2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

කියන්න කෙනෙක් නැති නඩුව

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

අධික සුළං සහ මහවැසි ඇදහැලීම හේතුවෙන් රටේ දිස්ත්‍රික්ක ගණනාවකට බරපතළ හානි සිදු විය. අනතුර තවමත් පහව ගොස් නැති බවත් ඉදිරි දිනවලදී යළිත් මේ තත්ත්වය සක්‍රීය වීමට ඉඩ තිබෙන බවත් ප්‍රකාශ වී තිබේ. මේ වන විට වාර්තා වී ඇති තොරතුරු අනුව හත්දෙනකු මරණයට පත් වී තවත් 23 දෙනෙක් අතුරුදන්ව සිටිති. ඊට අමතරව නිවාස සහ දේපොළ අනතුරු ද විශාලය. විදුලිය ඇනහිටීම නිසා දිස්ත්‍රික්ක ගණනාවක ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැඩි පීඩනයකට ලක්ව සිටියහ.

අයහපත් කාලගුණය හේතුවෙන් මරණයට පත් වූ සියලු දෙනාගේත් වෙනත් හානි සිදු වූ සියලු දෙනාටත් අපගේ කනගාටුව මුලින්ම ප්‍රකාශ කරමු. විපතට පත් පිරිස් වෙනුවෙන් හැම සහනයක්ම උපකාරයක්ම ලබාදීම සඳහා රජයේ මැදිහත් වීමද අවශ්‍ය බවත් මේ මොහොතේ ප්‍රකාශ කරමු. මේ මැදිහත් වීම් වචනයට පමණක් සීමානොවීම වැදගත් බවත් සඳහන් කළ යුතුය.

ස්වාභාවික විපත් කඩාවදින්නේ කලින් සැලසුම් කර ඇති ආකාරයකට නොවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැනි ආයතන පිහිටුවා තිබෙන්නේ එබැවිනි. කාලගුණය යකා නැටීමට සූදානම් වන විට ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කල්තබා දැනගත හැකි උපකරණ තිබිය යුතුය. ඒවා තිබෙන බවත් එහෙත් වර්තමානයට ගැලපෙන පරිද්දෙන් නවීකරණය නොමැති වී බවත් වරින් වර ප්‍රකාශයට පත්වෙනු අසන්නට ලැබේ. එහෙත් ක්‍රියාවට නැංවී නැත. කියන අනාවැකිවල හරි වැරදි සොයන්නට දහස් ගණනක් සිටිය ද එම අනාවැකි හරියට, වෙලා ඇතිව කියාගන්නට අවශ්‍ය කරන නවීන උපකරණ ලබාදීමට කටයුතු කිරීමට සිටින්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු සංඛ්‍යාවක් වීම ඊට හේතුවය. විෂය භාර ඇමැතිවරයා නිසැකවම ඉන් එක් අයෙකි.

මේ සියලුදෙනා පිළිබඳව මහ සුළං, මහවැසි පවතිද්දී සහ ලයිට් නැතිව අන්ධකාරයේ නිවෙස්වලට වී කල්ගත කරද්දී මතකයට නැඟීම වළක්වනු නොහැකිය. කාලගුණ දෙපාර්තමේන්තුව නම් මෙවර පැය 24 ක් කල්තබා හෝ දැඩි සුළං සහ වැසි තත්ත්වයක් වර්ධනය වන බවට අනාවැකි පළ කර තිබිණි. නමුත් ගැටලුව වී තිබුණේ මේ රටේ කීදෙනකු එම අනාවැකිය “සීරියස්” ගත්තාදැයි යන්නයි. එම පණිවුඩය හරිහැටි ග්‍රහණය කර ගත්තා නම් අතුරුදන් පිරිස අතරේ ධීවරයන් කිහිපදෙනකු සිටීමට ඉඩක් නැත. ධීවරයන් මුහුදු නොයා යුතු බව එම කාලගුණ අනාවැකියෙන් පැහැදිලිව කියා තිබිණි. නමුත් විපතට පත්ව දිවිගලවා ගත් ධීවරයන් පිරිසක් ප්‍රකාශ කර තිබුණේ තමන් කාලගුණයේ රතු නිවේදනය නුදුටු බවය. එය ධීවර වරායට ලැබී ඇත්තේ පසුව බවත් ඒ පිළිබඳව මුහුදු ගොස් සිටි ධීවරයන්ට දැනුම් දීමට කටයුතු කර නැති බවත් සඳහන්ය. එය නොසිදුවිය යුත්තක් බව සඳහන් කරනු වටී. වරද කාගේදැයි හඳුනාගත යුතුය.

ස්වභාවික ආපදාවකට මුහුණදීමට සූදානම් නොවූ අවස්ථාවක විපතක් ඇතිවන විට ඕනෑම කෙනකුට දෙවියන් සිහිවීම වැළැක්විය නොහැක. නමුත් මහ සුළඟක් මැද, මහ මුහුද මැද කරන සටනක දී දෙවියන්ට වුවද කළ හැකි කාර්යභාරයට සීමාවක් තිබෙන බව දැනසිටීම අවශ්‍යය. එසේ නම් කළ යුත්තේ අමාරුවෙන් හෝ කාලගුණ අනාවැකියක් අසා දැනගැනීමට ලැබුණොත් ආරක්ෂාකාරී පියවර ගැනීමය. කියන පරිදි විපතක් නොපැමිණියත් එය ප්‍රශ්නයක් කරගත යුතු නැත. අවශ්‍යම නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට බැණවැදී තමන්ගේ වැඩක් බලාගත හැකිය. එහෙත් කියන පරිදිම විපතක් පැමිණියහොත් කතාව වෙනස් වෙයි. එහිදී තමන්ටත් තම පවුලේ අයටත් සිදුවිය හැකි හානි අවම කරගත හැක්කේ කලින්ම ආරක්ෂක පියවර ගෙන තිබුණොත් පමණි. ධීවර වරාය භාරව කටයුතු කරන පිරිස් මේ කරුණු සිතේ තබාගෙන කටයුතු කිරීමට මේ හොඳම කාලයකි.

මේ අනතුරු සිදුවන්නේ ස්වභාවික විපතක දී පාලනය කළ නොහැකි පීඩාවන් ඇතිවන විට විපතට පත්වන පිරිස් හැරෙන්න ඕනෑ කොයි දෙසටදැයි යන්න ගැටලුවක්  බවට පත් වී තිබීම හේතුවෙනි. විදුලිය බිඳවැටීම මෙවැනි අවස්ථාවක දී බලාපොරොත්තු විය යුත්තකි. එහෙත් බිඳවැටුණු විදුලිය යළි සකස් කිරීමට දවසකටත් වඩා ගතවන්නේ නම් එතැන කුමක් හෝ වරදක් තිබිය යුතුය. දුරකතන ඇමතුම් ගත්තත් ඒවාට පිළිතුරු දෙන කෙනෙක් නැත. ගස් කඩාවැටීම්, මහා කණු, බෝඩ් කඩාවැටීම් ඉවත් කිරීම ද ප්‍රමාද වන අවස්ථා තිබේ. ඒවා කාර්යක්ෂමව ඉටු කිරීමට, හැකි ඉක්මනින් වැඩේ අවසන් කිරීමට අදාළ අංශ ක්‍රියාත්මක කරවීම අවශ්‍යය. දැන් සිදුවන්නේ මේ ඉටුවිය යුතු දේ සිදුනොවන විට ඒ ගැන වගකීම භාරගන්නට ද කෙනකු නැතිවීමය. අප මෙහිදී ඇඟිල්ල දිගුකරන්නේ එක් ඇමැතිවරයකුට, එක් ආයතනයකට හෝ නොවේ. සමස්ත රටාවම යළි සැකසිය යුතු තත්ත්වයක පවතින බව පෙන්වාදීම සඳහාය. එය යථාර්ථවාදීව තේරුම්ගෙන සෑම ස්වභාවික විපත් අවස්ථාවකදීම ක්‍රියාවට නැංවීමට වැඩපිළිවෙළක් සකස් කර ගැනීම අවශ්‍යය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ විපතක දිග, පළල පිළිබඳ ලේඛන සැකසීම සඳහා පමණක් නොවන බව තේරුම් ගැනීම ද අවශ්‍යය. ඊට වඩා කාර්යභාරයක් එයින් ඉටුවිය යුතුය. කාලගුණ දෙපාර්තමේන්තුව ද වෙනදා නිකුත් කරන අනාවැකි නිවේදනය මැදට දමා සුළං වේගය වැඩි වී මහවැසි ඇතිවන බව ප්‍රකාශ කිරීම ද ප්‍රමාණවත් නැත. එය විශේෂ “රතු” නිවේදනයක් මගින් දන්වා සිටීම අවශ්‍යය. ඒ සඳහා දැනට තිබෙන යල්පීනූ උපකරණ වුවද උපයෝගී කරගත හැකි බව අපගේ වැටහීමය.

කිහිපදෙනකු විසින් සිදුකළ බරපතළ වැරැද්දක් හේතුවෙන් සතියක් පමණ තිස්සේ රට තුළ පෙට්රල් හිඟයක් ඇතිවුණේ මීට මාසයකට පමණ පෙරදීය. අදටත් ඒ වැරැද්දට දඬුවම් ලැබූ කෙනකු නැත. දඬුවම් වින්දේ මේ රටේ වාහන හිමියන් පමණි. ස්වභාවික විපත් ගැන ද ඒ ටිකම කියන්න සිදුවීම කනගාටුවට කාරණයකි.