2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

වචන දෙකේ සටන

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

අලුත් ව්‍යවස්ථාවක් හදන්න මූලික කෙටුම්පතක් වශයෙන් සැලකෙන ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 21 වැනිදාය. එය ඉදිරිපත් කළා මිස ආණ්ඩුව ඒ ගැන වැඩිය කතා කිරීමට ගියේ නැත. බෝලය රට පැත්තට තල්ලුකර ආණ්ඩුව බලා සිටින බවක් පෙනෙන්නට තිබේ. ඒ ගැන රටේ ඇතිවන විවාද සංවාද මොනවාදැයි රජය විමසිල්ලෙන් සිටින බව පැහැදිලිය.

මේ රටේ බහුතරයක් ජනතාව ඕනෑම ව්‍යවස්ථා කෙටුම්පතක වඩාත්ම උනන්දුවක් දක්වන්නේ වචන දෙකක් කෙරෙහි පමණි. එකක් බුද්ධාගමයි. අනෙක ඒකීයභාවයයි. මේ වචන දෙක සඳහන් ඕනෑම වගන්තියක් මේ රටට අධිසංවේදී මාතෘකා සපයයි. ආණ්ඩුව සිදුකර ඇත්තේ ද රට වඩාත්ම උනන්දුවක් දක්වන, වඩාත්ම සංවේදී වන ඒකීයභාවය සහ බුද්ධාගමට හිමි තැන පිළිබඳව සඳහන් වගන්ති උළුප්පා දැක්වෙන කරුණු මේ ලියැවිල්ලට අඩංගු කිරීමය. ඒ ගැන රට තුළ මුලින්ම සංවාදයක් ඇති කිරීමට පාර කැපීමය.

බැලූ බැල්මට මේ කෙටුම්පත විධායක ජනාධිපති ක්‍රමය, අගමැති පත් කිරීමේ ක්‍රමවේදය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව පමණක් නොව රටේ අගනුවර, ඇමැති පදවි සංඛ්‍යාව වැනි කරුණු ගැනද විග්‍රහ කර තිබේ. නමුත් මේ සියල්ල අභිබවා කැපී පෙනෙන්නේ ජනවාර්ගික ගැටලුව ආමන්ත්‍රණය කිරීම සඳහා වෙනස් කිරීමට නියමිත වගන්තිය.

සමස්තයක් වහයෙන් බැලුවොත් මේ කෙටුම්පත පවතින ව්‍යවස්ථාව මුළුමනින්ම කනපිට පෙරළීමක් නොවන බව පැහැදිලිය. විශාල වෙනස්කම්ද යෝජනා කර නැත. කොටින්ම මේ අලුත්ම ව්‍යවස්ථාවක කෙටුම්පතක් නොව, පවතින ව්‍යවස්ථාවේ බොහොමයක් වගන්තිද ඇතුළත් කොට සැකසුණු “අලුත්” එකකි. රටේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රීලනිපයත් යූ.එන්.පී.යත් ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු සියලු දේශපාලන පක්ෂ මාස කිහිපයක් තිස්සේ වාර ගණනාවකදී හමුවී දක්වන ලද අදහස් මෙයට ඇතුළත් කර ඇතැයි ආණ්ඩුව කියයි. එහෙත් මේ සාකච්ඡා අතරමග දී විමල්ගේ බහුජන නිදහස් පෙරමුණ එයින් ඉවත්වන බව දැනුම් දුන්නේය. සෙසු ඇතැම් පක්ෂද පැවැසුවේ තමන්ගේ අදහස් මෙහිදී සැලකිල්ලට ගෙන නැති බවය. මහින්ද කියා තිබුණේ තමන් යෝජනා කළ කිසිවක් මීට ඇතුළත් කර නැති බැවින් ඊට විරෝධය පළ කරන බවය. එය ගෙන ඒමට ඉඩ නොදෙන බවය.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ප්‍රතිඥා දෙමින් වුවද මේ කෙටුම්පතේ එවැනි අහෝසි කිරීමක් ගැන යෝජනාවක් නැත. එසේම ඒකීය රාජ්‍යයක් වශයෙන් පවතින බවට සඳහන් වගන්තියේ ඉංග්‍රීසි පරිවර්තනයේ සඳහන් වන්නේ ඒකීය (aekiya raajyaya) වශයෙනි. ඊට පෙර එහි සඳහන් වූ (unitary state) වචනය ඉවත් කිරීමට යෝජනා කර තිබෙන අතර රටේ ඒකීයභාවය එලෙසම පවතින බවද සඳහන්ය. කෙසේ වුවද ද්‍රවිඩ පරිවර්තනයේ දී මෙතෙක් භාවිත වූ ඔට්ට්‍රියාච්චි (otraiaatchi) වෙනුවට ඔරුමිත්තනාදු (orumiththanadu) වචනය භාවිත කිරීමට යෝජනා කර තිබේ. මේ වචන වෙනස් කිරීම සම්බන්ධයෙන් දකුණේ දැඩි මතධාරීන්ගේ විරෝධය පළවන බව පෙනෙන්නට තිබේ.

කෙසේ වුවද මෙය අවසන් ලියැවිල්ල නොවන බව තේරුම් ගැනීම අවශ්‍යය. එසේම පවතින ව්‍යවස්ථාවේ සියලු අර්ථ නිරූපණ එසේම එම වගන්ති සහිතවම සඳහන් වන්නේ නම් අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ තේරුමක් නැත. මේ රටේ දිගින් දිගටම ඇදීයන බලය බෙදීම පිළිබඳ ගැටලුවට අදාළ කේන්ද්‍රගත, මූලික කරුණු සඳහා උතුරේත් දකුණේත් එකඟත්වයක් තිබීම අවශ්‍යය. නමුත් දැන් සිදුවීමට ඉඩ තිබෙන්නේ මේ නව ව්‍යවස්ථා මූලික කෙටුම්පත උතුරේත් දකුණේත් දේශපාලන බලය උරගා බැලීමේ ගැටලුවක් බවට පත් වීමය.

උතුරේ විග්නේෂ්වරන්ලා ඇතුළු දැඩි මතධාරී දේශපාලනඥයන් සියලු දෙනා සම්පන්දන්ලා සුමන්තිරන්ලා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් බිඳ දැමීමට ක්‍රියා කර ඇතැයි චෝදනා කරති. දෙමළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් නොවන කිසිදු ව්‍යවස්ථාමය ලියැවිල්ලකට තමන් එකඟ නොවන බව ඔවුහු දිගටම කියා සිටිති. දකුණේ තත්ත්වය ද ඊට වෙනස් නැත. ඒකාබද්ධ විපක්ෂය මේ අවස්ථාව යොදාගෙන ඇත්තේ ආණ්ඩුවට පහරදීමටය. මාස ගාණක් තිස්සේ සකස් වෙමින් තිබූ ලියැවිල්ල සම්බන්ධයෙන් දවස් ගාණක් ඇතුළත පිළිතුර දීමට වඩා යමක් ඒකාබද්ධ විපක්ෂයට කළ හැකිව තිබිණි.

ඒකාබද්ධ විපක්ෂය තුළ පක්ෂ ගණනාවක් ගොනු වී සිටී. ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 51කට අධික සංඛ්‍යාවක් සිටින බවය. ඉදිරියේ දී තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වීමට සූදානම් බවය. එසේ නම් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට එරෙහි විශාල බලවේගයක් බවට පත්ව සිටින ඒකාබද්ධය රටේ ප්‍රධානම ගැටලුව කෙරෙහි කිසිදු නම්‍යශීලී බවක් නොපෙන්වීම කනගාටුවකි. බලයට පැමිණීම සඳහා නව ව්‍යවස්ථා විරෝධය යොදවා ගැනීම දෙපැත්ත කැපෙන ආයුධයක් වීමට හොඳටම ඉඩ තිබේ. ආණ්ඩුවේ වැඩ ගැන පැහැදීමක් නැති ඇතැම් පිරිස් අතරේ වුවත් මේ කෙටුම්පතේ හොඳ නරක ගැන කතාබහක් ඇති වෙමින් තිබේ. වචනයක දෙකක තේරුම පසුපස එල්ලී ගොස් මේ හදන්නේ රට කැඩීමටය, ෆෙඩරල් දීමටය යනුවෙන් හඬ නැගීමත් දේශානුරාගය සහ ආගමික කතා ඉදිරියට දමාගෙන රට තුළ හැඟීම් අවුස්සා දේශපාලන බලයට ඉව ඇල්ලීමත් හැමදාම කළ නොහැකිය. ඒ බව අවබෝධ කර නොගෙන කටයුතු කිරීම රටේ බලය බෙදීම පිළිබඳ ජාතික ගැටලුව අනන්තය දක්වා ඇදගෙන යාමක් වනු ඇත. අනෙක් අතට මෙය අවසන් කෙටුම්පත නොවන බවද තේරුම් ගැනීම අවශ්‍යය.

මේ තත්ත්වය පිළිබඳව දිනේෂ්ට හොඳ අත්දැකීමක් ලැබුණේ මල්වතු මහ නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදීය. මහ නාහිමියන් හමුවීමට දිනේෂ් ගියේ ව්‍යවස්ථා සම්පාදන අතුරු කමිටු වාර්තාව සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ අදහස් හා යෝජනා ඇතුළත් කොට සකස් කෙරුණු ලියැවිල්ල මහ නාහිමියන් වෙත පිළිගැන්වීමටය. ඒ අවස්ථාවේ දී මහනාහිමියන් පැවැසුවේ මෙසේය.

“රටට ජාතියට ආගමට අයහපතක් වෙනවා නම් අපි නිහඬව ඉන්නේ නැහැ. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කරන්න ගියාම එදා සමහරු විරුද්ධ වුණා. ඒ නිසා රට ආපස්සට ගියා. නරක දේ අප අනුමත කරන්නෙ නෑ. ඡන්ද ක්‍රමය වෙනස් කරන එක හොඳයි. මේ ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ඡන්දය අරන් මඟහරිනවා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පැහැදිලිව ප්‍රකාශකර තිබෙනවා ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමටවත් රටේ ඒකීයභාවයටත් කිසිදු හානියක් වෙන්නේ නැහැ කියලා. දෙදෙනා කරන ප්‍රකාශ ගැන අපට විශ්වාසය තැබිය හැකියි.

ඔබලාත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ ඉන්නවා. බුද්ධාගමට රටේ ඒකීයභාවයට හානිවන තීන්දු ගත්තා නම් ඔබලා ඒ කමිටුවේ හිටපු අය හැටියට නොදැන ඉන්න විදියක් නෑ. ආණ්ඩුව කියනවා රට බෙදන්නෙ නැහැ කියලා. ඒකාබද්ධ විපක්ෂය කියනවා රට බෙදනවා කියලා. කවුරු කියන එකද දැන් අපි පිළිගන්නේ. වැඩිපුර බොරු කියන අය කවුද කියලා තමයි දැන් අපට හොයන්න වෙන්නේ. සුදුසු දේ නුසුදුසු දේ පෙන්වලා දෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් ව්‍යවස්ථාවක් එපා කියන්න හොඳ නැහැ.”

මහ නාහිමියන්ගේ එම අනුශාසනාවෙන් පසුව දිනේෂ් කියා තිබුණේ තමන් මේ රටේ ඒකීයභාවය නැතිවීමේ බුද්ධාගමට හිමි තැන නැතිවීමේ අනතුර පෙන්වා දුන් බවය. අතුරු කමිටු වාර්තාවෙන් ඒ බව තහවුරු වී ඇති බවද ඔහු කියා තිබිණි. “සිංහලෙන් ඒකීය තිබෙනවා. දෙමළෙන් ඒක ඒකාබද්ධ කරලා. ඉංග්‍රීසියෙන් “යුනිටරි” කියන වචනය හලලා. ආණ්ඩුව සිංහලෙන් කියන දේ නොවෙයි දෙමළෙන් ඉංග්‍රීසියෙන් කරන්නේ” යැයි ද ඔහු කියා තිබිණි.

දිනේෂ් ඒ සමඟ රාමඤ්ඤ නිකායේ මහනාහිමි බැහැදැකීමටද ගියේය. උන්වහන්සේ එහිදී කියා තිබුණේ මහජනතාවට විශ්වාස කළ හැකි මණ්ඩලයකින් මේ ව්‍යවස්ථාව හැදිය යුතු බවය. ජාතියේ ආරක්ෂාව තිබිය යුතු බවත් මේ ව්‍යවස්ථාවෙන් රටක් නැතිවෙන්න පුළුවන් බවත් උන්වහන්සේ කියා තිබිණි.

කෙසේ වුවද මේ කරුණු සම්බන්ධයෙන් දැන් විවිධ දේශපාලනඥයන් විසින් කිසියම් ආකාරයක මත දැක්වීම් සිදුවන බව පෙනී යයි. ඒවායේ දී විවිධ අදහස් පළවන බව පැහැදිලිය. නමුත් කනගාටුව වන්නේ නව ව්‍යවස්ථා අතුරැ වාර්තාව සම්බන්ධයෙන් තිබිය යුතු ඇතිවිය යුතු හරවත් පුළුල් කතිකාව වෙනුවට දේශපාලන උසිගැන්වීම් සමඟ බද්ධ වූ දේශානුරාගය සහ ආගම් පිළිබඳ කතිකාවක් බවට එය පත් වීමය. ඒ හැමදාමත් සිදු වූ ආකාරයයි. එය වෙනස් වී හරවත් සංවාදයක් ඇති වී වඩාත් හොඳ ව්‍යවස්ථාවක් නිර්මාණය නොවන්නේ නම් බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමෙන් පසුව රටට අයත් වූ ඉරණමට දිගටම මුහුණපෑමට සිදුවිය හැකිය. මේ රාමුවෙන් මිදී කටයුතු කිරීමට විශාල දේශපාලන ධෛර්යයක් තිබීම අවශ්‍යය. එවැනි ධෛර්යයක් ඒකාබද්ධ විපක්ෂයට තිබෙන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුව පොදුවේ එවැනි ධෛර්යයක් පෙන්නුම් කළද ශ්‍රීලනිපයත් යූ.එන්.පී.යත් වෙන වෙනම ගත් කළ පෙනෙන්නට තිබෙන්නේ ඔවුන්ද ප්‍රධාන ප්‍රශ්නවලින් කර අරින බවය.
මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව ආණ්ඩුව තමන්ගේ ප්‍රමුඛතා පටලවා ගැනීමය. නව ව්‍යවස්ථාවක් පිළිබඳව සඳහන් වූයේ අද ඊයේ නොවේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට එන්නේත් ඔහුගේ ජයග්‍රහණයට යූ.එන්.පී.යේ ඡන්ද ලබාදීමට අගමැතිවරයා ක්‍රියා කළේත් නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු ලබාදෙමිනි.

ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව රටේ ජනතාව තුළ තමන් පිළිබඳ විශ්වාසය උපරිමව තිබූ කාලසීමාව ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් නව දැක්මක් අනුව ඉදිරිපත් කිරීමට හොඳම කාලසීමාව විය. කොටින්ම ආණ්ඩුව බලයට පත් කිරීමට විශාල බලවේගයක් නිර්මාණය කිරීමට දායක වූ (දැන් බොහෝ නායකයන්ට අමතක) මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් පවා කිව්වේ තැටිය රත්කර දුන්නේ රොටිය පුච්චා ගැනීමට මිස ගිනි තැපීමට නොවන බවය. එහෙම වුණත් ආණ්ඩුව තෝරාගත්තේ රොටිය පුච්චා ගැනීම නොවේ. ගිනි තැපීමය.

එයින් සිදුවූයේ හොරුන් ඇල්ලීම වෙනුවට ඩීල් දැමීමය. ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වැඩ අමතක කර කටයුතු කිරීමය. විනිවිදභාවය ඇතිකිරීම වෙනුවට “බැඳුම්කරය” වැනි අවර ගණයේ ගනුදෙනුවල යෙදීමය. තවත් කල් යනවිට තිබූ ප්‍රශ්න විසඳෙනු වෙනුවට තවත් නොතිබූ ගැටලු ගණනාවක් ඇති විය. දැන් තැටියත් නැත. රොටිත් නැත.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාව පිළිබඳව රජය අපේක්ෂා කළ මට්ටමේ අර්ථවත් සංවාදයක් ඇතිවීම වෙනුවට උතුරේත් දකුණේත් දේශපාලන විසංවාද ඇතිවන්නේ ඒ පසුබිම යටතේය. උතුරේ මිනිසුන්ගේ ජනජීවිතය මේ රජය බලයට පැමිණියායින් පසුව ඉහළ මට්ටමකට ගොස් ඇතිදැයි කාටවත් කිවහැකිද? ඔවුන්ට එදා තිබූ පානීය ජල ප්‍රශ්නය තවම එසේමය. ඔවුන්ගේ ඇඟට දැනෙන එවැනි සංවර්ධන යෝජනා ක්‍රමයක් ලබාදීමට ආණ්ඩුව උනන්දු වූයේ නැත. එහි තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය එසේමය. මේ රජය බලයට පැමිණි වහාම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ගෙවල් 50,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ විය. එහෙත් තවම අඩුම වශයෙන් එක ගෙයක් හෝ ඉදිකරදී නැත. තවමත් ඒ සඳහා මූලික පියවර හෝ තබා ඇතිදැයි දැනගන්නට නැත. වුණා නම් වුණේ උතුරේ වැසියන්ට අයත් හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ ඉඩම් සහ ගෙවල් යම් ප්‍රමාණයක් ඔවුන් වෙත මුදාහැරීමය. එසේම මහාමාර්ග, දුම්රිය මාර්ග වැනි යටිතල පහසුකම් සීමිත ප්‍රමාණයක් ඇතිකිරීමට යම් යම් පියවර ගැනීමය. මේ නිසා තමන්ගේ ප්‍රශ්න නොවිසඳෙන කිසිම ව්‍යවස්ථාවකට තමන් එකඟ නොවන බව විග්නේෂ්වරන් නගන හඬට උතුරේ කිසියම් සහායක් පළ වෙමින් තිබීම ගැන පුදුම විය යුතු නැත.

දකුණේ තත්ත්වයද ඊට දෙවැනි නැත. බැඳුම්කර වංචාව හේතුවෙන් ආණ්ඩුව තමන්ගේ විශ්වාසනීයත්වයට බරපතළ හානියක් සිදුකර ගෙන තිබේ. එහිදී ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය බැඳුම්කරයේ සියලු බර යූ.එන්.පී.ය මතට පැටවීමට සූක්ෂම විය. දැන් එය ආණ්ඩුවේ ප්‍රශ්නයකට වඩා යූ.එන්.පී.යේ ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. නමුත් ඒ හරහා ජනතා විශ්වාසය අහිමි කර ගැනීමේ අභියෝගයට ආණ්ඩුව මුහුණ දෙමින් සිටී. රටම මුහුණ දී සිටින බරපතළ ආර්ථික ගැටලු හරහා මතු වී තිබෙන තත්ත්වයත්, සයිටම් වැනි දිග්ගැසෙන ප්‍රශ්න ගණනාවක් ඇතිකර ගැනීමත්, ඡන්ද නොපැවැත්වීමත් හේතුවෙන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය සෝදාපාළුවකට ලක්වෙමින් තිබේ. නමුත් ප්‍රජාතාන්ත්‍රික නිදහස පිළිබඳවත් දේශපාලන නිදහස පිළිබඳවත් පමණක් ආණ්ඩුව සිටින්නේ ඉදිරියෙන් බව කිව යුතුය.

මේ තත්ත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂයට ලකුණු වැටීම වැළැක්විය නොහැක. නමුත් අවශ්‍ය දේට මෙන්ම අනවශ්‍ය දේටද කටදැමීමේ අවාසිය ඔවුන්ට තිබේ. පසුගිය කාලය මුළුල්ලේම ඔවුන් කළේ ආණ්ඩුවේ සියලු වැඩට වැර යොදා පහර ගැසීමය. ඔවුන්ට නායකත්වය දෙන මහින්ද ඇතැම් අවස්ථා ඉලක්ක කර ගනිමින් නිකුත් කරන නිවේදන කියවන විට මීට වසර තුන හතරකට පෙර රටේ පැවැතුණේ ඔහුගේ රජයක්ද යන ප්‍රශ්නය පැන නගින බව සමහර දේශපාලන විචාරකයෝ කියති. මේ නිසා නව ව්‍යවස්ථා අතුරු වාර්තාව සම්බන්ධයෙන් මහින්ද නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය කරන ප්‍රකාශ දෙස ඇතැම් පිරිස් සැකයෙන් යුතුව බැලීම වැළැක්විය නොහැක.

ඒ කෙසේ වුවත් මේ හැලහැප්පීම් නිසා ජාතික ගැටලුව වඩාත් ජාතිවාදී සහ ආගම්වාදී ආකල්පවලින් බැලීමට තල්ලු වෙමින් තිබේ. ආණ්ඩුව මොන බලාපොරොත්තු තබාගෙන සිටියත් නව ව්‍යවස්ථාව සම්බන්ධව ජනතාව සලකා බලන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළද සමඟ ගැටගසාගෙන බව අමතක නොකළ යුතුය. ආණ්ඩුවේ ජනප්‍රියත්වය සෝදාපාළුවකට ලක්වී ඇතිනම් ව්‍යවස්ථාව ඉදිරියට තල්ලු කර ගැනීමද අපහසු වන බව පැහැදිලිය. අනෙක් අතට නව ව්‍යවස්ථා කෙටුම්පතේ අඩංගු කරුණු සහ වෙනස්කම් පිළිබඳව ආණ්ඩුව රටේ ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කළේද නැත. නමුත් ඒකාබද්ධය මුලසිටම ඊට එරෙහිව දැඩි ලෙස ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක සිටියේය. එහි සාර්ථක අසාර්ථකභාවය ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.

 ශශීන්ද්‍ර

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00