2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

කවුද බබා

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 192

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද සහභාගි වූ රූපවාහිනී සංවාදයක් පසුගිය බදාදා පෞද්ගලික නාළිකාවක් විකාශය කළේය. කොමිසමේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නීති ලේකම්වරයා ද සහභාගි වූ එම සාකච්ඡාවේ දී මහින්ද දේශප්‍රිය මහතා මිශ්‍ර ඡන්ද ක්‍රමය ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධව කරුණු පැහැදිලි කළේය. එහිදී ඔහු එක් කරුණක් පිළිබඳ තම බලවත් කනගාටුව ප්‍රකාශ කළේය. තමන් දිගින් දිගටම ඉල්ලීම් කළත් පළාත් පාලන, පළාත් සභා සහ ජාතික මැතිවරණ නිශ්චිත දිනයක පැවැත්වීම සඳහා වන නීතියක් සම්මත කිරීමට රජය කටයුතු නොකිරීම එම කනගාටුවට හේතු වී තිබිණි.

පුංචි ඡන්දය දිගින් දිගටම කල් යද්දී ඒ ගැන ජනතාවට වගඋත්තර බඳින්නට සිදු වූ එක් ප්‍රධාන චරිතයක් වූයේ මහින්ද දේශප්‍රිය මහතාය. මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු ගැන අදහස් පළ කරන්නට ගොස් ඔහු අසීරැතාවලට මුහුණදුන් අවස්ථා ද තිබුණි. මේ නිසා ඡන්ද පැවැත්වීම නිශ්චිත දිනයක සිදුකිරීම නීතිගත කරවාගැනීම සඳහා ඔහු තුළ පවතින දැඩි අවශ්‍යතාව තේරැම් ගැනීම අපහසු නැත. මැතිවරණ කොමිසම පමණක් නොව රටේ ජනතාව ද නිශ්චිත දිනයක ඡන්ද පවත්වනවාට කැමැති වන බවට සැකයක් නැත. එවැනි යෝජනාවකට අකැමැති වන පිරිසක් සිටී නම් ඒ දේශපාලනඥයන් පමණි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ට ඕනෑ වෙලාවක ඡන්දය පැවැත්වීමට නීතියක් තිබීම පමණි. කොටින්ම ලංකාවේ ඡන්ද පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමට හෝ ජනතාවට උවමනා දවසට නොව දේශපාලන නායකයන්ට උවමනා දවසටය. බලයේ සිටින නායකයන්ගේ කැමැත්ත හිමිවෙන දවසටය.

ලංකාවේ ආණ්ඩුවල පුරුද්ද වී තිබුණේ තමන්ට වාසිදායක වාතාවරණයක දී අදාළ ඕනෑම ඡන්දයක් පැවැත්වීමය. ඒ අනුව ලබන පෙබරවාරි 10 වැනිදා ඡන්දය පැවැත්වීමට දින නියම වී ඇත්තේ ආණ්ඩුවට වාසිදායක පරිසරයකද? නැත්නම් විපක්ෂයට ගොඩ යා හැකි පරිසරයකද? ඒ ගැන අදහසක් ගන්නට නම් මේ දිනවල ආණ්ඩුවේත් විපක්ෂයේත් කියුම් කෙරුම් ගැන විපරම් කළ යුතුය.

ආණ්ඩුව කරන පක්ෂ දෙක පුංචි ඡන්දයට නාමයෝජනා ලබාදෙන්නේ වෙන වෙනම තරග කිරීමටය. ඡන්දයෙන් පසුව වුවද ශ්‍රීලනිපයත් යූඑන්පියත් එක් වී ප්‍රාදේශීය සභා, නගර සභා හෝ මහ නගර සභා පිහිටුවීමට කිසිම ගිවිසුමක් එකඟත්වයක් නැත. ශ්‍රීලනිපය කියන්නේ තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පන්නරය මේ ඡන්දයෙන් ගන්නා බවය. යූ.එන්.පි. කියන්නේ ද පළාත් පාලන ආයතන වැඩිම සංඛ්‍යාවක බලය තනිවම තහවුරු කර ගැනීම තමන්ගේ පක්ෂයට ප්‍රශ්නයක් නොවන බවය. එකට කෑවත් බොක්ක වෙනස් න්‍යාය ආණ්ඩුවේ පාර්ශ්ව දෙකම විසින් අනුගමනය කරන බව පැහැදිලිය.

මේ තත්ත්වය වඩාත්ම පැහැදිලි වූයේ ඩිලාන් පෙරේරා පසුගියදා බ්‍රහස්පතින්දා (21) කළ ප්‍රකාශයකිනි. ශ්‍රීලනිප නාමයෝජනා ප්‍රතික්ෂේප වූ දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප්‍රාදේශීය සභා ඡන්දයේ දී ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ සහාය ලබාදෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ඔහු කියා තිබිණි. ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශකයා ද වන ඩිලාන් ජනාධිපති මෛත්‍රීපාලට සමීප අමාත්‍යවරයෙකි. ඔහු මෙවැනි ප්‍රකාශයක් ආවාට ගියාට නොකරන බව වඩාත් පැහැදිලි වූයේ ඊළඟට කළ සඳහන සමඟිනි.

මේ පළාත් පාලන මැතිවරණයෙන් එජාපය බලය ඇල්ලුවොත් ගෝඨාභය රාජපක්ෂ මහතා හිරේ දානවා. ඒ නිසා අපේ පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහත්තයා තමන්ගේ බබා දේශපාලනය නතර කර දැමිය යුතුයි. ඒ වගේම නාමල් රාජපක්ෂගේ ළපටි දේශපාලන වැඩත් නවත්වන්න ඕනෑ. නොමේරූ බබා දේශපාලනය නිසා ශ්‍රීලනිප හා ඒකාබද්ධ එක්වීමට පැවැති සාම සාකච්ඡා බිඳවැටුණා. ඒ නිසා අපි සේරම කරදරේ වැටුණා. අපි කවුරුත් ආදරේ කරන මහින්ද මහත්තයා මේ ඡන්දෙන් පස්සේ ගෙදර යවලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් හිරේ යවලා, බැසිල් රාජපක්ෂ රජගෙදරට යවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ සැලසුම කඩාකප්පල් කරන්න අපි කවුරුත් එකට එක්විය යුතුයි.

ඩිලාන් මේ ගහන්නේ මහින්දට නොව මහින්දගේ වටේ සිටින පිරිසකටය. ඔහු උවමනාවෙන්ම නාමල් කරන්නේ ළපටි දේශපාලනයක් බවට චෝදනා කරයි. එසේම දුමින්ද දිසානායක දේශපාලන බබෙක් වශයෙන් හඳුන්වයි. ඡන්දයක් කටේ තබාගෙන තමන්ගේ පක්ෂයේ මහ ලේකම්වරයා බබෙක් වශයෙන් හැඳින්වීමට ඩිලාන් අහේතුකව පෙළඹෙන්නේ නැති වග ස්ථිරය.

ශ්‍රීලනිපයේ අත පොහොට්ටුවට මෙසේ දිගුවෙන විට පොහොට්ටුව පැත්තෙන් ඇසෙන්නේ එම යෝජනාව නොසලකා නොසිටින බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමට පුරෝගාමී වූ බැසිල් රාජපක්ෂ අපගේ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබුණේ ඩිලාන් පෙරේරා මහත්තයලා එක්ක වැඩ කරන්න තමන්ට ද හැකියාවක් තිබෙන බවය. කරන්නේ කුමක්දැයි සාකච්ඡාවක් නොතිබුණත් ඩිලාන්ලාගේ පැත්තෙන් කෙරෙන යෝජනාවට පොහොට්ටුවේ අකැමැත්තක් නැති බව පැහැදිලිය.

මේ අතර මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ප්‍රධාන කථිකයකු වන රෝහිත අබේගුණවර්ධන පසුගිය බ්‍රහස්පතින්දා (21) ප්‍රකාශ කර තිබුණේ රජය නියෝජනය කරන කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරැන් දහ දොළොස් දෙනෙක් හෙට අනිද්දා වන විට මහින්ද රාජපක්ෂ මහතා ළඟට පැමිණෙන බවය. මේ වන විට ඒ ගැන සාකච්ඡා පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කර තිබුණි. නියෝජ්‍ය ඇමැති නිමල් ලාංසා නාමයෝජනා කැඳවන අතරවාරයේ දී මහින්ද රාජපක්ෂ මහතා සමඟ අත්වැල් බැඳගත් බවද ඔහු සඳහන් කළේය.

ඔහු එසේ කිව්වත් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප කණ්ඩායමත් මෛත්‍රීපාල පාර්ශ්වයේ ශ්‍රීලනිප කණ්ඩායමත් තවම ඉන්නේ දෙගිඩියාවෙන් බව පැහැදිලිය. සමහරැන් සිටින්නේ පනින්න පෙර සිතා බලනු තත්ත්වයේ බවද පෙනෙන්නට තිබේ. පැන්නත් පනින්නේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ වීමෙන් පසුව නිසා මීටරය කැරකෙන පැත්තට පැනිලි වැඩි වීමට ඉඩ තිබේ.

කෙසේ වුවද ඩිලාන් පොහොට්ටුව ගැන සෙනෙහසකින් කතා කළත් බැසිල් පසුගිය සතියේ රෑපවාහිනී විවාදයක දී සඳහන් කළේ ශ්‍රීලනිපය ඡන්දයෙන් පරාජය කළ යුතු බවය. පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන්නේ එසේ වූවොත් බවද ඔහු සඳහන් කර තිබිණි. මේ කතාබහ වලින් එළියට එන්නේ එකම පක්ෂයක දෙපිරිස අතර පවතින බල අරගලයේ ස්වභාවයයි. ශ්‍රීලනිපයට දැන් ඇත්තේ බෝඩ් ලෑල්ලයි, පක්ෂ ලාංඡනයයි නමයි පමණක් බවද බැසිල් අපගේ සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබුණත් එය එසේම දැයි අවබෝධ කර ගැනීමට හැකි වන්නේ ඡන්ද ව්‍යාපාරය තුළදී බව නම් පැහැදිලිය.

පළාත් පාලන ආයතන 341 ක් පුරා විහිදෙන ඡන්දයක ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමද දුෂ්කර කාර්යයකි. මහත් වියදමක් දැරිය යුතු ව්‍යාපෘතියකි. කොට්ඨාස මට්ටමින් සිදුකෙරෙන ඡන්දයක් බවට ප්‍රකාශ වී තිබුණ ද සමානුපාතික ක්‍රමය අනුව ද සභිකයන් තෝරාපත් කර ගැනීම සිදුවන බැවින් දිස්ත්‍රික්කය පුරාම ඡන්ද ව්‍යාපාරය ගෙන යාමට ඉදිරියෙන්ම සිටින සියලු පක්ෂවලට සිදුවනු ඇත. තෝරාගනු ලබන සභිකයන් අතුරින් 60% ක් කොට්ඨාස මට්ටමින් සිදුවනු ඇති අතර සමානුපාතික ක්‍රමය යටතේ ඉතිරි 40%ක සංඛ්‍යාව තෝරාගනු ලැබීම නිසා ඡන්ද දායකයන් හැකි තරම් ඡන්ද පොළට කැඳවාගෙන එන තරමට ඡන්ද අපේක්ෂකයන්ට වාසියක් ගැනීමට හැකිය. එහෙත් විපක්ෂයේ සිටින පක්ෂවලට මෙය එතරම් පහසු වැඩක් නොවේ. ආණ්ඩු බලය අතැතිව සිටින පක්ෂයකට සිදුකළ හැකි බලපෑම් අඩු තක්සේරුවකට ලක් කිරීම විපක්ෂයට අවාසිදායක විය හැක්කේ එබැවිනි. ඡන්දෙන් පැරදුණොත් කොතරම් ගණං හැදුවත් පළක් නැත.

මෙහිදී දේශපාලන පක්ෂවල නායකයන් ඡන්ද සටනට අවතීර්ණ වන ආකාරය ද වැදගත් වෙයි. ශ්‍රීලනිප නායකයා රටේ ද නායකයා වන නිසා ඔහුට ජනතාව අමතන රැලි පැවැත්වීමට අවහිරයක් නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් දිස්ත්‍රික්කයක් පාසා රැස්වීම් 22 ක් පවත්වන බවය. මේවා කෙලින්ම ඡන්ද රැස්වීම් නොවූවද ඒවායින් ආමන්ත්‍රණය කරනු ඇත්තේ රටේ ඡන්ද දායකයන් බවට සැකයක් නැත. එම රැස්වීම් සංවිධානය කිරීම සඳහා සියලු පහසුකම් සපයා ගැනීම ද වැළැක්විය නොහැකි වනු ඇත. ඒවාට සෙනඟ ගෙන්වාගැනීම දිස්ත්‍රික් සංවිධායකවරැන්ට පැවැරෙන නිසා ලොක්කාගෙන් ලකුණු ගන්න නම් සෙනඟ පුළුවන් තරමට ගේන්න ඕනෑ ආකල්පයෙන් කටයුතු කිරීමට ඔවුන්ට බලකෙරෙනු ඇත.

පොදුජන පෙරමුණ ගැටලුවලට මුහුණදෙනු ඇත්තේ මේ ආකාරයට සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රැස්වීම් සංවිධානය කිරීමේදීය. මේ සෑම ලොකු රැස්වීමකටම මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම ඒ ඒ සංවිධායකයන්ගේ බලාපොරොත්තුව බවට සැකයක් නැත. කොතරම් අපහසු වුවද ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවනු ඇත. එසේ වුවත් හැම කොට්ඨාසයකටම ඔහුට යාමට පුළුවන්කමක් නැත. මේ නිසා පොදුජන පෙරමුණේ සංවිධායකවරැන්ට සෑහෙන කට්ටක් කෑමට සිදුවන ලකුණු පහළ වෙමින් තිබේ. ශ්‍රීලනිපය ඇතුළත ගැටලුව නිරාකරණය කර ගනිමින් පක්ෂය සමගි කිරීමට දැරූ වෑයම තුළ මහින්දට සම්බන්ධ පළාත් පාලන ආයතන සංවිධායකවරුන් දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට හේතුව එය වීමට බොහෝදුරට ඉඩ තිබේ. ඔවුන්ට තරග කිරීමට සිදුවන්නේ යූ.එන්.පී. සංවිධායකයන් සමඟ පමණක් නොවේ. තමන්ගේම පක්ෂයේම සංවිධාකයන් ද සමඟිනි. ඊටත් අමතරව මනාප ඡන්ද ද මෙහිදී ගණනය කරනු ලැබීම නිසා ඒකාබද්ධ විපක්ෂය තුළ සිටි සෙසු සුළු පක්ෂවල සංවිධායකයන් සමඟ ද ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. මේ සියල්ල තෝරා බේරාගෙන සටනක් දිය හැකි වන්නේ පාක්ෂිකයන් තමන් වටා රොක් වුවහොත් පමණි. දකුණේත් සබරගමුවේත් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේත් මහින්දට තිබෙන ඉල්ලුම සෙසු ප්‍රදේශවලද එලෙසම පවතින බවට උපකල්පනය කිරීම අධිතක්සේරුවක් වීමටද ඉඩ තිබෙන්නේ එබැවිනි.

යූ.එන්.පී.යද සන්ධානගතව තනි ලකුණක් යටතේ ඡන්දයට ඉදිරිපත් වුවද ඔවුන්ගේද ගැටලු පවතින බව පැහැදිලිය. ඇතැම් නාමයෝජනා ලැයිස්තුවලට සමහර සංවිධායකයන්ගේ කැමැත්ත හිමි වී නැත. අනෙක් අතට 2015 දී තිබූ ජනප්‍රියත්වය මේ වනවිට පහළ මට්ටමකට වැටී පාක්ෂිකයන්ගේ කලකිරීම ඉහළට නැග තිබෙන අවස්ථාවක මේ ඡන්දය පැවැත්වෙන බව යූ.එන්.පී.ය නොදන්නවා විය නොහැක. මෙවර පවතින මිශ්‍ර ක්‍රමය නිසා පාක්ෂිකයන් ඡන්ද පොළට ගෙන්වා ගැනීම යූ.එන්.පී.යටද වැදගත් වන්නේ එබැවිනි. ශ්‍රීලනිපයේ බෙදීම නිසා තමන් නිතැතින්ම අංක 1ට පත්වේ යැයි යූ.එන්.පී.ය සිතීම දේශපාලන මුලාවක් බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. ශ්‍රීලනිපයේ බල අරගලය නිසා එම පාක්ෂිකයන් වැඩිපුර ඡන්දපොළට ඇදී ඒමේ අවස්ථාවක් තිබෙන බවද සමහරුන් පෙන්වා දී තිබේ. ඡන්ද ව්‍යාපාරය සැහැල්ලුවෙන් සිදුකිරීමට හැකිවනු ඇතැයි යූ.එන්.පී.ය සිතනවා නම් එය බරපතළ වැරදීමක් වීමටද ඉඩ ඇත.

දැනට පවතින මේ වාතාවරණය අනුව පෙනෙන්නේ පෙබරවාරි 10 වැනිදා ඡන්දය යෙදීම ආණ්ඩුවේ උවමනාවකට සිදුවූවකට වඩා ඡන්දය පැවැත්වීමට බලකිරීමක් නිසා සිදුවූ බවය. මේ බලකිරීම සිදුවන තැනට වැඩකළේ මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ඒකාබද්ධයේ වැඩපිළිවෙළ බව මෙහිදී කැපී පෙනෙන සාධකයයි. එසේ වුවද මහින්ද සාධකය පුංචි ඡන්දයේ කුමන පෙරළියක් සිදුකරනු ඇතිදැයි පැවැසීමට ඉක්මන් විය යුතු නැත.

ශශීන්ද්‍ර