙන් පලක් නැත. පරණ අවුරුද්දේ අවසන් දින කිහිපය තුළ නොව මාස කිහිපය තුළම බහුතරයක් ජනතාව සිටියේ ජීවන වියදමේ බරින් මිරිකෙමිනි. එම බර අඩුකිරීමට ආණ්ඩුව ක්‍රියාමාර්ග කිහිපයක්ම ගත් බවද අපට මතකය. මේ ගැටලුව කැබිනට් රැස්වීම් ගණනාවක් ද කතාබහට ලක්වූ බවත් අපට අහන්නට ලැබිණි. එහෙත් කොතැනක හෝ බලවත් වරදක් සිදුව ඇත. ආණ්ඩුව ගත් එම පියවර හේතුවෙන් ජීවන වියදම අඩුවී නැත. තවමත් පොල්ගෙඩිය රුපියල් 100ය. සහල් මිල ගණන්ද එසේමය. ඉතින් ඒ ගැන කතා නොකර අලුත් අවුරුද්ද ගැන කවර කතාද?

අදත් අවුරුද්දේ මේ සියලු පීඩා පොදු මහජනතාවගේ කරමතින් ඉවත් කිරීමට සාධනීය පියවර ගතයුතු බව අපි තදින්ම කියා සිටිමු. වසර තුනකට පසුව මුළු රටම ආවරණය වන පරිදි මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වන අවස්ථාව ජනතාවට සහන සැලසීමට හොඳ පසුබිමක් සපයන බව නොරහසකි. එහෙත් දැන් අවශ්‍යව තිබෙන්නේ එවැනි තාවකාලික පැලැස්තර සහන ලබාදීමක් නොවේ. කිසියම් විධිමත් තිරසාර විසඳුම් ලබාගැනීමට සිදු කෙරෙන වැඩපිළිවෙළකි. සැලසුම් සහගත ක්‍රියාවලියකි. ඒ සඳහා සති කිහිපයකට බලපාන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීම පමණක් ප්‍රමාණවත් නැත. ජනතාවට දැනෙන වෙනසක් කිරීම අවශ්‍යය. එම වෙනස දැනට රටේ බරපතළ ගැටලුවක් බවට පත්ව තිබෙන ජීවන වියදම අඩුකිරීම වෙනුවෙන් පළමුව ක්‍රියාත්මක වීම වඩාත් වැදගත් බව අපි සඳහන් කරමු.

ආණ්ඩුවට ලබන වසරේ ජයගැනීමට තිබෙන එකම අභියෝගය ජීවන වියදම පමණක් නොවේ. ලබන පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පුංචි ඡන්දයේ ප්‍රතිඵල සමගින් උද්ගත වියහැකි දේශපාලන කම්පනවලට ද රජයට මුහුණ දීමට සිදුවනු ඇත. ප්‍රතිඵල කුමක්දැයි කල්තබා කිවනොහැකි වුවද තමන් බලයට පත්කිරීමේදී ජනතාවට ලබාදුන් ප්‍රධාන පෙළේ පොරොන්දු කිහිපය හෝ ඉටුකර දීමට අපොහොසත් වීම නිසා ජනතාවගේ බලාපොරොත්තු කඩවී තිබෙන බව ආණ්ඩුවට දැන් තේරුම් ගොස් තිබිය යුතුය. කඩවුණු පොරොන්දු මැද ගමේ ආණ්ඩු පිහිටු වීමට ඡන්දය ඉල්ලා ගමට යාම පහසු නැත. ඡන්දයේ ප්‍රතිඵල විසින් දේශපාලන කම්පන ගණනාවක් සිදුවීමට ඉඩ තිබෙන බව කල්තබා කිව හැක්කේ එබැවිනි.

බැලූ බැල්මට ගෙවීයන අවුරුද්දේ බොහොමයක් කාලවලදී පෙනෙන්නට තිබුණේ ආණ්ඩුව තම තමන්ගේ ගැටලු විසඳාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබූ බවය. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න ගොඩගැසීම පමණි. දෙසැම්බර් මාසය වනවිට රට පුරා පොහොර හිඟයක් ඇති වීම මීට එක් උදාහරණයක් පමණි. නියඟය නිසා කන්න හතරක් තිස්සේ ගොවිතැනක් කරගැනීමට නොහැකිව අසරණව සිටි ගොවි ජනතාව පසුගිය දිනවල ඇදහැළුණු වැසි කිහිපය සමඟ ගොවිතැනට ලකලැහැස්ති වුවද ආණ්ඩුව පැත්තෙන් ඊට කිසිම සූදානමක් නොතිබිණි. පොහොර හිඟවීමට කොතරම් හේතු දැක්වූවද ජනතාවට ඉන් පළක් නැත. ගොවිජනතාව පොහොර හිඟයකට මුහුණ දෙනු ඇති බව කල් තබා හඳුනාගෙන එයට පිළියම් යෙදීම ආණ්ඩුවේ යුතුකමය. එය ඉටුනොවුණු කල ජනතාව දොස් කියන්නේ ආණ්ඩුවටය. මෙවැනි සිදුවීම් අලුත් අවුරුද්ද තුළ සිදුනොවනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනාවය.

වංචා සහ දූෂණ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ද ගෙවීයන අවුරුද්ද තුළ කැපී පෙනෙන ජයග්‍රහණ ලබාගැනීමට ආණ්ඩුව සමත් නොවූ බව අපගේ විශ්වාසයයි. බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති විසින් පත්කරන ලද කොමිෂන් සභාව පමණක් මෙහිදී කැපී පෙනුණද විවිධ වංචා සහ දූෂණ චෝදනා ලක්වූවන්ට ආණ්ඩුවෙන් සැලකිලි ලැබීම දිගින් දිගටම සිදුවිය. පුංචි ඡන්දය සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලැයිස්තු පරීක්ෂා කිරීමෙන් වුවද ඒ සඳහා උදාහරණ සොයාගත හැකිවනු ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මාසිකව කෝටි ගණන් කුලී මුදල් ගෙවන අලුත් ගොඩනැගිල්ල ද වසර පුරාම කතාබහට ලක්විය. එහෙත් එම කුලී මුදල් තවමත් ගෙවාගෙන යයි. වරද කාගේදැයි තවම කිසිවෙක් නොදනිති. එහෙත් රටේ ජනතාවගේ බදු මුදල් කෝටි ගණනින් වාෂ්ප වෙයි. මේ වැරදි හදාගන්නා පැත්තට පියවර කිහිපයක් හෝ තැබීම අවශ්‍යය.

අලුත් අවුරුද්දේ බලාපොරොත්තු මොනවාදැයි රටේ සාමාන්‍ය පුරවැසියකුගෙන් විමසුවොත් ඔහුගෙන් පළවන අදහස් කිහිපයක් අපි එසේ සඳහන් කරන්නේ ඒවාට ඔවුන් විසඳුම් බලාපොරොත්තු වන බවද සටහන් කරමිනි. අලුත් අවුරුද්දක් උදාවෙද්දී ඕනෑම කෙනකුට අලුත් බලාපොරොත්තු ඇතිවීම ස්වාභාවිකය. ආණ්ඩුවකට ද එසේමය. විපක්ෂයට වුවද එහි වෙනසක් නැත. මහජනතාව මේ සියලු පාර්ශව නියෝජනය කරයි. මහජනතාවගේ බලාපොරොත්තු ඉටුකරනවා යනු ආණ්ඩුවේ බලාපොරොත්තු ඉටුවීමකි. ඒ සඳහා වගකිවයුත්තෝ කොතරම් දුරට කැපවී ක්‍රියාකරනු ඇතිදැයි අපි බලාසිටිමු. ආණ්ඩුව අවුරුදු සුබ පැතුම් තුළින් ජනතාව තුළ අවදි කරන අලුත් බලාපොරොත්තු වසර අවසානය වනවිට ඉටුවී තිබේ නම් ආණ්ඩුවට සතුටු විය හැකිය. ජනතාවටද එසේම සතුට දැනෙනු ඇත.