2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ආණ්ඩුව රටේ දේපොළ විකුණන ක්‍රමය සැකයි

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

අාපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

 එ.ජා.ප.යේ අය ගම ගැන දන්නෙ නෑ

මහින්ද මහත්තයටයි ව්‍යවස්ථාව ගොඩදාන්න පුළුවන්

යූ.ඇන්.පී.යත් එක්ක වැඩකරන්න බැහැ

විපක්ෂයේ සමහරු උද්ධච්චයි

නොදැකපු ව්‍යවස්ථාවක් ගැන රට කුලප්පු කරන්න එපා

ඔබ මොකද යහපාලන රජය තුළ මුනිවත රකින්නේ?

නෑ එහෙම නෑ. මම මගේ වැඩ කරගෙන ඉන්නවා. පත්තරයක්වත් ඉල්ලීම් කළේ නෑ කතා කරන්න කියලා.

එහෙමද නැත්තන් කටවහගෙන ඉන්න වෙලාද?

නෑ... නෑ... එහෙම ප්‍රශ්නයක් නෑ. අපි ආණ්ඩුවේ ඇතුළෙත් ඉන්නවා. කතාත් කරනවා. කටවහගෙන ඉන්නේ සමහර කරුණු මගෙන් අහන්නේ නැත්තන් මම කතා කරන්න ඕන නෑනෙ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 20 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන බව ප්‍රකාශ කළා. ඒ ඡන්දය කල්දාන වැඩක් නිසා. ඒත් පළාත් සභා පනතට ඡන්දය දුන්නේ ඒ බවත් දැනගෙන නේද?

පසුගිය කාලය පුරාම කතාබහක් තිබ්බා මේ මැතිවරණය කොට්ඨාස ක්‍රමය සහ අනුපාත ක්‍රමයට තියන්න ඕන කියලා. මේ ගැන පළමු අදහස ගෙනාවේ මහින්ද රාජපක්ෂ රජයෙන්. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණයටත් මේ යෝජනාවම ආවා. ඒ කියන්නේ අනුපාත සහ මිශ්‍ර ක්‍රමයට තියන්න ඕන කියලා. මේ සඳහා අවශ්‍ය ජනමත විචාරණයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් යන කාරණා සඳහා කාල පරිච්ඡේදයක් යන නිසා කොහොමත් රජය තීරණය කරලා තිබ්බේ ඒ මැතිවරණ පරණ ක්‍රමයට තියන්නේ නෑ කියලා. ඒ අනුව තමයි කාන්තා නියෝජනය මිශ්‍ර ක්‍රමය එකතු කරලා මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයට ගියේ.

මොනදේ කිව්වත් විපක්ෂය කියන්නේ මැතිවරණ කල්දාන පවට ඔබලා කරගැහුවා කියලා?

නැහැ මේක පවක් හැටියට දකින්නේ නෑ මම. ඇත්තටම මැතිවරණ ක්‍රමයේ පවතින වෙනස් කිරීම වගකීමක්. ඒක ප්‍රශ්නයක් වෙන්න ඕන කාරණයක් නෙමෙයි. මේ නිසා දැන් කරන්න ඕන මේ සංශෝධන හදලා මැතිවරණ ඉක්මනට පවත්වන්න. මගේ අදහස නම් අර දියුණු රටවල වගේ මහ මැතිවරණයයි, පළාත් සභා මැතිවරණයයි පළාත් පාලන මැතිවරණයයි එකට තියන්න ඕන. ඒක පැහැදිලි ජනමතයක් බලාගන්න පුළුවන්.

මෙතනදි දැන් ගැටලුවක් ඇවිත් තියෙනවා මන්ත්‍රීවරු තෝරා ගැනීම ගැන. අනුපාත ක්‍රමයටත් මිශ්‍ර ක්‍රමයටත් 50/50 වශයෙන් දීලා තියෙන්නේ. එතන යම් ගැටලුවක් තියෙනවා නේද?

ඇත්තටම මමත් හිතනවා ඡන්ද ක්‍රමයෙන් 60%ක් ලැයිස්තුවෙන් 40%ක් වශයෙන් තිබ්බා නම් ඔය 50ට 50 ආවේ සුළු පක්ෂවල ඉල්ලීමට. මම වුණත් එකඟ වෙන්නේ 60,40 ක්‍රමයට. හැබැයි මේ මිශ්‍ර ක්‍රමය ඇතුළේ පරාජය වීමක් දකින්නේ නෑ. ඒ නිසා මම කියන්නේ අපේ වගේ පක්ෂග්‍රාහී ජනතාවක් ඉන්න රටකට මේ ක්‍රමය හොඳයි. මේ වෛරී දේශපාලනය නිසා වැඩිම බලපෑම එන්නේ ජනතාවට. මේ රටේ පවතින දේශපාලනය බොහොම අන්තගාමී විවිධ පක්ෂවලට කොටු වෙලා තියෙන්නේ. ඒක නැති කරලා සියලු දෙනාටම නියෝජනය කළ හැකි ක්‍රමවේදයක් සැකසිය යුතුයි. මේ සමාන ආකල්පයට හේතුව තමයි දේශපාලනයට නුසුදුස්සන් පත්වීම. ඒ නිසා මම කියන්නේ මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි. ඉක්මන් කිරීමත් අනවශ්‍යයි. ඒ වගේම එය නිවැරදි ක්‍රමයකට සිදුවිය යුතුයි.

නිවැරදි ක්‍රමය හොයාගන්නේ අන්තිම මොහොතෙනේ ආණ්ඩුවට කිසිම පෙර සූදානමක් තිබිලා නැහැ?

පළාත් පාලන මැතිවරණයේ යම් යම් දොස් තිබ්බා. අපි ඒවා නිවැරදි කළා. හැබැයි ඔබ කියන එක කාරණයකට එකඟයි. පළාත් සභා තුන සම්බන්ධයෙන් මීට කලින් තීරණයක් ගන්න තිබ්බා. එහෙම කළා නම් අපිට මේ අපවාදේ එන්නේ නෑ. ඒ තර්කයේදී මම ඔබත් සමඟ එකඟයි. හැබැයි මැතිවරණ කල්දාන්න කිසිම රජයකට වුවමනාවක් නෑ. එහෙම කල්දාපු ගෙඩක් අවස්ථාවල ජනතාවගෙන් ලැබුණේ බරපතළ ප්‍රතිඵල.

එජාපය නම් කියන්නේ එදා සන්ධාන ආණ්ඩුව වැඩේ ඇනුව හින්දයි මේ දේ මෙහෙ වුණේ කියලා. ඒ වගකීම එම ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට ඔබ පිළිගන්නවද?

අනිවාර්යයෙන් ගන්න වෙනවා. ඒකනේ අපි පරාජය වුණේ. මේ දේවල් නිසා වෙන්න ඇත්තේ. ඔය කොට්ඨාස බෙදීම අසීරු ක්‍රියාවක්. ඒක පක්ෂයකට කරන්න බෑ. ඒකයි කොමිසමක් පත් කරන්නේ. ඒ කොමිසම ගුරු කරගෙනයි කොට්ඨාස ක්‍රමය හදන්න ඕන.

එතකොට එය නොතකා වැඩ කළේ එවකට මැතිවරණ කමිටුවද නැත්තන් ආණ්ඩුවද?‍ආණ්ඩුව කොහෙද? 

කමිටුව තමයි තීණය ගන්න ඕන. කමිටුවක් පත් කරලා වගකීමක් දුන්නම එයාලට තියෙන්නෙ එපැයි ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට අනුවයි මේ කටයුතු කරන්න ඕන. 

මේ වෙනකොට නව ව්‍යවස්ථාව සම්බන්ධයෙනුත් මේ වගේම ගැටලුවක් ඇවිත් තියෙන්නේ. විපක්ෂය කියනවානේ ඇත්තටම මේක රට බෙදන ව්‍යවස්ථාවක්ද?

ව්‍යවස්ථාවේ අවසන් කෙටුම්පතක් නෑනේ තාම. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක කමිටුවක් බවට පත්වෙලා ප්‍රධාන කමිටුවෙන් හා අතුරු කමිටුවලින් ලබාගත් යෝජනා සහ දේශපාලන පක්ෂවලින් ලබාගත් යෝජනාවලියක්. මේක තව ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවන්. මූලික කෙටුම්පතක් තවම නෑ. ඒ නිසා අපි පක්ෂවල අය හැටියට මීටවඩා බුද්ධිමත්ව කතා කරන්න ඕන. මහජන කෝපය වැඩිකරන විදිහට අන්තගාමී ලෙස කතා කරන්න නරකයි.

නමුත් මෙතනදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා පවසලා තියෙනවා මේ ව්‍යවස්ථාවට කිසිදු සහයක් ලබාදෙන්නේ නෑ කියලා?

මම හිතන්නේ ඔහුට තමයි ප්‍රධාන වගකීම තියෙන්නේ. එතුමා ජනාධිපති කාලෙත් මම කිව්වා මේ තියෙන වර්ගවාදී ස්වරූපය සහමුලින්ම නැති කරන්න පුළුවන් එකම කෙනා එතුමා කියලා. අපි හැමෝගෙම යුතුකමත් වෙන්න ඕන මේ වර්ගවාදය නැති කරන්න. හැමෝටම ඉන්න පුළුවන් විදිහට. එතනදි අපේ ජාතියත්, ආගමත් තහවුරු කරගන්න ඕන. ඒ වගේම අනෙකුත් අයගේ අයිතීන් වෙනුවෙනුත් පෙනී සිටින්න ඕන.

නව ව්‍යවස්ථාවට සියලු පක්ෂ සිය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එජාපය තවම ඉදිරිපත් කරලා නෑ. ඔවුන් කියනවා හැමදෙනාගෙම පොදු මතයට එකඟයි කියලා.
ඇත්තටම එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ යෝජනාවලියක් ඉදිරිපත් කරනකන් අපි යෝජනාවලියක් ඉදිරිපත් කළේ නෑ කියලා කිව්වා. දැන් එක්සත් ජාතික පක්ෂය කියනවා තනි යෝජනාවලියක් නෑ කියලා. එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඔවුනුත් ඔවුන්ගේ යෝජනාවක් ඉදිරිපත් කරනවා. හැංගි හොරා වැඩ කරන්න නරකයි. විවෘත විය යුතුයි.

ඒකාබද්ධ විපක්ෂය ඉන්නේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දීපව්‍යාප්ත විරෝධතාවක. රටේ ව්‍යවස්ථාවට එහෙම බෙදුණු ස්වරෑපයක් තියෙනවා නම් ඒක පිළිගන්න පුළුවන්ද?

ඇත්ත මටත් තියෙන ගැටලුව ඒක. මට තියෙන්නේ එතන බෙදීමක් නෙමෙයි වෛරයක් නිර්මාණය කිරීම. ආපහු අපි පරණ තැනට යන්න හදනවා. ඒක වැරදියි. ඒකාබද්ධයේ මිතුරන් කල්පනා කරන්න ඕන ඔවුන්ටත් ආණ්ඩු කරන්න අවස්ථාවක් ලැබෙන්න තියෙනවා. එහෙම වුණොත් ඒ අයත් මේ ප්‍රශ්නයට මුහුණපානවා. ඒ නිසා හැමෝම කතා කරලා තීරණයක් ගන්න පුළුවන් අවස්ථාවක පැරුණි වෛරයේ ගිනිදලු දල්වන්න හදනවා නම් අනාගතයට. එච්චර හොඳ නෑ. 

ඔවුන් කියන්නේ මේක යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළාට පනත් කෙටුම්පත සකසලා ඉවරයි කියලා?

එතුමන්ලා ඉන්නවනේ කමිටුවේ. දිනේෂ් ගුණවර්ධන ඉන්නවා ප්‍රසන්න රණතුංග ඉන්නවා. එයාලත් ඉඳගෙන කොහොමද කියන්නේ හොර එකක් කියලා එයාලා දැනගන්න එපැයි. ඒක අහන්න ඕන අපෙන් නෙමෙයි ඇතුලේ ඉන්න අයගෙන්. එහෙනම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස්වෙන වෙලාවට මේ ප්‍රශ්නය මතු කරන්න ඕන. එකක් කියන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට බෙදන ව්‍යවස්ථාවකට කිසිම වෙලාවක ඡන්දය දෙන්නේ නෑ. මේ ප්‍රශ්නය පක්ෂ දේශපාලනයට ගාව ගන්න නරකයි.

ශ්‍රීලනිපයෙයි එජාපයෙයි ගිවිසුම් කාලය නිමවුණේ පසුගිය සැප්තැම්බර් මාසයේ එවිට පිරිසක් කිව්වා ඉවත් වෙනවා කියලා. ඒ කණ්ඩායමේ ඔබත් හිටියා මොකද වුණේ?

ඒක වැරදි කතාවක්. අපේ තීරණය වැරදි ලෙස සමහර පුද්ගලයන් අර්ථ නිරූපණය කළ නිසයි මෙහෙම වුණේ.

ඒ කියන්නේ ආණ්ඩුවෙන් යන්න හිටියේ නැද්ද?

නෑ. නෑ. අපිට යාමේ බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. ඒක වැරදි අර්ථ නිරූපණයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුනර්ජීවනය ලබාදෙන්න පුළුවන් ක්‍රමවේදයක් හෙව්වේ අපි. ශ්‍රීලනිපයයි, එජාපයයි එකතුවෙලා ඉන්න එකට ශ්‍රීලනිප පාක්ෂිකයෝ කැමතිත් නෑ. බිම් මට්ටමේ තියෙන්නේ සතුරු ආකල්පයක්නේ. යූ.ඇන්.පී. අයත් අකමැතියි. ඒ නිසා අපි හොඳ ක්‍රමවේදයක් හෙව්වා. ඒක හරියන්න කලින් විවිධ ප්‍රකාශ කළා. ඒ නිසා මේක විනාශ වුණා. ඒ කරන ආකාරයත් අපි කතාවුණා. අපිට වුවමනා වුණේ කාටවත් රිදවන්න.

ඒ කියන්නේ වැඩේ ඉවරයි.

නෑ එහෙමමත් නෑ. මෙන්න ඒ තර්කය ගොඩනගද්දී පත්තරවල හෙඩ්ලයින් යන්න පටන් ගත්තා. තර්කය මෝරන්න පෙර යම් යම් අය ප්‍රකාශ දෙන්න ගියා. හැබැයි තර්කය කියන්නේ ඔය ආණ්ඩුවෙන් යන එක නෙමෙයි. නමුත් සමහරුන්ට තදියන් වුණා.

විශේෂයෙන් ඔබේ කණ්ඩායමේ ඉන්න සුසිල් ඇමැතිතුමා ටී.බී. ඒකනායක ඇමැතිතුමා කිව්වා එජාපයත් එක්ක වැඩකරන්න බෑ කියලා. ඒ ඇත්තක්ද?

ඔව්. ඇත්තටම අමාරුයි.

ඒ කියන්නේ ශ්‍රීලනිප මතයට ඉඩක් නෑ?

එහෙම ඉඩක් නෑ කියන්නේ නෑ. හැබැයි අපි තර්ක කරනවා. සමහර තැන් දින්න අවස්ථාත් තියෙනවා. එයාලා තවම ඉන්නේ දැඩි ප්‍රජාතන්ත්‍රවාදයේ. ගමේ ජනතාවගේ දැක්ම ගැන ලොකු දැනුමක් එයාලට නෑ. අපි එහෙම නෑ. අපි මැද මාවතක ආර්ථික ක්‍රමයක් ගැන කතා කරන්නේ.

හැබැයි මේ ආණ්ඩුව හැමදේම විකුණන්න දක්ෂයි. හදපු දෙයක් නෑනේ.

විශේෂයෙන්ම බලන්න කෘෂිකර්මය සම්බන්ධයෙන් මොකක්ද අපිට තියෙන ආර්ථික ප්‍රතිපත්තිය. නිසි කෘෂිකාර්මික ආර්ථික ප්‍රතිපත්තියක් සකසන්න හැම ආණ්ඩුවකටම බැරුව ගියා. ඒ නිසා ලෝකයේ ආර්ථික වෙනස් වෙනවා. අපි කියන්න නරකයි මේ ඉඩම මගේ, මේක මගේ කියලා. එතකොට වෙන්නේ ගමරාලට වෙච්ච වැඩේ. ඉඩම තියෙනවා වගාව නෑ. දැන් අපිට ආයතන තියෙනවා දියුණුවක් නෑ. අපේ රටේ අධික ලෙස පාඩු ලබන ආයතන 05ක් තියෙනවා. තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංගම, ශ්‍රීලන්කන් එයාර් මේ පහම යැපෙන්නේ රටේ ප්‍රධාන බැංකු දෙකෙන්. ඒ බැංකු තමන්ගේ සේරම මුදල් යොදවන්නේ මේ ආයතනවලට ණයට දෙනවා. ඒ නිසා අපි කියන්නේ මේවා කරන්න බැරිනම් හවුල් ව්‍යාපාරවලට යන්න ඕන.

හැබැයි මේ විකුණන දේවල් වල පිටිපස්සේ එකම පුද්ගලයෙක් කියලා කියන්නේ?

ඔව්. ඉතින් කවුරු හරි කතා කරන්න එපැයි. කතාකරන පුද්ගලයා කතාකරන විදිහට තමයි සැකයක් ඇතිවෙන්නේ. සැකයක් නැතිවෙන්න කතා කරන්න ඕන. විනිවිද පේන්න ඕන. කාටත් තේරෙන්න ඕන.

හැබැයි ආර්ථිකය සම්බන්ධයෙනුත් අමැතිවරු සම්බන්ධයෙනුත් තිබූ ජනතා විශ්වාසය බැඳුම්කර වංචාවත් එක්ක රජය අහිමි කරගත්තා නේද?

අනිවාර්යයෙන්. මේ දීර්ඝකාලීන ප්‍රශ්නයක්. ආණ්ඩුවක් යටතේ යැපෙන ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් හිටියා. ඒ අය ධනවත් වුණේ ආණ්ඩුව නිසා. හැබැයි ඒ හැමතැනම ආණ්ඩු හදලා තියෙනවා පැනලා යන්න බැරි බාධක. ලංකාවේ හැබැයි එවැනි කඩුලු නෑ. ඒ නිසා ඕනෑම තෝරෙකුට මෝරෙකුට දැල අස්සෙන් රිංගන්න පුළුවන්. භයානක දේ තමයි රජයේ සමහර පුද්ගලයනුත් මේකට සම්බන්ධ වෙලා තිබීම.

හැබැයි මේ සිද්ධියේ ආර්ථික ඝාතකයෝ වෙන්නෙම රජයේ අය?

මේ වගේ අවස්ථා ලෝකෙ පුරාම ඇතිවෙලා තියෙනවා. ඒ රටවල් මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන නීතිමය ක්‍රමවේද තියෙනවා. කොමිසමෙන් පස්සේ ඒ නීතිමය ක්‍රමවේද ක්‍රියාත්මක වෙයි. ඒ වගේම මේ කොමිසමට අපි එකතුවෙන්න ඕන. සමහර අය බනිනවා. හැබැයි මම එකඟ නෑ. ඒ වගේම මේ සිද්ධියෙන් අපේ ආර්ථිකයේ දුර්වලතාත් පේනවා. මේ සියලු දේට රටේ නීතියෙන් අධිකරණයෙන් තීන්දු දෙයි.

අධිකරණය ගැන විශ්වාස කරන්නේ කොහොමද? ඇමැතිවරුම විවේචනය කරනවා අධිකරණය?

මම ඒකට එකඟ නෑ. අපිට එහෙම කරන්න බෑ. හැමෝම සැකකරන්න බෑ. ඕනම හොරෙකුට නීතිඥවරයකුගේ සහය ගන්න පුළුවන්. නීතිඥවරයාගේ කාර්යභාරය අවතක්සේරු නොකළ යුතුයි.

ඔබ නියෝජනය කළ ගිය ආණ්ඩුවත් නීතියට අත තියන්න ගිහින් වැඩේ වරද්ද ගත්තා. මේ ආණ්ඩුවත් වැඩේ වරද්ද ගනීද? 

නෑ. නීතියට කවුරුත් අත තියන්න යන්නේ නෑ. මං දන්න හැටියට.

ඒ වගේම ආණ්ඩුවේ ඇමැතිවරු සංඝරත්නයත් එක්කත් ගැටිලා. මොකද මේ?

සමහර භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපයන් අපිට පිළිගන්න පුළුන් කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඒ වගේ ඒ භික්ෂූන් වහන්සේලාට කවුරු වුණත් අපහාස කරන එකත් අපිට පිළිගන්න බෑ. මේක ශිෂ්ඨ සමාජයක්නේ. අපි පහත් විදිහට ආමන්ත්‍රණය කිරීම මගින් අපේ තර්කය බාලවෙනවා. අදහස වෙන තැනකට යනවා. ඇතැම් භික්ෂූන් වහන්සේලාත් ගිහියන් ආමන්ත්‍රණය කරන විදිහ වැරදි. ඔවුනුත් සීමාවක් ඇතුළේ ඉන්නේ. එහෙම නොවුණොත් මේක උසුළු විසුළු සමාජයක් වෙනවා.

හපාලන ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න. ඒත් අන්තිමට මේ ආණ්ඩුවෙත් හොරු. ජනතාව අනාථයි නේද?

ඕක ඉතින් හැම ආණ්ඩුවකම තියෙන දෙයක්? ඒත් ආණ්ඩුව දැනගන්න ඕන ඔවුන්ට ක්‍රියාමාර්ග ගන්න. මොනවා වුණත් මේ ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ග ගත්තා. චෝදනා තිබුණ ඇමතිවරු යැව්වා. ඒක හොඳ දෙයක්.

කවද්ද බෙදුණු ශ්‍රීලනිපය එකතු වෙන්නේ?

ඒක මට කියන්න බෑ. අමාරුයි. අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා එකතු වෙන්න කියලා. රිදවන්න කැමැති නෑ කාවවත්. පක්ෂය එකතු කරන්න අපි වෙහෙසෙනවා. අපේ ප්‍රතිපත්ති අතර විශාල ආරවුලක් තියෙනවා. ඒක විසඳන්නයි මේ උත්සාහ කරන්නේ.

ඒත් ඔබලා ක්‍රියාත්මක වෙනකොට තව පක්ෂයක් ක්‍රියාත්මක වෙමින් යනවානේ?

ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මම දැකලා තියෙනවා මීට වඩා සතුරන් එකට වැඩ කරනවා.

 ගයාන් ගාල්ලගේ
සේයාරුව  සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00