2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ජෝර්ජ් කීට් හා අපි

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

අප පේරාදෙණිය සරසවියේ විසූ කාලයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් තිදෙනෙක් ඇසුරු කිරීමට අවස්ථාව සැලසුණේය. ඔවුන් ජෝර්ජ් කීට්, ස්ටැන්ලි කිරින්දේ සහ කුලනාථ සේනාධීරයි. සිරි ගුණසිංහ චිත්‍ර ඇන්ද නමුත් ඔහුගේ වැඩි අවධානය යොමුවූවේ සාහිත්‍යය කෙරෙහිය.  ස්ටැන්ලි කිරින්දේ අපේ ජ්‍යෙෂ්ඨයෙකි.  ඔහු සරසවියේ දී ඉතිහාසය හදාරා රජයේ සේවයට බැඳුනේය. මගේ මතකය හැටියට ඔහු මුලින්ම රැකියාවක් ලබාගත්තේ ඉඩම් නිලධාරියෙක් හැටියටය. ඒ අනුව ඔහු පොළොන්නරුවට පත්වීමක් ලබා ඉඩම්  ඇමැති සී.පී. ද සිල්වා යටතේ සේවය කළේය. කිරින්දේ සහ සී.පී. ද සිල්වා අතර එතරම් සුහදකමක් තිබුණේ නැත. එය වෙනම කතාවක් නිසා පසුව ඒ පිළිබඳව තීරු ලිපියක් සැපයීමට මම බලාපොරොත්තු වෙමි. කෙසේ වුවද කිරින්දේගේ වටිනාම චිත්‍ර කීපයක මාතෘකාව වන්නේ රජරට ගැමියන්ගේ ජීවිතයි.  එම චිත්‍රවල වර්ණ සංයෝගය තුළින් අපට දැකගත හැක්කේ ඒ ප්‍රදේශවල දැඩි අව් රශ්මිය නිසා පරිසරය බැබ‍ළෙන පාටින් දිස්වෙන අයුරුයි.

කුලනාථ සේනාධීර අන් චිත්‍ර ශිල්පීන් දෙදෙනා තරම් ප්‍රසිද්ධ නොවුවද අප සමඟ කිට්ටුවෙන් ඇසුරු කළ කෙනෙකි. ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් පේරාදෙණියට පැමිණි ඔහු හැදෑරුවේ බටහිර දර්ශනයයි. ඒ අතරතුර සේනාධීර ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද විය. ගාල්ලෙන් පැමිණි සිසුවන් බොහෝ දෙනෙක් වමට බරවූ අය වූහ. සරසවියේ විසූ කාලයේ පටන්ම ඔහු තරමක් විපරීත මනසකින් යුතු කෙනෙක් විය. එය ඔහු හැදෑරු විෂයේ ස්වරූපය නිසාත් ඔහුගේ චිත්‍ර ශිල්පය නිසා ඇතිවූ දෙයක් යැයි සිතා අප එය එතරම් ගණන් ගත්තේ නැත.  උපාධිය හොඳින් සමත් වූ ඔහු එකල සුපුරුදු පරිදි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් වශයෙන් පත්වීමක් ලබාගත්තේය. තරුණයන් වූ අප කීපදෙනෙක් එකට චමරියක නවාතැන් ගෙන සිටියෙමු. එම කණ්ඩායමට සේනාධීර හා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඩබ්ලිව්. ප්‍රේමරත්නද, මාද ඇතුළත් විය. ටික කලකින් සේනාධීර විවාහ වී රත්නපුරයට මාරැවී ගියේය. එහෙත් අවාසනාවකට මෙන් ඔහුගේ දස්කම් පෙන්වීමට පෙර ඔහු සිය දිවි හානි කර ගත්තේය. එය අප සියලුදෙනාම බලවත් කම්පාවට පත් කළේය. ඔහුගේ චිත්‍ර අතුරින් දැන් ඉතුරු වී ඇත්තේ කීපයක් පමණි. සේනාධීරගේ කිට්ටුවන්තයෙකු වූ ගාමිණි හන්තොටුවේගමට ඒවායින් කීපයක් අයිති වූ බව මට මතක් වෙයි.
කිරින්දේ හා සේනාධීර මෙන් නොව ජෝර්ජ් කීට් අප කාලයේ උසස්ම ජාත්‍යන්තර මට්ටමේ චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ චිත්‍ර ලෝකයේ ඉහළ ප්‍රදර්ශනාගාරවල දක්නට තිබේ. නිදසුනක් වශයෙන් මගේම සොයාගැනීමක් විස්තර කිරීමට කැමැත්තෙමි. එක් කලක මුදල් ඇමති වශයෙන් මම නිතර නිතර නවදිල්ලියට ගියෙමි. ඒ ඉන්දීය මුදල් ඇමතිවරුන් වූ චිදම්බරම් සහ ප්‍රනාබ් මුකර්ජි හා ඉන්දියානු මහ බැංකුවේ උසස් නිලධාරීන් හමුවීමටයි. ඒ රුස්වීම් අතරවූ නිවාඩු දිනවල මම නවදිල්ලියේ නූතන කලා කෞතුකාගාරයේ ඇති චිත්‍ර නැරඹීමට ගියෙමි. රවීන්ද්‍රනාත් තාගෝර්, අම්රිතා ෆර්ගිල්, නන්දලාල් බෝස් හා ජමිනි රෝයි වැනි චිත්‍ර ශිල්පීන්ගේ කෘති පමණක් නොව අන්ජෝලි මෙනන් වැනි සමකාලීන චිත්‍ර ශිල්පීන්ගේ කෘතීන්ද මෙහි ප්‍රදර්ශනය කෙරේ. එම කලාගාරයේ අධිපති රජීව් ලෝචන් සමඟ ද මගේ මිත්‍රත්වයක් ගොඩනැගුණි. වරක් මා රජීව් සමඟ ලාංකික චිත්‍ර ශිල්පියන් ගැන කතාකරන ගමන් ඉන්දියාවේ දිගු කලක් ජීවත්වීමෙන් භාරතීය විෂයන් පිළිබඳ චිත්‍ර ඇඳි ජෝර්ජ් කීට් ගේ චිත්‍ර ප්‍රදර්ශනය නොකරන්නේ ඇයි දැයි විමසීමි. කීට් සිය ජීවිතය පුරාවට භාරතය වන්දනා කළ අතර කෑම හා ඇඳීම පවා සකස්කර ගත්තේ වංග සංස්කෘතිය අනුවය.  ඔහුගේ බාල පුත්‍රයා වූ සචින් කීට් සිතාර් වාදනය ප්‍රගුණ කිරීම සඳහා යවා තිබුණේ බෙංගාලයටය. අප කුඩා කළ අපට නුහුරු බෙංගාලි ඇඳුමක් පැළඳගත් ජෝර්ජ් කීට් මහනුවර පොත් සාප්පු හා කඩපිල්වල ගැවසෙනවා මා නිතර දැක තිබේ. ඔහුගේ මුල් බිරිඳ වූ රූත් කීට් මැතිනිය අප පාසල වූ ත්‍රිත්ව විද්‍යාලයේ ගුරුවරියක් වූවාය.

වැඩි කතාවක් නොමැතිව රජීව් මාව දිල්ලි කලාගාරයේ ගබඩා කාමරයට කැඳවාගෙන ගියේය. පුදුමයකි. එම කාමරයේ කීට්ගේ චිත්‍ර පහළොවක් පමණ පෙළ ගසා තිබුණි. ඊට බොහෝ කලකට පෙර මෙම චිත්‍ර තම කලාගාරය වෙනුවෙන් මිලදී ගෙන ඇති බැවින් අවස්ථාවක් ඇතිවුවහොත් කීට් චිත්‍ර ප්‍රදර්ශනයක් නව දිල්ලියේ සංවිධානය කළ හැකි බව  ඔහු කීවේය. තම කලාගාරයේ රඳවා ඇති චිත්‍ර කීපය ප්‍රදර්ශනයකට ප්‍රමාණවත් නොවන නිසා ලංකාවෙනුත් චිත්‍ර කීපයක් ගෙන්වා ගත යුතු යැයි ඔහු යෝජනා කළේය. මේ සොයා ගැනීම ගැන බලවත් සේ සතුටු වුණ මම ඒ ගැන ක්‍රියාත්මක වෙන ලෙස විදේශ අමාත්‍යංශයේ ලේකම්ව සිටි නිහාල් රොඩ්රිගෝට දැන් වූයෙමි. ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවෙක් මෙන්ම කීට්ගේ පුද්ගලික මිතුරෙක් වූ නිහාල් ඒ ගැන ලොකු උනනදුවක් දැක්වුවද සුපුරුදු පරිදි අපේ විදේශ අමාත්‍යංශය ඒ වගකීමෙන් කර ඇරියේය. අඩුවෙන්ම වැඩ කර වැඩියෙන්ම වරප්‍රසාද සොයන අප විදේශ සේවය නැවත වරක් ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කළෝය. විදේශ අමාත්‍යංශයට වුවමනා නම් දැන්වුවද එවැනි ප්‍රදර්ශනයක් සකස් කිරීමට පුළුවන.

අපේ කාලයේ පේරාදෙණිය සරසවි ජීවිතයේ අපට හමුවූ බුද්ධිමතෙකු වූයේ අතිරේක පුස්තකාලාධිපති වූ ඉයන් ගුණතිලකයි. සරසවියේ එම මධුසමයේ කරන ලද පර්යේෂණ බොහෝමයකට ක්‍රියාකාරීව සහාය දී ඇත්තේ ඉයන් ගුණතිලකයි. ඔහු ජෝර්ජ් කීට්ගේ මිතුරෙක් විය. බොහෝ දවස්වල අප මහකන්දේ පිහිටි ඉයන්ගේ නිවසට ගිය විට කීට් සහ ඔහුගේ පවුලේ අය එහිදී හමුවී තිබේ. 1958 හෝ 1959 වර්ෂයේ දී ඉයන් සහ අප සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය රැල්ප් පීරිස් සරසවිය තුළ කීට්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට තීරණය කළහ. එම කටයුත්තට සමාජ විද්‍යා අංශයේ සිසුන් වු එච්.එල්. සෙනවිරත්න හා මා සහායට තෝරා ගන්නා ලදී. මහනුවර නගරයේ දැක පුරුදු කීට් ළගින්ම ඇසුරු කිරීමට මට අවස්ථාව සැලසුණේ ඒ කාලයේය. ඉයන්ගේ හෝ රැල්ප්ගේ පොක්ස්වාගන් රථවලින් සිරිමල්වත්තට ගොස් අවශ්‍ය චිත්‍ර තේරීමට අපද හවුල් විය. එකල ලේවැල්ල පාලම සාදා නොතිබුණෙන් වාහනය ලේවැල්ලේ නවතා හෙල්ලෙන පාලමක් හරහා සිරිමල්වත්තට යෑමට අපට සිදුවිය. දැනටත් පෙනෙන්නට තිබෙන දැවැන්ත සියඹලාගහ අසල නිවසක පදිංචිව සිටි ජෝර්ජ් අපව ඔහුගේ චිත්‍රාගාරයට ගෙනගොස් අවශ්‍ය චිත්‍ර තේරීමට අනුබල දුන්නේය. එම චිත්‍ර ප්‍රදර්ශනයත් ඉන් අනතුරව චිත්‍ර කලා ලෝකයේ ඇති වූ පෙරළිය ගැනත් මීළඟ ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00