2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

ඡන්දෙට පෙර ආරක්ෂක සේවාවේ ණය කපාහැරීමක්

නිල ඇඳුම්ධාරී සේවාවල නියුක්ත වූවෝ සැබැවින්ම වාසනාවන්තයෝය. තම තමන්ගේ අදාළ ආයතනවලින් ඔවුන් ලබාගෙන ඇති ණය මුදල් කපාහැරීමට ඉඩක් තිබෙන බව සඳහන්ය. මෙතෙක් ලබාගෙන ඇති ණය මුදලට අදාළ පොලිය පමණක් ගෙවීමට ඉඩ සලසමින් මේ සහනය ලබාදීමට නියමිත බවද කියයි.

මේ වෙනුවෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවක් රජය දැඩි සැලකිල්ලකින් යුතුව සලකා බලමින් සිටින බව සඳහන්ය. නිල ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබුණේ ඉදිරි සති කිහිපය තුළදී මේ තීන්දුව ගැනීමට නියමිත බවය. නිසැකවම එය ඡන්දය පෙර දිනයක් වනු ඇත.

සන්ඩේ ටයිම්ස්

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිට සේවා දිගුවක්

මේ මාසය අගදී - දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ මහතාගේ ධූර කාලය ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබ තිබේ.

ඔහුගේ සේවා කාලය අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. එතැන් සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ඔහුට සේවා දිගුවක් ලබා දී තිබිණි.

- සන්ඩේ ටයිම්ස්

කෝටි 600ක සුරා බද්ද “මෙන්ඩිස්” ගෙවයි

පෞද්ගලික මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් මුදල් අමාත්‍යාංශයට ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 600ක සුරා බද්දක් ගෙවීම ඔවුන්  අත්හිටුවා තිබිණි. 

මේ පුදුමාකාර හිඟ මුදල කාලයක් තිස්සේ එකතුවෙමින් තිබිණි. මීට සති කිහිපයකට පෙර මුදල් අමාත්‍යාංශය මගින් මෙන්ඩිස් සමාගමට අවසන් නිවේදනය යවා තිබුණේ එහි මෙහෙයුම් බලපත්‍රය අහෝසි කිරීමේ පියවර ගැනීමට පෙරය.
ඒ සමඟ භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබූ රැපියල් කෝටි 600ක හිඟ මුදල ගෙවා දමනු ලැබීය.

- සන්ඩේ ටයිම්ස්

නමින් පුංචියි: වැඩේ ලොකුයි

පළාත් පාලන මැතිවරණය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ පුංචි ඡන්දය වශයෙනි. නමුත් මැතිවරණයට අදාළ සංඛ්‍යා ලේඛන පවසන්නේ වෙනම කතාවකි. එනම් මෙය කිසිසේත්ම පුංචි ඡන්දයක් නොවන බවය.

මෙවර ඡන්දය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවා තිබේ. ඒ අනුව වැඩිම ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටින්නේ මෙවර පුංචි ඡන්දයේදීය. එසේම අදාළ පනත් සංශෝධන සහ සීමා නිර්ණය කමිටුවේ නිර්දේශ මත පදනම් වූ නීතිමය වෙනස්කම් හේතුවෙන් මෙතෙක් 4486ක්ව තිබූ තෝරාගනු ලබන සභිකයන්ගේ සංඛ්‍යාව 8356 ක් දක්වා දෙගුණයකින් පමණ වැඩි වී තිබේ. මේ අනුව මැතිවරණ ඉතිහාසයේ වැඩිම සභිකයන් සංඛ්‍යාවක් තෝරාපත් කරගනු ලබන ඡන්දය වන්නේ ද මෙයයි. (මෙයට පෙර 1972 දී පැවැති පැරණි ගම්සභා ඡන්දයේදී 8000කට වැඩි සභිකයන් පිරිසක් තෝරාගනු ලැබුවද ඔවුන්ට රටේ ජනතාවගේ බදු මුදලින් ලොකු වැටුපක් හෝ වෙනත් දීමනා ලබාදුන්නේ නැත.)

මෙම සභිකයන් සංඛ්‍යාව තෝරාගැනීම සඳහා තරග බිමට බැස සිටින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 35,000 කි. එය මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාව වශයෙන් සැලකෙයි.

කලින් 337ක්ව තිබූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 341 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් පුංචි ඡන්දයකදී වැඩිම ආයතන සංඛ්‍යාවක් සඳහා ඡන්දය විමසන අවස්ථාව ද මෙය වෙයි.

ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ද මෙවර පුංචි ඡන්දය වාර්තාවක් පිහිටුවා තිබේ. පිළිගත් දේශපාලන පක්ෂයක සෑම අපේක්ෂකයකු සඳහාම රුපියල් 1500ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර ස්වාධීන කණ්ඩායම් සෑම අපේක්ෂකයකුටම රුපියල් 5000ක ඇප මුදලක් තැන්පත් කළ යුතුය. පිළිගත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 1500කින් වැඩි කිරීමෙනුත් ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් වන අපේක්ෂක සංඛ්‍යාව 5000කින් වැඩි කිරීමෙනුත් තැන්පත් කර ඇති ඇප මුදල කොපමණදැයි ගාණ හදාගත හැකිවනු ඇත. එය රැපියල් කෝටි ගණනක් වන බව අපේක්ෂක සංඛ්‍යාව 35,000 ක් වීමෙන් වටහාගත හැකිය.

නමින් පුංචි වුණාට මෙවර පළාත් පාලන ඡන්දය ලොකු වාර්තා තබා ඇති බව මේ සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.