2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ක්ෂණික වර්ජන

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

ක්ෂණික නූඩ්ල්ස්, ක්ෂණික ආප්ප, ක්ෂණික ඉඳි ආප්ප ඇතුළු ක්ෂණික ආහාර ද්‍රව්‍ය වලින් අපේ රටට හිඟයක් නැත. ඒ අතරට අලුතින්ම එක් වී ඇත්තේ ක්ෂණික ස්ට්‍රයික්ය. ක්ෂණික ආහාර වර්ග රටේ ජනතාවගේ එදිනෙදා ජීවන රටාව පහසු කිරීමට උදව්වකි. එහෙත් ක්ෂණික ස්ට්‍රයික් එහි අනෙක් පැත්තය. එය ජනතාවගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර දමයි. අවුලට ඇද දමයි. කාලය විනාශ කර දමයි.

පසුගිය 11 වැනිදා රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඇති වූ ක්ෂණික වැඩ වර්ජනය හේතුවෙන් මගීහු දහස් ගණනක් අමාරුවට පත් වූහ. එදින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වීමට නියමිතව තිබූ වැඩ වර්ජනයට මුලපිරීමක් වශයෙන් කොළඹ කොටුවෙන් ආරම්භ කිරීමට නියමිත වූ සියලු දුම්රිය අවලංගු කිරීමට ක්‍රියා කිරීම හේතුවෙන් රාජකාරි නිම වී නිවෙස් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් දුම්රිය පොළේ අතරමං වූහ. රාත්‍රී දුම්රිය වලින් පිට පළාත්වලට යාමට සූදානම්ව පැමිණි ජනතාව ද අසරණ වූහ. මේ පිරිස් පාලනය කිරීම කොතරම් අසීරු වී දැයි කිවහොත් ඒ සඳහා පොලිස් කැරළි මර්දන කණ්ඩායම් පවා කැඳවීමට සිදුව තිබිණි.

වැඩ වර්ජනය කොට ඉල්ලීම් දිනාගැනීම සඳහා සේවකයන්ට තිබෙන අයිතිය මේ ආකාරයට අසාධාරණ සහ අයුක්තිසහගත ආකාරයට යොදවා ගැනීම ජනතාවගේ කෝපයට හේතු වීම සාධාරණය. දුම්රිය රියැදුරුවරුන් වැඩ වර්ජනයට සූදානම් බව කල් තබා ප්‍රකාශ කර තිබුණේ නම් දුම්රිය මගීන් අමාරුවේ වැටෙන්නේ නැත. රෑ 12ට ආරම්භ කිරීමට නියමිතව තිබූ බව කියන වැඩ වර්ජනයට ඊට පැය ගාණකට පෙර සිටම ගමන් වාර අවලංගු කිරීම පැහැදිලිවම දුම්රිය මගීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. දැන දැන සිදුකළ සාහසික කඩාකප්පල්කාරී ක්‍රියාවකි. වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සිදුකරන සාධාරණ අරගලවලට සිදුකළ අවමානයකි.

ක්ෂණිකව ක්‍රියාත්මක වන වැඩ වර්ජනවලට ද ඉතිහාසයක් තිබේ. විශේෂයෙන්ම පොදු ගමනාගමන සේවාවන් වන ලංගම බස්, ප්‍රයිවෙට් බස් පමණක් නොව, දුම්රිය ද ඇතැම් විට ක්ෂණික වැඩ වර්ජන වලින් අඩපණ වෙයි. නමුත් බොහෝ විට එසේ වන්නේ මගීන්ගේ නොසංඩාල හැසිරීමක්, පොලීසියේ නීතිය නැවීමක්, වැඩිපුර බස් එකක් පාරට දැමීමක් වැනි අවස්ථානුකූලව සිදුවන හේතුවක් මුල්කොටගෙනය. බොහෝ විට එවැනි වැඩ වර්ජන පැය ගණන් දිගට ඇදී යන්නේ නැත. සිද්ධියට සම්බන්ධ පාර්ශ්වවල ඉදිරිපත් වීමෙන් ගැටලුව සමතයකට පත් වේ. මෙවැනි අවස්ථාවලදී එයින් පීඩාවට පත්වන මහජනතාව ද කිසියම් දුරකට එම පීඩාව ඉවසාගෙන සිටිනු දැකිය හැකිය. එවැනි අරගලවල කිසියම් සාධාරණයක් පැවැතීම ඊට හේතුවය.

එසේ වුවද පසුගිය සතියේ ඇති වූ වැඩ වර්ජනයට එවැනි හේතුවක් බලපා නොතිබිණි. එහි නිමිත්ත වී තිබුණේ දුම්රිය රියැදුරු සහායකයන් බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මතු වූ විරෝධතාවයක් මිස ක්ෂණික හේතුවක් නොවේ. වැඩ වර්ජනය ආරම්භ කර තිබුණේ දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටිං ඉංජිනේරු රියැදුරු සංගමය මගිනි. ඔවුන් රාත්‍රී 7.00 සිටම රාජකාරියෙන් බැහැරව සිටීම නිසා කොළඹ කොටුවෙන් සහ මරදානේ පිටත් වන සියලු දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදුව තිබිණි. මෙය සිතාමතාම දුම්රිය මගීන් කුලප්පු කර කලබලකාරී වාතාවරණයක් නිර්මාණය කොට තමන්ගේ ගැටලුව කෙරේ උපරිම අවධානය ලබාගැනීමට සිදුකළ කුමන්ත්‍රණයක් බව පැහැදිලිය. එය සාධාරණ ක්‍රියාවක් නොව, දුම්රිය මගීන් ප්‍රාණ ඇපයට ගැනීමකි. අඩුම වශයෙන් රාජකාරි අවසන්ව නිවෙස් කරා යාමට පැමිණි මගීන් යා යුතු දුම්රිය ගමන් වාර හෝ ධාවනය කිරීම යුතුකමක්ව තිබිණි. නිවෙස් කරා යාමට පැමිණි බලාපොරොත්තු සුන් කරගෙන කෝපයට පත් මගීන්ගෙන් මීට වඩා සන්සුන් හැසිරීමක් බලාපොරොත්තු වීමත් මෝඩකමකි.

මෙහිදී පොලීසිය සිදුකළ මැදිහත් වීම හේතුවෙන් විශාල විනාශයක් වැළකී ගිය බව ද සඳහන් කිරීම අවශ්‍යය. හම්බන්තොට දී විරෝධතාකරුවන්ට කන පැලෙන්න ගැසූ පොලීසිය මෙහිදී වැඩ වර්ජනයට එක්ව සිටි නිලධාරීන් වටකරගෙන බදාගෙන ඔවුන් ආරක්ෂා කර ගැනීමට සමත් විය. එසේ නොවන්නට මේ වැඩ වර්ජනය වෙනත් අතකට හැරී දිග් ගැස්සීමට සිදුවන තරමට කටයුතු සිදුවීමට ඉඩ තිබිණි.

මේ කරුණු කෙසේ වුවද රටේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වමින් සිදුකරන මෙවැනි ආකාරයේ ක්ෂණික ස්ට්‍රයික් තදින්ම හෙළා දැකිය යුතුය. වෘත්තීය අරගල එකකි. එය ජනතාවගෙන් පළිගැනීමක් දක්වා වර්ධනය කිරීම තවෙකකි. එසේම ප්‍රශ්නයක් ඒ තරමට ගොජදමන තුරු නිකම් බලා සිටින ආණ්ඩුව ද මේ අවනඩුවේ කොටස්කාරයෙකි. ඒ අර්ථයෙන් ක්ෂණික ස්ට්‍රයික් මෙහෙයවන්නෝ ද ඒ සඳහා ඔවුන් පොළඹවන ආණ්ඩුවේ බලධරයෝ ද ජනතාව අමාරුවේ දැමීමට හවුල්කාරයෝ වෙති. ක්ෂණික ස්ට්‍රයික් ජනතාවගේ ක්ෂණික කෝපය බවට පෙරළුණොත් වැඩ ගොඩවෙන බව මේ දෙපාර්ශ්වය විසින්ම අවබෝධ කර ගැනීම වැදගත් බව අපි කියමු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00