2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

බලය බෙදන හොඳම යෝජනා ආවේ දකුණේ මහ ඇමැතිලාගෙන්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

- පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

  • උතුරේත් දකුණේත් අන්තවාදීන් බලාගෙන ඉන්නේ මේ බස් එකත් මිස් වෙනකම්
  • ඒකීය වචනේ තිබුණා කියලා රටක් නොකැඩී තියෙන්නෙ නෑ
  • රට බෙදීම වළක්වන පැහැදිලි විධිවිධාන මේ පනතේ තිබෙනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් වාමාංශික පක්ෂ නායක ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා රට බෙදනවාද නැද්ද, බුදු දහමට හිමි තැන, විධායක ජනාධිපති ධුරයට සිදුවන්නේ කුමක්ද, ඇතුළු නව ව්‍යවස්ථා යෝජනා සම්බන්ධයෙන් දේශය සමඟ කළ සාකච්ඡාව.

නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන මත දෙකක් තියෙනවා. එකක් මේක ඒකීය නොවන යෝජනාවක් කියලා, අනිත් එක ඒකීයභාවයට කිසි හානියක් නැති යෝජනාවක් කියලා. මේ දෙකෙන් කෝකද හරි?

ප්‍රථමයෙන් කිව යුත්තේ මේ ඉදිරිපත් වී තිබෙන යෝජනාව අවසාන ව්‍යවස්ථාව නොවන බවයි. රටේ සංවාදයක් ඇති වී ඒ සංවාදයෙන් ව්‍යවස්ථාව දියුණු විය යුතුයි. ඒකීය යන්නෙන් සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වන්නේ මේ රට නොබෙදූ සහ නොබෙදිය හැකි රටක් බවට සහතික වෙන්න ඕනැය කියලා. එහෙනම් මේ රට තුළ කිසිම රාජ්‍යයක් හදන්න ඉඩ නොතිබිය යුතුයි. ඒනිසා රට බෙදීම වැළැක්වීම සඳහා විධිවිධානත් වර්තමාන ව්‍යවස්ථාවටත් වඩා එහාට ගිහින් නව යෝජනාවෙන් ප්‍රතිපාදන ඉදිරිපත්වෙලා තියෙනවා. 

යෝජිත ව්‍යවස්ථාවෙන් ඒකීයභාවයට වඩා ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍ය ස්වරූපයක් නිර්මාණය වෙනවා නේද?

ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාවෙන් පවා පරාමාධිපත්‍යය බෙදන්න බෑ කියලා නෑ. නව යෝජනාව තුළ පරමාධිපත්‍යය අත්හල නොහැකි හා බෙදිය නොහැකි වනු ඇත යනුවෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ පරමාධිපත්‍ය ජනකොටස්වලට හෝ භූගෝලීය ඒකකවලට හෝ බෙදන්න බෑ. පරමාධිපත්‍යය පිහිටුවා තිබෙන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට. සන්ධීය රාජ්‍යයක් කියන්නේ මධ්‍යම රජය හා ප්‍රාන්ත එක සම තත්වයක තිබීම. එනම් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පරාමාධිපත්‍යය බෙදී තිබීම. ඇමරිකාව ෆෙඩරල් රාජ්‍යයක් නිසා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී මන්ත්‍රීවරුන්ට අමතරව ප්‍රාන්තවල තුනෙන් දෙකක කැමැත්තත් අවශ්‍යයි. ඒක කියන්නේ මධ්‍යම රජයට වගේම ප්‍රාන්තවලටත් නිෂේධ බලයක් ලැබෙනවා. නව යෝජනාව තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට විතරයි. එතකොට ඉතාම පැහැදිලියි ෆෙඩරල් ලක්ෂණ නැති බව.

නමුත් මේකට විරෝධය පළකරන පිරිස චෝදනා කරන්නේ වචන හුවමාරුවක් යොදාගෙන රටේ ඒකීයභාවය නැතිකරන්න හදනවා කියලා?

78 ව්‍යවස්ථාවෙ දෙමළ භාෂාවෙන් තිබුණෙ ඔට්රාච්චි. ඔට්රාච්චි යනු එක් ආණ්ඩුවක් යන තේරුම. නමුත් රාජ්‍ය විස්තර කරද්දි ආණ්ඩුව විස්තර කරන්න බෑ. ඒක ලොකු වැරැද්දක්. ඒ බව මතුවුණේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ. ඒ අනුව දැන් විවිධ නම් යෝජනා වුණා. එක රටක්ය කියන අර්ථය දෙන ඔරුමිත්ත නාඩු යන වචනය එක් යෝජනාවක්. මීට වඩා හොඳ වචනයක් යෝජනා වෙනව නම් ඒක දාන්න වුණත් පුලුවන්. 

එතකොට ඉංග්‍රීසි UNITORY කියන වචනය?

යුනිටරි කියන වචනයෙන් රට බෙදීම වැළැක්වෙන්නෙ නෑ. මහා බ්‍රිතාන්‍යය පරාමාදර්ශි යුනිටරි රාජ්‍යයක් වුණත් 1920 ගණන්වලදී අයර්ලන්තය මහා බ්‍රිතාන්‍යයෙන් ඉවත් වී රට බෙදුණා. මීට අවුරුදු කීපයකට කලින් ස්කොට්ලන්තයත් මහා බ්‍රිතාන්‍යයෙන් වෙන් වෙනවද නැද්ද කියලා තීරණයක් ගන්න ජනමත විචාරණයකට ගියා. අපි මේ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ යුනිටරි කියන වචනය රට නොබෙදන විධිවිධානයක් නොවන බවයි. ඒ නිසා යුනිටරි කියන වචනයෙන්ම ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. 

එහෙම නම් බෙදුම්වාදයට විසඳුම් මොනවද ඉදිරිපත් වෙලා තියෙන්නේ?

රට බෙදීම වැළැක්වීමේ එක් යෝජනාවක් ලෙස ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හෝ ඊට පක්ෂව කතා කිරීම හෝ කිසිම පළාතක් හෝ එයින් කොටසක් වෙන් කිරීමට කටයුතු නොකළ යුතුය යනුවෙන් සඳහන් වෙනවා. එමෙන්ම පවතින ව්‍යවස්ථාවෙත් නැති විධිවිධානයක් ලෙස පළාත් සභාවක් විසුරුවා හැරීමේ බලතල ජනාධිපතිවරයාට පැවරෙනවා. යම් කිසි පළාත් සභාවක් හෝ පළාත් පරිපාලනයක් විසින් සන්නද්ධ කැරලි ගැසීමක් හෝ අරගලයක් ප්‍රවර්ධනය කරන තත්ත්වයක් තියෙනවා නම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා නම්, එමගින් භෞමික අඛණ්ඩතාවයට, රටේ පරමාධිපත්‍යයට පැහැදිලි අනතුරක් තියෙනවා නම් කේන්ද්‍රය මැදිහත් වී ඒ පළාතේ අධිකාරියේ සියලු කටයුතු ජනාධිපතිවරයාට පවරගන්නත් අත්‍යවශ්‍ය නම් පළාත් සභාව විසුරුවන්නත් පුළුවන්. මෙවැනි පැහැදිලි විධිවිධාන ඇතුළත් වෙලා තියෙනවා.

බලය බෙදාහැරීම උපරීම මට්ටමින් සිදුවෙලා තියෙනවාද නව යෝජනාවෙන්?

රජයේ තුන්වැනි ස්ථරය හැටියට මෙවර යෝජනා කරලා තියෙනවා පළාත් සභාවලට අමතරව පළාත් පාලන ආයතන පවා ශක්තිමත් කරන්න අදහස් කර තිබෙනවා. පහළින් වඩාත් කාර්යක්ෂමව කළ හැකි කාර්යයක් පහළට දෙන්න ඕන. විශේෂයෙන් බලය බෙදාහැරීම පිළිබඳව යෝජනා පදනම් වුණේ දකුණේ මහ ඇමැතිවරුන්ගේ අදහස් මතයි. හොඳම යෝජනාව ගෙනාවෙත් දකුණෙන්. අවුරුදු 29ක පළාත් සභා අත්දැකීම් තියෙන්නත් දකුණට. ඒවගේ ඒ මහ ඇමැතිවරු හත්දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ඇමැතිවරු වීමත් විශේෂ ලක්ෂණයක්. ඒ නිසා තවදුරටත් බලය බෙදීම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් හැටියට පමණක් නෙවෙයි පළාත් දියුණු කිරීම, පළාත් සම්බන්ධයෙන් තීන්දු තීරණ ඔවුන් විසින්ම ගැනීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ශක්තිමත් කිරීමේ ආයතනයක් ලෙස පත්වී තියෙනවා. 

බෞද්ධාගමට නිසි තැනක් නොදෙන සුළුතර ආගමික කණ්ඩායම්වල වුවමනාවට හැදෙන ව්‍යවස්ථාවක් කියලත් විවිධ පාර්ශව චෝදනා කරනවා.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක්. මේ පිළිබඳව සාකච්ඡා කරද්දි සමහරු මෙරට අනාගමික රාජ්‍යයක් ලෙස ප්‍රකාශිත විය යුතුයි කිව්වා. සමහරු කීවේ දැනට තිබෙන අයුරින්ම පැවැතිය යුතුයි කියලා. අනෙකුත් ආගම්වල අය ප්‍රමුඛස්ථානයට ඒ ගොල්ලන්ගේ විරුද්ධත්වයක් නැතත් තමන්ගේ ආගම්වල තත්ත්වයේ දමා හිතාමතා වෙනස්කම් කරන්න එපා කිව්වා. ඒ අනුව අපි යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. පළමුව වර්තමාන ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය තබා ගැනීම හෝ දෙවැනි විකල්පය ලෙස බුදු දහමට ප්‍රමුඛතාව දී අනෙකුත් ආගම්වලට ගෞරවයෙන් සහ අභිමානයෙන් සැලකීම යනුවෙන්. මේ දෙක අතර ලොකු වෙනසක් නැති නිසා කිසිවෙක් විරුද්ධ වෙයි කියලා මම හිතන්නෙ නෑ.

දැඩි මතධාරි දේශපාලන පක්ෂ මුලසිටම කියනවා මේක රට කඩන ව්‍යවස්ථාවක්, එන්.ජී.ඕ. වල අවශ්‍යතාව පරිදි ගෙනෙන ව්‍යවස්ථාවක් කියලා?

මේ කතන්දරය අලුත් දෙයක් නෙවෙයි. හැමදාම කියපු එකක්. අපෙ ව්‍යවස්ථාව නවීකරණය කරන හැම වෙලාවෙම කියනවා කාගෙ හරි ඕනකමට කියලා. 1947 ව්‍යවස්ථාව සුද්දා දීලා ගියා. 1972 ව්‍යවස්ථාව සමගි පෙරමුණට ඕන විදිහටයි හැදුණේ. 1978 ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්ෂයට ඕන විදිහට හැදුවා. එකක්වත් ජනතාව විසින් අනුමත කළේ නෑ. මෙවර ව්‍යවස්ථාව සියලුම පක්ෂ එකතුවෙලයි හදන්නෙ. ඒ කියන්නේ සම්පූර්ණ දේශීය යාන්ත්‍රණයක්. ඒ විතරක් නෙවෙයි ව්‍යවස්ථා හැදීමේ ක්‍රියාමාර්ගය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමත් මෙහෙයුම් කමිටුව සාමාජිකයන් සහ අනුකමිටු යන සියල්ල පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වුණා. හැම කමිටුවකම විපක්ෂය පවා නියෝජනය වෙනවා. ඒ නිසා මෙය සර්ව පාක්ෂික උත්සාහයක්.

මේක දුෂ්ඨ චේතනාවෙන් ගෙනා යෝජනාවක් කියලා බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය කියනවා. මෙහෙම රට බෙදන ව්‍යවස්ථා ගේන්නෙ නැතිව මහජාතියට සාධාරණත්වයක් වෙන ව්‍යවස්ථාවක් හදන්න කියලාත් කියනවා. එහෙම කරන්න පුළුවන්ද?

සමහරු හිතනවා මහජාතියේ ඕනෑ එපාකම් පමණක් සලකන්න ඕන කියලා. එය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් නෙවෙයි ඒක. විවිධ ජාතීන් ආගමක් භාෂා ඉන්න රටක් මේක. මහජාතිය සංඛ්‍යාත්මකව වැඩි නිසා ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව ව්‍යවස්ථාවක් හැදීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ වගේම අනෙකුත් ජනකොටස්වල කැමැත්තත් සලකා බලා ඒක දෙක අතර යම් එකඟත්වයක් ඇති කරගන්න ඕනැ. 

අගමැතිවරයා වරින් වර කියනවා මේක අන්තිම බස් එක මිස් කරගන්න එපා කියලා. මේකෙන් මොකක්ද අදහස් කරන්නේ?

මං හිතන්නේ මේක තමයි අගමැතිතුමා අදහස් කරන්නේ. මේ වගේ සුසංයෝග එන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේවගේ අවස්ථාවක් ආයෙත් එයිද? ප්‍රධාන පක්ෂ දෙක ආණ්ඩුවේ ඉන්නවා. දෙමළ පක්ෂ අලුත් ව්‍යවස්ථාවක් හැදීමේ කාර්යභාරයට ධනාත්මකව දායක වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ අද ව්‍යවස්ථා කාර්ය භාරයට සහභාගි වෙනවා. විරුද්ධ පක්ෂයේ කොමියුනිෂ්ට් පක්ෂ මන්ත්‍රීවරු මුස්ලිම් පක්ෂ කඳුරට පක්ෂ මේ සියලුදෙනාම එකඟවෙලා තියෙනවා. මේ සුසංයෝගය එන්නේ ඉතාම කලාතුරකින්. ඊළඟට උතුරේ අන්තවාදීන් ඉන්නවා කඳවුරු බැඳගෙන අවි අමෝරාගෙන. සම්බන්ධන්ට, සුමන්තිරන්ට, මාවේට, සිද්ධාර්ථන්ට වරදිනකන් බලාගෙන ඉන්නවා අන්තවාදීන්. විග්නේෂ්වරන්, පොන්නම්බලම්ලා, ශිවාජිලිංගම්ලා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලා ඔවුන් අන්තවාදී ස්ථාවරයකයි ඉන්නේ. ඔවුන් කිසිම ආකාරයකට නම්‍යශීලිභාවයක් දක්වන්නෙ නෑ. ඒ කියන්නේ මෙවර කරගන්න බැරි වුණොත් දුර්වල වන්නේ සම්බන්ධන්. ශක්තිමත් වන්නේ ඒ අන්තවාදීන්. දකුණේ අන්තවාදීනුත් උතුරේ අන්තවාදීනුත් එකිනෙකා පෝෂණය කරමින් තමයි කටයුතු කරන්නේ.

ජනතාව චෝදනා කරනවා මේ ව්‍යවස්ථා කෙටුම්පතින් උතුරත් නැගෙනහිරත් එකතුකරනවා කියලා. (ඍජුව නොවුණත් ඊට අදාළ පසුබිම සැකසෙනවා) එහෙම නොවන බවට ඔබට සහතික වෙන්න පුළුවන්ද?

වර්තමාන ව්‍යවස්ථාව පරිදි පළාත් දෙකක් හෝ තුනක් එක් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නීති හදන්න පුළුවන් කියලා එහෙම නීතියක් හැදුවා 1987දී. නමුත් නව යෝජනාවෙන් පවතින වගන්තිය එහෙම තබා ගනිමින් වර්තමාන ව්‍යවස්ථාවේ පවා නැති ඒ ඒ පළාතේ ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම නීතියක් බවට දක්වලා තියෙනවා. ඒ අනුව උතුරු නැගෙනහිර එකතුවෙන්නේ නෑ. මොකද නැගෙනහිර පළාත වැඩිපිරිස දෙමළ නොවෙයි, මුස්ලිම් සහ සිංහල ජනතාවයි. එමෙන්ම බොහෝ දෙමළ ජනතාවත් සංස්කෘතික වෙනස්කම් නිසා උතුරත් එකක් එකතු වෙන්න කැමැති නෑ. 

විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර තියෙන මතගැටුම මොකක්ද?

ප්‍රධාන පක්ෂ දෙකේ වෙනස්කම් තියෙනවා. මෙහෙයුම් කමිටුව යෝජනා කර තියෙන්නේ අද පවතින ආකාරයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටයි. ජනරජයක් නිසා ජනාධිපතිධුරය තිබියදී යම් යම් බලතල ඉවත් කළ යුතුයි. ජනාධිපතිවරයා දිගටම රටේ රාජ්‍ය නායකයා මෙන්ම විධායකයේ ප්‍රධානියා. එමෙන්ම බහුතර මතය වූයේ ජනාධිපතිවරයා තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් බවයි. ප්‍රධාන පක්ෂ දෙකේ මතභේදයක් තියෙනවා මේ පිළිබඳවයි. එනිසා පක්ෂ දෙක අතර එකඟත්වයක් මේ සම්බන්ධයෙන් ඇති කරගත යුතුයි.

ආණ්ඩුව මේ රටේ ඇතිකරගෙන තියෙන තත්ත්වයත් එක්ක ජනමත විචාරණයකට ගිහින් ව්‍යවස්ථාවට අනුමැතියක් ගන්න පුළුවන් වෙයිද?

ජනමත විචාරණයකට නිකම් යන්න බෑ. ඒ සඳහා ලොකු කැපවීමකින් ජනතාවට මෙහි අවශ්‍යතාව තේරුම් කරලා දීලා තමයි ජනමත විචාරණයකට යන්න ඕන. රටේ මිනිස්සු මෝඩ නෑ. හැමදාම බඩ ගැන විතරක් බලන්නෙත් නෑ. බඩ ගැන විතරක් හිතුවා නම් ජනවාරි 08 අපි දිනන්නෙත් නෑ. ඔවුන් බැලුවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේරගෙන ශක්තිමත් කරන්නෙ කොහොමද කියලා. මේ රටේ ජනතාව හුඟක් අය හිතනවාට වඩා බොහොම බුද්ධිමත්. ඔවුන්ට සාමය ඕන. ඔවුන්ට නිදහස ඕන. ජීවිතය රැගෙන යන්න සාමකාමි වාතාවරණයක් අත්‍යවශ්‍යයි. ඒ අනුව කිසිම සැකයක් නෑ ජනමත විචාරණය ජයග්‍රහණය කරනවා. ඉතිං ඒ සඳහා විශාල ව්‍යාපාරයක් දේශපාලන නායකත්වයකින් සිදුකළ යුතුයි. නමුත් දේශපාලන නායකත්වවලින් ප්‍රමාණවත් ලෙස දැන් කටයුතු කරන්නේ නෑ. 

 සාකච්ඡාව: සකීෆ් සාම් තන්වීරි
සේයාරූ: සමන්ත ප්‍රදීප් විල්තෙර

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00