2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

ඒකපාර්ශ්වික ඡායාරූප

මෙය පුවත් වාරණයේ අතුරු කතාවකි. සිද්ධිය වූයේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා තම මංගල අයවැය ඉදිරිපත් කළ දවසේ පාර්ලිමේන්තුවේදීය. අණ ලබාදී තිබුණේ කවුදැයි පැහැදිලි නුවූවද එය ක්‍රියාත්මක කිරීම පොලිස් නිලධාරීන්ට පැවරී තිබිණි.
පාර්ලිමේන්තු ගැලරියේ සිට අයවැය ඉදිරිපත් කිරීම ඡායාරෑප ගත කිරීම සඳහා පැමිණ සිටි ඡායාරූප ශිල්පීන් මේ හේතුවෙන් වැටුණේ ලොකු අමාරුවකය.
 
ඇතුළු වූ පසුව ඔවුන්ට දැනුම් දෙනු ලැබුවේ ඔවුන්ට රැඳී සිටිය හැක්කේ ගැලරියේ එක් කෙළවරක පමණක් බවය. එතැනට පෙනුණේ පාර්ලිමේන්තු ලොබියේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපස මන්ත්‍රීන් අසුන්ගෙන සිටින ආසන පමණකි. විපක්ෂ මන්ත්‍රීවරුන් සිටි ආසන ඡායාරූප ගත කිරීමට හැකිවන පරිදි අනෙක් පැත්තට මාරුවීමට තැත්කළ ඡායාරූප මාධ්‍යවේදීහු රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් වළක්වනු ලැබූහ. පොලිස් නිලධාරීන් කියා තිබුණේ අනෙක් පැත්තට මාරැවිමට ඉඩ නොදෙන්නැයි තමන්ට නියෝග ලැබී තිබෙන බවය.
 
එය අලුත් නීතියක් බව පෙනී යන්නේ යන්තම් මාසයකට පෙර පැවැති පාර්ලිමේන්තුවට වසර 70ක් පිරීමේ අවස්ථාව ඡායාරූප ගත කිරීමට පාර්ලිමේන්තු උඩුමහලේ ගැලරියේ නිදහසේ එහා මෙහා යාමට ඡායාරූප මාධ්‍යවේදීන්ට ඉඩ සලසා තිබීම හේතුවෙනි. එනිසා එම අවස්ථාවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඡායාරූප ලබාගැනීමට හැකිවිය. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ උතුරා යාම එසේය.
 
 - සන්ඩේ ටයිම්ස්
 
නේස්බි සාමිගේ හෙළිදරව්ව
 
ශ්‍රී ලංකාවේ පැවැති ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතධාරියකු වශයෙන් සැලකෙන බ්‍රිතාන්‍ය කොන්සවැටිව් පක්ෂයේ මන්ත්‍රී නේස්බි සාමි පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ යුද්ධය හේතුවෙන් මියගිය පිරිස හතළිස් දහසක් නොව හත්දහසක් බවය. යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් මේ කරුණු තමන් සොයාගනු ලැබුවේ එවකට ශ්‍රී ලංකාවේ සිටි ලන්ඩන් ආරක්ෂක නිලධාරියා විසින් සැකසුණු රහස්‍ය වාර්තා පරිහරණය කිරීමෙන් බවය. ඔහු මේ බව කියා තිබුණේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන WION (World Is One News) හි මාධ්‍යවේදිනියක වන මැන්ඩි ක්ලාක් සමඟය.
 
“මා මේ කරුණු හොඳින් හැදෑරීමට තීරණය කළේ නිල වාර්තාවල සඳහන් සංඛ්‍යා ලේඛන මට විශ්වාස කිරීමට අපහසු වූ නිසායි. මට ලැබෙමින් තිබූ වාර්තා අනුව එම සංඛ්‍යාලේඛන ගැලපුණේ නෑ. මා එවිට අපට තිබෙන තොරතුරු දැනගැනීමේ නිදහස ක්‍රියාවේ යෙදවූවා. දෙවරක් මාගේ අයැදුම්පත ප්‍රතික්ෂේප වුවත් කෙළින්ම ප්‍රවෘත්ති කොමසාරිස් වෙත යැවූ අයැදුම්පතට අනුව පිටු 26ක් එක් වරකත් තවත් පිටු 12ක් ඉන්පසුවත් ලැබුණා. එය ප්‍රවේශමෙන් කියවා බැලීමෙන් මේ තොරතුරු මට සොයාගැනීමට හැකිවුණා.”
 
විශ්වවිද්‍යාල විශේෂඥයන්ගෙන් විමසූ විට සහ එවකට ශ්‍රී ලංකාවේ සිටි අමෙරිකානු තානාපති රොබර්ට් බ්ලේක් පැවසූ තොරතුරු අනුවත් එම සංඛ්‍යාව 7000ක් පමණ වන බව තමාට සොයාගැනීමට හැකිවූ බවද කියූ නේස්බි සාමිවරයා යුද්ධයේ මියගිය පිරිස 40,000ක් නොව 7000ක් බවට වෙනස් කරන්නැයි බ්‍රිතාන්‍ය රජයෙන් තමා ඉල්ලීමක් කර ඇති බවද ප්‍රකාශ කර තිබිණි.
 
“යුද අපරාධවල සැබෑ වරදකරුවන්ට එරෙහිව විමර්ශන කළ යුතුයි. එහෙත් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නායකත්වය යුද අපරාධකරුවන් හැටියට පෙන්වාදීම නොකළ යුතුයි” ඔහු සඳහන් කර තිබිණි.
 
- ඩේලි මිරර්
 
එකටම පෙරට
 
නිරන්තරව සිදුවන මත ගැටුම් මැද වුවද යූ.එන්.පී. - ශ්‍රී ලංකා දෙපක්ෂයටම රජය පවත්වාගෙන යාම සඳහා එක්ව සිටිනවා හැර වෙනත් විකල්පයක් නැත. මේ මත ගැටුම්වල ආසන්නම සිදුවීම් වූයේ බැඳුම්කර කොමිසමේ හෙළිවන තොරතුරු පිළිබඳව යූ.එන්.පී.ය අතෘප්තියට පත්ව සිටීමත් බැඳුම්කර කොමිසම පත්කිරීම හේතුවෙන් තමන්ට ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් දැඩි ලෙස පරිභව කරන බවට ජනාධිපතිගෙන් එල්ල වෙන චෝදනාවත්ය. පසුගිය කාලයේ වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන දැඩි ලෙස පමාවන බවටද චෝදනා නැගිණි.
 
පසුගිය සතියේදී අධිකරණ ඇමැතිනිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනතක් හරහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමට අනුමැතිය ලබාගත්තේ මේ පසුබිමේය. දිනපතාම නඩු අසන මේ විශේෂ අධිකරණය ආණ්ඩුවේ සම්මුතිය රැක ගැනීමට හේතුවනු ඇතිදැයි බලා සිටිය යුතුය.
 
- ඩේලිමිරර්

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00