2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

තුන්වැනි බලවේගයක්

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 260

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ අලුතින් තුන්වැනි බලවේගයක් ඉස්මතු වෙමින් තිබේද? මේ දවස්වල මේ රටේ දේශපාලන කරළියේ තිරය ඉදිරිපස සහ තිරය පසුපස දිග හැරෙන සිදුවීම් දෙස විමසුම් ඇස යොමුවන ඕනෑම කෙනකු තුළ මේ ප්‍රශ්නය පැන නැගීම සාධාරණය.

මේ රටේ නිදහසින් පසුව වසර 03ක් පමණ යනතුරු ප්‍රධාන දේශපාලන පක්ෂයක් වශයෙන් තිබුණේ යූ.එන්.පී.ය පමණි. 1951 දී බණ්ඩාරනායක ශ්‍රීලනිපය පිහිටුවූයේ යූ.එන්.පී.යට විකල්ප දේශපාලන ප්‍රවණතාවලට පිළිතුරක් වශයෙනි. ඒ වනවිටද වාමාංශික දේශපාලන පක්ෂද ඇතුළුව වෙනත් කුඩා පක්ෂ සහ සංවිධාන ගණනාවක් තිබිණි. එහෙත් යූ.එන්.පී. පමණක් ප්‍රධාන දේශපාලන පක්ෂය වශයෙන් පැවැතීම තුළ ප්‍රතිපත්තිමය වශයෙන් කිසියම් රික්තයක් නිර්මාණය වෙමින් තිබීමත්, රටේත් ජාත්‍යන්තරයේත් දේශපාලන ප්‍රවණතා පිළිබඳව හොඳින් ඇස ගසාගෙන සිටි බණ්ඩාරනායකට එම “රික්තය” හඳුනාගැනීමට හොඳ ඉවක් තිබීම නිසාත් ශ්‍රීලනිපය බිහිවිය. බිහිවූවා පමණක් නොව ශ්‍රීලනිපයේ මූලිකත්වය ඇතිව මහජන එක්සත් පෙරමුණු රජයක් වසර කිහිපයක් තුළදී පිහිටුවා ගැනීමටත් හැකියාව ලැබිණි. ඉන්පසුව මේ පක්ෂ දෙකේම විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විවිධ කාල සීමා තුළදී ඒ ඒ පක්ෂ හැර දමා ගියද 2015 ජනවාරි 08 වැනිදා වනතුරු මාරුවෙන් මාරුවට රට පාලනය කෙරුණේ එම පක්ෂ දෙකේ ප්‍රධානත්වයෙන් හදාගත් විවිධ පෙරමුණු සහ සන්ධාන මගිනි.

පාලනය එසේ ගෙන යන කාලවලදීද වරින් වර විවිධ බලවේග හිස ඔසොවන බව පෙනුණේය. අවස්ථා දෙකකදී ඒවා ප්‍රචණ්ඩ සටන් බවට ද පත්විය. 1971 සහ 1987-88 එම ප්‍රචණ්ඩ බලවේගවලට උදාහරණය. එම සටන්කාමී බලවේගය පසුකලක ප්‍රධාන දේශපාලන ධාරාවට එකතු වී පක්ෂ දේශපාලන ඇරුඹුවේද ඔවුන්ගේම ජනතා විමුක්ති පෙරමුණේ නාමයෙනි. ඔවුන්ගේම සීනුව සලකුණ ඉදිරියට දමමිනි. ශ්‍රී ලංකාවේ එතෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ යූ.එන්.පී. සහ ශ්‍රීලනිප සමඟ තරග කිරීමට පැමිණි ජවිපෙ මෙරට දේශපාලනය තුළ පහළ වූ ප්‍රථම තුන්වැනි බලවේගය වශයෙන් සමහරු හැඳින්වූහ.

ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාවට එකතු වන විට එහි නාමය රටපුරාම ප්‍රචලිත වී අවසානය. එබැවින් ඔවුන්ට එම බලවේගය මාකට් කිරීමට වෙනම උත්සාහයක් දැරීමට සිදුවූයේ නැත. එහෙම වුණත් ඔවුන් තමන් රටේ දේශපාලනය කළ වෙනම බලවේගයක් සේ තුන්වැනි බලවේගය වශයෙන් පෙනී සිටීමට උත්සාහ ගත්තේ නැත. මෑතකදී පුවත්පතක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක පැහැදිලිව කියා සිටියේ තමන් මේ රටේ තුන්වැනි බලවේගය නොවන බවය. තමන්ගේ පක්ෂය දැනට රටේ පවතින ප්‍රධාන පක්ෂ දෙක වන යූ.එන්.පී. සහ ශ්‍රීලනිප පක්ෂ දෙකටම විකල්පයක් බවත් තමන් විකල්ප දේශපාලනයක නිරතව සිටින බවත් කියා සිටියේය. මෙය පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ සංකල්පය හා සමගාමී අදහසක් බව පැහැදිලිය.

මෙරට දේශපාලනය තුළ ජවිපෙ ඉටුකරන්නේ විකල්ප භූමිකාව නම් වෙනත් බලවේගයකට ඉටුකළ හැකි විකල්ප භූමිකාවක් නැත. එසේ නම් පවතින තත්ත්වය තුළ හිස ඔසොවන අලුත් දේශපාලන බලවේගයක් තුන්වැනි බලවේගයක් ලෙස හැඳින්වීම වරදක් නැත. එසේ නම් එවැනි තුන්වැනි බලවේගයක් බිහිවෙමින් තිබෙනවාද? ඒ ගැන සොයාබැලීමට නම් පසුගිය කාලය තුළ සිදුවූ දේශපාලන පෙරළි විමසිය යුතුය.

දැන් පවතින්නේ සම්මුති ආණ්ඩුවක් බවත් එය යහපාලනය මත පදනම්ව කටයුතු කරන බවත් ආණ්ඩුව මුලසිටම පැවසුවේය. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන යූ.එන්.පී.යේ ශ්‍රීලනිපයත් දෙකම මේ බව මුලසිට කිව්වත් දැන්නම් ඒ හඬ ඇසෙන්නේ දෙවිදියකටය. ආණ්ඩුවේ සම්මුතිය පක්ෂ දෙකේම සාමාජික මැති ඇමැතිවරුන් අතින් බිඳී වැටෙමින් තිබේ. ඒ අනුව දැන් සම්මුතිය ඇත්තේ නමට පමණි. ඊට අමතරව බැඳුම්කර වංචාව හේතුවෙන් ආණ්ඩුවේ යහපාලන ලේබලය දැන් ගැලවී වැටී ඇතැයි ශ්‍රීලනිපයෙන් චෝදනා එල්ල වෙයි. ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි තමන් සිටින්නේ කලකිරීමෙන් යැයි යූ.එන්.පී. ඇතැම් මැති ඇමැතිවරු ප්‍රකාශ කරති. ඒ අනුව පෙනෙන්නේ සම්මුතිය පමණක් නොව යහපාලනයද දැන් නමට පමණක් සීමාවෙමින් තිබෙන බවය. එසේනම් ඉතිහාසයේ පළමුවරට ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් සෑදුණු ඓතිහාසික ආණ්ඩුව දැන් සිටින්නේ තනි තනිවම ආණ්ඩු කරන සිහින දකිමින්ද? එය සිහිනයක් නොව හැබැහින්ම ප්‍රකාශ කර මැති ඇමැතිවරු දෙපක්ෂයේම සිටිති. එහෙම නම් ඊළඟ ඡන්දයේදී ආණ්ඩුව සම්මුති ආණ්ඩුවක් වශයෙන් තනිව නොව වෙන වෙනම පක්ෂ දෙකක් වශයෙන් ඉල්ලන එක නවත්වන්න කාටවත් බැරිය. එහෙම වුණු පළියට තුන්වැනි බලවේගයකට ඉඩක් තිබෙනවාද? ඒක ගැන හොයන්න නම් බලන්න ඕනෑ ආණ්ඩුව දෙස නොව විපක්ෂය දෙසයි.

අද විපක්ෂයද ආණ්ඩුව වගේම දෙමුහුන්ය. එහෙම වුණත් එකමුතුවක් නැත. නිල විපක්ෂය ටී.එන්.ඒ. සහ ජවිපෙ එකතුවයි. ඒ දෙකේම එකතුවට වඩා මන්ත්‍රීන් විශාල පිරිසක් ඒකාබද්ධ විපක්ෂය නමින් ස්ථානගතව සිටී. ඒකාබද්ධ විපක්ෂයේ බහුතරය ශ්‍රීලනිපයට අයිතිය. ආණ්ඩුවේ බහුතරය යූ.එන්.පී.යට අයිතිය. ටී.එන්.ඒ. නිල විපක්ෂනායකකම දැරුවත් ශක්තිය අතින් හැබෑ විපක්ෂ නායකයා සිටිය යුත්තේ ඒකාබද්ධ විපක්ෂයේය. එහෙත් එහෙම නැත. මේ තත්ත්වය මැතිසබය පාලනය කරගැනීමේදී කතානායකවරයාද අමාරුවේ දමන අවස්ථා මතුකරයි. 

විපක්ෂය දෙමුහුන් වුණාට ඒ දෙමුහුවේ ප්‍රතිඵලය තුළ කිසිදා එකඟත්වයකට ඉඩක් නැත. ටී.එන්.ඒ. පසෙකින් තැබුවද ජවිපෙට විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට ඒකාබද්ධ විපක්ෂය ඉඩක් දෙන්නේම නැත. ඔවුන් කියන්නේ ජවිපෙ ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වය සමඟ ඩීල් දමාගෙන සිටින බවකි. එම චෝදනාව ජවිපෙ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. ආණ්ඩුවේ වැඩ ගැන ප්‍රබල විවේචනයක යෙදෙයි. ඒ කොහොම වුණත් මැතිසබය ඇතුළේ පමණක් නොව රට ඇතුළේද විපක්ෂය වශයෙන් දැන් වඩාත් ස්ථානගතව සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය බව පැහැදිලිය. මේ අනුව තුන්වැනි බලවේගයක ඉස්මතුවීම ගැන අදහසක් ගැනීමට වත්මන් දේශපාලන තත්ත්වයද විමසීම අවශ්‍යය.

ආණ්ඩුවේත් විපක්ෂයේත් පවතින වත්මන් තත්ත්වය අනුව රටේ ජනතාවගේ කැමැත්ත නැඹුරුවන්නේ කා දෙසටදැයි යන්න මෙහිදී වඩාත් වැදගත් සාධකයයි. ආණ්ඩුව සම්බන්ධයෙන් මෑතකදී වඩාත්ම කතාබහට ලක්වූයේ සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා සිරිකොතදී ජනාධිපතිවරයා ගැන කලකිරීමෙන් සිදුකළ ප්‍රකාශයත් ඊට දින කිහිපයකට පසුව නිකවැරටියේදී “කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන කෑගහන්න එපා යැයි” දැඩි අවවාදාත්මක ස්වරූපයකින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත්ය. ජනාධිපතිවරයාගේ කතාවේදී සඳහන් වී තිබුණේ ඇතැම් පුද්ගලයන් ලොන්ඩරියට හත්පාරක් ගියත් සෝදාගත නොහැකි තරම් ජරාවලින් වැසී සිටින බවය. මේ කතාව යූ.එන්.පී. බහුතරයක් මන්ත්‍රීන්ගේ සිත් කැළඹීමටත් කනස්සල්ලටත් පත්කර ඇති බව පෙනෙන්නට තිබේ.

මේ කතා සම්බන්ධයෙන් එක් ප්‍රකට දේශපාලන විචාරකයකු සඳහන් කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් රජය පිහිටුවීමේදී අසීරුම කාර්යය ඉටුකළ පුද්ගලයා බව යූ.එන්.පී. පසුපෙළ මන්ත්‍රීන් තේරැම් ගත යුතු බවය. මේ රට බිහිකළ ප්‍රබලම විධායක ජනාධිපතිවරයාට අභියෝග කිරීම සඳහා තම වසර 40ක දේශපානයට ආයුබෝවන් කියා එළියට බැසීමේ වැනි තීන්දුවක් ගත හැක්කේ එක්කෝ හැබෑ මෝඩයකුට බවත් නැතහොත් හැබෑ නිර්භීත පුද්ගලයකුට පමණක් බවත් අවබෝධ කර ගැනීම අවශ්‍ය බවද ඔහු කියා තිබිණි. එවැනි නිර්භය තීන්දුවක් ගෙන ඔහු ජයග්‍රහණය කර දුන්නේ විපක්ෂයේ උවමනාව බවද ඔහු සඳහන් කළේය. එය යුද විරුවකු වූ ජෙනරල් ෆොන්සේකාටවත් කළ නොහැකි වූ දෙයක් බවද කියා තිබිණි. මහින්ද රාජපක්ෂ සමඟ රැඳී ඡන්දය දිනවා දුන්නා නම් අදත් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ රජයක බලවත් ඇමැතිවරයකු වශයෙන් කටයුතු කරනු ඇති බවත් ඔහු කියා තිබිණි.

ඊළඟට ඔහු කියා තිබුණේ යූ.එන්.පී.යද මෙහිදී තම පාක්ෂිකයන් වෙනුවෙන් විශාල කැපකිරීමක් කර ඇති බවය. මෛත්‍රීපාල සිරිසේන මහතාට තම පක්ෂයේ නාමයෝජනාව සහ කැමැත්ත ලබාදීමට තරම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහත්මා ගුණයකින් යුක්තව ක්‍රියාකළ බවත් යූ.එන්.පී. ඡන්ද පමණක් නොව දමිළ සහ මුස්ලිම් ඡන්දද එකතුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවට නැංවූ බවත් ඔහු සඳහන් කරයි. මේ නිසා තම පෞද්ගලික දේශපාලන මතිමතාන්තර අතහැර දෙපාර්ශ්වයේම සියලු කොටස් එක්වී රනිල් සහ මෛත්‍රීපාලට දේශපාලන කාර්යයන් මෙහෙයවීම බාරදීම පැහැර හැරියොත් රාපජක්ෂ බලවේග හිස එසවීම නොවැළැක්විය හැකිවනු ඇති බවද ඔහු කියයි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා පුද්ගලයන් මත ඉතිහාසය යළි ප්‍රතිරාව නගන බවද යහපාලන රජයේ 2020 දක්වා වන ගමන් මගේ සාර්ථකත්වය රැඳී තිබෙන්නේ යූ.එන්.පී. - ශ්‍රී ලංකා දෙපක්ෂය අතර ගැඹුරු අවබෝධයකින් ක්‍රියාත්මක වන පැහැදිලි කාලසටහනක් මත පදනම්ව කටයුතු කිරීම තුළ මත පමණක් බවද ඔහු අවසානයේ කියා සිටියි.

මේ කියන දේවල් මේ ආකාරයට ඉටුවෙයිද? එහෙම ඉටුවුණොත් මේ රටේ දේශපාලනය තුළ නුදුරු අනාගතයේදී නම් තුන්වැනි බලවේගයකට ඉඩක් ලැබීම සැකසහිතය. එහෙත් හැම තැනින්ම පෙනෙන්න තිබෙන්නේ යහපාලනය තුළ සම්මුතිය දුරස්ථ වන ආකාරයයි. දෙපක්ෂයම තනිව ආණ්ඩු පිහිටුවන්න කතා කරන ආකාරයයි. එහෙම නම් තුන්වැනි බලවේගයකට ඉඩක් විවර වෙමින් පවතින බව පැහැදිලිය.

හොඳයි... එසේ තුන්වැනි බලවේගයකට ලැබෙන ඉඩකඩ තුළ වඩාත්ම වාසි ගනු ඇත්තේ කවුද? මෛත්‍රීපාලද? රනිල්ද? මහින්දද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ ජනාධිපති සහ ශ්‍රීලනිප නායකයා බැවින් ඔහුට තුන්වැනි බලවේගයක කොටස්කරුවකු විය නොහැක. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ යූ.එන්.පී. නායකයා බැවින් ඔහුද තුන්වැනි බලවේගයකට අයිති නැත. එසේ නම් මහින්ද? ඔහු පක්ෂයක නායකයකු නොවේ. එහෙත් නාමිකව හෝ ශ්‍රීලනිපයේ අනුශාසකවරයෙකි. ඔහු ශ්‍රීලනිපය කිසිදා අත් නොහරින දේශපාලනඥයකු වශයෙන් ප්‍රසිද්ධය. මේ සියල්ලටත් වඩා මහින්ද මේ රටේ දෙවරක් ජනාධිපති ධුරය හෙබවූ රටේ මෙතෙක් සිටි ජනප්‍රියම නායකයා වශයෙන් විරුදාවලි ලැබූවෙකි. එසේ නම් ඔහුටද මේ රටේ තුන්වැනි බලවේගයක නිර්මාතෘවරයකු විය නොහැක.

තුන්වැනි බලවේගයක් නිර්මාණය වීමේ එක් ප්‍රධාන සාධකයක් වන්නේ ඊට නායකත්වය දෙන ඔහු හෝ ඇය රටේ ප්‍රධානියකු වශයෙන් දේශපාලන භූමිකාවක් ඉටු නොකළ අයකු වීමය. තවත් සමහරුන් පවසන්නේ පක්ෂ දේශපාලනයේ කිසිදු භූමිකාවක් ඉටු නොකළ පුද්ගලයකු වීමත් ප්‍රධාන සාධකයක් වන බවය. එසේ වුවද අදාළ පුද්ගලයා රටේ ජාතික ආගමික පිළිගැනීමකට ලක්වන තමන් භාරදෙන ඕනෑම වගකීමක් ඉටුකළ හැකි බවට ජනතාව තුළ විශ්වාසයක් ඇතිකර ඇති අයකු වීමද අවශ්‍යය. එවැනි පසුබිමක් සහිතව ඉදිරියට එන ජනතාව අතර බලවත් චරිතයකට අලුත් දේශපාලන පක්ෂයකින් හෝ සන්ධානයකින් හෝ තුන්වැනි බලවේගයක් නිර්මාණය කිරීමට අවස්ථාව හිමිකර ගන්නා බව පැහැදිලිය.

දැනට විවිධ මංපෙත් විවර කර ගනිමින් ඉදිරියට එන පුද්ගලයන් අතරින් තුන්වැනි බලවේගයකට නායකත්වය දිය හැකි චරිත සිටී නම් ඕනෑම අයකුට එම චරිත හඳුනාගත හැකි බවද පැවැසීම අවශ්‍යය.

මේ රටේ වඩාත්ම ප්‍රකට සහ ප්‍රබල තුන්වැනි බලවේගය නිර්මාණය කෙරුණේ 1993 දී යූ.එන්.පී.යෙන් කැඩී ගොස් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත් ලලිත් සහ ගාමිණීගේ එකතුවය. එහිදී ලලිත්ගේ සටන්පාඨය වූයේ “කවුද හරි නොව කුමක්ද හරි” යන්නයි. මීළඟට බිහිවන තුන්වැනි බලවේගයක් තිබේ නම් ඊටද මේ සටන් පාඨය හොඳින්ම ගැලපෙන බවත් කිව යුතුය.

කෙසේ වුවද එම තුන්වැනි බලවේගය අතරමගදී අසාර්ථක විය. එපමණක් නොව එම බලවේගය හැදීමේදී කැඩී ගිය යූ.එන්.පී.යටද ඊළඟ 17 වසරම ගෙවන්න වූයේ විපක්ෂයේය. තුන්වැනි බලවේගය ගැන කතා කරන විට මේ අතීතයද අමතක කළ යුතු නැත.

 ශශීන්ද්‍ර

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00