2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ඡන්ද නීති හා ලේබල්

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

යුද්ධයකදී මුලින්ම වින්දිතයා බවට පත්වන්නේ සත්‍යය බව කියති. ඡන්දයකදීත් එය එසේම විය යුතුද? අප සිතන්නේ එසේ නොවිය යුතු බවය. එහෙත් රටේ දේශපාලනඥයන් නම් එසේ සිතන බවක් පෙනෙන්නට නැත. එසේ සිතනවා නම් එළිපිට ඡන්ද නීති උල්ලංඝනයක් සිදුවීමට කිසිදු ඉඩක් තිබිය නොහැකිය. වටපිට තාප්ප බිත්ති බලද්දි පෙනෙන්න තිබෙන්නේ ඡන්ද නීති උල්ලංඝන සිදුවන බවට පෙරනිමිතිය.

තවම හරිහැටි ඡන්ද ප්‍රචාරක වැඩසටහන් පටන්ගෙන නැත. නාමයෝජනා ඉදිරිපත් කිරීමේ කටයුතු අවසන් වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (21)ය. එහෙත් තැන තැන තාප්පවල බිත්තිවල පෝස්ටර් වැදීගෙන එයි. විවිධ පාටවලින් නිර්මිත පෝස්ටර් සත් ගුණවත්, දුප්පතාගේ දුක දන්නා, ජනතාවගේ හිතවතා, ගම ඉල්ලන වැනි නානා විධ වැකි, උපමා, උපහරණ සමඟ ජනගත කරමින් පවතී. පෝස්ටර් පසුපසින් බැනර් සහ කටවුට් ද පෙරහරේ පැමිණීමට නියමිත බව මේ පෙරනිමිතිවලින් පැහැදිලි වෙයි. ප්‍රචාරක ව්‍යාපාර දියත් කිරීමටත් ප්‍රථමව මෙසේ සිදුවන විට මැතිවරණ කොමිසම මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත උපමාන ඒ ආකාරයටම ක්‍රියාවේ යෙදවීමට හැකිවනු ඇතිදැයි සැකයක් ඕනෑ කෙනෙකු තුළ පහළවීම සාධාරණය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරණ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ඔහු මැතිවරණ නීති රීති තදින්ම ක්‍රියාවේ යෙදැවීමට අපේක්ෂා කරන බවය. එය යහපත් අපේක්ෂාවකි. පක්ෂ, විපක්ෂ දෙකටම මේ නීති ක්‍රියාත්මක වීම අවශ්‍යය. ආණ්ඩු පක්ෂයට එක නීතියකුත් විපක්ෂ දේශපාලන පක්ෂවලට තවත් නීතියකුත් ක්‍රියාත්මක කළ නොහැකිය. සැමට සාධාරණය ඉටුවන සේ ඡන්ද නීති ක්‍රියාවේ යෙදවෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මේ රටේ කුමන කාලයක ඡන්දයක් පැවතුණත් විවිධ අනිසි ක්‍රියා, අක්‍රමිකතා සහ දූෂණ ක්‍රියා සිදුවූ බව රහසක් නොවේ. මෙවැනි ක්‍රියා අති බහුතරය සිදුවන්නේ ආණ්ඩු පක්ෂයේ ඡන්දාපේක්ෂකයන් අතිනි. නීතිය පවා ඒ වැනි අවස්ථාවලදී ආණ්ඩු බලය හමුවේ නැවෙන ආකාරය අපි දැක ඇත්තෙමු. එසේම රාජ්‍ය දේපොළ අනිසි භාවිතය, රාජ්‍ය සම්පත් යොදවා ගැනීම, රාජ්‍ය බලය යොදා විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් බියවැද්දීම වැනි වැරදි වැඩ, නීතිකැඩීම් ගැන දිග ලැයිස්තුවක් සඳහන් කළ හැකිය.

මේ අතර අපට දැනගන්නට ලැබෙන්නේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර්, බැනර් සහ කටවුට් ගැලවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවය. ඒ සඳහා පොලීසියේ සහාය ලබාගන්නා බවද ප්‍රකාශ කර තිබිණි. එපමණක් නොව එම නීති විරෝධී ප්‍රචාරක වැඩ සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන බවද සඳහන් විය. මෙය සිදුවිය යුත්තකි. පොලීසිය ලවා මෙවැනි වැඩ කරවා ගන්නවාට වඩා වෙනත් ඵලදායී ක්‍රමයක් යොදාගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කරන්නේ නම් වඩාත් ප්‍රයෝජනවත් බව අප පවසන්නේ පෝස්ටර්, බැනර්, කටවුට් ගැසීම අතින් ඕනෑම ආණ්ඩුවක කප් ගැසූ පිරිසක් සිටින බව දන්නා බැවිනි. ගලවන, එල්ලන ඕනෑම ප්‍රචාරක පෝස්ටරයක් ඊළඟ මොහොතේ යළිත් ප්‍රදර්ශනය කිරීමට මේ පිරිස තුළ ඇත්තේ විශේෂ හැකියාවකි. එම හැකියාවට ආණ්ඩු බලයද එක්වීමට තිබෙන්නේ විශාල ඉඩකඩක් බැවින් එය වැළැක්වීමට විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත.

ඡන්ද වැඩවලදී රාජ්‍ය දේපළ යොදවා ගැනීම හැම කල්හිම නැගෙන චෝදනාවකි. මෙය නීත්‍යානුකූල සේ පෙනෙන ආකාරයට සිදුකළ හැකි නීති විරෝධී කටයුත්තකි. කාලාන්තරයක් තිස්සේ සිදුවෙමින් පවතින ඡන්ද දූෂණයකි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය දේපොළ ආරක්ෂා කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවත් එම වගකීම පැහැර හරින නිලධාරීන්ට එරෙහිව මැතිවරණ නීතිය තදින්ම ක්‍රියාවේ යොදවන බවත්ය. නමුත් අප දන්නා තරමින් රාජ්‍ය නිලධාරීන්ට උඩින් ක්‍රියාත්මක වන ප්‍රබල දේශපාලන බලවේගවල බලපෑම් හමුවේ බොහෝ රාජ්‍ය නිලධාරීහු අසරණ වෙති. ඡන්දයක් පවතින අවස්ථාවක දේශපාලන බලවතුන් තරහා මරහා කර ගැනීම පාරාවළල්ලක් විය හැකි බව මේ නිලධාරීහු දැන සිටිති. මේ නිසා රාජ්‍ය දේපොළ සහ සම්පත් අනිසි ලෙස ඡන්ද වැඩට යොදවා ගන්නා දේශපාලනඥයන්ට එරහිව නීතිය ක්‍රියාත්මක කිරීමද අවශ්‍යය. දූෂණ ක්‍රියාවලට හවුල් නොවන ලෙසට පනවනු ලබන නියෝග ක්‍රියාත්මක කිරීමේදී රජයේ නිලධාරීන්ට එය මහත් ශක්තියක් වනු ඇත.

නාමයෝජනා බාරදීමේ කටයුතු අවසන් වූ බ්‍රහස්පතින්දාත් ඡන්ද නීති උල්ලංඝනය වූ අවස්ථා ගණනාවක් පිළිබඳව වාර්තා වී තිබිණි. පෙළපාලි පැවැත්වීම, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය. රථ පෙළපාළි යාම දැකගත හැකි විය. සාමය කඩවන සිද්ධීන් වාර්තා වී නොතිබුණද එවැනි ක්‍රියාද වැළැක්වීමට පියවර ගැනීම අවශ්‍ය වන්නේ බරපතළ නීති උල්ලංඝනය කිරීම්වලට එවැනි ක්‍රියාවලින් ලැබෙන උත්තේජනයද බලපාන බැවිනි.

බඩු බෙදීමේ චෝදනාවද මේ රටේ ඡන්ද ඉතිහාසයේ සලකුණකි. එය ඡන්ද දූෂණයක් නොවන බවට හැමවිටම ප්‍රකාශ කරන්නේ ආණ්ඩු බලය අතැතිව සිටින පක්ෂයයි. එය නීති විරෝධීව දකින්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂයයි. බලය හුවමාරු වනවිට මේ චෝදනාද මාරුවෙයි. එහෙත් මැතිවරණ කොමිසමට එසේ මාරැවිය නොහැක. ඔවුන් කවුරුන් බලයේ සිටියත් නීතිය ක්‍රියාවේ යොදවා එවැනි අක්‍රමිකතා වැළැක්වීමට පියවර ගත යුතුය. එහිදී බෙදන භාණ්ඩයේ ස්ටිකරයක් ඇලවීම, පෝස්ටරයට උඩින් මෙය නීති විරෝධී පෝස්ටරයක් යයි තවත් දැන්වීමක් ගැසීම වැනි ක්‍රියාවකට වඩා දැඩි පියවර ගැනීම අවශ්‍ය බව අපගේ වැටහීමය. කෙසේ හො රජයක් තිබුණද මැතිවරණ නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක විය යුතුය. යමෙක් නීතිය නවන්නේ නම් ඒ ගැන බුද්ධිමත් ජනතාව ප්‍රතිචාර දක්වනු නියතය.