2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

කොළේ ඉරාගන්නෙ කවුද?

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 222

පළාත් පාලන ඡන්දයක උණුසුම මෙතරම් දැනුණු අවස්ථාවක් මින් පෙර තිබුණේ නැත. එය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ රැල්ලට යන ඡන්දයක් හැටියටය. රැල්ල හැදෙන්නේ බලයේ සිටින ආණ්ඩු පක්ෂයට අනුවය. ජනාධිපතිකමත් ආණ්ඩුවත් තිබෙන්නේ කාගේ අතේද ඒ පැත්තට මිස වෙනත් පැත්තකට පුංචි ඡන්දයක ප්‍රතිඵලය වෙනස් වන්නේ නැත. වෙනත් ඡන්දවලට වඩා ඇල්මැරුණු ගතියක් පුංචි ඡන්දයේදී දකින්නට හැකිවන්නේද මේ නිසාමය. එහෙම වුණත් මේ වාරයේදී නම් තත්ත්වය වෙනස් වෙන ලකුණු පෙනෙන්නට තිබේ.

එවැනි තත්ත්වයක් උදාවී ඇත්තේ පවතින ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් දෙපැත්තකට බෙදුණු ආණ්ඩුවක් වීමත් ආණ්ඩුව හැදුණු දවසේ සිටම ඊට අභියෝග කරන ඒකාබද්ධ විපක්ෂයේ බලපෑමක් හේතුවෙනි. ආණ්ඩුවේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති වෙනස් වීම නිසා ඔවුන්ට එකට එකතු වී තරග කිරීම කළ නොහැකිය. මේ නිසා යා යුත්තේ වෙන වෙනමය. එසේ ගියත් පක්ෂ දෙකටම එකිනෙකා විවේචනය කර ගැනීමේ සීමාවන් පැනවී තිබේ. ඔවුන්ගේ හරහට සිටින ඒකාබද්ධ විපක්ෂයට මේ දෙපිරිසටම පහරදීමට අවස්ථාව තිබේ. එහෙත් ශ්‍රීලනිපයේ අනාගතයට විනාශකාරී විය හැකි විවේචනයකින් වැළකී සිටීමට ඔවුන්ට සිදුව තිබේ. ඒ සමඟ විවිධ පක්ෂවලින් සමන්විත පෙරමුණක පිහිටා කටයුතු කරනා බැවින් ඒ ඒ පක්ෂවල සිතැඟි පරිදි ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට ගැලපෙන පරිදි කටයුතු කිරීමටද අපහසුය. පුංචි ඡන්දයේ උණුසුම වැඩි කිරීමට මේ සියලු කාරණා හේතු සහගත බව පැහැදිලිය.

මේ ඡන්දයේ ප්‍රතිඵලයට වඩා ප්‍රතිඵලයෙන් පසුව ඇතිවිය හැකි තත්ත්වය වඩාත් වැදගත් බව බොහෝමයක් දේශපාලන විචාරකයන් කියන්නේද නාමයෝජනා අවසන් වීමටත් පෙර සිටම පක්ෂ අතර නොව පක්ෂ ඇතුළේම පවතින පරස්පරතා සැලකිල්ලට ගනිමිනි. මෙතෙක් කාලයකට මෙරට තිබූ කිසිම පුංචි ඡන්දයකින් පසුව දේශපාලන භූමියේ වෙනසක් වූයේ නැත. නමුත් මෙවර එසේ නොවීමට තිබෙන ඉඩකඩ වැඩි බව හැම අතින්ම පෙනෙයි.

ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් අතර සාකච්ඡා බිඳ වැටීම ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන බවට විවාදයක් නැත. දැන් ඡන්දයේදී (උතුරු හා නැගෙනහිර හැර) සෙසු පළාත්වල සිවුකොන් සටනකට මග පෑදෙමින් තිබේ. යූ.එන්.පී., ශ්‍රීලනිප, ශ්‍රීල පො.පෙ. සහ ජවිපෙ එම සටනේ හතර කොනයි. මෙහිදී ජවිපෙ තමන්ට වාසිදායක කොට්ඨාසවලදී වඩාත් උද්යෝගිමත්ව කටයුතු කිරීම බලාපොරොත්තු විය යුතුය. සෙසු ප්‍රදේශවලදී ඔවුන්ගේ වාසියට ඇති කාරණයක් වන්නේ ආණ්ඩුව සහ ඒකාබද්ධ විපක්ෂය කෙරෙහි කලකිරී සිටින ඡන්ද ආකර්ෂණය කර ගැනීමටම අවස්ථාවක් තිබෙන බැවිනි. ඔවුන් තම ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරනතුරැ එම අවස්ථාව කෙසේ ප්‍රයෝජනයට ගනු ඇතිදැයි කීම අපහසුය. සෙසු පක්ෂවල තත්ත්වය මීට වඩා සංකීර්ණය.

පුංචි ඡන්දයට ආණ්ඩු බලය අතැතිව තරග කිරීම ජයග්‍රහණය අතේ තබාගෙන ගහන ගේමක් වීම වැළැක්විය නොහැක. නමුත් මෙවර ඒ තත්ත්වය වෙනස් වී තිබේ. ආණ්ඩුවේම ප්‍රධාන පක්ෂ දෙක ඉල්ලන්නේ වෙන වෙනමය. ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් අලුතින් ලියාපදිංචි වූ පක්ෂයකින් පොහොට්ටුව ලකුණින් තවත් පක්ෂ ගණනාවක් සමඟ එක පෙරමුණකට ගොනු වී තරග කිරීමට සැලසුම් කරයි. ජවිපෙ 100%ක්ම ඉල්ලන්නේ තනිවමය. යූ.එන්.පී. සුළු පක්ෂ ගණනාවක් සමඟ සන්ධානගතව අලියා ලකුණින් තරග කරයි. ශ්‍රීලනිපය අත සලකුණින් තනිවමද ඇතැම් දිස්ත්‍රික්කවල සෙසු පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගතව බුලත් කොළයෙන්ද තරගවැදීමට අපේක්ෂාවෙන් සිටී.

දැන් මේ හැම පක්ෂයක්ම පුංචි ඡන්දෙට යන්නේ එක වගේ විශ්වාසෙකින්ද? දිනන්න පුළුවන් කියලා හිතාගෙනද? ඒක හරියටම දැනගන්න නම් ඡන්ද සටනේ ඉදිරියෙන්ම ඉන්න පක්ෂ මුහුණ දී සිටින වර්තමාන තත්ත්වය සොයාබැලිය යුතුය.
මුලින්ම යූ.එන්.පී.යේ තත්ත්වය විමසුවොත් මේ ඡන්දයට වඩාත්ම විශ්වාසයකින් මුහුණ දෙන්නේ තමන් යැයි ඔවුන් සිතන බව පෙනෙන්නට තිබේ. එයට ප්‍රධානම හේතුව යූ.එන්.පී. සෙසු පක්ෂවල වඩා ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන් සිටීම නොව ශ්‍රීලනිපය තුළ තිබෙන බෙදීම හේතුවෙන් අත්වන වාසිය පිළිබඳව සලකා බැලීමෙන් බව තේරැම් ගත හැකිය. මේ වනවිට ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇත්තේ දැඩි කලකිරීමක් බව එහි පාර්ශ්වකරැවන්ට වැටහෙන්නේ නැත්නම් එය බරපතළ මගහැරීමකි.

එම කලකිරීම යූ.එන්.පී.යටද පුංචි ඡන්දයේදී ලොකු අභියෝගයක් බව පෙනෙන්නට තිබේ. එක් අතකින් රැකියා නොලැබීම් සහ තම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ප්‍රශ්න නොවිසඳීම් හේතුවෙන් පාක්ෂිකයන් සිටින්නේ දැඩි කලකිරීමකිනි. නගරයේත් ගමේත් පොදු මහජනතාව දැඩි ලෙස ජීවන බරකින් මිරිකී සිටීමත් ඔවුන් නගන ප්‍රශ්නවලට තමන්ට උත්තර නොමැති වීමත් නිසාත් යූ.එන්.පී. පාක්ෂිකයෝ අමාරැවේ වැටී සිටිති. බැඳුම්කරය සම්බන්ධයෙන් රට තුළ ඇතිවූ තත්ත්වයද ඔවුන්ගේ අවධානයට ලක්ව තිබෙන බව නොරහසකි. එසේ වුවත් යූ.එන්.පී. පාක්ෂිකයෝ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රීලනිප, ඒකාබද්ධය සහ ජවිපෙ පාක්ෂිකයන් දරණ දැඩි මතයට එකඟ නැති බවද පැහැදිලිය. ඔවුන් බහුතරයකගේ මතය වී ඇත්තේ බැඳුම්කර වංචාව යූ.එන්.පී.ය අපහසුතාවට පත්කිරීම සඳහා ශ්‍රීලනිපයත් සෙසු යූ.එන්.පී. විරෝධී පක්ෂත් ගෙනයනු ලබන ක්‍රියාමාර්ගයක් බවය.

මේ අදහස් ඡන්දයේදී ක්‍රියාත්මක වනු ඇත්තේ කෙසේදැයි දැන්ම කිව නොහැකිය. එසේ වුණත් යූ.එන්.පී. ඡන්ද අපේක්ෂකයන් මුහුණ දෙන ලොකුම ගැටලුව වන්නේ මේ පාක්ෂිකයන් සහ මධ්‍යස්ථ අදහස් දරණ එහෙත් තවමත් රාජපක්ෂ පාලනයට එරෙහි මතයක් දරණ පිරිස් ඡන්ද පොළට ගෙන්වා ගැනීමය. මේ ගැටලුව සාර්ථකව ජයගත්තොත් මිස යූ.එන්.පී.යට හිතන තරම් වාසියක් අත්පත් කර ගැනීම පහසු වන්නේ නැත. නමුත් ශ්‍රීලනිපය කැඩී ගොස් දෙපාර්ශ්වයක් වශයෙන් ඡන්දය ඉල්ලීමේ වාසිය යූ.එන්.පී.යට නිතැතින්ම හිමිවන්නේය. විශේෂයෙන්ම කොට්ඨාස මත පදනම්ව කේවළ ආකාරයට සිදුකෙරෙන තේරීමේදී වැඩි වාසිය නිසැකවම යූ.එන්.පී.යට ලැබීම වැළැක්විය නොහැකි වනු ඇත.

මීළඟට ශ්‍රීලනිපය මුහුණ දෙන බරපතළම අභියෝගය වන්නේ ජයග්‍රහණය නොව තමන් පුංචි ඡන්දයේදී තුන්වැනි තැනට ඇදවැටීම වළක්වා ගන්නේ කෙසේද යන්න බව නිසැකය. ඔවුන්ට තිබෙන ලොකුම අවාසිය නම් පක්ෂයේ නම, සලකුණ සහ අයිතිය තමන් අත තිබියදී පාක්ෂිකයන් මහින්ද රාජපක්ෂ වටා ගොනු වී සිටීමය. එය සිදු වී ඇත්තේ මහා පරිමාණයෙන් මිස සුළු පරිමාණයකින් නොවන බවද ශ්‍රීලනිපය මෙහෙයවන සියලු දෙනා දැන සිටිති. ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය තුළදී තමන්ට වඩා ප්‍රබල ආකාරයකට ඒකාබද්ධයේ නියෝජිතයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු (පොහොට්ටුව) ජනගත වුවහොත් එය ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලිව ප්‍රකාශ වනු ඇත. එයින් පසුව ශ්‍රීලනිපය තුළ බලය පවත්වාගෙන යාමේ අභියෝගයට පක්ෂනායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුහුණ දීමට සිදුවෙයි. මේ අනුව ශ්‍රීලනිපයට එරෙහිව තිබෙන ලොකුම අවාසිය පක්ෂය කැඩී එහි පාක්ෂිකයන්ගෙන් අති බහුතරයක් මහින්ද රාජපක්ෂ සහාය දක්වන පොදුජන පෙරමුණු වටා රොක්වීමය. එය වළක්වා ගන්නට අන්තිම මොහොත දක්වාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ඔහුට සමීප මැති ඇමැතින් පිරිසක් කටයුතු කළේ එහි බලපෑමේ තරම හේතුවෙනි. ඒකාබද්ධයේ ප්‍රබලයන් කිහිප දෙනකු විසින් දක්වන ලද දැඩි විරෝධය හේතුවෙන් මේ දක්වාම එම වෑයම පවතින්නේ අසාර්ථක උත්සාහයක් වශයෙනි. එහි ඍජු බලපෑම ඡන්ද ප්‍රතිඵලවලින් ප්‍රකාශයට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

කෙසේ වුවත් ශ්‍රීලනිපයට තිබෙන ලොකුම වාසිය නම් ආණ්ඩු බලය අතැතිව ඡන්ද සටනට යාමේ අවස්ථාව තිබීමය. බලය අනිසි ආකාරයට නොයෙදුවත් ඡන්ද සටනකදී ආණ්ඩු බලය අතේ තිබීම සෑහෙන වාසියකි. වැට උඩ සිටින පාක්ෂිකයෝ දිනාගැනීම, ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේදී ගමේ පාක්ෂිකයන්ට වඩාත් සමීපව කටයුතු කිරීමට පහසුකම් තිබීම පමණක් නොව අත දිගහැර වියදම් කිරීමටද ආණ්ඩු බලයකින්ම කිසියම් උත්තේජනයක් සපයන බව නොරහසකි. එසේම තමන් හා එක් නොවන පක්ෂ සාමාජිකයන්ට කිසියම් බලපෑමක් කිරීමට ද ආණ්ඩුබලය යොදා ගැනීමට ඉඩ තිබෙන බවද සැලකිය යුතුය. 

බැඳුම්කර වංචාව සම්බන්ධව කටයුතු කිරීමේදී තමන් ඊට නොගෑවුණු බවට ජනමතයක් ඇති කර ගැනීමට ශ්‍රීලනිපයට හැකි විය. එසේම රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමේ වැඩපිළිවෙළක් පවතින බවට පවතින මතයේදීත් ශ්‍රීලනිපය ඒකාබද්ධයේ ස්ථාවරයේම සිටීමට කටයුතු කළ බව පැහැදිලිය. මේ නිසා ශ්‍රී.ල.නි.පයේ දැඩි මතධාරී සාමාජිකයන් ඡන්ද පොළට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාගේ පාර්ශවය දැඩි පරිශ්‍රමයක් දරණු ඇති බව පැහැදිලිය. 

මීළඟට ඡන්දයට වඩාත්ම සන්නද්ධව මුහුණදීමට පෙරැම්පුරාගෙන සිටි ඒකාබද්ධ විපක්ෂය ද මේ වනවිට නොසිතූ ආකාරයේ බාධකවලට මුහුණ දෙන බව පෙනෙන්නට තිබේ. හරියට බැලුවොත් මීට මාස තුනකට සිටි ඒකාබද්ධ විපක්ෂයක් දැන් තිබෙන ඒකාබද්ධ විපක්ෂයත් අතර බැලූ බැල්මට වෙනසක් තිබෙන බව හඳුනාගත හැකිය. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය වටා සංවිධානය වෙමින් තිබූ ඒකාබද්ධ විපක්ෂය බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය වටා ගොනු කිරීම එතරම් පහසු නොවන බව පැහැදිලි වෙමින් තිබේ. ඒකාබද්ධයේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරය ශ්‍රීලනිප වුවද එහි කසකරුවන් බවට පත්ව සිටි දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ දැන් නිහඬ චරිත බවට පත් සිටින්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. විමල්ලා කියන්නේ මහින්ද සුළඟ රටේ ලොකුම විකල්ප බලවේගය බවට පත්කළේ ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස නොව තමන් බවය. මේ නිසා තමන්ට නාම යෝජනා ලැයිස්තුවේ සැලකිය යුතු තැනක් අවශ්‍ය බව ඔහුගේ මතයයි. දිනේෂ්ගේ මතයදී ඊට වඩා වෙනසක් නැත.

කෙසේ වුවද ඒකාබද්ධ වේදිකාවේ කසකරුවන් වුණත් ඔවුන්ට ඇති ඡන්ද පදනම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට තිබෙන ඡන්ද පදනමට වඩා බෙහෙවින් අඩු බව නොරහසකි. ඡන්දය ඉල්ලන්නේ විමල් හෝ දිනේෂ් හෝ නොව ඔවුන්ගේ බිම් මට්ටමේ පාක්ෂිකයන්ය. විමල්ට දිනේෂ්ට තිබෙන ඡන්ද ඔවුන්ට නැත. මේ බව ඡන්ද කෙරුවාවේ විශාරදයකු වන බැසිල් අන් සියලුදෙනාටම වඩා හොඳින් දනී. මේ නිසා විමල්ලාගේ ඉල්ලීම් ඉටුවීමට වඩා වැඩි අවස්ථාවක් තිබෙන්නේ ඉටු නොවීමටය. එසේ වුවහොත් සිදුවන්නේ කුමක්දැයි කීමට තවම වේලාසන වැඩිය. 

මේ තත්ත්වයට මහින්ද පිලේ ශ්‍රීලනිප ඡන්දාපේක්ෂකයන්ද මුහුණ දෙනු ඇත. ඡන්දය ඉල්ලන්නේ මහින්ද නොවේ. මේ නිසා ඡන්දය දිනා ගැනීමට නම් මහින්දගේ ජනප්‍රියත්වය මත පමණක් රඳා සිටීම කළ නොහැක. ගම් මට්ටමේ පිරිස් ආකර්ෂණය කර ගැනීමටද ඔවුන්ට හැකියාව තිබිය යුතුය. මහින්ද පිලේ ඇතැම් අපේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය උරගා බැලීම මහින්ද බලයේ සිටි කාලයට වඩා වෙනස් බවත් සැලකිය යුතුය. බලයේ සිටියදී ඡන්ද කෙරැවාව ඉතාම පහසු වුණත් ඉදිරියේදී එළඹෙන ඡන්දය එලෙස පහසුවෙන් කළ හැකි ඡන්දයක් නොවන බව ඔවුන් වටහා ගැනීම අවශ්‍යය. මේ නිසා ඒකාබද්ධ විපක්ෂයද ඡන්දයට යාමේදී පැනගත යුතු කඩුලු කිහිපයක්ම තිබෙන බව පැහැදිලිය.

බැලූ බැල්මට ගමේ ඡන්දයක් සේ පෙනුණද මේ ඡන්දය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ රනිල් වික්‍රමසිංහ අගමැති අතරද මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප නායකයා සහ මහින්ද රාජපක්ෂ හිටපු ශ්‍රීලනිප නායකයා අතරද සටනක් බවට පත්වෙමින් තිබේ. ශ්‍රීලනිපයේ සමගි කතාව හරිගියේ නම් මෙය ශ්‍රීලනිප සහ යූ.එන්.පී. අතර සටනක් පමණක් වීමට ඉඩ තිබිණි. නමුත් දැන් සටන සංකීර්ණ වෙමින් තිබේ. වැඩියෙන්ම කොළේ ඉරාගෙන ඇඟේ හලාගත්තේ කවුදැයි කිව හැකි වන්නේ මේ ඡන්ද සටනින් පසුවය.

 ශශීන්ද්‍ර