2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

විප්ලවයේ හදගැස්ම...

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

මේ වසර වනවිට ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයට ශත වර්ෂයක් සපිරෙයි. 1917 ඔක්තෝබර් මාසයේදී කොමියුනිස්ට්වාදි වී.අයි. ලෙනින් නායකත්වය දුන් විප්ලවය අවසන් වූයේ දැවැන්ත චරිතයක් වූ රුසියානු රජ හෙවත් සාර්වරයා පලවා හැර නව සමාජයක් බිහිකිරීම සඳහා අඩිතාලම දැමීමෙනුයි.  විවිධ හැලහැප්පීම්වලට ලක්වුවත් මේ විප්ලවය මුළු මිනිස් සංහතියටම ගෞරවයක් මෙන්ම අනාගත මාවතක් විවර කළ සංසිද්ධියක් හැටියට පිළිගත යුතුය. අමෙරිකන් කොමියුනිස්ට්වාදියෙක් මෙන්ම පුවත්පත් ලේඛකයෙකු වූ ජෝන් රීඩ් මේ විප්ලවීය ආරම්භය විස්තර කළේ “ලොව හෙල්ලූ දින දහය” හැටියටයි. එම විස්තරය ශත වර්ෂයක් තිස්සේම අවිවාදයෙන් පිළිගෙන තිබේ.

ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීම සඳහා පසුගියදා නෙළුම් පොකුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පවත්වන ලදී. අතුරැසිදුරු නැතුව පිරී සිටි එම ශාලාවට පැරැණි වාමාංශිකයන් විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ඩිව් ගුණසේකර නායකත්වය දෙන කොමියුනිස්ට් පක්ෂයේ පැරැන්නෝ වූහ. ඒ අතුරින් සුවිශේෂ තැනක් ගත්තේ දැන් වයෝවෘද්ධව සිටින කේ.පී. ද සිල්වාය. කේ.පී. මුලින්ම වාම දේශපාලනයට පැමිණියේ සමසමාජ පක්ෂයේ සාමාජිකයෙක් හැටියටයි. එහෙත් ටික කලෙකින් ඔහු හා වී.ඒ. සමරවික්‍රම වැනි කම්කරැ පන්තියේ නැගී ආ නායකයින් සමසමාජයෙන් ඈත්වී කොමියුනිස්ට් පක්ෂයට බැඳුණෝය. ඔහුත් සමඟ එකට වැඩකළ ඩී.ජි. විලියම් සමසමාජ නායකත්වයේම රැඳී සිටි අතර, ඩී.ඒ. පියදාස වැනි අය පිලිප් ගුණවර්ධන අනුව යමින් මහජන එක්සත් පෙරමුණට එක්විය. පියදාස වරායේ කම්කරැවන්ට නායකත්වය දුන් අතර, වරාය ජනසතු කිරීමට වැඩියෙන්ම ක්‍රියාත්මක වූයේ පිලිප්ය.

පිලිප්ගේ මැයි දින පෙළපාලිවල මුල් තැනක් ගත්තේ ඔහුගේ වරායේ වෘත්තීය සමිතියයි.  1956 න් පසු කෘෂිකර්ම ඇමැතිවරයෙක් වූ පිලිප් කැබිනෙට්ටුව තුළ වරාය කම්කරුවන්ගේ හඬනැගුවා පමණක් නොව වරාය බාර සිවිල් නිලධාරින් සමඟද හැප්පුණේය. මේ අරගලය කෙතෙක් දුරට ගියාදැයි කිවහොත් අගමැති බණ්ඩාරනායකට සිවිල් නිලධාරීන්ගේ පැත්ත ගෙන වරායේ පරිපාලනය රැකගැනීමට මැදිහත්වන්නට සිදුවිය.  සමසමාජ පක්ෂය නොනවතින වැඩ වර්ජන සංවිධානය කරමින් බණ්ඩාරනායකව අපහසුතාවයට පත් කළේය.  පිලිප් හා සමාසමාජ නායකයන් අතර ඇති වූ මාරාන්තික සටනින් පීඩා විඳින්නට සිදුවූයේ බණ්ඩාරනායකටයි. පසුකලෙක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රකාශ කළ පරිදි සිය සැමියා නොමරා මැරුවේ සමසමාජ නායකයන්ය.

රුසියානු විප්ලවය සාමකාමී විප්ලවයක් නොවීය. ලෙනින් කම්කරුවන් ඉදිරියට දැම්මද සාර් රජු නියම වශයෙන් පරාජය කළේ රුසියානු සොල්දාදුවන් හා අවිගත් නැවියන්ය.  ජර්මනිය සමඟ පරාජය වන සටනකට පැටළුණු සාර්වරයා දසදහස් ගණන් රුසියානු සොල්දාදුවන්ගේ මරණයට වගකිව යුතුයැයි රටේ හැඟීමක් ඇති විය. “පොටෙම්කින්” නෞකාවේ නැවියන් රජුගේ අණ නොපිළිපැද්දා විතරක් නොව ඔවුන්ගේ කාලතුවක්කු ඔහුගේ මාලිගාව දෙසට හැරවූවෝය. මේ සිද්ධි සමුහය සෝවියට් සිනමාවේදී අයිසන්ස්ටීන් විසින් “පොටෙම්කින්” නමැති චිත්‍රපටය තුළින් නිරූපණය කරන ලදී.  “මොන්ටාජ්” නමින් හඳුන්වන සංස්කරණ රීතිය මුලින්ම යොදාගන්නා ලද්දේ මෙම විශිෂ්ට චිත්‍රපටයේයි. ඔඩේසා පඩි පෙළේ සංස්කරණය සිනමා ඉතිහාසයේ සන්ධිස්ථානයක් සටහන් කරයි.

බලය අල්ලාගත් ලෙනින් ඉක්මනින් “සෝවියට්” නමැති සටන් සංවිධාන ඇති කළේය.  ඒවායේදී බුද්ධිමතුන් හා කම්කරුවන් එකට වැඩ කිරීමට තැත්කළ අතර, මුලදී මහා අවුලක් නිර්මාණය විය. මෙම විපර්යාසය සමනය කර අවම පාලනයක් එහි ඇති කිරීමට බෝල්ෂෙවික් ලෙනින්ට සහාය වූයේ මුලදී මෙන් ෂේවික්වරයෙක්ව සිට පසුව වෙනස් වු ලියෝන් ට්‍රොට්ස්කිය. ඔහු ලෙනින්ගේ දකුණු අත වැනි වූ අතර, යුද තර්ජනවලින් මිදීමට සකස් කරන ලද රතු හමුදාවේ නිර්මාතෘද විය. එහෙත් අග්‍රගණ්‍ය බුද්ධිමතෙක් වූ ට්‍රොට්ස්කි ප්‍රායෝගික නායකයෙක් නොවීය. ඔහු ලෙනින්ගේ මධ්‍යම කාරක සභාව තුළ තමාට පමණක් පක්ෂපාතී වූ කල්ලියක් ඇති කළේය. එමෙන්ම කාරක සභාව තුළ බලය ඇල්ලීම ගැන උදාසීනත්වයක් ට්‍රොට්ස්කි තුළින් දිස්විය. ලංකාවේ සමසමාජ නායකයන් මෙන් ඔහු තර්ක විතර්ක කරමින් එළඹෙන අවස්ථා මඟහැරීය. එහි ප්‍රතිඵලය වූයේ ස්ටාලින්ගේ ආගමනය හා නැගීමයි. මධ්‍යම කාරක සභාවේ මහලේකම් වූ ස්ටාලින් ක්‍රමක්‍රමයෙන් සිය හතුරන් එළවා දමමින් රෝගී ලෙනින්ව පවා පාලනය කරන තත්ත්වයක් ඇති කළේය. ට්‍රොට්ස්කිවාදින් කියන්නේ තම මරණ මංචකයේදී පවා ලෙනින් ස්ටාලින් ගැන සැක පහළ කළ බවයි.

ඒ කෙසේ වුවද යුද සෙනෙවියෙකු හැටියට ස්ටාලින් අසමසමය. සෝවියට් දේශය වටකළ දෑසට හසුවන මෙන්ම අදෘශ්‍යමාන සතුරන්ගෙන්ද ඔහු රට බේරා ගත්තේය. ඒ සඳහා ඔහු යොදාගත් බියකරු මර්දනය ගැන වර්තමාන රුසියන් නායකත්වය විවේචනය කර තිබේ. ඒ අතුරින් කෘෂ්චොච් හා ගෝර්බචොව් යන නායකයන් දෙදෙනාම ස්ටාලින්ව දරුණු විවේචනයට ලක් කළෝය. මේ පසුබිම තුළ දැන් රුසියානු නායක පූටින් පවා 1917 විප්ලවය ගැන කතා කරන්නේ දෙඩිගියාවෙනි. ඔවුන් එම විප්ලවයේ ඓතිහාසික වැදගත්කම ගැන කතා කළද එය වර්තමානයට ඔබින්නක් ලෙස ප්‍රකාශ කරන්නේ නැත.  එදා නෙළුම් පොකුණේදී රුසියාව වෙනුවෙන් කතා කළ රුසියන් තානාපතිතුමාද ගත්තේ එවැනි ඇල් මැරුණු “ලයින්” එකකි.

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00