2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

ඡන්දය එක්ක විහිළු එපා

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ශ්‍රීලනිපයත් ඒකාබද්ධ විපක්ෂයත් නඩුමගට බසින බව ප්‍රකාශ වී තිබේ. ආයතන 23කදී ලැයිස්තු ප්‍රතික්ෂේප වී තිබුණත් නඩු යන බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මේ පක්ෂ දෙකේ නාමයෝජනා ආයතන 8කදී ප්‍රතික්ෂේප වී තිබේ. නඩුමගට ගියහොත් අදාළ ආයතනවල ඡන්දය කල්යාමට ඉඩ තිබෙන බවද ප්‍රකාශ වී ඇත.

අද නොවෙයි හෙට, හෙට නොවෙයි අනිද්දා වශයෙන් කල්යමින් තිබූ පුංචි ඡන්දයට මේ වැටෙන්න යන තොප්පිය කුමක්දැයි ජනතාවගේ සිතට නැගෙන ලොකුම ප්‍රශ්නය බව නිසැකය. බොහෝ කාලයකට පසුව ඡන්දයක් පැවැත්වීමට කටයුතු යෙදීම සම්බන්ධයෙන් සතුටට පත්ව සිටි ඒ ඒ දේශපාලන පක්ෂවල ආධාරකරුවන් කුමන හේතුවක් නිසා හෝ ඡන්දය කල් යනවාට කැමැති නොවනු ඇත. විශේෂයෙන් සෙසු ආයතනවල ඡන්දය පැවැතෙද්දී තමන්ගේ කොට්ඨාසවල ඡන්දය නොතිබීම ගැන ඔවුන්ට සතුටක් ඇතිවිය නොහැක. මේ නිසා අප විශ්වාස කරන්නේ සියලු ආයතනවල ඡන්දය කල් නොයවා එකම දවසේ පැවැත්වීමට කටයුතු යෙදීම සියලු දේශපාලන පක්ෂවල වගකීමක් බවය.

මේ අතර ඡන්දයට අදාළව විවිධ කාරණා ගණනාවක් ජනතාව අතර කතාබහට ලක්වී තිබේ. එක් දේශපාලන පක්ෂයකින් තවත් පක්ෂයකට පැනීම ඉන් එකකි. තමන්ගේ පක්ෂය සමඟ තරහා වී ස්වාධීන කණ්ඩායම් වශයෙන් තරග කිරීම තවත් එකකි. කවදත් අමුතු ජාතියේ කතා කියා රටේ මාතෘකාවක් බවට පත්වෙන ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ පොලිස් කතාව ද එයින් එකකි.

ජෝන් අමරතුංග යනු මෙරට සිටින ජ්‍යෙෂ්ඨම දේශපාලනඥයෙකි. 1978 වසරේ සිට මේ දක්වා අඛණ්ඩවම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වාසනාව ලැබූ මන්ත්‍රීවරුන් කිහිපදෙනා අතුරින් එක් අයෙකි. මෙවැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු සිදුකරන ප්‍රකාශයක් සුළුවෙන් බැහැර කිරීමට හැකියාවක් නැත. 

ජෝන් ඇමැතිවරයා ඡන්දය ගැන ළඟදීම සිදුකළ කතාවද රටේ දේශපාලන කරළිය තුළ රසවත් කටගැස්මක් බවට පත්වී තිබේ. “මේ සැරේ රජයත් අපේ. පොලීසියත් අපේ. ඒනිසා බයක් හැකක් තියාගන්න එපා. අපට ඕනෑකරන්නේ තමුන්නාසේලාගේ කතිරය පමණයි.” යනුවෙන් ඇමැතිවරයා කියා තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පුංචි ඡන්දයේදී තම පාක්ෂිකයන්ට පණිවුඩයක් දෙමිනි. වත්තල ගල්වැටියේ දී පැවැති මාබෝල නගර සභාවට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධානය කර තිබූ රැස්වීමකදී ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදු කරන්නට ඇත්තේ ඔවුන්ගේ “මොරාල්”එක නැංවීම සඳහා වියහැකිය. එහෙත් එම ප්‍රකාශය ආණ්ඩුව ඡන්දය කරන්න හදන ක්‍රමය ගැන කිසියම් ඉඟියක් ලබාදීමක් වශයෙන් ද සැලකීම වැරදි නැත. ඉඟිය හරි නම් වැඩේ “ක්‍රිමිනල්” වන බවට කතා දෙකක් නැත.

ආණ්ඩුවයි, පොලිසියයි දෙකම අපේ යැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු කරන ප්‍රකාශය විහිළුවක් වශයෙන් බාරගැනීමට රටේ ජනතාව සූදානම් නැති බව කිව යුතුය. විශේෂයෙන්ම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මුල්වරට ජනතාවගේ “හද ගැස්ම” ටෙස්ට් කරන මැතිවරණයක් ළඟ තබාගෙන පොලීසිය අපේ අතේ යැයි පැවසීම තර්ජනයක් වශයෙන් ආණ්ඩුවේ නොවන පාර්ශව විසින් බාර ගැනීමට ඉඩ තිබේ. මේ රටේ පුංචි ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් බලයේ සිටි සියලුම ආණ්ඩුවලට ඇති අපකීර්තිමත් ඉතිහාසය සැලකීමේදී  එම ප්‍රකාශයට ලොකු වටිනාකමක් තිබෙන බවද සඳහන් කිරීම අවශ්‍යය.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ අක්‍රමිකතා, දූෂණ, වංචා, හොර මැරකම් නවතා දමන බවට කප්පරක් පොරොන්දු දෙමිනි. නිදහස් සහ සාධාරණ ඡන්ද පැවැත්වීම එම පොරොන්දුවල එක් ප්‍රධාන කොන්දේසියකි. එසේ වුවද පොලිසියත් අපේ ආණ්ඩුවත් අපේ බය වෙන්න එපා යැයි සිදුකරන ප්‍රකාශය තුළින් පෙනෙන්නට තිබෙන්නේ එම සියලු පොරොන්දු කනපිට හැරවීමට ආණ්ඩුව සූදානම් බව නොවේද? එය යහපාලනයක සලකුණක් ද නැතහොත් මැර පාලනයකට අතවැනීමක් ද? මේ ප්‍රශ්න ජනතාවට තිබේ. ඡන්දයට නාමයෝජනා දීමටත් කලින්ම කතාව මෙහෙම නම් ඡන්දයේදී හැසිරීම කෙසේ වනු ඇතිදැයි මධ්‍යස්ථ ඡන්ද දායකයන්ට සිතාගැනීම අපහසු නැත.

ජෝන් අමරතුංග මහතා මේ රජය යටතේ මුලින්ම පොලිසිය භාරව කටයුතු කළ ඇමැතිවරයා විය. ඔහු පසුව සංචාරක ඇමැති ධූරයට පත්කරනු ලැබුවේ වැඩ හොඳ නිසාද නරක නිසාද යන්න මේ අවස්ථාවේදී තීරණය කිරීම අපහසුය. නමුත් පොලීසිය භාරව සාගල රත්නායක ඇමැතිවරයා සිටියදී ඡන්දයේදී පොලිසිය අපේ යැයි කීමට තරම් ජෝන් අමරතුංග ඇමැතිවරයා ඉක්මන් වීම විහිළුවට කාරණාවක් නොවන බව පැහැදිලිය. මැතිවරණයකදී ජනතාවට විහිළු සැපයීම ඇස් රතුවෙන වැඩක් වීමට ද ඉඩ තිබෙන බව අමතක නොකළ යුතුය. අනෙක් අතට ඡන්දයත් පැවැත්වෙන අවස්ථාවක පොලීසියේ කටයුතු ද පැවරෙන්නේ මැතිවරණ කොමිසමට බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන ජෝන් අමරතුංග මහතා නොදැන සිටීමට හේතුවක් නැත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00