2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ඉන්න බැරි ඇමැතිලාට යන්න පුළුවන්

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

♦ සයිටම් ප්‍රශ්නය ගැන ළමයින්ට තියන රුදාව මොකද්ද?

♦ මගේ ගිණුමෙ රුපියල් මිලියන 400ක් තියෙනවා

♦ මහින්දගෙ කාලෙට වඩා දැන් ජීවන බර අඩුයි

♦ අපි රජකාලෙ ඉඳන් දේපොල තියෙන මිනිස්සු

♦ රාජ්‍ය බැංකුවලින් සල්ලි ගන්න කතාව බොරු

♦ මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය - පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල

මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාවක් මධ්‍යම අධිවේගී මාර්ගය. ඇයි මේ ආණ්ඩුව ඇතුළෙනුයි පිටිනුයි දෙකෙන්ම මේක කකුලෙන් අදින්නේ?

මට නම් මේක තේරුම් ගන්න අමාරුයි. මේවා මම තනියෙන් ගන්නා තීන්දු තීරණ නෙවෙයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ හැම පියවරක්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත කළේ. එදා කවුරුත් මේවාට විරුද්ධ වුණේ නෑ.

මේකට ඇත්තටම වියදම් කරන්න සල්ලි නැහැ කියලයි ඔවුන් චෝදනා කරන්නේ?

මම නම් දන්නේ නෑ. ඒ අය විරුද්ධ වෙන්නේ ඇයි කියලා. ඒක අහන්න ඕන එයාලගෙන්. ලංකාවේ අධිවේගී මාර්ගයක් හදනවනම් ඉස්සෙල්ලා හදන්න ඕන මේක. මම කියන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය අවශ්‍ය නෑ කියලා නෙමෙයි. ඒත් ඒක යන්නේ රටේ කෙළවරකට. එතැනින් ඒක ඉවරයි. නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය යන්නේ රට මැදට. කෙළින්ම දිස්ත්‍රික්ක 05ක් සම්බන්ධ වෙනවා. ඊට අමතරව අනෙක් දිස්ත්‍රික්කවලට යන්න පුළුවන් කාලය අවම වශයෙන් පැය දෙකකින් අඩුවෙනවා. මේ නිසා මුළුරටම විවෘත වෙනවා.

විපක්ෂය කියන්නේ මේක ඇතුළේ ටෙන්ඩර් මගඩියක් තියෙනවා කියලා. පරාද වුණු කොම්පැණියකට දීලා තියෙන්නේ කියලයි ඔවුන් කියන්නේ?

කිසිම ටෙන්ඩර් මගඩියක් නෑ. මේ අය ටෙන්ඩර් කියන දේ දන්නේ නෑ. පසුගිය ආණ්ඩු කාලයේ හැම පාරක්ම දුන්නේ ටෙන්ඩර් නැතිව. දැන් දකුණු අධිවේගය හැදුවා ටෙන්ඩර් කැඳෙව්වේ නෑ. හිතුනා දුන්නා. කටුනායකත් එහෙමයි. ඒත් අපි ටෙන්ඩර් කැඳෙව්වා. ඒකෙදි ටයිසේ සමාගම 159 දැම්මා. ඒත් අර මාසයක් ඇතුළත දෙන බිග් බොන්ඩ් එක දුන්නේ නෑ. ඒක නැවතුණා. අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා ලිව්වා ජපන් තානාපති කාර්යාලයට එක්කෙනයි ඉතුරුවෙලා ඉන්නේ. ඒ නිසා මෙයා ආයිත් ඉදිරිපත් වුණොත් ඔයාගේ ගාණට දෙන්න වෙනවා කියලා. එතකොට තමයි ෆුජීමා කියන ආයතනය එක්වුණේ. ඒ නිසා 134.9 ට ඒ අය දැම්මා. මේ නිසා ෆුජීමයි, ටයිසේ සමාගමයි අතර තරගයක් ඇතිවුණා. ඊට පස්සේ ෆුජීමා සමාගම කිව්වා 134.5ට හදන්නම් කියලා. ඊට පස්සේ ටයිසෙත් කිව්වා ඒ ගාණට හදන්නම් කියලා. ඒ නිසා මිලියන 25ක අඩුවක් වුණා. ඒ නිසා මෙතන මගඩියක් නෑ. මේ සියලු දේට ජපන් රජය අනුග්‍රහ දක්වනවා.

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේ තරගයට අනුග්‍රහය දක්වන්න චීන එක්සිම් බැංකුව අකමැති වුණා කියලා?

නෑ... නෑ... මේ මාර්ගයේ කොටස් තුනක් තියෙනවා නේ. පළවෙනි කොටස වන කඩවත ඉඳලා මීරිගමට යනකල් දීලා තියෙන්නේ ඔය එක්සිම් බැංකුවට. ඒ අයගේ ණය අපිට හම්බවෙනවා. හැබැයි අපි දින 100 ආණ්ඩුවේදී කොන්ත්‍රාත්තුව දුන්නා. ඒ කොන්ත්‍රාත්කරු කියලා තියෙනවා එහෙන් සල්ලි දෙනකල් එයාගේ අතින් මේ මාර්ගය හදනවා කියලා.

ඇත්තද රජයේ බැංකු තුනකින් සල්ලි ගන්න යනවා කියන්නේ මේකට?

එහෙම නෑ. මේකට ආයෝජකයෝ ඉන්නවා.

එදා පාර්ලිමේන්තුවේ අධිෙව්ගී මාර්ග ගැන විවාද යෙදී පක්ෂ විපක්ෂ පිරිසක් ගැටුණා. මේ සම්බන්ධයෙන් දෝෂාරෝපණය කළා?

මට... කොහෙද? ඔයා බලලා ඇත්තේ වෙන විවාදයක්. එහෙම දෙයක් වුණේ නෑ. මම දන්නෙත් නෑ. හැබැයි මම කතා කරද්දි ඒ අය පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. ඒක මගේ වැරැද්දක් නෙමෙයි. මේ විවාදය ඉල්ලුවේ ජනතා විමුක්ති පෙරමුණ. අපි ඊට අවස්ථාව දුන්නා. ඒ අයගේ යුතුකම මේ විවාදය ඉවර වෙනකල් ඉන්න ඕන. ඒත් ඒ අය හිටියේ නෑ. 1.30 වෙනකොට ජේ.වී.පී. එකේ එක්කෙනෙක් නෑ. ඒකාබද්ධෙ 05යි හිටියේ. මේ විවාදය පුස්සක්. ඒ අයට කියන්න කරුණු නෑ. ඔය ඒකාබද්ධ විපක්ෂයේ අය නම් මේ පාරට කැමතියි. පෞද්ගලිකවත් කියලා තියෙනවා ඒ අය.

මේ මාර්ගය කුරුණෑගලින් නවත්වන්න කියලා යෝජනාවක් තියෙනවා නේද?

ඇයි ඔයා දැක්කේ නැද්ද? ඔය කියන ඇමැතිගේ නම කියලා අහන්නකෝ මගෙන්.

දයාසිරි අමාත්‍යවරයා කියනවා කුරුණෑගලින් නවත්වන්න ඕන කියල. හැබැයි ඊට කැබිනට් මණ්ඩලයත් එකඟවෙලා තියෙනවා.

ඒක එයාගේ යෝජනාවක් විතරයි.

කැබිනට් එකේ යෝජනාවක් නැද්ද?

පිස්සු. මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත ඉඳලා ගලගෙදර දක්වා අනුමැතිය දීලා තියෙන්නේ. එතුමත් හිටියා. පාඨලී චම්පිකත් හිටියා. හැබැයි ඒ වෙලාවේ කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ.

මධ්‍යම අධිවේගය පැත්තකින් තියලා අනෙක් ප්‍රශ්නය වන ඔබටම විශේෂ වූ සයිටම් ප්‍රශ්නය ගත්තොත් ඇයි මේ ආණ්ඩුවට ඒක විසඳන්න වුවමනාවක් නැත්තේ?

අපිට මොකක්ද දෙන්න තියෙන තීන්දුව. මේ ප්‍රශ්නය ඇතිකළේ අපි නෙවෙයි නේ. ළමයිනේ. ළමයි පන්ති වර්ජනය කළා. දොස්තරලා වැඩවර්ජනය කළා. මම කියන්නේ පන්ති වර්ජන නවත්වන්න. වැඩ වර්ජන නවත්වන්න. එතකොට මේ ප්‍රශ්නය ඉවර වෙනවා.

ඔවුන් කියන්නේ සයිටම් මුදලාලිගේ සාක්කුවේ ඔබයි රාජිත ඇමැතිවරයයි ඉන්න නිසා විසඳුමක් නෑ කියලා?

අපි සයිටම් මුදලාලි එක්ක ගනුදෙනු කළේ නෑ. එයත් එක්ක ගනුදෙනු කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. ඒ අයනේ මේක පටන් ගත්තේ. ඒත් එදා කවුරුත් විරුද්ධ වුණාද? නෑ. ඇයි ඒ? ඒ අය හිටියේ සයිටම් මුදලාලිගේ සාක්කුවේ. මම නම් නෙවිල් ප්‍රනාන්දුට දෙසැරයකට වඩා කතා කරලා නෑ. අහම්බෙන් හම්බවෙලා තියෙනවා. මම කියන්නේ එයාලගේ මට්ටමෙන් අනිත් අය මනින්න එපා.

මේ පන්ති වර්ජනේ ඉන්නේ අනාගතයේ වෛද්‍යවරු. ඒ අයට විසඳුමක් රජය විසින් දෙන්න ඕන නේද?

ඒ ගොල්ලන්ගේ අනාගතය නැති කරගන්නේ එයාලමයි. ළමයින්ට තියෙන මොකක්ද රුදාව. ඒ අයට ශිෂ්‍යත්ව දෙනවා නම්, නේවාසික පහසුකම් දෙනවා නම් දීමනා දෙනවා නම් මොකක්ද තියෙන අයිතිය. අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්න ඒ අයට අයිතියක් නෑ. ඔයාලත් මාධ්‍යවේදීන් හැටියට තේරුම් ගන්න ඕන. ප්‍රතිපත්ති හදන්නේ ආණ්ඩුව. මේ නිසා අමාරුවේ වැටෙන්නේ ළමයි. ඔය දොස්තරලා ළමයි පාවිච්චි කරනවා. අපි සයිටම් වහන්නෙත් නෑ. එහෙම බලන් හිටියොත් තව අවුරුදු තුනක් හතරක් එළියේ ඉන්න වෙයි කියලා ලියන්න. එහෙම්ම ලියන්න.

මේ ප්‍රමිතියක් නැති ආයතනය වහන්නේ නෑ?

කොහොමද වහන්නේ. ගිය ආණ්ඩුවනේ පටන් ගත්තේ. යම් යම් අඩුපාඩු තිබ්බට පෞද්ගලික අධ්‍යාපන ආයතන රටට අවශ්‍යයි. ඒකනේ මහින්ද රාජපක්ෂ වගේම වමේ ආණ්ඩුවකුත් මේකට අවස්ථාව ලබා දුන්නේ.

ඔබ එය අගය කරනවද?

ඔව්. පැහැදිලිවම හොඳ තීරණයක්. අපිත් සහය දුන්නනේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ පුද්ගලික අධ්‍යාපනයට බුරුලක් දෙන රජයක්.

ජනාධිපතිවරයා නම් කියන්නේ තීන්දුවක් දෙනවා කියලා?

මෙහෙමයි. තීන්දුවක් දෙනවා නම් හැමදෙනාම මැදට එන්න ඕන. අපිත් මැදට ඇවිත් ඉන්නේ. අන්තවාදයට විසඳුම් දෙන්නේ නෑ. වහන්න, විනාශ කරන්න, ඒ දේවල්වලට අපි ඉඩ දෙන්නේ නෑ.

මෙච්චර ප්‍රශ්න තියෙද්දී ඔබලා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගත්තා. ඇයි මෙහෙම දේවල් කරන්නේ?

ඉතින් ඔය අයමනේ කිව්වේ ඒක පවරගන්න කියලා. අපි එයාලගේ ඉල්ලීම තමයි ඉටුකළේ. මම තව වතාවක් කියනවා සයිටම් වහනකල් හිටියොත් තව අවුරුදු ගාණක් ගතවෙයි කියලා. සයිටම් එක වහන්නේ නෑ. ඒ නිසා රජය දෙන තීන්දුව පිළිඅරගෙන තමන්ගේ ජීවිතය විනාශ කරගන්නේ නැතුව පන්තිවලට එන්න කියලා මම කියනවා.

ඒ කියන්නේ තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරියේදී බිහිවෙයි?

අනිවාර්යයෙන්ම. ප්‍රමිතියෙන් යුත් ලාබ පමණක් බලාපොරොත්තු වන තැන් අරින්න දෙන්නේ නෑ. අපේ ළමයි අවුරුද්දකට වෛද්‍ය විද්‍යාවට 500ක් විතර පිටරට යනවා. ඔයා දන්නවද ගිය අවුරුදු පහට මේ ළමයි හරහා අපේ රටේ මුදල් පිටරට ගිහින් තියෙනවා බිලියන 50 කට ආසන්න ප්‍රමාණයක්. ඒ අයට ගියහම උගන්වන්නේ කවුද? අපේම අය.

මේ වෙනකොට නව ව්‍යවස්ථාවට මහා සංඝරත්නයේ විරෝධයක් මතුවෙලා තියෙනවා. ආණ්ඩුව දැන් හිරවෙලා නේද ඉන්නේ?

ආණ්ඩුව කොහෙවත් හිරවෙලා නෑ. අනික මේක හදලත් නෑනේ විරුද්ධ වෙන්න. තවම අවසන් කෙටුම්පතක් නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ හැම පක්ෂයකම ඉදිරිපත් කළ යෝජනායි. අපි දැන් සාකච්ඡා කරන්නේ ඒ ඉදිරිපත් කළ යෝජනාවලින් හොඳම යෝජනා මොනවද කියල. ඊට පස්සේ තමයි අවසන් කෙටුම්පත එන්නේ.

විපක්ෂ චෝදනා කරන්නේ ඒකීයභාවය අහෝසි වෙනවා කියලා?

මට පැහැදිලිව කියන්න පුළුවන් ඒකීය භාවයයි, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන එක ආරක්ෂා වෙනවා. ඒ වගේම උතුරු නැගෙනහිර එකතුවීමක් නෑ.

ඔබ කිව්වා මහා සංඝරත්නයේ අවසරය මත තමයි ගේන්නේ කියලා. තවමත් ඒ අදහස තියෙනවද?

පැහැදිලිවම.

දැන් මහා සංඝරත්නය කියනවනේ මේක එපා කියලා?

නෑ. නෑ.... එහෙම වෙලා නෑ. පුවත්පත් ඒව මවාපාලා තියෙනවා. අපිට නම් මහානායක හිමිවරු පවසන්නේ මේකෙන් කිසි කෙනෙක් ඉවත් නොවී එකට ඉඳලා අඩුපාඩුකම් හඳුනාගෙන ඉවත් වෙන්න එපා කියලයි. මතක තියාගන්න ඉතිහාසයේ පළවෙනි අවස්ථාව තමයි දෙමළ ජාතීනුත් එකතුවෙලා හදන එකම ව්‍යවස්ථාව කියලා. සියලු ජාතීන් එකතු වෙනවා. මේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්න පුළුවන් එකම අවස්ථාව මේක. එදා පනස් ගණන්වල මේ මිනිස්සු භාෂා අයිතිය ඉල්ලලවත් ඒක දුන්නේ නෑනේ. මේ කරන්න යන්නේ ආයිත් යුද්ධයකට ඇදගෙන යන වැඩක්. මේ අන්තවාදී අයගේ අරමුණ ඒක. මෙතැන තියෙන්නේ ඉල්ලීමකට වඩා ජාතියේ අභිමානය. අපිට ඕන ඒ ජාතික අභිමානයක් එක්ක ශ්‍රී ලාංකිකයන්ට ව්‍යවස්ථාවක් හදන්න.

ඔබලා පොරොන්දු වුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඒත් ශ්‍රීලනිපයේ යෝජනාවේ තියෙන්නේ ජනාධිපති ක්‍රමය දිගටම තියාගෙන යන්න කියලා. මොකක්ද ඇත්ත?

ඒ පොරොන්දුව අවසානයේ සිද්ධ වෙනවා. තවම පටන් ගත්තා විතරයි. ඔය ජනවරම ලැබුණේ අපිට. ශ්‍රී ලංකා එකට ලැබුණේ නෑ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයටයි ජනතාව ඡන්දය දුන්නේ. ඒ නිසා අපි ඒ පොරොන්දුව ඉෂ්ට කරනවා.

මැතිවරණය කවුද මේ කරන්න දෙන්නේ නැත්තේ?

නෑ. අපි මැතිවරණ දිනය ප්‍රකාශ කළානේ. ජනාවරි මාසයේ අන්තිම සුමානයේ තියන්න තීරණය කළා.

මැතිවරණ කල්දාලා බොහෝ අවස්ථාවල ආණ්ඩු මට්ටු වුණා. හිතෙන්නේ නැද්ද එහෙම වෙයි කියලා?

ඒක අවාසි වුණේ එක්සත් ජාතික පෙරමුණට. මේ මැතිවරණය ඉක්මනට තිබ්බා නම් අපිට විශාල ආසන ප්‍රමාණයක් දිනන්න තිබ්බා.

ආණ්ඩුවට එල්ලවෙන චෝදනාවක් තමයි ජීවන බර ගැන තැකීමක් නෑ කියන එක. ඇයි මේ?

ඔය සමීක්ෂණ සම්පූර්ණයෙන් වැරදි. මහින්ද රාජපක්ෂගේ කාලයට වඩා ජීවන බර අඩුවෙලා තියෙනවා. අපිට ඔය අදහස ඇවිත් නෑ. ඔයාලට කොහෙන් ආවද දන්නෙ නෑ. ඡන්දයෙදි බලමු.

මේ සියලු පීඩාවන් මැද්දෙ තමයි බැඳුම්කර චෝදනාව එල්ල වෙන්නේ. ආණ්ඩුව මේ දෙයින් විශ්වාසය බිඳගත්තා නේද?

විශ්වාසය ඇතිවුණා යහපාලනය නිසා. ඇමැතිවරු ආරක්ෂා කළා පසුගිය රජය. ඒත් අපි එහෙම කළේ නෑ. ඇමැතිවරු වැරදි කළොත් මේ ආණ්ඩුවේ දඬුවම් දෙනවා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ දැවැන්ත පක්ෂයක්. මේ මූල්‍ය චෝදනා එන්නේ. ඒ පක්ෂයේ උපනායකයටයි චෝදනා එල්ලවුණේ. ඇයි ඔහුට පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ?

ඒ ගැන දැන්ම කියන්න බෑ. තවම චෝදනා විතරනේ. කිසිදෙයක් ඔප්පු වෙලා නෑ. මේවා ඔප්පු කරන්න එපැයි.

මේ කොමිසමේ අවසානය මොනවා වෙයිද?

ඒක කොමිෂන් එකෙන්ම අහගන්න ඕන.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය කියනවා එජාපය එක්ක වැඩකරන්න බෑ කියලා.

නෑ එහෙම දෙයක් නෑ.

සුසිල්, ජෝන් ඇමැතිවරු ප්‍රකාශ කරලා තිබ්බා ඔවුන්ගේ හඬවල් යටපත් කරනවා කියලා කැබිනට් එක ඇතුළෙදි.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් තියෙන්නේ. ඔය අයට ආණ්ඩුවේ ඉන්නත් පුළුවන් යන්නත් පුළුවන්. අපිට බලෙන් තියාගන්න බෑ. ඔය කියන තරම් ප්‍රශ්න තියෙනවා නම් අයින් වෙන්න ඕන.

ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා කියන්නේ සම්මුතිවාදී ආණ්ඩුව රැක ගැනීමේ අරමුණ තියෙන්නේ අගමැතිවරයට පමණයි කියලා.

කොයි ඇමතිවරයද එහෙම හැඟීමක් නැත්තේ කියලා කියන්න. එහෙනම් ඉතින් එයාට ඉවත් වෙලා යන්න කියන්න.

හැබැයි කවදාවත් නොදැකපු දෙයක් තමයි කැබිනට් තීන්දු ඇමැතිවරු විවේචනය කරනවා. ඒ ඇයි?

ඒක සම්පූර්ණයෙන් වැරදි වැඩක්.

ඔබට එල්ලවෙන චෝදනාවක් තමයි ඔබේ අමාත්‍යංශය ඇතුළේ පවුල්වාදය තියෙනවා කියලා.

මගේ දුව විතරයි ඉන්නේ. එයා පුද්ගලික ලේකම්. අමාත්‍යංශයේ වැඩ කරන්නේ නෑ. පෞද්ගලික වැඩ විතරයි කරන්නේ.

ඔබට විශාල උපදේශකවරු පිරිසක් තියාගත්තේ ඇයි?

ඔව්. මම දුන්නා. එක්සත් ජාතික පක්ෂයට වැඩ කළ අයට උපදේසක තනතුරු දුන්නා. මහින්ද රාජපක්ෂ 194ක් දීලා තියෙනවා. මම ඊට වඩා හතර ගුණයක් අඩුවෙන් දුන්නේ. ආදර්ශය දුන්නේ එතුමා. එකපාරක් මහින්ද මහත්තයා හම්බවෙලාම කිව්වා ආණ්ඩුවක් ආපුවම එහෙම සලකන්න ඕන කියලා වැඩකරපු අයට.

මේවා බලාගෙන ඉන්න විපක්ෂයේ අය නම් කියන්නේ ඉස්සෙල්ලම අල්ලාගත්තේ රවි කරුණානායක. ඊළඟ අල්ලගන්න ඉන්නේ ඔබ කියලා කියන්නේ කට්ටිය?

වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕන නෑ.

ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ඔබලගේ අගමැතිවරයද?

එහෙම බලාපොරොත්තු නෑ. අපි වර්තමානයේ ජීවත්වන මිනිස්සු. වර්තමානයේ හරි දේවල් කළොත් අනාගතය හරි වෙනවා.

ඉතිහාසයේ දැකලා තියෙනවා ගොඩක් සභානායකවරු අගමැතිවරු වුණා.

අනේ මගේ එහෙම අදහසක් නෑ. වර්තමානය ගැන විතරයි මම හිතන්නේ. තනතුරු කියන දේවල් අපේ පස්සේ එන්න ඕන දේවල්. අපි ඒ පස්සේ යන්න නරකයි.

අන්තිම වශයෙන් අහන්නේ ලක්ෂ්මන් කිරිඇල්ලට මහා ධනස්කන්ධයක් තියෙවද?

අපිට රජකාලේ ඉඳලා තියෙන දේපල තියෙන්නේ. මගේ බිරිඳගේ මුත්තට බලංගොඩ විතරක් අක්කර 30,000ක් තිබ්බා. අපේ අයටත් තිබ්බා. අපි සමහර අවුරුදුවල ලක්ෂ 25 ආදායම් බදු ගෙවලා තියෙනවා. දැනටමත් මගේ එකවුන්ට් එකේ මිලියන 400ක් තියෙනවා.

I ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00