2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

මහ ඇදුරු ගුණපාල මලලසේකර

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

මහාචාර්ය ගුණපාල මලලසේකර අනුස්මරණ රැස්වීමක් පසුගියදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විණි. මෙම රැස්වීමට ගරුතර සංඝරත්නය මෙන්ම බහුශ්‍රැත සමාජයේ නියෝජිතයන් ද පැමිණ සිටියහ. ඔවුන් සියලුදෙනාම මලලසේකර ඇදුරුතුමාගේ සේවය ගැන පැහැදුණු අය වූහ.

නූතන ශ්‍රී ලංකාව නිර්මාණය කිරීමට මුල් වූ නායකයින් අතළොස්සට මලලසේකර ද අනිවාර්යයයෙන් ඇතුළත් වෙයි. ‍ශාස්ත්‍රවන්තයෙක්, සරසවි ගුරුවරයෙක්, තානාපතිවරයෙක් හා ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වූ බෞද්ධ නායකයෙක් වශයෙනුත් ඔහු විශාල සේවයක් කළේය. ඒවායින් ප්‍රධාන භූමිකා කීපයක් ගැන මේ තීරු ලිපියේ සඳහන් කිරීමට බලාපොරොත්තු වෙමි.

මුලින්ම වෛද්‍ය විද්‍යාව වෙත තරුණ මලලසේකරගේ සිත ඇදී ගියේ ඔහුගේ පියා පානදුරේ ප්‍රසිද්ධ වෙද පවුලකට අයත් වූ කෙනෙක් නිසාය. මලලසේකරගේ පියතුමා වූ පීරිස් වෙද මහතා සිය දරුවාට උසස්ම බටහිර මෙන්ම දේශීය අධ්‍යාපනයක් ලබාදීමට තරම් ඥානවන්ත කෙනෙක් විය. වෛද්‍ය විද්‍යාවෙන් සාමාර්ථය ලැබුවද, මලලසේකර තෝරා ගත්තේ ප්‍රාචීණ භාෂා පිළිබඳ හැදෑරීමයි. ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කළ මලලසේකර එහි විද්‍යාලාධිපති වූ පී. ද ඇස්. කුලරත්නගේ සහාය ඇතිව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේය. එහි වූ ප්‍රාචීණ භාෂා පිළිබඳ අධ්‍යයනයන්ට ඔහු ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වූවා පමණක් නොව එම විෂයන් පිළිබඳ උසස්ම පෙළේ උපාධියක්ද ලබාගත්තේය. මේ වනවිට පාලි පුස්තක සමාගම එංගලන්තයේ පිහිටුවා තිබුණි. ලංකාවේ සිවිල් සේවයට බැඳි අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කවල දිසාපතිවරයෙක්ව සිටි රීස් ඩේවිඩ්ස් මහතා එම සංගමයේ ප්‍රධාන ධූරයක් දැරීය. ඔහුගේ සහායට මෙරට ආණ්ඩුකාරවරයෙක්ව සිටිය දී පාලි භාෂාව උගත් රොබර්ට් චාමර්ස් හා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්ය මැක්ස් මුලර්ද සිටියහ. මේ කාලයේදීම අනගාරික ධර්මපාලතුමාත් එංගලන්තයේ සංචාරයක් සඳහා පැමිණ පාලි පුස්තක මාලා ප්‍රකාශ කිරීමට අනුබල දුන්නේය. ඉහත සඳහන් පාලි පුස්තක මාලාවටම ඇතුළත් වූයේ ඉංග්‍රීසියට පෙරළන ලද ප්‍රසිද්ධ බෞද්ධ සූත්‍රයි. මෙම සූත්‍ර පැවතියේ පාලි භාෂාවෙනි. එම නිසා මෙම යුගය වනවිට පාලි භාෂාවේ පුනරුදයක්ද විද්‍යමාන විය. ලංකාවේ උගත් ප්‍රසිද්ධ භික්ෂූන්ගේ සහායද මෙම සංගමය වෙත නොමසුරුව ලබාදෙන ලදි. මේ කටයුතු සංවිධානය කිරීමට පරමවිඥානාර්ථ සමිතිය බෙහෙවින් උපාකාරී විය. පරමවිඥානාර්ථ සමිතිය පැරණි පුස්කොළ පොත් එක්කාසු කරමින් ඒවා පරිවර්තනය සඳහා ලන්ඩන්වලට යවන ලදි. තරුණ අනගාරික ධර්මපාලතුමාව හැඳින්වූයේ ඩේවිඩ් හේවාවිතාරණ ලෙසිනි. ඔහු එකල පරමවිඥානාර්ථ සමිතියේ ප්‍රබල සාමාජිකයෙක් විය. මෙම සමිතිය බොහෝවිට සුළු සුළු ප්‍රාතිහාර්යයන් පෙන්වමින් සාමාජිකයන්ව ආකර්ශනය කළේය. මදුරාසිය අසල අඩ්යාර් වල පිහිටා තිබූ පරමවිඥානාර්ථ සංගමයේ මූලස්ථානයට ඩේවිඩ් හේවාවිතාරණ කීපවරක්ම පැමිණියේය. එහිදී තරුණ හේවාවිතරණ ගුප්ත විද්‍යාව හැදෑරීමට ආසාවක් දැක්වූ නමුත් බ්ලැවැට්ස්කි මැතිණිය එය වැළැක්වූවාය. “ඔබට හරියටම වටින්නේ පාලි භාෂා ඥානයයි. අන් ශාස්ත්‍රයන් අමතක කර පාලි භාෂාව ඉගෙන ගන්න.” යැයි ඇය තරුණ සිංහලයාට අවවාද කළේය. එම අවවාදය පිළිගත් හේවාවිතාරණ පාලි භාෂාව උනන්දුවෙන් ඉගෙන ගත්තා පමණක් නොව එම විෂයයේ හපනෙක් බවට පත්වූයේය.

මලලසේකර එංගලන්තයට ගොඩබසින විට රීස් ඩේවිඩ්ස් මියගොස් සිටියේය. ඔහුගේ තැන ගත්තේ ඔහුගේ බිරිඳ වූ කැරලැයින් රීස් ඩේවිඩ්ස්ය. ඇයද පාලි බස හොඳින් ඉගෙන සිටි අතර එම දැනුම උපයෝගී කර ගනිමින් ග්‍රන්ථ කීපයක්ම ප්‍රකාශයට පත් කළාය. ඇගේ ප්‍රධාන ශාස්ත්‍රවන්තයා හැටියට තෝරා ගන්නා ලද්දේ තරුණ මලලසේකරයි. ඔහු කැරලැයින්ගේ අග්‍ර පුරෝහිතයා වූ අතර ඇගේ සහාය ඇතිව ශාස්ත්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කරමින් පශ්චාත් උපාධියක් ලබා ගත්තේය.  ඔහුගේ පර්යේෂණ යොමුකරන ලද්දේ පාලි නාම කෙරෙහිය. “පාලි නාම ශබ්දකෝෂය” යනුවෙන් ඉදිරිපත් කරන ලද මලලසේකරගේ විශාල ග්‍රන්ථය මේ විෂය පිළිබඳ ලියැවුණු උසස්ම කෘතියකි. මේ වන විට අනගාරික ධර්මපාල කැරලැයින් රීස් ඩේවිඩ්ස් සමඟ වාදයක පැටලී සිටියේය. ඔහු ඇය දේව භක්තිකයෙක් යැයි චෝදනා කරමින් ඇයට පරිභව කළේය. එම බැණ වැදීමේ දී ධර්මපාල, මලලසේකරට ද පහර ගැසීය. එහෙත් මේ සියලු විවේචන ඔහු විසින් ඉවසන ලදී. වරක් පරුෂ වචනයකින් මලලසේකරව විවේචනය කළ ධර්මපාලතුමා පසුව කාරුණිකව සිය අධ්‍යාපනය සඳහා මලලසේකරට මුදල් පරිත්‍යාගයක් ද කළේය. ඔහු මලලසේකර දක්ෂ ගුරුවරයෙක් බවත් ප්‍රශංසනීය සේවයක් කරන බවත් පසුව කීවේය. මලලසේකර තරම් සංවිධාන ශක්තියක් තිබූ බෞද්ධ නායකයෙකු සොයාගත නොහැකි තරම්ය. ඔහු සහ කුලරත්න එක්වී ආනන්දය හා නාලන්දය ගොඩ නැගුවෝය. බෞද්ධ ධානපතියන් හිඟ කලට ඔවුන් රටේ උපාසකම්මලාගෙන් සතෙන් සතේ එක්කර එම පාසැල් සංවර්ධන සමිති පෝසත් කළෝය. එපමණක් නොව බෞද්ධ පරමවිඥානාර්ථ සමිතිය හරහා ධර්මරාජ, මහින්ද, රාහුල, ධර්මාශෝක වැනි පාසැල් ගොඩ නගා රටට හිතැති උගත් පරපුරක් ඇති කිරීමේ ගෞරවය මලලසේකරට ද හිමිවේ.

බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාථ වූයේය. නායකත්වයේ හිඩැස පිරවීමට බණ්ඩාරනායක මැතිනිය ඇතුළු පවුලේ අය මලලසේකරට ආරාධනා කළහ. ඔහු එම ඉල්ලීම කාරැණිකව ප්‍රතික්ෂේප කළේය. ඉන් පසුව පක්ෂයට හිතැති කොටස් මැතිනියට එම තනතුර භාරගැනීමට බල කළේය. මුලින්ම ඇය එම භාරදූර කටයුත්තට අකමැති වූවත් හේනේපිටගෙදර ඥානසීහ හිමි වැනි කුලුපගයින්ගේ ඉල්ලීම අනුව ඇය පසුව එකඟ විය. මැතිනිය ශ්‍රී. ල. නි. පක්ෂය පණ මෙන් රැක ගත්තීය.

බණ්ඩාරනායක විසින් රුසියාව සමඟ තානාපති සබඳතා ඇති කරගත් පසු පළමුවෙනි තානාපති හැටියට පිටත් කර යැව්වේ මලලසේකරවයි. ඉන්දියාවේ ජවහල්ලාර් නේරු විසින් එරට උසස්ම ගණයේ විද්වතෙකු වූ සර්වපල්ලි රාධාක්‍රිෂ්නන් රුසියාවට යැවු පසු බණ්ඩාරනායක ද ලංකාවේ උසස්ම බුද්ධිමතා වූ මලලසේකර තෝරා ගැනීමට පෙළඹුන බව අපට අනුමාන කළ හැකිය. රුසියාවට ගිය මලලසේකර මොස්කව්වල කැපී පෙනෙන චරිතයක් විය. එය කොමියුනිස්ට් පක්ෂයේ හැල හැප්පීම් බහුල කාලයක් විය. කෘෂ්චොප් විසින් ස්ටාලින්ගේ අපරාධ හෙළිදරව් කරමින් පක්ෂ සම්මේලනයක් ඇමතීය. ඉන් පසුව ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ මතභේද ඇතිවී ජාත්‍යන්තරව කුණාටුවක් සේ විහිදී ගියේය. මේ අතරතුර අපේ තානාපති මලලසේකර සිත එකඟ කර ගැනීමට බුද්ධාගම තුළ පිළිතුරැ ඇති බව  මොස්කව් විද්වතුන්ට දන්වා සිටියේය. ඔහු කෘෂ්චොප්ට බුද්ධාගම හා පාලි උගැන්වීමට කැමැත්ත පළ කළ ද සෝවියට් නායකයා එය පිළිගෙන නැති බව දැන් හෙළි වෙයි. එසේ වුවද රුසියාවේ විශ්වවිද්‍යාල කීපයක්ම මලලසේකරට ගෞරව උපාධි ගොන්නක්ම පිළිගැන්වූයේ රුසියන් නායක කෘෂ්චොප්ගේ අනුමැතිය ඇතිව යැයි සිතිය හැකිය.