2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

යු.අැන්.පී අගමැති කෙනෙක් ඒක්ක මොන අාණ්ඩුද?

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

• මෙයාලට ඕන රට නොවේ ආණ්ඩුව  
• මහින්දගෙ නායකත්වය පිළිගන්න බැරි ඇයි?   
• එස්.බී.ගේ කතා වලංගු එයාටමයි!  
• අලුත් සන්ධානය අද හෙටම  
• සුළි සුළං එනකොට ප්ලේන් ගියේමත්තල වී ගබඩාවට

ශ්‍රී.ල.නි.පයයි මහින්ද රාජපක්ෂ පාර්ශවයයි එකතුකරන සාකච්ඡා බරටම යනවා කොහොමද දැන් ප්‍රගතිය...?
සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණ බවට වාර්තා වෙලා තියෙනවා. කමිටු දෙකකුත් පත්කරලා තියෙනවා. ඒ කමිටුවලින් අදහස් රාශියක් හුවමාරු කරගෙන තියෙනවා. නමුත් සම්පූර්ණයෙන් සාර්ථක තත්ත්වයකට ඇවිල්ලා නෑ.

සාර්ථකත්වය නැත්තේ කාගෙන්ද...?
මට කියන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂය දැනුම්වත් කරලා තියෙන දේවල් විතරයි. මූලික ප්‍රශ්නයක් පවතිනවා හේතුව යූ.ඇන්.පී. අගමැති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් එක්ක හවුල්වෙන්න බෑ. ඒකට විරුද්ධයි. ඒ විරුද්ධත්වය නිසා තමයි ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගුණේ. ඒ කාරණාව තවම පවතිනවා. ඒ නිසා යූ.ඇන්.පී ආණ්ඩුවක් ඇති කිරීමට හෝ ඊට උදව් කිරීමට අවශ්‍ය නෑ.

ඒත් ශ්‍රී.ල.නි.පයෙන් කියන්නේ ඔබලා ඉදිරිපත් කරන මහින්ද රාජපක්ෂට අගමැතිකම හරි විපක්ෂ නායකකම හරි දෙන්න කියලා. ඉදිරිපත් කරන යෝජනා සාධාරණ නෑ කියලා...?
සාධාරණය අසාධාරණකම් ඕනෑම සාකච්ඡාවක තියෙන දෙයක්. දැන් බලන්න අපේ ආණ්ඩුව රනිල්ගේ ආණ්ඩුව, චන්ද්‍රිකාගේ ආණ්ඩුව, ප්‍රභාකරන් එක්ක සාකච්ඡාවලට ඉඳ ගනිද්දී එහෙන් ලැබුණේ සාධාරණ යෝජනා නෙමෙයිනේ. නමුත් සාකච්ඡාවට ඉඳ ගන්නේ අරමුණක් වෙනුවෙන් නම් ඒ අරමුණයි වැදගත්. කල්පනා කළ යුත්තේ තනතුරු ගැන නොවෙයි මූලික ප්‍රතිපත්ති ගැන.

ඔය අගමැතිකම්, විපක්ෂනායකකම් ඉල්ලුවාට මහින්ද රාජපක්ෂ මහත්තයා එහෙම ඉල්ලීමක් කළේ නෑලු. කාගේද මේ උවමනාව...?
ආණ්ඩුවක් ඇති කරනවානම් එය යූ.ඇන්.පී විරෝධී ආණ්ඩුවක් විය යුතුයි. ඒ ගැන හිතලයි එම යෝජනාව ගෙනාවේ.

මේ යෝජනාව ඔබලාගෙන්ද...?
ඔව්... අපේ අරමුණ ප්‍රධාන ආණ්ඩුවක්. ඒ සඳහා අපි කියන්නේ යූ.ඇන්.පී එකෙන් අයින් වෙන්න කියලා.

ශ්‍රී.ල.නි.පයෙන් කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එකතු වෙන්න කැමති වුණත් ඔබ ඇතුළු අනෙකුත් පක්ෂ නායකයෝ ඒකට ඉඩ දෙන්නෙ නෑ කියලයි කියන්නේ...?
එවැනි චෝදනා ලබන්න තරම් අපෙන් දෙයක් වෙලා නෑ. එතන තියෙන්නේ ඒ දෙගොල්ලෝ අතර ප්‍රශ්න කතා කරලා විසඳන්න පුළුවන්ද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා ගියේ යූ.ඇන්.පීයත් එකතු වුණු කරුණ උඩ. ඒක විසඳාගැනීමට ඒ අය සාකච්ඡා කරනවා. ඒකට අපි සම්බන්ධ නෑ.

ශ්‍රී.ල.නි.පයේ එකතුවකට වඩා මේ වෙනකොට ඒකාබද්ධයේ බෙදීම පටන් අරගෙන තියෙනවා. ජනතාව කොහොමද විශ්වාස කරන්නේ ඔබලාව...?
ජනතාවගේ විශ්වාසය ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය සමඟ. ඒක පසුගිය කාලයේ මේ බලවේගයක් එක්ව පෙනුණා. ඒ නිසා තමයි ආණ්ඩුව මැතිවරණ කල්දාන්නෙත්. ජනතාව රැස් වෙන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමඟ. ඒකයි ජනතාවගේ විශ්වාසය.

ඇයි මේ ඒකාබද්ධයට රාජපක්ෂවරුන්ගෙන් තොර ලොවක් නැත්තේ. වෙන නායකයෝ නැද්ද...?
මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය ඒකාබද්ධ විපක්ෂයට පිළිගත්තා. ඒකට විරුද්ධ වෙන්න තරම් හේතුවක් ඇතිවෙලා නෑ.

හැබැයි චෝදනාව එන්නේ දිනේෂ්ලා, විමල්ලට, ගම්මන්පිලට යන එනමං නැති නිසයි රාජපක්ෂ කරේ එල්ලිලා ඉන්නේ කියලා...?
ජනාධිපතිවරණය ඒ අය දිනලා අපි මාසයක් දෙකක් ගත වෙනකොට නුගේගොඩ රැලියක් කැඳෙව්වා. ඒක කැදෙව්වේ මම, විමල් වීරවංශ, ගම්මන්පිල, වාසුදේව යන මන්ත්‍රීවරැන්ගේ අත්සනින් යවපු ලිපිවලින්. ඒ වෙලාවෙම කිව්වා කවුරුත් ඔය රැස්වීමට එන්නේ නෑ කියලා... ඔය කට්ටියමයි කිව්වේ. එදා පටන් ගත්ත මහ රැල්ල ආණ්ඩු පක්ෂයේ දොරටුව ළඟට ඇවිත් තියෙන්නේ. ඕවා වලංගු කතා නෙමෙයි.

විමල් වීරවංශ මන්ත්‍රීතුමයි එක්තරා රාජපක්ෂ කෙනෙකුයි අතර සීතල යුද්ධයක් පටන් අරගෙන තියෙනවා හේතුව මොකක් හරි ප්‍රශ්නයක් ද...?
ප්‍රශ්නයක් තියෙනවා කියලා එහෙම මතුවෙලා නෑ. ප්‍රශ්න නැති දේශපාලනයකුත් නෑ.

ඒ කියන්නේ අළුයට ගින්දර ඇවිලෙනවා...? 
හැම දේශපාලන ව්‍යාපාරයක නොයෙක් ප්‍රශ්න තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය.

ඔබලා කිව්වා සන්ධනයකින් එන්නේ කියලා. ඒත් දැන් හැමෝම පොහොට්ටුවට හේත්තු වෙලා. මොකක් හරි බලපෑමක්ද ආවද...?
සන්ධානය මේ වෙනකොට සකස් වෙමින් පවතිනවා. ඒ නිසා සන්ධානයක් බිහිවීම කිසි කෙනෙකුට නවත්තන්න බෑ.

සන්ධානය කෝ? ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට නාම යෝජනා දෙන්නේ පොහොට්ටුවෙන්...?
පොහොට්ටුව සන්ධානයේ එක පක්ෂයක් විතරයි. ඒ වගේම තව පක්ෂ තියෙනවා. ඉතින් කලබල නොවී ඒ පිරිස් එක් එක් පළාතෙන් තරග කරනකොට අර සන්ධානය බලාගන්න පුළුවන්.

ත්තද ඔබගේ පක්ෂවලට පොහොට්ටුවෙන් අවස්ථාව ලැබෙන්නේ නෑ කියන්නේ? අපේක්ෂකයන්ට වෙන අසාධාරණයට ඔබලා වගකීම ගන්නවාද...?
නායකයන් හැටියට අපි වගකීම භාර ගන්නවා. අසාධාරණ වෙන තැන් ඇති ඒ ගැන සාකච්ඡා කරන්න තීරණ ගන්නවා. එතැනදී අපි නායකයෝ හැටියට මැදිහත් වෙන්න වෙනවා. හැබැයි පොහොට්ටුව තනියම තීරණ ගන්නෙත් නෑ.

බැසිල් රාජපක්ෂ ඡන්ද කටයුතු මෙහෙයවීම තුළ ඒකාබද්ධයේ පිරිසක් සිත්තැවුලෙන් ඉන්නව කියලා කියන්නේ...?
අහවල් පුද්ගලයා කියලා මත ගැටුමක් නෑ. ඒකාබද්ධ විපක්ෂය එකමුතුවෙන් වැඩ කරගෙන යනවා. එහෙම නැතුව අරයා එක්ක ප්‍රශ්නද කියලා හොයන්න බෑ. අපි හදන්නේ මූලික ප්‍රශ්නයට විසඳුම් හොයන්න.

ඔය රාජපක්ෂවරු සමඟ තමයි ඔබලා මීට කලින් වැඩ කළේ අන්තිමට පරාජය වුණා. ඔබලා කොහොමද මේ පාර හරියයි කියලා ඒ රාජපක්ෂලා එක්කම ඉන්න ගමන් හිතන්නේ...?
අපි ජනාධිපතිවරණයේදී පැරදුණා. ඇත්ත... ඒ ජනතාවගේ වැරදි තීරණයක් ප්‍රකාශයට පත්වුණ නිසා. හැබැයි ඊට පස්සේ ජනතාව ඒක දැනගෙන ඉදිරියට ආපු නිසයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහමැතිවරණයේදී නායකත්වය දුන්නේ. ඒ ගමන නොනැවති ඉදිරියට යනවා.

හැබැයි ඉතිහාසයේ තුන්වෙනි පාර්ශවයකට බලය ඇල්ලීමේ අවස්ථාවක් තිබ්බෙම නෑ නේද...?
ඒ කියන කතන්දරෙත් ඇත්ත... හැබැයි බලය ජනතාව අතේ තියන නිසා ඒක සීයයට සීයයක් විශ්වාස කරන්න බෑ. අපි නොහිතන පෙරළි ලංකා දේශපාලනය තුළ සිදුවෙලා තියෙනවා... ඒ පෙරළි ලංකා දේශපාලනය වෙනස් කරලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට අනාගතයයි වැදගත් වෙන්නේ අතීතය නෙවෙයි. රටක අනාගතය වෙනුවෙනුයි දේශපාලනය කරන්න ඕන.

එස්.බී. ඇමැතිතුමා නම් කිව්වේ කවදාහරි පොහොට්ටුව හොම්බ බිම ඇනගෙන තමයි නතර වෙන්නේ කියලා...?
ඇත්ත කතාව ඔය කතාව අදාළ වෙන්නේ එතුමාටයි. එතුමාට මහමැතිවරණයේදී වෙච්චි දේ මතක නම් ඔය කතාව කියන්නේ නෑ.

එස්.බී. ඇමැතිවරයා කිව්වේ ඔහු වැනි ජ්‍යෙෂ්ඨයන් පරාද වුණේ මහින්ද රාජපක්ෂ එක්ක එකට හිටගත්ත නිසයි කියලා...?
මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක එකතු නොවී ඉන්න තිබ්බා. මොකටද එකතු වුණේ. දේශපාලන ජ්‍යෙෂ්ඨයන් කියන්නේ පොඩි අය නෙමෙයිනේ. පැහැදිලිවම වුණේ ඔවුන් සම්බන්ධව මහජන විශ්වාසය බිඳ වැටුණා. ඒකයි පරාජයට හේතු වුණේ. ඒක තේරුම් ගන්න කියන්න.

ඒ අයනම් කියන්නේ කරකවලා අන්තිමට ශ්‍රී.ල.නි.පයට කොක්ක ගහන්න යන්නේ කියලා...?
ශ්‍රී.ල.නි.පය එ.ජා.ප. විරෝධි නම් ඒ මහජන මතයක් එක්ක එක්විය යුතුයි.

ඇයි මේ පක්ෂ බදාගෙන දඟලන්නේ කාටත් උවමනාවක් නෑනේ රට හදන්න...?
අපි සහාය දැක්විය යුතු කාරණාවලට පමණක් අපි සහය දක්වලා තියෙනවා. රටේ අනාගතය, පැවැත්ම, ජනතාවගේ දියුණුවට හාත්පසින් දෙයක් ආණ්ඩුවෙන් වෙනවා නම් අපිට මහජනයා දුන් වරමට අනුවයි විරුද්ධ වෙන්නේ. කිසිකෙනෙක් කැමති නී තම රට විදේශික රටකට යටත් වෙනවාට. විදේශ රටකට විකුණනවාට. මෙන්න මේ නිසයි ආණ්ඩුවයි අපියි අතර මතබේදයක් ඇතිවෙලා තියෙන්නේ. හැබැයි එහෙම ගැටුම් තිබිලත් ආණ්ඩුවේ හරි දේට අපි සහය දීලා තියෙනවා. ආණ්ඩුව අස්ථාවර පැවැත්මක තියෙන්නේ ආණ්ඩුවට ඕනේ ආණ්ඩුව රුකගන්න මිසක් රට රුකගන්න නෙමෙයි.

අද ආණ්ඩුව පැටලිලා ඉන්න පඹගාල ඔබලා හදපු එකක් නේද...?
අපි විසින් හදපු එකක් නෙමෙයි. පළවෙනි දේ ආණ්ඩුව විශ්වාස කළා පිටරැටියෝ ඇවිත් ආණ්ඩුවට උදව් කරයි කියලා. ඒත් වුණේ අපේ කාලේ දාපු සල්ලිත් අරගෙන යනවා. ඒ මූලික වැරුද්ද ආණ්ඩුව පිළිගන්න ඕන. විස්වාසයක් නැති ආණ්ඩුවක් බවට රටේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයම පිළිගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රශ්න කලමනාකරණය කරලා නෑ.

ආණ්ඩුව කියන්නේ ඔබලා ගත්ත ණය නිසා තමයි එරිලා තියෙන්නේ කියලා. අද හිරවෙලා ඉන්නේ ඒ නිසා කියලා...?
ආණ්ඩුව එන්න කළින් ඉඳන්ම කිව්වා අපි කරපුවා නාස්තිකාර වැඩ කියලා. පසුගියදා බලන්න මහ සුළඟ එනකොට කටුනායකට ආපු ගුවන් යානා ගියේ මත්තලට. ඒක තිබ්බේ නැත්තන් මොකෝ වෙන්නේ. ආණ්ඩුව ඒක වී ගබඩාවක් කළා. කෑ ගහලා උද්ඝෝෂණය කරලා ඒ ගුවන් තොටුපොළ රුකගත්තා. මේ අය කරන්නේ අපි හදපුවා විවෘත කරන එක. ඒ පටන්ගත්ත දේවල් තමයි මේ අය විවෘත කරන්නේ. වෙනත් රටක වගේ නම් විෂය භාර ඇමති අයින් වෙලා. අපි විතරක් නෙමෙයි ණය හැම රජයම ගන්නවා අපි විතරක් නෙමෙයි පරණ ගත්ත ණය අපේ ආණ්ඩුවෙන් ගෙව්වා. ඒ නිසා ජනතාවට අවශ්‍ය කරන දේ සැපයීම ආණ්ඩුව සතු යුතුකමක්. ආණ්ඩුව හැම තිස්සේම ඉන්න ඕන ජනතාවගේ පැත්තේ.

සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා ජනාධිපතිට බැන්නාම ඉස්සෙල්ලම තරහා ගියේ ඔබටනේ...?
ජනාධිපති විවේචනය කුමක් වුවත් ජනාධිපතිව විවේචනය කිරීම මන්ත්‍රීවරයකු හෝ ඕනෑම අයකුට නොහොබිනා වැඩක් බව කීවේ අපි. එකෙන් පෙන්නනවා අපි සත්‍ය වෙනුවෙන් ඉන්නේ කියලා.

ඒකෙන් හිතන්න පුළුවන් හේතු මෛත්‍රී එක්ක දිනේෂ් ඩීල් එකක් තියෙනවා කියලා...?
හුඟාක් ඒවා හිතන්න පුළුවන්... නමුත් යථාර්ථය පාර්ලිමේන්තුව ඇතුළේ කාර්ය භාර්යයක් විපක්ෂයට තියෙනවා. අද විපක්ෂය තියෙන්නේ ඒකාබද්ධය විපක්ෂ විතරයි. විපක්ෂ නායක කෙනෙක් ඉන්නවා දේශපාලනයෙදි ගොලු වෙලා ඉන්නේ. ඒකාබද්ධ විපක්ෂයට වගකීමක් තියෙනවා අර තනතුරට සිදුකරන බාධාව සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව ඒක අපේ කාර්යය.

ඔබලා කියනවා ශ්‍රී.ල.නි.පයට අයින්වෙලා එන්න කියලා. බහුතරයක් නැතුව කොහොමද ආණ්ඩුවක් හදන්නේ...?
ආණ්ඩුව ගිලාබහිමින් තියෙන්නේ. මේ පක්ෂ දෙක අවුරුදු දෙකකට ගිවිසුමක් අත්සන් කරලා. ඒ ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙනල්ලා තමයි ඇමති මණ්ඩලයක් හදාගත්තේ. ඒ ගිවිසුම දැන් අවලංගුයි. දැන් ආණ්ඩුවත් අවලංගුයි. ඇයි ඒක ශ්‍රී.ල.නි.පය පිළිගන්නේ නැත්තේ. අපිට පුළුවන් ආණ්ඩුවක් හදන්න.

ශ්‍රී.ල.නි.පයේ යෝජනා මොනවාද ඒකාබද්ධයට ඉදිරිපත් කරලා තියෙන්නේ...?
ශ්‍රී.ල.නි.ප යෝජනා තවම නැති නිසයි තවම සාර්ථක නැත්තේ.

හැබැයි ශ්‍රී.ල.නි.ප. මහලේකම් කිව්වා ඒකාබද්ධය එක්ක එකතුවීමක් නෑ කියලා. ඒ කියන්නේ වැඩේ ඉවරයි නේද...?
සාමාන්‍යයෙන් ඔය සාකච්ඡා වෙන දේවල්වල ඔක්කොම ජනමාධ්‍ය තුළ විකාශනය වෙන්නේ නෑ. හොඳම උදාහරණය තමයි ලෝකයේ බලවත්ම සතුරෝ දෙන්නා ඇමරිකාවයි, චීනයයි හොරෙන් කතා කරලා ඊට පස්සේ තමයි එකට එකතු වුණේ. හැබැයි අපේ රටේ සාකච්ඡා පටන් ගත්ත තැන් ඉඳලා මාධ්‍යයට කියනවා. ඒ නිසා විශ්වාසය බිදෙනවා.

ඔබ පිළිගන්නවද ඇත්තටම ඒ දේශපාලන විශ්වාසය නැති කළේ ඔබලමයි කියලා...?
ඔව්... මම එකඟයි. දේශපාලනය වටා තියෙන්නේ පුද්ගල වාදයක්. මහජනයාට කලකිරීමක්.

ඔබ පිළිගන්නවාද ඒකාබද්ධය ඇතුළෙත් පුද්ගල වාදයෙන් සමහර චරිත ඉස්මතුවෙනවා කියලා...?
හැම දේශපාලන පක්ෂයකම ඒක තියෙනවා. පසුගිය වසර විසිපහ දින තුළ ඒක සීඝ්‍රයෙන් වෙලා තියෙනවා. ඒ කිරීම නිවැරදි කිරීම අනාගත ලංකාවකට යන්න නම් දැන් කියව කියවා ඉඳලා වැඩක් නෑ.

අනාගතය නිර්මාණය කරන්න ඔබටත් පුළුවන් වෙන්නේ ඇයි නායකයෝ විතරක් බිහි කරන්නේ ඔබටත් නායකයෙක් වෙන්න බැරිද...?
අපේ කාල පරිච්ඡේදයේ අලුත් අය බිහි කරන්න කටයුතු කරලා තියෙනවා. ඉදිරියටත් උදව් කරනවා. දේශපාලන ප්‍රතිපත්තිවලට ගරුකරන ක්‍රමයක් ඉදිරියට ගේන්න ඕන. පුද්ගලයන් ඉස්මතු කරන ක්‍රමයකින් තොරව. අන්න ඒකට අපි මැදිහත් වෙනවා.

I ගයාන් ගාල්ලගේ