2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

අය වැය

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

“කස පුපුරණ හඬ - ළඟම ඇසෙන විට - පෙරහැර එන බව පවසනවා....” යනුවෙන් සඳහන් වන පැරුණි ගීතයක් තිබේ. අපට එම ගීතය මතක් වූයේ මංගල සමරවීර ඇමැතිවරයාගේ මංගල අයවැයත් සමඟය. දේදුනු අයවැයක්, නිර්මාණාත්මක අයවැයක් වශයෙන් හඳුන්වා දෙනු ලැබූ එම අයවැයේ කස පුපුරණ හඬ නම් කලින්ම ඇසුණේය. අල, ලූනු, පරිප්පු, පොල්තෙල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වශයෙන් සැලකුණු වර්ග පහක මිල අඩු කරනු ලැබීය. මේ භාණ්ඩ පස් වර්ගයම කුස්සියට දැනෙන මිල ගණන් වීම කැපී පෙනිණි. එය යහපත් කරුණක් සේ අපි දකිමු.

කස පිපිරුණු තරමට සම්පූර්ණ අයවැයම හොඳදැයි කීමට තවම හැකියාවක් නැත. රටේ සමස්ත ආර්ථිකය මුහුණ දී සිටින සැබෑ තත්ත්වයේ හරස්කඩක් අයවැයෙන් පිළිබිඹු වී තිබීම ඊට හේතුවය. ආදායම සහ වියදම අතර පරතරය අහසට පොළොව මෙනි. එම හිඟය පියවා ගැනීම සඳහා යෝජනා කෙරී තිබෙන බදු අය කිරීමේ ක්‍රමවේදය අවසානයේ නතර වෙන්නේ පොදු මිනිසාගේ පොකට් එකෙනි. බදුවලට අමතරව යෝජනා කෙරෙන ණය ගැනීමද පොකට් එකට තවදුරටත් බරක් මිස සැහැල්ලුවක් නොවේ.
බැලූ බැල්මට කිසිවක් සිතා ගැනීම අපහසු අයවැයක් වශයෙන් මංගල සමරවීර ඇමැතිවරයාගේ මංගල අයවැය හැඳින්විය හැකිය. එහි තිබෙන ගුප්ත ස්වභාවය කොතරම්දැයි කිවහොත් ඕනෑම අයවැයක් ඉදිරිපත් කරන විට විපක්ෂයෙන් ඇසෙන ඝෝෂා කිරීම්ද ඇසුණේ අඩුවෙනි. එපමණක් නොව ආණ්ඩු පක්ෂයේ අත්පොළසන්ද අඩු විය.

අයවැය හරහා පඩි වැඩිවීමක් යනු හැම කල්හිම රජයේ සේවකයාගේ බලාපොරොත්තුවකි. නමුත් එකවර සිදුකරන ලද, රජයේ හැමදාම පම්පෝරි ගසන රුපියල් දහදාහේ වැටුප් වැඩිවීමෙන් පසුව තවදුරටත් පඩි වැඩිවීමක් බලාපොරොත්තු නොවිය යුතුය. එහෙත් දිගින් දිගටම දැනෙන ජීවන වියදමේ පීඩනය හේතුවෙන් ජනතාව අයවැයෙන් සහන ප්‍රාර්ථනා කිරීම ගැන පුදුම විය යුතු නැත. අයවැයට පෙර සිටම අඩුකරන ලද අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපය හේතුවෙන් ජනතාවට කිසියම් සහනයක් ලැබෙනු ඇති බව සැබෑවකි. එහෙත් සහල් කිලෝව සහ පොල්ගෙඩිය, අමු මිරිස් ආදියේ මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති අවස්ථාවක තමන්ට ලැබිය යුතු සහන මීට වැඩිවිය යුතු යැයි ජනතාව සිතීම සාධාරණය.

අයවැය ඉදිරිපත් කිරීමට පෙර ජනතාව තුළ තිබූ බලාපොරොත්තු කිහිපයක්ද මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුය. පුංචි කාර්වල මිල අඩුවීම, ජංගම දුරකතන සේවා බදු තරමක් හෝ අඩුකිරීම, පෙට්‍රල් මිල පහත දැමීම, ජීවන වියදමේ පීඩනය දරාගත හැකි සහන ලැබීම සහ බීර හා වයින් මිල බැස්සීම එම ලැයිස්තුවේ මුලින්ම තිබේ. ඒ අතරින් කීයක් ඉටුවීදැයි එක එල්ලේ පැවැසීම අසීරැ වී තිබේ. ටෙලිෆෝන් බිල නම් තවත් නගින ලකුණු පෙනේ. ඉලෙක්ට්‍රික් කාර් රුපියල් ලක්ෂ 10කින් අඩු කිරීමට නම් යෝජනා කෙරී තිබේ. සැහැල්ලු වාහන මිල සූත්‍රයක් හරහා අඩුවෙන බව සඳහන්ය. අඩුවෙනවා නම් එය කෙළින්ම ප්‍රකාශ කිරීම යහපත් බව අපගේ අදහසය. පෙට්‍රල් නම් මිල අඩුවීමක් වෙනුවට පෝලිම් තිබිණි. සෙසු බලාපොරොත්තුද ඉටු වූ බවක් පෙනෙන්නට නැත. බියර් මිල පහත යාමද ජනතාවගේ අවධානය දිනාගනු ඇත. එසේ වුවද අත්‍යවශ්‍ය සේවාවක් වන දුරකතනයට සහන දුන්නා නම් බියර් මිල කුමක් වුවත් කම් නැතැයි කිව යුතුය.

කෙසේ වුවද මේ අයවැය තුළින් උගත් තරුණ පෙළටත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවලටත්, අලුතින් ව්‍යාපාර අරඹන ව්‍යවසායකයන්ටත් සෙත සලසන යෝජනා ගණනාවකට රුපියල් බිලියන 350ක් තරම් විශාල මුදලක් වෙන්කරනු ලැබ තිබීම ඉතා හොඳ පියවරකි. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට, උසස් අධ්‍යාපන ආයතනවලට අමතරව පෞද්ගලික උසස් අධ්‍යාපන පීඨවලටද මුදල් වෙන්කිරීම යහපත්ය. අනාගතයට ගැලපෙන රැකියා ඉලක්ක කර ගනිමින් තරුණයන් ඊට සූදානම් කිරීම හරියට ක්‍රියාවට නැංවුවහොත් එය මහත් ප්‍රතිඵලදායක වනු ඇති බව නොරහසකි. තරැණ පරපුරේ අපේක්ෂා සුන් වන ආකාරයට සැකසෙන අයවැයකින් රටට සෙතක් වන්නේ නැත.

අපේ රටේ කාලයක පටන් පවතින ලොකුම මූල්‍ය ගැටලුවක් වන්නේ අතිවිශාල ණය කන්දකට රට යටවී තිබීමය. ඒ පිළිබඳව එකිනෙකාට දොස් පවරා ගැනීමෙන් පලක් නැත. නිවැරදි දැක්මකින් තොරව ආර්ථිකය හැසිරවීමේ වැරැද්දට මේ රටේ බලයට පත්වූ බොහොමයක් ආණ්ඩු වගකිව යුතු වීම ඊට හේතුවය. පසුගිය රජය විශාල ණය කන්දකට රට කළ බවට චෝදනා කරන වත්මන් රජය එම ණයබර සැහැල්ලු කිරීම සඳහා ගත් පියවර මොනවාදැයි නොකීම අඩුවකි. ඒ වෙනුවට රටේ ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ වත්මන් රජය යටතේද රටේ ණය බර තව තවත් වැඩි වී ඇති බවය. මෙවර අයවැය තුළද එම ණය ප්‍රමාණය අඩුකිරීම සඳහා අලුත් යෝජනා කිසිවක් ඇති බවක් නොපෙනීම කනගාටුවකි. කෙසේ හෝ මේ අයවැයේ රඟ බලාගත හැකි වන්නේ ඊට අදාළ අණ පනත් හා රෙගුලාසි මැතිසබයට ඉදිරිපත් වූ විටය. දැනට සීනි බෝලයේ පෙනෙන ඇතැම් සුන්දර කතා යට තිත්ත රසය තැවරී තිබීමට ඉඩ තිබේ.

සමස්ත අයවැයේ හොඳ නරක පැවැසීමට තවම කල් වැඩිය. අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් කල් තියාම පහළ දැමීම යහපත් වුවද විපක්ෂයේ කෑකෝ ගැසීම්ද ආණ්ඩු පක්ෂයේ අත්පොළසන්ද අඩුවීම මගින් අයවැයේ හොඳ නරක ගැන නිහඬ සංඥාවක් ලබාදී ඇති බව නම් කිව යුතුය.