2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

පන්දුවක් වූ ඡන්දය

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

මාතෘකාව යහපාලනය වනවිට තහනම් වචනය ඡන්දය වශයෙන් හැඳින්විය යුතු තරමට වැඩ සිදුවෙමින් තිබේ. වසර 02කටත් අධික කාලයක් තිස්සේ කල්යවමින් තිබෙන පුංචි ඡන්දය ලබන ජනවාරියේ 20 වැනිදා හෝ 27 වැනිදා වනවිට පැවැත්විය හැකිවනු ඇතැයි බලාපොරොත්තුවක් දැල්වෙමින් තිබුණ ද එය බලාපොරොත්තුවකටම පමණක් සීමාවන ලකුණු යළිත් පහළවෙමින් තිබීම ඊට හේතුවය. පාලනය යහපත් නම් ඡන්දයක් පැවැත්වීම මේ තරම් ගැටලුවක් විය හැකිද යන්න අද දවසේ කතාව බවට පත්වෙමින් තිබේ.

ඡන්දය ලබන ජනවාරියේ හෝ ළඟදීම හෝ පැවැත්වෙන බව ප්‍රකාශ කළේ අපි නොවේ. ආණ්ඩුවේම බලවතුන්ය. පුංචි ඡන්දය පැවැත්වීමට පෙර ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ බරපතළ ගැටලු නිරාකරණය කරගත යුතු බව මුලදීම ප්‍රකාශ කෙරිණි. එය යළි සකස් කිරීම සඳහා කමිටුවක්ද පත්කරනු ලැබීය. එහි වාර්තාව බාරදීමට වසරකටත් අධික කාලයක් ගත විය. නමුත් ජනතාව ඉවසිල්ලෙන් බලා සිටියහ. ඒකාබද්ධ විපක්ෂයට නම් කිසිම ඉවසීමක් නොතිබිණි. කහඹිලියා ගෑවුණාක් මෙන් හැසිරෙමින් එක තැන නොසිට වරින් වර මහ සද්ද දැම්මේය. එතැන පරහකට තිබුණේ පැවැති රජයේ බලවතුන් විසින් සිදු කරන ලද පළාත් පාලන ආයතන සීමා ලකුණු කිරීම් තුළ බරපතළ තාක්ෂණික ගැටලු තිබීමය. එක් පක්ෂයකට පමණක් වාසි සහගත වන්නේ සැකසුණු එම සීමා යළි සකස් කිරීමට කාලය ගැනීමේ ප්‍රශ්නයක් මුලින් නොතිබිණි. ප්‍රශ්නය පැන නැගුණේ ආණ්ඩුව ඡන්දය කල් දමාගැනීමේ තාක්ෂණික උපක්‍රමයක් ලෙස සීමා නිර්ණය කොමිසම යොදාගනු ලැබීමය.

සීමා නිර්ණය නිම වීමෙන් පසුවද ආණ්ඩුව ඡන්දයට සූදානම් බවත් පෙන්නුවේ නැත. සූදානම වෙනුවට ඡන්දය නොතැබීමට ආවරණයක් සොයන ආකාරයක් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය දෙස නම් ජනතාව ඉවසීමකින් බලාසිටිනු ඇතැයි රජය සිතන්නේ නම් කොතැනක හෝ වරදක් සිදුව තිබෙන බව පැහැදිලිය. ඡන්දයක් බලාගෙන සිටින ජනතාවගේ බලාපොරොත්තු සමඟ විහිලු කිරීම හොඳ නැත. මේ විහිලු කිරීම ජනතාවගේ ඉවසීම කෙසේ වෙතත් දැඩි විරෝධයට නම් හේතුවීමට ඉඩ තිබේ. අප මෙසේ පවසන්නේ උද්ගතවෙමින් පවතින හේතු කාරණා කිහිපයක් පිළිබඳව සැලකිලිමත් වෙමිනි.

ඡන්දයට සියල්ල සූදානම් බවත් ජනවාරි 20 වැනිදා වනවිට එය පැවැත් වීමට හැකිවන සේ අදාළ ප්‍රාදේශීය සභාවලට පත්කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව සඳහන් වන ගැසට් එක නිකුත් කිරීමට සියලු විධිවිධාන යොදවා තිබූ බවත් කියැවිණි. එහෙත් ගැසට් එකක් නිකුත් වීම වෙනුවට ප්‍රකාශ වූයේ නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය සභාවල ඡන්ද දායකන්ගේ විශාල අතිරික්තයක් පැවැතීම හේතුවෙන් එහි සභා ගණනාවක් අලුතින් පිහිටුවා වැඩි සභිකයන් සංඛ්‍යාවක් පත් කරගත යුතු බවය. ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝගනේෂන් මහතා මේ තර්කය ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ නීති සකසන තුරු ගැසට් එක නිකුත් නොකිරීමට තීරණයක් ගනු ලැබීය.

මේ තීන්දුව හේතුවෙන් ඡන්දය කල්යනු ඇති බවට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සේම සිවිල් සංවිධාන සහ ජනතාව දැඩි ලෙස ප්‍රශ්න කරන තත්ත්වයක් මෝරමින් තිබියදී ආණ්ඩුව ප්‍රචාරය කළේ මේ සඳහා එතරම් කාලය ගතනොවන බවත් සති දෙක තුනකදී එය අවසන් කර ජනවාරි අග දිනයක පුංචි ඡන්දය පැවැත්වීමට කටයුතු කෙරෙන බවය. ජනවාරි 27 දිනයක් සඳහන් වන්නේ ඒ අල්ලපනල්ලේය.

ඡන්ද විහිළුව එතැනින් නැවතුණේ නැත. දැන් යළිත් දැනගන්නට තිබෙන්නේ නුවරඑළියට ඒ ආකාරයට ප්‍රාදේශීය සභා සංඛ්‍යාව වැඩි කරන්නේ නම් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කට අදාළව ප්‍රාදේශීය සභා 04ක්වත් අලුතින් පිහිටවිය යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් වීමය. මේ ඉල්ලීම කරන නැගෙනහිර මන්ත්‍රීවරයා රිෂාඩ් බදුයුදීන් මහතාගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මේ අදහස ඔහුගේ පෞද්ගලික අදහස නොවන බවත් පක්ෂයේ අදහස බවත් කියා තිබිණි. මේ ආකාරයට එක් එක් පළාතේ අලුතින් ප්‍රාදේශීය සභා පිහිටුවිය යුතු බවට ඉල්ලීම් පැන නැගුණොත් පුංචි ඡන්දය නම් මේ කපේදීවත් පවත්වන්න ඉඩක් නැත. ලොකුම ගැටලුව මේවා සැබෑ තාක්ෂණික හේතුද නැත්නම් පුංචි ඡන්දය හැකිතරම් කල් දමා ගැනීමට ආණ්ඩුව කරන උප්පරවැට්ටියක් ද යන්න තේරුම් ගැනීමය. මෙය උප්පරවැට්ටියක් යැයි සිතා ගැනීමට වඩාත් ඉඩකඩක් ඇත්තේ මේ ප්‍රශ්න අදින දෙදෙනාම ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වීමය. කැබිනට් ඇමැතිවරුන්ගේ සාමූහික වගකීම වන්නේ කලට වෙලාවට ඡන්දය පැවැත්වීමද? නැත්නම් ඡන්දය පැවැත්වීම උවමනාවෙන් කල් යන ආකාරයට කකුල් මාට්ටු දැමීමද යන්න උභතෝකෝටික ප්‍රශ්නයක් වී තිබේ. මේ ප්‍රශ්න දෙස රටේ ජනතාව තවදුරටත් ඉවසිල්ලෙන් බලා සිටිනු ඇතැයි රජය සිතන්නේ නම් ඡන්ද කල්දැමීමෙන් පසුව රටේ ඇති වූ අතීත අත්දැකීම් සිහිපත් කර ගැනීම යහපත් යැයි අපි සිතමු.

ඡන්දය නොපවත්වන්නේ ඇයි ද යන්න අද රජය ඇතුළේම මතභේද ඇති කර තිබෙන බව පසුගිය කැබිනට් රැස්වීමේදී පවා දැකගත හැකි විය. එහිදී කබීර් හෂීම් සහ ෆයිසර් මුස්තාපා ඇමැතිවරුන් දෙදෙනා අතර ලොකු බහින්බස් වීමක් ඇතිව තිබුණේද ඡන්දයේ ප්‍රමාදවීම පදනම් කර ගනිමිනි. මේ තත්ත්වය ආණ්ඩුවේත් රටේත් දේශපාලන සෞඛ්‍යයට හොඳ නැති බව වටහාගෙන හැකි ඉක්මනින් ඡන්දය පැවැත්වීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00