2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

පිපිරුමක ඇරැඹුම?

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 289

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව 2015 ජනවාරි 08 වැනිදා තරග වැදීමට මෛත්‍රීපාල සිරිසේන තීන්දු කරද්දී ඔහු පරදුවට තිබ්බේ තම ජීවිතයය. අවදානම් සාධකයේ එකම ඉලක්කය ඔහු නුවූවද මහින්දට කෙළින්ම අභියෝග කළ මෛත්‍රීපාල මහින්ද පාර්ශ්වයේ ලොකුම වෛරයට පාත්‍ර වූ පුද්ගලයා විය. මේ නිසාම ඉහළම අවදානම තිබුණේ ඔහුටය.

මේ අවදානමේ ඉහළම අභියෝගය තිබුණේ එදින ඡන්දය නිමවීමෙන් පසුව පසුදා එළිවෙන පාන්දර තෙක් කාලය බවට සැකයක් නොතිබිණි. මෛත්‍රීපාල පාර්ශ්වයේ පිරිස් විසින් ඡන්ද කටයුතු නිමවීමෙන් පසුව මෛත්‍රීපාල ඇතුළු පවුලේ සැමට කුරුණෑගල පිටිසර පළාතක පිහිටි පොල්වත්තක රැකවරණය සලසනු ලැබීය. ඔහුට සහාය දැක්වූ කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල සිටි සමීපතම සගයන්ද එදින රාත්‍රිය ගත කර තිබුණේ ප්‍රසිද්ධියේ නොවේ. විධායක බලතල ඉහළින්ම යෙදැවුණු පාලනයකට එරෙහිව සිදුකරන අභියෝගය මරණය දෝතින් බදාගැනීමක් තරමට භයානක බව ලෝකයේ බොහෝ රටවලින් උදාහරණ ගත හැකිය.

එවැනි අභියෝග සාර්ථකව ජයගෙන ආණ්ඩුව පිහිටවූ මෛත්‍රීපාල ජනාධිපතිවරයාත් ඔහු නායකත්වය දෙන පාර්ශ්වයත් වසර තුනක් ගතවීමට ආසන්නව තිබියදී දැන් ඉන්නේ කුමන තත්ත්වයකද? දරන්නේ කුමන අදහසක්ද?

ඒ බව වටහා ගැනීමට වැඩිදුර යා යුතු නැත. පසුගිය බදාදා (08) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ කතාව ගැන අවධානය යොමු කිරීම පමණක් ප්‍රමාණවත්ය.

ඊට පෙර මතක් කළයුතු වන්නේ මහින්දගේ පාලනයට එරෙහිව ගෙනගිය ඡන්ද ව්‍යාපාරයේදී ලබාදුන් ප්‍රධානම පොරොන්දු කිහිපයයි. මහා පරිමාණයෙන් සිදු වූ සොරකම් සහ ඒවාට ආධාර අනුබල දුන් පුද්ගලයන් සොයා නඩු දමා හිරේ යැවීම, මැර පාලනයක් වෙනුවට යහපාලනයක් ඇති කිරීම, කඩාවැටී තිබෙන නීතිය හා සාමය යළි නගාසිටුවීම සහ අධිකරණයේ ස්වාධීනභාවය රැකදීම ඒ අතර විය. රට ණය උගුලක හිරකර තිබීම ඇතුළු ආර්ථික කරුණු දෙවැනි මට්ටමේ පොරොන්දු වී තිබුණි. ඒ සියල්ලටම පිළිතුර වූයේ රුපියල් දස දහසකින් රජයේ සේවක වැටුප් වැඩි කරන බවට වූ පොරොන්දුවය.

මේ සියලු පොරොන්දු ඇතුළත් ජනාධිපතිවරණය ජය ගැනීමට අවශ්‍ය ඡන්ද සැපයුණේ යූ.එන්.පී.යෙනි. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනා අතර එකඟත්වයක් තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල වනවිට රනිල් අගමැති වීමට ගිවිසගෙන තිබිණි.

අපේක්ෂිත පරිද්දෙන්ම මෛත්‍රීපාල ජනාධිපති විය. රනිල් අගමැති විය. යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව ඇරුඹිණි. දින 100න් පසුව අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයෙන් යහපාලන ආණ්ඩුව බිහි විය. ආණ්ඩුවේ “මධුසමය“ ප්‍රීතිමත් එකක් වුවද එහි උණුසුම යන්නටත් පෙර හැලහැප්පිලි මතු විය. ඒවා පිටතට පෙනුණේ යන්තමිනි. නමුත් 2015 ජනවාරි 08 වැනිදා ප්‍රතික්ෂේප වූ මහින්ද යළිත් කරළියට බැස දේශපාලන භූමිය උණුසුම් කරද්දී එහි රස්නය ආණ්ඩුවටද දැනෙන්නට පටන් ගත්තේය. වඩාත්ම රස්නය දැනුණේ මෛත්‍රීපාල පාර්ශ්වයටය. බැඳුම්කර වංචාවත් සමඟ එය ගිනි කබළක් බවට පත් විය. ඇතුළේ හැලහැප්පිලි එළියට පැමිණීමට බැඳුම්කර වංචාව නිසැකවම දොර ඇරියේය.

බැඳුම්කර වංචාව විසින් යහපාලනය කළඹන විට වඩාත්ම කලබලයට පත්වූයේ යූ.එන්.පී.යයි. එයට හේතු වූයේ බැඳුම්කරයට අදාළ අමාත්‍යාංශය යූ.එන්.පී.ය සතු වීමය. මුදල් ඇමැති වූ රවි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකි. රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් වූ අවස්ථාවේ ඔහු අත්නොහැර ළඟින්ම සිටියෙකි. ඊටත් අමතරව මහ බැංකු අධිපති වශයෙන් සිංගප්පූරැවෙන් ගෙන්වා පත්කරනු ලැබූ අර්ජුන මහේන්ද්‍රන් අගමැතිගේත් රවිගේත් සමීප හිතවතෙකි. සමීප හිතවතාට එරෙහිව චෝදනා නැගෙද්දී පක්ෂ දෙක අතර විරසක මතුවීම වැළැක්විය නොහැකි විය. බොහෝ දේශපාලන විචාරකයන් ඒ දිනවල කියා තිබුණේ ආණ්ඩුවද අර්ජුනද යන ප්‍රශ්නයේදී යූ.එන්.පී.ය ඍජු තීන්දුවක් නොගැනීම කවදාක හෝ එම පක්ෂයේ අවාසියට සිටිනු ඇතැයි කියාය. එම අවාසියේ මුල් පියවර වූයේ යූ.එන්.පී.ය පැකිලෙමින් සිටියදී ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා ඉවත් කරනු ලැබීමය.

හරියට බැලුවොත් එය යහපාලන ආණ්ඩුවේ ප්‍රථම “අම්ල පරීක්ෂණය” (Acid Test) විය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල හරිහැටි හඳුනා ගැනීමට යූ.එන්.පී.ය අසමත් වී දැයි යන්න විවාදිතය. එහෙත් නිසැකවම එහි වාසිය ඩැහැගත්තේ මෛත්‍රීපාල පාර්ශ්වයේ සහාය ලබන ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමැතිවරැන්ය. ඔවුන්ට උඩ පැන පැන තැලීමට හොඳ මුවහමක් ලැබුණේය. මේ පසුබිමේ මහින්දලාගේ පාර්ශ්වය ශ්‍රීලනිපය ඇතුළේ තම බල පරාක්‍රමය විහිදුවමින් සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වය ආණ්ඩුව ඇතුළේ නිෂ්ක්‍රීය වන තත්ත්වයකට පත්වෙමින් තිබුණේය. ඉඳහිට හෝ සක්‍රීය වූයේ ආණ්ඩුව ඇතුළේම රැඳී සිටිමින් යූ.එන්.පී.යටත් යහපාලන හවුලටත් පහරදෙන මැති ඇමැතිවරුන් පමණි. 

යහපාලනයේ අළු යට ගිනි පුපුරු එහෙන් මෙහෙන් එළියට පනිමින් තිබුණි. ඒ අතරේ වරින් වර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද තම කතාවලදී රතුඑළි පෙන්නුවේය. රාජපක්ෂලාටත් ඔවුන්ගේ සමීප හිතවතුන්ටත් එරෙහිව චෝදනා විමර්ශනය සෙමින් සිදුවෙමින් තිබියදී ෆවුසිට එරෙහිව චෝදනාවක් කඩිනමින් ක්‍රියාත්මක වීම ඉවසුම් නොදෙන්නක් විය. හරියටම මීට වසරකට පෙර, එනම් 2016 ඔක්තෝබර් 13 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති රැස්වීමකදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපයට එරෙහිව මෛත්‍රීපාල ජනාධිපතිවරයා ප්‍රබල විවේචනයක් කළේය. විශාල සොරකම් පිළිබඳ විමර්ශන පමාවෙමින් තිබියදී තමන්ට සහාය දක්වන ෆවුසි වැනි මැති ඇමැතිවරුන් රාජකාරි වාහනයක් අවභාවිත කළැයි චෝදනා නගමින් එෆ්.සී.අයි.ඩී.ය කැඳවීම ජනාධිපතිවරයාගේ ප්‍රබල විවේචනයට හසුවිය. ඒ කාලයේ එළියට ඇදෙමින් තිබූ මල්වානේ බැසිල් රාජපක්ෂට අයත් බව කියැවුණු ඉඩම සහ සුවිසල් මන්දිරය සම්බන්ධ විමර්ශනත් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකෙරුණු පැමිණිලි ගැන විමර්ශන සිදුනොවීමත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිදුකළ කතාවේදී දැඩිව විවේචනය කෙරිණි. ඉන් සතියකට පසුව දිල්රැක්ෂි වික්‍රමසිංහ කොමිසමෙන් අස්වී යළි නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි භාර ගත්තේය.

මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ දෙදෙනාම අග්‍රාමාත්‍යවරයාගේ හිතවතුන් බව දේශපාලන කරළිය තුළ රහසක් වූයේ නැත. මේ නිසා එම දෙදෙනාටම තනතුරු අහිමි වීමට කරැණු යෙදෙද්දී යූ.එන්.පී. කලබල වීම ස්වභාවිකය. එහෙත් මේ අවස්ථා දෙකේදී යූ.එන්.පී. මැතිඇමැතින් ජනාධිපතිවරයාගේ තීන්දු සහ කතා ගැන විවේචනය කරන්න ගියේ නැත. ඒ වගේම බැඳුම්කර ගනුදෙනුව සුද්ද කරන්න ගියේද නැත.

එසේ වුවද ආණ්ඩුවේ දෙපාර්ශවය අතර හැලහැප්පීම් වැඩි වනවිට වඩාත්ම කැපී පෙනුණේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රජය උදාසීනව කටයුතු කරන බවට ශ්‍රී.ල.නි.ප. පාර්ශවයෙන් චෝදනා එල්ලවීමය. එයට වඩාත්ම හේතුවූයේ මහින්දගේ පාර්ශවය ඒකාබද්ධ විපක්ෂය හරහා රජයට දැඩිව පහර එල්ල කිරීම බව පැහැදිලිය. තමන්ගේ කර මතට වැටෙමින් තිබූ සොරකම්, දූෂණ, වංචා චෝදනා ආණ්ඩුවට ආපසු දමාගැසීමට ඒකාබද්ධයට බැඳුම්කර වංචාව හොඳ අවස්ථාවක් පාදා දී තිබිණි. එයින් වඩාත්ම කෝපයට පත්වූයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ශ්‍රී.ල.නි.ප. පාර්ශවයයි. එම කෝපය බලපෑමක් බවට පත්වීම නිසා අවසානයේ ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව පිහිටු වූයේය.

බැඳුම්කර කොමිසම පිහිටුවීම යහපාලන ආණ්ඩුව මැදින් ඉරිතලා යාමක් බවට පත්විය. පැහැදිලිවම එම තීන්දුවට යූ.එන්.පී.යේ කැමැත්තක් නොතිබිණි. එහෙත් ඊට විරුද්ධ වීමටද හැකියාවක් තිබුණේ නැත. මේ නිසා වෙන්නේ කුමක්දැයි බලා සිටිනවා හැර වෙනත් කරන්නට දෙයක් තිබුණේ නැත.

බැඳුම්කර කොමිසම හමුවේ දිගහැරුණු තොරතුරු සම්බන්ධ වාර්තාව තවමත් නිකුත් වී නැත. එම කොමිසමේ කටයුතු සඳහා අග්‍රාමාත්‍යවරයා ද යාමට සූදානමින් සිටී. කෙසේ වුවද කොමිසම හමුවේ හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් සතුටු වීමට යූ.එන්.පී.යට හැකියාවක් නැති බව නම් පැහැදිලිය. බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් යූ.එන්.පී.ය අප්‍රසාදයට පත්ව සිටින විට මෛත්‍රී පාර්ශ්වයේ බලවතුන් කනස්සල්ලට පත්ව සිටින්නේ රාජපක්ෂ පාලන සමයේ අතට අල්ලාගත් හොරුන් පවා නිදැල්ලේ සිටීමේ හේතුවෙනි. හොරුන් අල්ලා නොගැනීම තමන්ගේ ආණ්ඩුව පිරිහීමට හේතුවක් බව ඔවුන්ගේ මතය වී තිබේ. ඒ අතරවාරයේ මහින්ද පාර්ශ්වය බැඳුම්කර වංචාව ඉතිහාසයේ සිදුවූ ලොකුම වංචාව වශයෙන් හංවඩු ගැසීමද ආණ්ඩුවේ බලවතුන්ගේ හද පතුලටම වැදී තිබේ. මේ සියල්ල සිදුවන්නේ ආණ්ඩුවේ ගමනට වසර 3ක් පිරීමටත් කලින්ය.

කරුණු මෙසේ දිගහැරෙද්දී යූ.එන්.පී. නායකයන් මහින්දලා සමඟ ඇතිකරගත් ඩීල් එකක් හේතුවෙන් හොරුන් අල්ලා ගැනීම ප්‍රමාද වන බවට චෝදනා නැගුණේ වරක් දෙවරක් නොවේ. අල්ලාගත් සොරැන්ද අතහැර දමන බවත් තෝරාගත් පිරිසකට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කරවන බවත් චෝදනා කෙරෙයි. මේ අතර ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යයත් ප්‍රධාන මාධ්‍යවල පිරිසකුත් රජයට එරෙහිව අපහාසාත්මකව ක්‍රියාත්මක වන බවටද ප්‍රතිචෝදනා එල්ල විය. ආණ්ඩුවේ ගමන්මග දැන් වැටී තිබෙන්නේ මේ ආකාරයටය. එක පැත්තකින් ඇතුළේම චෝදනා, ප්‍රතිචෝදනා සහ අවලාදය. අනෙක් පැත්තෙන් මහින්ද නායකත්වය ලබාදෙන ඒකාබද්ධ විපක්ෂයේ අභියෝගයය.

පසුගිය වසරේ ඔක්තෝබර් 13 වැනිදාට හරියටම වසරකට පසුව යළිත් වරක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ඇතුළත සිටින පිරිසකට එරෙහිව දැඩි ප්‍රකාශයක් සිදු කරන්නේ බැඳුම්කර කොමිසම පත් කිරීම හේතුවෙන් ආණ්ඩුවේම අය තමන්ට පහර ගසන බවට චෝදනා කරමිනි. ඔහුගේ කතාවේ මෙසේ සඳහන් විය.

“මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත්කළ නිසා ආණ්ඩුවේම ඉතා සුළු පිරිසක් මාධ්‍ය භාවිත කරමින් මට පහර දෙනවා. වැරදි දූෂිත පාලනයක් පෙරළලා අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ ඇයි? වැරදි කරපු මිනිසුන්ට ඇඟිල්ල දිගු කරනවා වගේම, දඬුවම් දෙනවා වගේම, අපේ වැඩේ අපි හරියට කරනවා.”

“වැරදි කරපු ඕනෑම කෙනෙකුට වැරැද්දට විරුද්ධව ක්‍රියා කිරීම, දඬුවම් කිරීමට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ඒක හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒක ක්‍රියාත්මක නොවන එක තමයි මටත් ප්‍රශ්නේ.”

“ඉතා සුළු පිරිසක් මහ බැංකුවේ සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීම ගැන මා ගැන බරපතළ වැරදි විග්‍රහයක් කරනවා. ආණ්ඩුවේ ඉතා සුළු පිරිසක් මට විරුද්ධව ෆේස්බුක්, වෙබ් සයිට් කැම්පේන් කරනවා. සති අග පුවත්පත්වල පිටු ගණන් අල්ලාගෙන මුදල් වියදම් කරලා ලියවනවා. ලංකාවෙන් පිට තිබෙන මාධ්‍ය ආයතන අල්ලාගෙන මුදල් ලබාදී මට ගහනවා. ඇයි මේ? මහ බැංකුවේ සිද්ධියට ජනාධිපති කොමිසමක් පත් කිරීම.”

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ මේ ආණ්ඩුව පිහිටුවීමට මූලික වූ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ ගුණසමරු උළෙලේදීය. මීට වසරකට කලින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට එරෙහිව ජනාධිපති කළ ප්‍රකාශයෙන් පසුව එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වූවාය. සෝභිත හාමුදුරුවන්ගේ ගුණසමරු උළෙලේදී ජනාධිපතිවරයා පසුගිය 08 වැනිදා කළ ප්‍රකාශයෙන් පසුව කවුරු ඉල්ලා අස්වේදැයි කියන්නට නම් දන්නේ නැත.

I ශශීන්ද්‍ර

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00