2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

ජනපති මැඳුරේ ඓතිහාසික නුග ගස කපා දමයි

ජනාධිපති මන්දිරයේ ඓතිහාසික මං සලකුණක් වූ මහා නුග ගස තවදුරටත් එහි නොමැති බව බොහොමයක් ශ්‍රී ලාංකිකයෝ නොදනිති. වර්තමානයේ ජනාධිපති මන්දිරය ලෙසින් හැඳින්වෙන කොළඹ කොටුවේ පිහිටි මෙම ගොඩනැගිල්ල මුලින් හඳුන්වනු ලැබුවේ “රුජිණ නිවෙස” ලෙසිනි.
 
ජනාධිපති මන්දිරය පිහිටි භූමියේ මෙම නුග රැක රෝපණය කරනු ලැබුවේ සර් ජෝශප් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා විසිනි. වික්ටෝරියා රැජිනගේ මෞලී මංගල්‍යයේ රිදී ජුබිලිය සැමරීම සඳහා මේ නුග රුක් රෝපණය සිදු විය. 1837 වසරේ ජූනි මාසයේ දී ඇයට වයස 18 පිරුණු අවස්ථාවේ රජ කිරැළු පැළඳවීම සිදුව තිබිණි.
 
මේ ප්‍රතාපවත් මහ නුග රැක දැන් දැකගත හැක්කේ ඡායාරූප මගින් පමණි. කාලයත් සමඟ රැඳුණු මහා වෘක්ෂයක් වශයෙන් එය ලෝ පුරා ඇගයීමට පත්ව තිබිණි. නුග ගස කැපීමට නියෝග කළේ කවුදැයි පැහැදිලි නැති වුවද “සන්ඩේ ටයිම්ස්” දන්නා පරිදි එය සිදු වී ඇත්තේ එහි කඩාවැටෙන අතු වැදීමෙන් මන්දිරයේ වහළයේ කොටසකට හානි සිදුවීම හේතුවෙනි.
 
මෙම නුග රුකේ වැදගත්කම සම්බන්ධ කතා ගණනාවකි. ඉන් එකක් එවකට විදේශ ඇමැති වූ නැසීගිය ලක්ෂ්මන් කදිරගාමර් අමෙරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවල් හමු වූ අවස්ථාවට සම්බන්ධය. 
 
1983 වසරේ ජූලි මාසේ සිදු වූ ජාතිවාදී ගැටුම් අවසන් වූ වහාම කොලින් පවල් රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණියේය. එවකට සහකාර රාජ්‍ය ලේකම් රිචාඩ් ආමිටේජ් සහ ආරක්ෂක ලේකම් කැස්පර් වයින්බර්ගර් ද ඔහු සමඟ එකතු වී සිටියහ.
ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමඟ පැවැත්වූ සාකච්ඡා සඳහා මන්දිරයට ගිය තමන්ගේ මතකයේ අන් සියලු දේවලට වඩා රැඳී තිබුණේ මේ විසල් නුග රුකේ මනස්කාන්ත බව යැයි ඔහු කදිරගාමර්ට පවසා තිබිණි.
 
කදිරගාමර් ශ්‍රී ලංකාවට පැමිණි වහාම මේ ඓතිහාසික නුග රුකේ විශාල ඡායාරූපයක් සමරු සටහනක් ද සහිතව කොලින් පවල්ට යැව්වේය. නුග රුකේ ඉතිහාසය සම්බන්ධව ප්‍රධාන උද්‍යාන පාලක විසින් ලියන ලද විස්තරයක් ද එහි අඩංගු විය.
නුග රුක පිහිටි ස්ථානයේ ඊට පෙර තිබුණේ ඕලන්ද ආණ්ඩුකාරවරයකු වූ ජෝන් ජෙරාඩ් වෑන් ඇස්ගල්බීක්ගේ ප්‍රථම නිල නිවෙසය. එය ආණ්ඩුකාර නිවෙස වශයෙන් එකල හැඳින්විණි. බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව අල්ලා ගැනීමෙන් පසුව එය රැජිණ නිවෙස වශයෙන් නම් කෙරිණි. එය ජනාධිපති මන්දිරය නැතහොත් ජනපතිගේ නිල නිවෙස වශයෙන් නම් කෙරැණේ 1972 වසරේදීය.
 
කලින් රජය යටතේ දී මෙම ඓතිහාසික නුග රුක පිහිටි ස්ථානයට ආසන්නව පිහිටා තිබූ වික්ටෝරියා රැජිණගේ ප්‍රතිමාව ද විහාර මහා දේවි උද්‍යානයට ගෙන යනු ලැබීය. මේවා පිහිටි පරිශ්‍රය අතීතයේ දී හඳුන්වනු ලැබුවේ ගෝර්ඩ්න් උයන වශයෙනි.
 
සන්ඩේ ටයිම්ස්
 
හැම දිසාවකම ජනපති රැස්වීම් මාලාවක්
 
රජය මගින් කරන ලද වැඩ සහ මෑතකාලීන දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැම්පේන් එකක් දියත් කිරීමට සැරසෙයි.

මේ සඳහා සෑම දිස්ත්‍රික්කයකම දැවැන්ත ජනරැලි සංවිධානය කිරීමට තමන් අදහස් කර ඇතැයි පැජට් පාරේ තම නිල නිවෙසේ පසුගියදා පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

දිස්ත්‍රික්කයේ සිටින සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම සහ ආසන සංවිධායකවරයකුම රැස්වීම සඳහා සහභාගි විය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. මේ රැස්වීම් මාලාව පළාත් පාලන මැතිවරණය සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද රැලිවලට අමතරව පැවැත්වෙන ඒවා බවද සඳහන්ය.

සන්ඩේ ටයිම්ස්