2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

හෙට රට කොතැනද?

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

සම්මුති ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම ගැන දැන් මේ රටේ බොහෝදෙනා සැක පහළ කරති. ආණ්ඩුව ඉදිරියට ගියත් සම්මුතිය දිගටම රැකගෙන කරට අතදාගෙන ගමනක් යාමට තිබෙන ඉඩකඩ නම් එන්න එන්නම පටුවෙන බව පෙනෙන්නට තිබේ. නායක මට්ටමින් සිදුවන කතාබහින් පමණක් නොව “අගසව්” මට්ටමින් සිදුකෙරෙන කතාබහ ද මේ ඉඩකඩේ ප්‍රමාණය ගැන ඉඟි පළ කරමින් සිටී. වැඩි ඈතකට යා යුතු නැත. පසුගිය 13 වැනිදා, සඳුදා හාලිඇල ප්‍රදේශයේ ජනහමුවකදී ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා කළ මේ ප්‍රකාශය එයට ප්‍රබල සාක්ෂියක් සපයයි.

“මේ සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්නවා කියලා අපේ ජනාධිපතිතුමාට අවලාද කියන්න, අවමන් කරන්න, අපේ ජනාධිපතිතුමාට අපහාස කරන්න ඉඩ දෙන්න බැහැ. යූ.එන්.පී. කාරයන්ට ඡන්දෙට දාන්න එකෙක් හිටියෙ නැහැ. උන්ට ඡන්දය දිනන්න බැහැ. උන්ට තනියෙන් දිනන්න බැරි හින්දා පොදු අපේක්ෂකයා ලේබලය අලවාගෙන තමයි මෛත්‍රීපාල මහත්තයා දාගෙන දිනාගත්තෙ. ඒ දිනාගත්තා කියලා යූ.එන්.පී. කාරයන්ට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ විදියට අවමන් කරන්න දෙන්න බැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙ හිසට උඩින් කාක්කන්ට පියාසර කරන්න පුළුවන්. එතුමගෙ ඔළුව උඩ ඕන නම් කූඩු හදන්නත් පුළුවන්. හැබැයි ඔළුව උඩ කූඩු හදලා අසූචි දාන්න ආවොත් එක්සත් ජාතික පක්ෂයේ එවුන්ට අපි කියනවා අපි නිකම් ඉන්නෙ නැහැ. එවුන්ට නිසි පාඩමක් උගන්වනවා. අපි නෝන්ජල් වෙන්නෙ නැහැ. නපුංසකයො වෙන්නෙ නැහැ.”

මෙහෙම කියන ඩිලාන් මෛත්‍රීපාල - මහින්ද ඡන්ද සටනේ දී හිටියේ මෛත්‍රීපාල එක්ක නොවේ. මහින්ද එක්කය. ඔහු මහින්දගේ ඡන්ද සටනේ පුරෝගාමී චරිතයක් විය. ඉන්පසුව මහ මැතිවරණයේ මාධ්‍ය සාකච්ඡාවක දී “වස බඳුන්” පහක් ඉදිරිපත් කළේ ඒවා මහින්දට විරුද්ධව ක්‍රියා කරන ඉදිරිපෙළේ පුද්ගලයන්ට ලබාදෙන බව කියමිනි. ඉන් එකක් ඔහු වෙන් කළේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ටය. 

සෝභිත හාමුදුරුවෝ මහින්ද පරදවා මෛත්‍රීපාල මහතා ජනාධිපති කරවන සටනේ පුරෝගාමී චරිතයක් වීම ඊට හේතුව විය. නමුත් ඡන්දයෙන් පසුව ඩිලාන් නැවතුණේ මහින්ද සමඟ නොවේ. මෛත්‍රීපාල ජනාධිපති සමඟය. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු වූ ඔහුට රාජ්‍ය ඇමැති පදවියක්ද ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරද හිමි විය. 

එහෙම ඉන්න ඩිලාන් මේ තරම් කේන්තියකින් කතා කරන්නේ ආණ්ඩුව සමඟ තරහකින් නොවන බව නම් පැහැදිලිය. එක්කෝ ඔහු ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වය පිළිබඳව දැඩි ලෙස කලකිරී සිටිය යුතුය. නැතහොත් වෙනත් බලවත් හස්තයක් මගින් මේ කරුණු කියවූවා විය යුතුය. බැලූ බැල්මට පෙනෙන්නේ මේ කාරණා දෙකම ඊට අදාළ බවය.

සම්මුති ආණ්ඩුවල පැවැත්ම ගැන විවිධ මත පළවෙමින් තිබේ. ඉහත කතාවේදී ඩිලාන් කියා තිබුණේ දැන් තිබෙන රජය තමන්ට ටිකක් හුරැ නැති රජයක් කියාය. එය ඔහු හඳුන්වා දී තිබුණේ නයයි මුගටියයි එකතුවෙලා ඉන්නේ යනුවෙනි. නයි - මුගටි සටනක් කෙළවර වන්නේ එක් සතෙක් විනාශ වෙමිනි. නමුත් අනෙක් සතාටද වැඩි ආයුෂ නැත. සටනේ දී ඇඟට එන විෂ හේතුවෙන් ඌටද අත්වන්නේ මරණයයි. ඒ අනුව ඩිලාන් පවසන ආකාරයට සම්මුති ආණ්ඩුව නයි - මුගටි එකතුවක් නම් දැන් සටන පටන්ගෙන තිබේ. එය කෙළවර වන්නේ නයි - මුගටින් සේම ආණ්ඩුවද විනාශ කර ගනිමින්දැයි දැන්ම කීම පහසු නැත.

ශ්‍රීලනිපය සම්මුති ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම වේදිකාවේ මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කර ගනිමින් සිටින විට යූ.එන්.පි.ය එම ප්‍රශ්නය ඊට වඩා වෙනස් ආකාරයකට මෙහෙයවන බව පෙනෙන්නට තිබේ. ජනාධිපතිගේ දැඩි විවේචනයෙන් පසුව පැවැති යූ.එන්.පී.යේ පළමු කෘත්‍යාධිකාරී කමිටුවේ රැස්වීමේ දී දූෂණ, වංචා චෝදනා ඉක්මනින් විභාග කර වරදකරුවන්ට දඬුවම් දීම රජයේ මූලික අරමුණ වුවද එම කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් පක්ෂයේ දැඩි කනස්සල්ල පළ කර තිබුණි. නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා එහිදී ප්‍රකාශ කර තිබුණේ එෆ්.සී.අයි.ඩි.ය පරීක්ෂණ අවසන් කළ ලිපිගොනු 92 ක් නීතිපති දෙපාර්තමේන්තුවට බාර දී ඇතත් ඒවා අතුරින් පියවර ගෙන ඇත්තේ ලිපිගොනු 13 ක් සම්බන්ධයෙන් පමණක් බවය. දූෂණ චෝදනා සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ විමර්ශන ආයතන මගින් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමටද කෘත්‍යාධිකාරී කමිටුව තීරණයක් ගෙන තිබිණි. සති දෙකකට වරක් එම කමිටුව රැස්වී ඒ සම්බන්ධව වාර්තාවක් අගමැති වෙත බාරදීමටද තීරණය විය.

මේ සමඟ යූ.එන්.පි.ය යෝජනා කර ඇත්තේ දූෂණ හා වංචා පිළිබඳ නඩු විමර්ශන සහ විභාග කිරීම සඳහා ගතවන කාලය අවම කිරීම සඳහා සෑම දුෂණ විරෝධී මහාධිකරණයක් සඳහාම විනිසුරැවරුන් තිදෙනකු පත් කිරීමත්, මහාධිකරණ තීන්දු සඳහා වන අභියාචනා ඍජුවම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමත්, නීතිපතිට වගකියන නඩු පැවරීමේ ඒකකයක් වෙනම ඇති කිරීමත් කළ යුතු බවය. මේ යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ශ්‍රීල.නි.ප. පාර්ශ්වයේ ප්‍රතිචාරය කුමක්දැයි තවම දැනගැනීමට නැත.

එය කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේ බරපතළ විරසකයක් ඇති කර තිබෙන බැඳුම්කර කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (20) පෙනී සිටීමට නියමිතය. අග්‍රාමාත්‍යවරයාට එසේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණේ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාය. සභාපතිවරයා දැනුම් දී තිබුණේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කොමිසම මීට පෙර අවස්ථාවක දී අග්‍රාමාත්‍යවරයාට ප්‍රශ්නාවලියක් යොමු කළ බවය. ඊට පිළිතුරු වශයෙන් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා වික්‍රමසිංහ මහතා කැඳවීමට කොමිසම පියවර ගන්නා බවද ප්‍රකාශ කර තිබූ සභාපති විනිසුරුවරයා බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් හැර ඊට පරිබාහිර කිසිදු ප්‍රශ්නයක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නොඅසන බවද දැනුම් දී තිබේ. 

මේ අතර කොමිසමේ සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා සඳහන් කර තිබුණේ 2015 පෙබරවාරි 27 වැනිදා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට දුරකතනයෙන් කතා කළ බවත් බැඳුම්කර වෙන්දේසියෙන් රුපියල් බිලියන 10.05ක අරමුදල් රැස්කරගත් බව ඒ අවස්ථාවේ දී ඔහු දැනුම් දුන් බවත් අග්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවය.

අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කරන කරුණු පිළිබඳව රටේම අවධානය යොමුවීම නිසැකය. කොමිසම අවසානයේ නිකුත් කෙරෙන වාර්තාවට එම කාරණාව කුමන ආකාරයකට බලපෑම් කරනු ඇත්දැයි දැන්ම කිව නොහැකිය. එසේ වුවත් බැඳුම්කර ගනුදෙනුව, කොමිසම පත් කිරීම සහ එහිදී අනාවරණය වූ කාරණා යහපාලන ආණ්ඩුවේ සම්මුතියට බරපතළ හානියක් සිදුකර ඇති බව නම් පැහැදිලිය.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා (16) බැඳුම්කර කොමිසමේ දී හෙළි වූ දුරකතන ඇමැතුම් විස්තර මේ ගැටලුව තවත් සංකීර්ණ මට්ටමකට තල්ලු කරනු ඇති බවට සැකයක් නැත. මේ දුරකතන සම්බන්ධතා පිළිබඳ විස්තර කොමිසම හමුවේ හෙළිකරනු ලැබුවේ බැඳුම්කර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකළ රහස් පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසිනි. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටුව පරීක්ෂණ පවත්වද්දී එහි සාමාජික මන්ත්‍රීවරුන් 28 දෙනාගෙන් පස් දෙනකු සමඟ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අවස්ථා 48කදී දුරකතන සම්බන්ධතා පවත්වා ඇති බව ඔහු විසින් හෙළිකර තිබිණි. කෝප් කමිටු පරීක්ෂණය පැවැත්වෙද්දී මුදල් ඇමැති වූ රවි කරැණානායක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ ද අර්ජුන් ඇලෝසියස් මහතා අවස්ථා 476කදී දුරකතන සබඳතා පවත්වා තිබූ බවද සඳහන් විය. ඊට අමතරව යූ.එන්.පී. මැති ඇමැතින් වන සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා සමඟද ඔහු දුරකතන සබඳතා පවත්වා තිබිණි. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට ද අවස්ථා දෙකකදී කතා කළ බවද ප්‍රකාශ විය.

කෝප් කමිටු පරීක්ෂණ සිදුවෙද්දී රවිටත් (ඇමතුම් 84), ඔහුගේ බිරිඳටත් (ඇමතුම් 320),  දියණිය ඔනෙලාටත් (ඇමතුම් 18) දුරකතන ඇමැතුම් අර්ජුන් ඇලෝසියස්ගෙන් ලැබී තිබීම මේ ගනුදෙනුවේ පාරදෘශ්‍යභාවය තදින්ම කෙළෙසා දමන සිද්ධියක් වීමට ඉඩ ඇතැයි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකුගේම මතය වී තිබේ.

මෙම දුරකතන වාර්තාවලින් හෙළිවී ඇති තවත් කාරණාවක් වන්නේ 2015 ජනවාරි 23 වැනිදාත් 2017 ජූනි 20 වැනිදාත් අතර අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනත් අතර දුරකතන ඇමැතුම් 27ක් හුවමාරු වී ඇති බවය. එයින් 07ක් සිදුවී ඇත්තේ මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වශයෙන් සිටියදීය. කෙසේ වුවද කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට කිසිදු දුරකතන ඇමතුමක් ලබාදී නැති බවද සඳහන්ය.

බැඳුම්කර කොමිසමේ දුරකතන ඇමතුම් හෙළිදරව්ව දෙබරයට ගල් ගැසීමක් වන ලකුණු පහළ වෙමින් තිබේ. පාර්ලිමේන්තුවේදී සුජීව සේනසිංහ ඇමැතිවරයා බ්‍රහස්පතින්දා (16) කතා කරමින් සිටියදී කාංචන විජේසේකර මන්ත්‍රීවරයා බැඳුම්කර කොමිසමේදී සුජීව සේනසිංහ මහතා 47 වතාවක් අර්ජුන ඇලෝසියස්ට කතා කළ බව සඳහන් කිරීමෙන් පසුව සුජීව සේනසිංහ පෙරළා කාංචන විජේසේකරට සැරෙන් උත්තර දුන්නේය. “ඔයාගෙ තාත්තා ගැහුව ගැහිල්ල අපි කතා කරන්නෙ නෑ. ජපානෙ නැව් ටික. ඒකේ නඩුව කළේ මමයි” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය. මේ කතාබහට මැදිහත් වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටද ඔහු සැරෙන් උත්තර දුන්නේය. “මම අහන්නේ ඔබතුමා 47 වතාවක් ඇලෝසියස්ට කෝල් කළාද නැද්ද කියන්න” යැයි නාමල් කියූවිට සුජීව උත්තර දුන්නේ “ගොඩ ඉඳගෙන මඩගහන්න එන්න එපා. තාත්තා යුද ජයග්‍රහණය කළා. නමුත් නඩේම ගෙදර යැව්වේ හොරකම් කරපු හින්දා. ගැහුව ගැහිල්ලට පරම්පරා ගණනකට හම්බ කළා” යනුවෙනි.

මේ කතා අස්සේ පළාත් පාලන ඡන්දය යළිත් කල්යාමට හේතුවිය හැකි කාරණාද යෙදෙමින් තිබේ. සීමා සහ සභික සංඛ්‍යා නිර්ණය කරමින් නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ආඥාවක් ඉල්ලා රීට් පෙත්සමක් ගොනු කිරීම ඊට හේතුවය. මෙම පෙත්සම අභියාචනාධිකරණය ඉදිරියේ සලකා බැලීමට නියමිතය. මේ අතර ගැසට්ටුවට එරෙහි එම පෙත්සම ඉවත දමන්නැයි ඉල්ලා අතරමැදි පෙත්සම් හයක්ද ගොනුකර තිබේ. දැන් පෙනෙන්නට තිබෙන්නේ පුංචි ඡන්දය සම්බන්ධයෙන් රට ඇතුළේ විශාල කඹ ඇදිල්ලක් නිර්මාණය වෙමින් තිබෙන බවය.

මේ අතර පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගි වෙමින් මහින්ද ප්‍රකාශ කර තිබුණේ පවතින ආණ්ඩුව ගෙදර යැවීමට රටේ ජනතාව පෙළ ගැසිය යුතු බවය. මිළඟට පැවැත්වෙන මැතිවරණය ජනතාවගේ සැබෑ දේශපාලන කැමැත්ත හෙළිකරනු ඇති බවත් දැනට සිටින දූෂිත අකාර්යක්ෂම නායකයන් ඉක්මණින් ගෙදර යැවීම ජනතාව ඉදිරියේ ඇති කාර්යභාරයක් බවත් මහින්ද කියා තිබුණි.

කෙසේ වුවද අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගැනීමට ආණ්ඩුවට හැකිවිය. යූ.එන්.පී.යට තදින් බැණවැදුණු ඩිලාන්ලා සියලුදෙනාද අයවැයට පක්ෂව ඡන්දය දී තිබුණේය. නමුත් ඩිලාන් කියන නයා සහ මුගටි ආණ්ඩුවට ඊළඟ පියවර තැබීමට පෙර සිතන්න බොහෝ දේවල් තිබෙන බව නම් පැහැදිලිය.

ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00