2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

කොළේ වහලා රට බෙදන ව්‍යවස්ථාවක්

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

- ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

  • රට බෙදන්න බෑ කියලා නිකම් වාක්‍ය දාලා වැඩක් නෑ
  • මේ රටේ කොහේද ජනවාර්ගික ගැටුමක් තියෙන්නෙ
  • මධ්‍යම ආණ්ඩුවේ බලය ඇතිව බලය බෙදුවට කමක් නෑ: එහෙම නොකර රටක් ගෙනියන්නත් බෑ
  • දෙමළ වචනෙන් කියන්නේ සන්ධීය රාජ්‍යයක් කියලා

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සමඟ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළ රටේ ඒකීයභාවය, බලය බෙදීම, ජාතික ප්‍රශ්නය, උතුරු නැගෙනහිර පළාත් යා කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් දේශය කළ සාකච්ඡාවයි මේ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවට පස්සේ වාර්ගික ප්‍රශ්නයයි රටේ ජාතික ප්‍රශ්නයයි විසඳෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඇයි මෙවැනි ව්‍යවස්ථා ක්‍රියාදාමයකට ඔබ විරුද්ධ වෙන්නේ?

බලලෝභි ජාතිවාදී පක්ෂ රටේ කෑල්ලක් අල්ලගන්න එක රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නෙවෙයි. ජනවාර්ගික ප්‍රශ්නයක් කියන්නෙ රටේ ජන වර්ග අතර ගැටුමක් තියෙනවා නම් විතරයි. මොකද්ද රටේ ජනවර්ග අතර තියෙන ගැටුම! ඕනැම රටක යම් යම් අවස්ථාවල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙනවා කියලා. එනිසා අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නෙ නෑ. අපි සුළු ජාතීන්ට සමතැන් දීලා කටයුතු කරනවා. අපි කිසිම වෙනස්කමක් කරන්නෙ නෑ. අපි එකට වැඩපළ කරනවා. ළමයි එකට ඉස්කෝලෙ යනවා.

නමුත් අපි තිස් වසරක යුද්ධයකට මුහුණ දුන්නෙ අපේ තිබුණ යම් යම් ප්‍රශ්න නිසානෙ. එතකොට ඒවා හදාගත යුතු නැද්ද?

ගෙනෙන ව්‍යවස්ථාවෙන් ඇති ප්‍රශ්නයක් නැති කරනවා නෙවෙයි, නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද රටේ වාර්ගික ගැටලුවක් නෑ. තියෙන්නෙ රටෙන් කොටසක් අල්ලා ගැනීමේ දේශපාලන අරගලයක්නෙ. ඒක ජනවාර්ගික ප්‍රශ්නයක් හැටියට හඳුන්වා දෙන එක වැරදියි. රටේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය තමයි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර වෙනම පාලන ප්‍රදේශයක් ලබා දී රට ෆෙඩරල් කිරීමේ වෑයම.

නමුත් නව ව්‍යවස්ථා අතුරු වාර්ථාවේ පැහැදිලිව තියෙන්නෙ ඒකීය රාජ්‍යයක් කියලා නේද?

අලුත් යෝජනාවලියේ යෝජනා වෙලා තියෙන්නෙ ඒකීය කියන ඉංග්‍රීසි UNITORY යන වචනය සම්පූර්ණයෙන් ඉවත් කරන්න. ව්‍යවස්ථා නීතිය යටතේ UNITORY යන වචනයට පැහැදිලි අර්ථ නිරෑපණයක් තියෙනවා. අගවිනිසුරුවරුන් අර්ථ නිරීපණය කළේ සිංහල වචනය නොවෙයි, ඉංග්‍රීසි වචන. නඩු සියල්ල තියෙන්නෙත් ඉංග්‍රීසියෙන්. ඒ ඉංග්‍රීසි වචනය ඉවත් කර ඔරුමිත්ත නාඩු සහ ඒකීය වචන දෙකම දාන්නයි හදන්නෙ. ඒ වචන දෙක පරස්පරයි. ඔරුමිත්තනාඩු කියන්නෙ ඒකීය රාජ්‍යයකට නෙවෙයි, සන්ධීය රාජ්‍යයකට. ඒකීය කියන වචනයට වර්තමාන ව්‍යවස්ථාවේ තියෙන්නෙ ඔට්රයිආට්චි කියන වචනය. මේක තනිකර හොරෙන් කරපු වැඩක්.

එතකොට රාජ්‍ය පිළිබඳව අර්ථ නිරෑපණය කරද්දි නොබෙදිය හැකි රාජ්‍යයක් කියලා සඳහන් කිරීමට කර තිබෙන යෝජනාවෙන් ඒ ගැටලුව විසඳෙන්නෙ නැද්ද?

ඒකීය රාජ්‍ය කියන එක සර්වානන්ද විනිශ්චයකාරතුමා නිර්වචනය කර තියෙන්නෙ එක් ආණ්ඩුවක් තිබෙන, උත්තරීතර ව්‍යවස්ථාදායකයක් තිබෙන හා උත්තරීතර විධායකයක් තිබෙන රාජ්‍යයකට. එහෙම නැතුව නොබෙදිය හැකි රාජ්‍යයක් කියා නෙවෙයි. ඒකීය රාජ්‍යයක් කියන්නෙ නොබෙදිය හැකි රාජ්‍යයක් කියලා දැන් මේගොල්ලො අලුත් අර්ථ නිරූපණයක් දෙන්න හදනවා. ස්පාඤ්ඤ ව්‍යවස්ථාවේ නොබෙදිය හැකි රාජ්‍යයක් කියලා තිබ්බට දැන් රට බෙදන්න හදනවා. ඒ නිසා බෙදිය නොහැකි රාජ්‍යයක් කියා තිබ්බට බෙදුම්වාදී ව්‍යාපාර නවත්වන්න බෑ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒකීය රාජ්‍යයක් කියන සංකල්පය තිබුණා කියලා රටක් නොබෙදී තියෙන්න පුළුවන්ද? ෆෙඩරල් කියලා කියලා තිබුණා කියලා රටක් අනිවාර්යයෙන්ම බෙදෙනවද?

ඒකීය කියලා තිබුණත් ෆෙඩරල් කියලා තිබුණත් රට බෙදෙන්න පුළුවන්. රට බෙදෙන්න අවශ්‍ය ප්‍රතිපාදන තිබෙන්නෙ වචනවල නෙවෙයි. අද රට බෙදන්න අවශ්‍ය කරන පියවරවල් ගණනාවක් යෝජනා කර තියෙනවා. මුලින් උතුරු නැගෙනහිර පළාත් සභා දෙක එකතු කරන්න යෝජනා කර තියෙනවා. පළාත් සභාවල පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමටත් ජිනීවා නුවර දී පොරොන්දු වුණා. පළාත් සභාවක් තනි කැමැත්තට කටයුතු කරන එක වැළැක්වීම මධ්‍යම ආණ්ඩුවට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණ බලය හීන කරන්නත් පියවර රාශියක් යෝජනා කර තියෙනවා. 

රට බෙදෙනවා වළක්වන්න පවතින ව්‍යවස්ථාවේ කිසිම ප්‍රතිපාදනයක් නෑ?

ජූලි කලබලවලින් පස්සෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා. ඒ සංශෝධනවලින් පස්සෙ බලය බෙදන්න කතා කරන හෝ මුදල් යොදවන අයගේ ප්‍රජා අයිතිය නැති කරන්න පුළුවන්. දේපළ රාජසන්තක කරන්න පුළුවන්. ඒ විදිහේ පියවර ගණනාවක් තිබුණා. මේ 6 වැනි සංශෝධනයේ තිබ්බ කිසිම දෙයක් යෝජිත ව්‍යවස්ථාවේ නෑනෙ. ව්‍යවස්ථාවේ රට බෙදන්න බෑ කියලා නිකම් වාක්‍යයක් දාලා හරියන්නෙ නෑ. එවැනි අය හිරේ දාන්න ඕනෑ. 6 වැනි සංශෝධනය තවදුරටත් සංශෝධනය කර රට බෙදන්න කවුරු හරි කටයුතු කරනවා නම් එය අපරාධයක් නොකළොත් මේ රට බෙදෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව කියන්නෙ පළාත් සභා පාලනය කිරීමට පවතින ව්‍යවස්ථාවට වඩා ශක්තිමත් ප්‍රතිපාදන යෝජනා වෙලා තියෙනවා කියලනෙ.

නෑ. දැනට සමගාමී ලැයිස්තුවේ විෂයන් 37 ක් විතර තියෙනවා. ඒ සමගාමී ලැයිස්තුව ඉවත් කරන්න යෝජනා කරනවා. සමගාමී ලැයිස්තුව ඉවත් කළහොත් එහි ඇති කිසි දෙයක් සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නෙ නෑ. සංවෘත ලැයිස්තුවේ තියෙන විෂයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නත් පළාත් සභාවලට බලය දෙන්න හදනවා. රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නීති හදන්න මධ්‍යම ආණ්ඩුවට තියෙන අයිතිය නැති කරන්න යෝජනා කර තියෙනවා. ඒ වගේම මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාර ධූරය චාරිත්‍රානුකූල ධූරයක් කර පළාත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පරිදි කටයුතු කරන්න ඕනෑය යන තත්ත්වයට පත් කර තියෙනවා. මේ සියලුම යෝජනා රට බෙදීම සඳහා කරන යෝජනා. ඒ හින්දා ඒකීය කියන වචනය විතරක් තියලා මේ ව්‍යවස්ථාවට සේරම එකතු කළොත් රට බෙදෙයි.

උතුරු පළාතේ ජනතාවත් නැගෙනහිර පළාතේ ජනතාවත් උතුරු නැගෙනහිර එකතු කර තනි පළාතක් කරන්න කැමතියි නම් ඒ සම්බන්ධයෙන් විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවද?

උතුරු නැගෙනහිර අයිති උතුරු නැගෙනහිර ජනතාවට විතරක් නෙවෙයි. මේ රටේ දකුණ අයිතියි උතුරු මිනිස්සුන්ටත්. උතුර අයිතියි දකුණටත්. අපි ජාතිවාදී නොවන්නෙ ඒ නිසයි. රටක් එක්සේසත් කරන්න සිදුවිය යුත්තේ යම් කිසි පළාතක් යම් කිසිම ජන වර්ගයකට පමණක් සීමා කිරීමක් නොවෙයි. මේ පුංචි රටේ සෑම බිම් අඟලක්ම ජාති ආගම් කුල භේදයකින් තොරව හැමෝටම අයිතියි. ඒකට කැමැති නැති, ජනවාර්ගික අරගලයකට කැමැති, ජන වර්ග අනුව රට බෙදන්න කැමැති මිනිස්සුන්ගේ යෝජනාවක් තමයි උතුරු නැගෙනහිර එක් කිරීමේ යෝජනාව.

නමුත් සම්පන්දන් සුමන්දිරන් වැනි උතුරේ නායකයෝ ඉල්ලන්නෙ නොබෙදුණු රටක් තුළ බලය බෙදීමක්නෙ?

එහෙම කියන කතාවෙ තේරුමක් නෑ. ඔවුන්ගේ යෝජනාවෙන්ම කියන්නෙ ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරන්න ඕනෑ කියලා. ෆෙඩරල් රාජ්‍යයක් කියන්නෙ බෙදුණු රාජ්‍යයක්. ප්‍රාන්ත වශයෙන් බෙදී නූලකින් ගැටගහලා වගේ තාවකාලිකව එකතුවෙලා තියෙනවා. ඒ නිසා තමයි සෝවියට් දේශයේ තිබූ යුගෝස්ලාවියාව වැනි රටවල් ගිලිහී ගියේ. ඒ ටිකම ලංකාවටත් කරගන්නද අවශ්‍ය?

ෆෙඩරල් සංකල්පය රටේ ප්‍රශ්න විසඳන්න හොඳයි කියලා මුලින්ම යෝජනා කළේ බණ්ඩාරනායක මහත්මයාමනේ?

ඒකනෙ ඒක විසි කළේ මිනිස්සු. අන්තිමට බණ්ඩාරනායක මහත්තයාගේ ජීවිතේ නැති වුණෙත් ඒකනෙ. ඉතින් තව කාගෙවත් ජීවිත නැති කරන්න හදන්නෙ මේ! එතුමාගේ ජීවිතේ නැති වුණෙත් මේ හින්දම තමයි.

ඓතිහාසිකව බැලුවත් මේ වෙලාවේ රටේ ප්‍රධාන පක්ෂවල එකමුතුවෙන් හැදිච්ච පාලනයක් තියෙන්නෙ. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයත් බොහෝ දුරට නම්‍යශීලිභාවයකින් කටයුතු කරන බවක් පේනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන අතහරින්නද ඔබ කියන්නෙ?

දෙමළ නායකයන්ගේ කිසිම නම්‍යශීලීභාවයක් පේන්න නෑ. අතුරු ව්‍යවස්ථාවට ඔවුන්ගේ යෝජනා ඔවුන් ගොනු කර තියෙනවා. ඔවුන් කියන්නෙ ෆෙඩරල් රාජ්‍යයක් අවශ්‍යයි කියලා. ෆෙඩරල් රාජ්‍යයකට අවුරුදු 60කට ආසන්න කාලයක් ඔවුන් සටන් කළා. ෆෙඩරල් රාජ්‍යයක් කියන්නෙ වෙනම රාජ්‍යයක් ඇති කිරීමේ පූර්ව සූදානමක්. ඉතින් මොකක්ද ඔවුන්ගේ තියෙන නම්‍යශීලිභාවය. ඔවුන් අද වෙනදාටත් වඩා ආණ්ඩුව ඇතුළටම රිංගා ආණ්ඩුවත් පාලනය කරනවා. අද රට පාලනය කරන්නේ සුමන්දිරන්. මේ රටේ ව්‍යවස්ථාව හදන්නෙ සුමන්දිරන්. මේ රටේ ව්‍යවස්ථාව හැදීමේ කාර්යයේ සිංහල බෞද්ධ‍යාට තැනක් තියෙනවද? එතකොට මොකක්ද තියෙන නම්‍යශීලීභාවය?

බුදු දහමට හා සිංහල භාෂාවට ප්‍රමුඛතාවයක් දීමේ ගැටලුවක් නෑ. නමුත් සුළු ජාතිකයන් රැකබලා ගැනීම මහ ජාතියේ වගකීමක් නෙවෙයිද?

ඔව්. අපි හැමදාම ඒ මිනිස්සුන්ව ආරක්ෂා කළා. සිංහල ජාතිය තරම් සුළු ජාතිය ආරක්ෂා කරපු වෙනත් ජාතියක් නෑ. මේ රට තරම් සුළු ජාතිකයන්ව බලාගන්න වෙන රටක් ලෝකෙම නැතුව ඇති. මේ රටේ දෙමළ මුස්ලිම් මනුස්සයකුට කැමැති තැනක යන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කෙනෙහිළිකම් වුණත් කරන්න පුළුවන්. මේවා මැදපෙරදිග නැත්තම් රෝමෙට ගිහින් කරන්න පුළුවන්ද? අපේ ඇමැතියෝ පවා භික්ෂුන් වහන්සේලාට චීවරධාරියෝ කියනවා. හැදියාවක් නැති ඇමැතිනියොත් කියනවා. 

බලය බෙදීම සම්බන්ධයෙන් හොඳම ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙන්නෙ දකුණෙන්. ඒ කියන්නේ දකුණටත් බලය බෙදීම අවශ්‍යයි කියලා නොවේද?

බලය කොච්චර බෙදුවත් කමක් නෑ, මධ්‍යයම ආණ්ඩුවේ පාලනයේ තියෙන්න ඕනෑ. ඕනෑම රටක බලය බෙදා බලය විමධ්‍යගත කර තියෙනවා. බලය බෙදන්නෙ නැතුව රටක් පාලනය කරන්නත් බෑ. ඒ බලය බෙදුවට කමක් නෑ, බලය බෙදන එකේ නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක මධ්‍යම ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් බලය බෙදීමක් ද කියන එකයි.

සම්පන්දන් කියලා තිබුණා මේ අවස්ථාවේ දී ව්‍යවස්ථාවක් හැදුවෙ නැත්තම් ආයෙත් රටේ යුද්ධයක් ඇතිවෙයි කියලා. ඒ ගැන මොකක්ද ඔබ කියන්නෙ?

ඒකෙන් පැහැදිලිව පේනවා ඔවුන්ගේ පරමාර්ථය මොකක්ද කියලා. තාමත් ඔවුන් යුද මානසිකත්වයෙන් මිදිලා නෑ. ඔවුන් කියන්නේ උඹලා දුන්නෙ නැත්නම් අපි උඹලට ගහනවා කියන එකනෙ. ඉතින් ඔවුන් ගහන්න ඉස්සෙල්ලා අපි ගහන්න ඕනෑ.

ඔබ කියන විදිහට දෙමළ ජාතිකයන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නොදිය යුතුද?

සිංහල මිනිස්සුන්ට නැති දෙමළ මිනිස්සුන්ට පමණක් තියෙන ප්‍රශ්නය මොකක්ද? නැගෙහිර පළාතේ හා උතුරු පළාතේ සිංහල මිනිස්සුන්ට ලියුම් හම්බවෙන්නෙ දෙමළෙන්. නඩු අහන්නෙ දෙමළෙන්. දකුණේ දෙමළ මනුස්සයාටත් සිංහලෙන් ලියුම් එනවා ඇති. ඒ ප්‍රශ්නෙට රට බෙදලා හරියන්නෙ නෑ. අපි බලය බෙදලා ෆෙඩරල් රාජ්‍ය ඇති කළොත් දකුණෙ ඉන්න දෙමළ ජනතාවට සිංහලෙන් ලියුම් එන්න පටන් ගන්නවද? ඒ මිනිස්සුන්ට දකුණේ යම් අනාරක්ෂිත බවක් තියෙනවා නම් උතුරු නැගෙනහිර ෆෙඩරල් කළාට පස්සේ ආරක්ෂාවක් ලැබෙනවාද? අපි අනියම් ආකාරයකින් කියන්නේ දකුණේ ඉන්න දෙමළ ජනතාවට එහාට යන්න කියලද? උතුරු නැගෙනහිර සිංහල ජනතාවට දකුණට එන්නැයි කියලද?

සංවාදය හා සටහන - සකීෆ් සාම් තන්වීරි