2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

රාජ්‍ය බැංකු

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 828

ලංකා බැංකුව සහ මහජන බැංකුව පසුගිය දිනවල පුවත් සිරස්තල මැව්වේය. බැඳුම්කර වංචාවේ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්කි දීමට ඒවායේ සභාපතිවරුන් කැඳවීම ඊට හේතුව විය. එහෙත් අප මේ කතුවැකිය ලියන්නේ බැඳුම්කර ලන්සු තැබීම ගැන ඔවුන් ලබාදුන් සාක්ෂි පිළිබඳව නොවේ. එම රාජ්‍ය බැංකු දෙකේ කොටස් අලෙවි කිරීම සම්බන්ධයෙනි.

දැනගන්නට තිබෙන අන්දමට ලංකා බැංකුවේත් මහජන බැංකුවේත් වත්කම්වලින් 10%ක ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ අලෙවි කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටී. මේ කාරණාවට අදාළ ප්‍රවේශය සකස් කර ගැනීමේ මුල් පියවර වශයෙන් මහජන බැංකුව ප්‍රතිස්ථාපනය සඳහා වන 1961 අංක 29 දරණ පනත සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව උත්සාහයක නිරත වන බවට ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි. ලාබ ලැබුවත් නොලැබුවත් රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට සංගමය විරෝධය දක්වන බවද සංගමය කියයි.

ලංකා බැංකුව මේ වනවිටද කොළඹ කොටස් වෙළෙඳපොළේ ලේඛන ගතකර තිබේ. මහජන බැංකුව එසේ ලේඛනගත කිරීමට නම් එහි පනත වෙනස් කිරීම කළයුතු වෙයි. පනත් සම්මත කර ගැනීමේදී ආණ්ඩුව දක්වන “සුවිශේෂී හැකියාව” සම්බන්ධයෙන් හොඳ දැනුමක් දැන් රටවැසියන්ට තිබේ. මේ නිසා මහජන බැංකු පනත අවශ්‍ය පරිදි සංශෝධනය කර ගැනීමට රජයට ඇති හැකියාව අවතක්සේරු කළයුතු නැත.

ලංකා බැංකුවත් මහජන බැංකුවත් පාඩු ලබන ආයතන නොවේ. ඒ බැංකු දෙකම විශාල වශයෙන් ලාබ ලබන බව ඔවුන්ගේ වාර්ෂික ගිණුම් වාර්තා පරික්ෂා කිරීමෙන් සොයාගත හැකිය. මහබැංකුවේ වාර්ෂික වාර්තා මගින්ද එම කරුණු සනාථ වෙයි. එසේම ලංකා බැංකුව ලෝකයේ බැංකු අතර හොඳම බැංකුවක් වශයෙන් සැලකෙන බවද බැංකුව වසරක් පාසා දැන්වීම් පළකරමින් අපට මතක් කර දෙයි. එය සතු වත්කම් ප්‍රමාණය ඉතාම ඉහළ බවද ඒවායේ සඳහන් වෙයි.

මේ කරුණු සත්‍ය නම් බැංකු දෙකේම සීයට 10ක් විකුණන්න යන්නේ අහවල් කෙංගෙඩියකටදැයි අසන්නට මේ රටේ ජනතාවට අයිතියක් තිබේ. රටට ආයෝජන කැඳවාගෙන ඒමටත් රටේ පවතින ඇතැම් පාඩු ලබන ව්‍යාපාර සඳහා විදෙස් ආයෝජකයන් සොයාගැනීමත් රජය උනන්දු වීම පිළිබඳව ගැටලුවක් නැත. රට තුළින්ම ආයෝජන සොයාගැනීමටද ආණ්ඩුවට හැකියාව තිබේ. තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටට බරක් වන ආයතන ප්‍රතිව්‍යුහගතකිරීම හරහා රටට සිදුවන ආර්ථික හානිය අවම කරගැනීමට ආණ්ඩුව තම බලය යොදාගැනීම ගැටලුවක් නොවේ. එහෙත් ජාතික ආර්ථිකයේ ප්‍රදීපස්ථම්භ දෙකක් වන ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු දෙකක් විකුණා දැමීමට පිටපොට ගැසීම නම් රටේ ජනතාව කිසිසේත් අනුමත නොකරනු ඇත. ඊට හේතු රාශියකි.

මේ බැංකු දෙකම රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කාරයෝ වෙති. විශේෂයෙන්ම මේ බැංකු හේතුවෙන් ගොඩ යන්නේ කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ව්‍යාපාරිකයන් පමණක් නොවේ. ගමේ ගොඩේ ගොවිතැන් බතින් දිවිය ගැටගහගන්නා දුප්පත් මිනිසුන්ගේ ඕනෑ එපාකම් වැඩි වශයෙන් සපුරන්නේද මේ බැංකු දෙකය. ගොවියන්ට කුඹුරු කිරීමට, සෙසු වගාවන් කිරීමට ණය අවශ්‍ය වූ විට ඔවුන්ට යාමට ඇත්තේ මේ බැංකු දෙකටය. වගා ණය යනු මේ රටේ එදා වේල තරමටම පොදු ව්‍යවහාරයේ පවතින යෙදුමකි. පෞද්ගලික බැංකු වලින් වගා ණය ගැනීම ගලකින් පට්ටයක් ගැනීමටත් වඩා අමාරු බව මේ රටේ දුප්පත් ගොවියෝ දනිති. බැංකු දෙකේ සීයට 10ක අයිතිය පෞද්ගලික ව්‍යාපාරිකයන් අතට ගියොත් රාජ්‍ය බැංකු දෙකින් වගා ණය ගැනීමද සිහිනයකට සීමාවීමට හොඳටම ඉඩ තිබේ.

රටේ සම්පත් පාඩු ලබන විට ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම හෝ මේ රජය ප්‍රතිපත්තියක් වශයෙන් රටට හඳුන්වා දී තිබෙන්නකි. ගැටලුව ඇත්තේ ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේදවල විනිවිදභාවය සම්බන්ධයෙනි. හම්බන්තොට වරාය, ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම වැනි මහා පරිමාණයේ ව්‍යාපෘති පමණක් නොව හොරණ ටයර් ෆැක්ටරිය වැනි කුඩා පරිමාණයේ ආයෝජන කටයුතුවලදීද රජය තම විනිවිදභාවය පිළිබඳ විශ්වාසය තහවුරු වන අන්දමින් ක්‍රියාකර නැත. ශ්‍රී ලන්කන් ආයතනයට ආයෝජකයකු සොයාගෙන එය ප්‍රතිව්‍යුහගත කරන බව රජය ප්‍රකාශ කළේ බලයට පත්වූ අවස්ථාවේදීමය. එය පළමු අයවැයේද සඳහන් විය. එහෙත් තවමත් ශ්‍රී ලන්කන් සමාගමේ බර අදින්නේ මේ රටේ ජනතාවගේ කරමතිනි. එක්කෝ රජයට සුදුසු ආයෝජකයකු සොයාගැනීමට හැකියාවක් නැත. නැත්නම් රජය ඒ කෙරෙහි ප්‍රමාණවත් උනන්දුවක් නොදක්වයි. රජය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී නැති බවට එය හොඳම උදාහරණයකි.

ඒ එක් උදාහරණයක් පමණි. මෙවැනි තත්ත්වයක් පවතිද්දී රටේ ආර්ථිකයේ හදවත බඳුවන ලොකුම රාජ්‍ය වාණිජ බැංකු දෙක විකුණා දැමීමට එක් පියවරක් හෝ තැබීමට රජය දරණ උත්සාහයට ප්‍රබල විරෝධයක් මතුවීම සාධාරණ බව අපි සිතමු. කළයුත්තේ රාජ්‍ය බැංකු විකුණාදැමීම නොව ඒවා පෝෂණය කරමින් රුකගැනීමය. රාජ්‍ය සම්පත් විකිණීම සම්බන්ධයෙන් පවතින රජයේ ප්‍රතිපත්ති පිළිබඳව අපි කතා නොකරමු. එහෙත් ලංකා බැකුවත් මහජන බැංකුවත් විකුණා දැමීමට ඉඩදිය නොහැක.