2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83
කාන්තාවන් ගැන කතාව දෝලාවෙන් ගමන පයින්!
 
මැතිවරණ තරග කිරීම සඳහා කාන්තාවන් උනන්දු කරවීම සම්බන්ධයෙන් කතා රාශියකි. ඡන්දයක් ආසන්න වෙද්දී මේ කතා බහ ඉහළටම එයි. ඒ කෙසේ වුවත් කාන්තාවන් සහ ළමයින් සම්බන්ධයෙන් බලයට පත් වූ කිසිම රජයක් ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු කර නැති බවට ද වරින් වර චෝදනා නැගේ. කාන්තාවන්ගේ දේශපාලන අයිතිය රැකදීම කෙසේ වෙතත් ඔනුන්ගේත් දරුවන්ගේත් සුබසාධනය සඳහා ආණ්ඩුවක් තම කැපවීම කොතරම් වැදගත්කොට සලකන්නේ ද යන ප්‍රශ්නය ද වරින් වර සාකච්ඡා වී තිබේ. 
 
මේ වැදගත්කම පසුගිය සතියේ පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රශ්න කළේ අම්පාර දිස්ත්‍රික් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශ්‍රියානි විජේවික්‍රමය. 2018 වසර සඳහා මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 3ක් (කෝටි තුන්සීයක්) පමණක් බව මන්ත්‍රීවරිය එහිදී පෙන්වා දුන්නාය. ඇය එහිදී මතුකර දැක්වූයේ රටේ ජනගහණයෙන් සියයට 50ටත් වඩා නියෝජනය කරන ජන කොටසකගේ සුබසාධනය වෙනුවෙන් මේ මුදල කිසිසේත් ප්‍රමාණවත් නැති බවය. 
 
- සන්ඩේ ටයිම්ස්-
 
පොලිස් ජ්‍යෙෂ්ඨයන්ගේ පැමිණිල්ල ව්‍යවස්ථා සභාවට
 
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ දුරකථන වාර්තා සොයන බලන ලෙසට කර ඇති නියෝගය සම්බන්ධයෙන් සී.අයි.ඩී ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා විසින් කරන ලද හෙළිදරව්ව මීට දෙසතියකට පෙර සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් හෙළිදරව් කරනු ලැබීය. පොලිස්පතිවරයා නොමැතිව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් පමණක් ජාතික පොලිස් කොමිසම් සමාජිකයන් මුණ ගැසුණු අවස්ථාවේ මේ හෙළිදරව්ව සිදු කෙරිණි.
 
එහිදී ඔහු අනාවරණය කර තිබුණේ දුරකථන වාර්තා බලා දෙන්නැයි ඉල්ලා පොලිස්පති වරයා විසින් ඉදිරිපත් කළ අංක ලැයිස්තුවේ තම නොම්මරද ඇතුළත්ව තිබූ බව පෙනීගිය බවත් ඒ සමඟ වඩාත් විමසිල්ලෙන් සොයා බැලූවිට සියලුම උසස් පොලිස් නිලධාරීන්ගේ දුරකථන අංක එහි සඳහන්ව තිබූ බවත්ය. එහිදී පොලිස් කොමිසම දන්වා තිබුණේ විශේෂයෙන්ම පොලිස්පතිවරයා සම්බන්ධ එම කරුණද ඇතුළු සෙසු කරුණු පිළිබඳව ව්‍යවස්ථා සභාව සමග සාකච්ඡා කරන බවය.
 
දැන් දැනගන්නට තිබෙන්නේ ඕස්ට්‍රේලියානු පොලිසිය මගින් ශ්‍රී ලංකා පොලීසියට ලබා දී ඇති යන්ත්‍රයක් තමන්ට භාවිතා කිරීම සඳහා ලබා ගැනීමට පොලිස්පතිවරයා ඉල්ලීමක් කර ඇති බවයි. එම යන්ත්‍රය මගින් ජංගම දුරකථනවල සඳහන් ඇමතුම් තොරතුරු පමණක් නොව මකා දමන ලද ඊ මේල් සහ ස්ථානගත තොරතුරු ද ලබාගත හැකිය. එවැනි එක් යන්ත්‍රයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රයෝජනය සඳහා ලබා දී තිබෙන්නකි.
 
ඕස්ට්‍රේලියානු පොලිසිය මගින් මේ යන්ත්‍රය ඇතුළු සෙසු යන්ත්‍ර ශ්‍රී ලංකා පොලිසියට ලබා දී ඇති බවට තොරතුරු හෙළි කර ඇත්තේ ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය මගිනි. ඕස්ට්‍රේලියාවේ පවතින නිදහස් තොරතුරු පනත යටතේ ඉල්ලීමක් කරමින් එරට ගුවන් විදුලිය මගින් අදාළ තොරතුරු සොයාගෙන තිබිණි. 
 
ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ ගැටලුව විසඳාගැනීමට ආධාරකයක් වශයෙන් 2009 වසරේ මැදදී ශ්‍රී ලංකා පොලිසිය සමග ඇති කරගත් එකඟතාවක් මත මේ උපකරණ ලබාදී ඇති බවද එම හෙළිදරව්වේ සඳහන්ය. මිනිසුන් හොරෙන් පිටරට යැවීමේ ජාවාරම මැඩ පැවැත්වීම සඳහා උපකරණ මෙන්ම පුහුණුව ද ශ්‍රී ලංකා පොලිසියට ඕස්ට්‍රේලියානු පොලිසියෙන් ලැබී තිබේ. 2011 වසර දක්වා වසර 5ක කාලයක් තුළ ඕස්ට්‍රේලියානු පොලිසිය මගින් සී.අයි.ඩීයට සහ ශ්‍රී ලංකා පොලිසියේ සෙසු ශාඛාවලට ලී බඩු, කාර්යාල උපකරණ සහ අධි තාක්ෂණික බුද්ධි වැඩසටහන් ද මේ වැඩ පිළිවෙළ යටතේ ප්‍රදානය කර තිබේ. සී.අයි.ඩීයේ කාර්යාල කාමර හතරක් ද නවීකරණය කර දී තිබේ. 
 
මෙසේ ලබාදුන් වැඩසටහන් අතර ඡායාරූප, වීඩියෝ, බුද්ධි තොරතුරු සහ වෙනත් සාක්ෂි පහසුවෙන් එකිනෙක සම්බන්ධ කළ හැකි වැඩසටහනක් ද පොලිසිය මගින් ඉලක්ක කරන පුද්ගලයන්ගේ දර්ශන ලබාගත හැකි ප්‍රබල උපකරණයක් වන IBM i2 Analyst’s note book එකක් ද වෙයි. ඒ සමඟ ජංගම දුරකථනවල මකා දමන ලද ඊමේල් පණිවුඩ සහ ස්ථානගත දත්ත ඇතුළු සියලු තොරතුරු උකහාගත හැකි යන්ත්‍ර දෙකක් ද ලබාදී තිබේ. ශ්‍රී ලංකා රජයට තම සතුරන් සොයා ගැනීම සඳහා එය යොදාගත හැකිබව 1994දී ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කළ බ_ස් හේග් ප්‍රකාශ කර ඇතැයි ද ඕස්ට්‍රේලියා ගුවන් විදුලි වාර්තාවේ සඳහන්ය. 
 
මේ අතර පොලිස්පති පූජිත් ජේසුන්දර මහතා මීට දෙසතියකට පෙර පොලිස් ප්‍රධානීන්ගේ සම්මේලනයකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියේය. 
 
    - සන්ඩේ ටයිම්ස් -