2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

පෙට්‍රල් පාඩම්

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

පෙට්‍රල් හිඟය රටම කරකවා අතහැරිය දින කිහිපයේ රටේ ජනතාව ඛනිජ තෙල් ඇමැතිගේ පතුරු ඇරියෝය. රජගේ සායම ද සෝදා හැරියහ. මේ දවස්වල තෙල් ඇමැති හැටියට ඉන්නේ 96 ලෝක ක්‍රිකට් කුසලාන දිනා ලංකාවේ නම ලෝකයට ගෙනගිය ක්‍රිකට් නායකයා බව පෙට්‍රල් පෝලිමේ වරු ගණං රස්තියාදු වූ ජනතාවට අමතක වී තිබිණි. ඒ අවස්ථාවේ ක්‍රිකට්වලට වඩා අදාළ වී තිබුණේ පෙට්‍රල් නිසා ජනතාවගේ කෝපයේ එල්ලයේ වෙනසක් තිබුණේ නැත.

තෙල් හිඟයේ ගිනි දලු බුරා බුරා නැගෙනවිට එය තෙල් භාර ඇමැති අර්ජුනගේ ප්‍රශ්නයකින් ඔබ්බට ගොස් මුළු ඇමැති මණ්ඩලයේම ප්‍රශ්නයක් බවට පත්විය. කොටින්ම ආණ්ඩුව ඒ දිනවල මුහුණ දී සිටි සියලු ප්‍රශ්න පෙට්‍රල් හිඟය මගින් “හයිජැක්” කරනු ලැබීය. මේ හේතුවෙන් පෙට්‍රල් ගෙන්වා හැකිතරම් ඉක්මනින් බෙදා හැරීමේ වැඩට ජනපතිවරයාට සහ අගමැතිවරයාටද මැදිහත් වීමට සිදු විය. තෙල් හිඟයක් ඇති කරවීමට හේතු වූ අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල ඇමැති කමිටුවක් පත් කරනු ලැබුවේ ද ප්‍රශ්න ඒ තරමට බරපතළ වීම හේතුවෙනි. එහි වාර්තාව පසුගිය අඟහරුවාදා (14) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දී තිබිණි.

එකී අනු කමිටු වාර්තාවෙන් සොයාගෙන ඇති කරුණු කුමක්දැයි යන්න දැනගැනීමට බොහෝ දෙනෙකුගේ උනන්දුවක් තිබිණි. පෙට්‍රල් හිඟය ඇති වී එය ජාතික ප්‍රශ්නයක් දක්වා උග්‍ර වනවිට ඇමැති අර්ජුන මාධ්‍ය සාකච්ඡාවක් තබා එල්. අයි. ඕ. සී.  සමාගමට හයේ හතරේ පහර එල්ල කළේය. එම ප්‍රහාරයේ තරම කොතරම් වීද යත් එය මෙරට එල්. අයි. ඕ. සී සමාගමේ ප්‍රධානියා සැර පිළිතුරක් නිකුත් කිරීමටත් ඉන්දීය රජය පවා ගැටලුව ගැන උනන්දු වීමටත් හේතු වී තිබිණි. වැරැද්ද සිදු වීමට සැබෑ හේතු සඟවා ඉන්දීය තෙල් සමාගමට පහරදීම තව ඩිංගෙන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පවා පත්විය හැකිව තිබිණි. වැරැද්දට සැබෑ හේතු සිව් පුද්ගල ඇමැති කමිටු වාර්තාවෙන් පැහැදිලිව හේතු දක්වා ඇත්තේ මේ පසුබිමේය.

එම කමිටුවේ වාර්තාවෙන් ප්‍රධාන වැරැද්ද වශයෙන් සඳහන් වී තිබුණේ ඉන්ධන හිඟයක අනතුරක් තිබෙන බව දැනගෙන සිටියත් ඛණිජ තෙල් සංස්ථාව ඊට මුහුණ දීම සඳහා කල් තියා අවශ්‍ය පියවර නොගැනීමය. මේ ආකාරයට බරපතළ අර්බුදයක් නිර්මාණය වන තරමට ගැටලුව සංකීර්ණවීමට බලපෑ වෙනත් හේතු අතර තෙල් සංස්ථාව ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන නොයෑම, තිබෙන ඉන්ධන තොග කළමනාකරණය නොකිරීම සහ පැමිණීමට නියමිතව තිබූ ඉන්ධන නැව් නියමිත දිනට නොපැමිණීම ද තිබූ බව සොයාගෙන තිබිණි. කමිටු වාර්තාව නිර්දේශ කර තිබුණේ ගැටලුව සම්බන්ධයෙන් විශේෂඥයන් ලවා පරීක්ෂණයක් කළ යුතු බවය.

ඇමැති මුලින්ම සඳහන් කළ එල්. අයි. ඕ. සී සමාගම විසින් මේ අර්බුදය ඇති කළ බවට ඇඟවෙන සේ කළ චෝදනාව මේ වාර්තාවේ උළුප්පා දක්වා නැත. එසේනම් මේ සිද්ධියේදී කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ඇමැතිවරයා නොමග යවා තිබේ. ඔහුට බොරු කියා තිබේ. සංස්ථාව තුළ අවශ්‍ය තරමින් තෙල් තොග ගබඩා කර නැති බව ඇමැතිවරයා දැන නොසිටියේ ඒ නිසා වියයුතු නොවේද? 

ඇමැතිවරයා එය නොදැන සිටි බවක් අප කියන්නේ එසේ දැන සිටියානම් එම ගබඩා හැකි ඉක්මණින් පුරවා ගන්නට අවශ්‍ය පියවර ඔහු විසින් ගත යුතුව තිබූ බැවිනි. ඒ සමඟ පවතින තත්ත්වයේ බැරෑරුම්කම ජනාධිපති සහ අගමැති දෙදෙනාට ද හැකි ඉක්මණින් දැන්විය යුතුව තිබිණි. එහෙත් ඒ කිසිවක් නොසිදුවීමෙන් අපට පැහැදිලි වන්නේ ඇමැතිවරයා අතින් වගකීම් කිහිපයක්ම මගහැරී තිබෙන බවය. මේ නිසා අර්බුදය සම්බන්ධයෙන් සී.අයි.ඩීය ලවා පරීක්ෂණයක් සිදු කරන්නැයි අර්ජුන රණතුංග ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර තිබුණේ තමන්ගේ ගැලවිල්ලට බව කෙනකුට සිතීම වැළැක්විය නොහැකිය.

තෙල් සංස්ථාවේ සභාපති ධූරය දරන්නේ වෙනත් කිසිවකු නොව ඇමැතිවරයාගේ සහෝදරයෙකි. එහෙත් තෙල් තොග සංචිතය හිස් වී ඇති බව හෝ සපුගස්කන්දේ පිරිපහදුව අක්‍රීය වී ඇතිබව හෝ මේ සහෝදරයන් දෙදෙනාම දැනසිට නැත. නැත්නම් ඒ බව දැන දැනත් සියලු වැරදි එල්.අයි.ඕ.සී සමාගම පිටට දමා තමන්ගේ වැරැදි වසාගන්නට කටයුතු කර තිබේ. මීට අමතරව ප්‍රමිතියට නොතිබී ආපසු හරවා යැවූ නැවේ තෙල් තොගය ගන්නැයි ඇමැතිවරුන් දෙදෙනකු බල කරන බවද අර්ජුන ඇමැතිවරයා කියා තිබිණි. එයද බරපතළ ප්‍රකාශයකි. එහි ඇත්ත නැත්ත පහදා දීම ද ඇමැතිවරයාගේ වගකීමකි. නමුත් එයද ඉටු වූයේ නැත. ඉදිරියේදී එසේ වන බවක් පෙනෙන්නට නැත.

ඇමැතිවරුන් ඉටුකරන වගකීම් සහ පැහැර හරින වගකීම් ගැන මේ රටේ ජනතාව තුළ පහන් හැඟීමක් නැති බව සඳහන් කිරීමට සිදුව ඇත්තේ මෙවැනි ක්‍රියා හේතුවෙනි. අපේ රටේ තෙල් අර්බුදයට පවා ඉන්දීය සමාගමකට ඇඟිල්ල දිගු කරන ඇමැතිවරු ඉන්දියාවේ ඇමැතිවරුන් තමන් අතින් වගකීමක් පැහැර හැරුණුවිට සිදු කරන්නේ කුමක්දැයි නිකම්වත් හැරී නොබලන බව ස්ථිරය. දින කිහිපයක් පසු වී හෝ අඩුම තරමින් ජනතාවගෙන් සමාව ඉල්ලීමට තරම්වත් ඇමැතිවරයා ක්‍රියා කිරීම ඒ අතින් යහපතකි. එහෙත් තෙල් සංස්ථාව අතේ කොතරම් වරදක් තිබුණ ද ඊට වගකිව යුත්තේ කවුරුදැයි කවදාවත් හෙළි නොවීමට වැඩි ඉඩක් තිබෙන බවද සඳහන් කිරීම අවශ්‍යය.