2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ඡන්ද අරහංද?

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

ඡන්ද තියන්න මේ ආණ්ඩුව බයද? බය කොහොම වෙතත් ආණ්ඩුවට විරුද්ධව ඉන්න දේශපාලන පක්ෂ පමණක් නොව ආණ්ඩුවත් එක්ක ඉන්න සමහර පක්ෂත් කලට වෙලාවට ඡන්ද නොතැබීම ගැන නම් පසුවන්නේ කනස්සල්ලෙනි. ආණ්ඩුව ඡන්ද තියන්න බය බව කියන්නේ විරුද්ධ පක්ෂයයි. විරුද්ධ පක්ෂය කිව්වාට නිල විරුද්ධ පක්ෂය වන ටී.එන්.ඒ. සහ ජ.වි.පෙ නොවේ. ඒකාබද්ධ විපක්ෂයයි. ආණ්ඩුව සමඟ සිටියත් තමන් ඡන්දය කල්දැමීමට විරුද්ධ බව මුස්ලිම් කොංග්‍රසය කියයි. ටී.එන්.ඒ කියන්නේ මේ අවස්ථාවේදී කොන්දේසි සහිත සහායක් තමන් ආණ්ඩුවට ලබාදෙන බවය. ජ.වි.පෙ. කියන්නෙත් ඡන්ද පැවැත්වීම කල් නොදැමිය යුතු බවය.

පළාත් සභා ඡන්ද කල්යන්නේ කෙළින්මගත් තීරණයක් නිසා නොවේ. පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් එකඑල්ලේ තීරණ ගතහැකි වුවත් පළාත් සභා පනත අනුව එවැනි තීන්දුවකට යාමට ඉඩක් නැත. පළාත් සභා ක්‍රමය මේ රටට හඳුන්වා දෙනු ලැබු‍වේද රටම ගිනිගෙන තිබූ වාතාවරණයක් යටතේ සම්මත කරගනු ලැබූ 13 වැනි ව්‍යවස්ථාවට අනුවය. මේ පනත මුලින්ම සම්මත කරගත් අවස්ථාවද පාර්ලිමේන්තුවේ ඉතිහාසගත කතාවකි. පාර්ලිමේන්තුව ඇතුළේ බෝම්බයක් පිපිරැණේත් ඒ කාලයේදීය.

13 වැනි ව්‍යවස්ථාව බිහිවුණේත් පළාත් සභා ඡන්ද කරළියට ආවේත් රටේ ජාතික ගැටලුවට විසඳුමක් හැටියටය. එහෙත් එම විසඳුම මේ රට මත ඉන්දියාව විසින් බලෙන් පැටවූවක් මිස රටේ ජනතාවගේ උවමනාව මත සිදු වූවක් නොවේ. මේ නිසා එක අතෙකින් පළාත් සභා කතා මතුකරන හැමවිටම එය දේශපාලන ගැටුමක් බවට පත්වීම ගැන පුදුම විය යුතු නැත. මෙහිදී අමතක නොකළ යුතු කාරණය ජාතික ගැටලුවට ඉන්දියාව විසින් බලෙන් විසඳුමක් ලබාදීමට ක්‍රියාකරන තුරු මෙරට දේශපාලන නායකයන්ට ඒ සඳහා අවංක උවමනාවක් නොතිබීමය. උතුරේත් දකුණේත් සියලු නායකයන් ඒ සඳහා වගකිව යුතුය. මේ රටට ෆෙඩරල් යනු සලකාබැලිය හැකි ක්‍රමවේදයක් බව මුලින්ම පවසා තිබුණේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයි. ඒ වනවිට ලංකාවට සෝල්බරි කොමිසම හෝ නොපැමිණ තිබූ අවදියක් බවද සඳහන් කළ යුතුය. එසේ වුවද ජාතික ගැටලුවකට විසඳුමක් සෙවීමට කාටවත් උනන්දුවක් තිබුණේ නැත.

“88න් පසුව බිහිවූ පළාත් සභා ඡන්දවලට දිගින් දිගටම දේශපාලන බාල්දි පෙරළුණේය. මුල්ම පළාත් සභා ඡන්දය 88 අප්‍රේල් 28දා පැවැතුණේ දකුණේ දරුණු භීෂණයක් පවතිද්දීය. එය උතුරුමැද - වයඹ, දකුණ සහ ඌව යන පළාත් හතරේ පැවැතිණි. උතුරේ ඡන්දයක් තැබීමක් ගැන සිතන්නටවත් පරිසරයක් තිබුණේ නැත. චන්ද්‍රිකා මෙරට පළමු විධායක ජනාධිපතිනිය වශයෙන් තෝරාපත් කරගනු ලැබීමේ දේශපාලන ක්‍රියාවලියේ මුල්ම පියවර වුණේ 1993 පැවැති බස්නාහිර පළාත් සභාවේ ඡන්දයයි. එහි මහඇමති වශයෙන් පත්වූ චන්ද්‍රිකාට ජනාධිපති පදවියට පත්වීමට ගතවූයේ අවුරුද්දක් පමණි.

හැබැයි පළාත් සභා ඡන්ද ඉතිහාසයේ නරකම ඡන්දය හැටියට සලකනු ලබන වයඹ 1997 දී පැවැති ඡන්දයෙන් චන්ද්‍රිකාගේ පාලනයේ සායම් හේදී ගියේය. පළාත් සභා ඡන්ද එකට නොතියා කඩ කඩා තැබීමේ ක්‍රමය නිසා ආණ්ඩුවේ සියලු සම්පත් සහ මැර බලය එක තැනකට කේන්ද්‍ර ගත කිරීමේ මෙහෙයුම්වල ආරම්භය එය වශයෙන් ඉතිහාස ගතවිය. ඊට පෙර පැවැති පළාත් සභා ඡන්දවලදී ද මැර ක්‍රියා, ආණ්ඩුවේ බලය යෙදවීම් දකින්නට තිබුණත් දකුණේ පැවැති භීෂණ වාතාවරණය හමුවේ ඒවා මාතෘකා බවට පත්වුණේ නැත. තම දේශපාලන පට සළුවේ සායම යවා ගත්තත් චන්ද්‍රිකා තම ධූර කාල දෙකම ගෙවා දැමුවාය. එම ධූර කාල දෙක අතරතුර පැවැති සියලු පළාත් සභා ඡන්ද ජයගැනීමට චන්ද්‍රිකාගේ ආණ්ඩුවට හැකිවිය.

ඊට පසුව රටේ නායකයා වූ මහින්දත් කවදාවත් පළාත් සභා ඡන්ද එකට තිබ්බේ නැත. වයඹ කෙරුවාවේ ප්‍රේක්ෂකයකු බවට පත්ව සිටි මහින්ද බලයට පැමිණ පැවැත්වූ පළාත් සභා ඡන්ද ඔක්කොම දිනුවේය. යුද්ධය අවසන් කිරීමට පෙර ඔහු සටන් පාඨය හැටියට ගත්තේ යුද්ධයේ නිමාවක් දැකීමට තම දෑත ශක්තිමත් කරන්නැයි යන ඉල්ලීමය. එයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. වෙනකක් තබා වරක් උතුරැමැද පළාත් සභාව විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමට මහින්ද තීරණය කළ මොහොතේ එවකට මහඇමති බර්ටි ප්‍රේමලාල් පවා මහින්ද හමුවී කියා තිබුණේ යුද්ධය හේතුවෙන් ද නියඟය හේතුවෙන්ද ජනතාව පීඩාවට පත්ව සිටින වෙලාවක ඡන්දය තැබීම නුසුදුසු බවය. එහෙත් මහින්ද එයට කන්දුන්නේ නැත. රටේ ජනමතය සොයා ගැනීමට මෙවැනි කාලයක ඡන්දය පැවැත්වීම වඩා සුදුසු බව මහින්දගේ අදහස විය. එම ඡන්දයෙන්ද ආණ්ඩුව ජයගත්තේය.

පළාත් සභා ඡන්ද කඩින් කඩ පැවැත්වීමේ න්‍යාය හොඳින්ම යොදාගත්තේ මහින්දය. යුද්ධය දිනාගැනීමෙන් පසුව මහින්දට සටන් පාඨයක් අවශ්‍ය වුණේ නැත. යුද්ධය දිනාදුන් මහින්ද දිනවමු යනුවෙන් සටන් පාඨය හැදුවේ රටේ ජනතාවමය. ඊළඟ අවුරුදු කිහිපයේ පැවැති සියලු පළාත් සභා ඡන්ද මහින්ද දිනුවේ ගේමක් නැතුවමය. එහෙත් ආණ්ඩුව ඇතුළෙන් පුපුරමින් තිබූ අසහනය දෝරේ ගලද්දී පැවැති ඌව පළාත් සභා ඡන්දය ආණ්ඩුව දිනුවත් එය මෙරට දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් විය. විධායක ජනාධිපතිවරයකු සිටියත්, සියලු රජයේ සම්පත් සහ බලය යෙදුවත් සල්ලි විසිකළත් ජනතාව තීන්දුවකට ඇවිත් සිටියේ “දැන් නම් ඇති” යන මට්ටමේ බව පෙන්නුවේ ඌව සභා ඡන්දයේ ප්‍රතිඵලය.

ඊට පසු සිදුවීම් දැන් ඉතිහාසයට එක්වී හමාරය. හරියටම ජනතාවගේ නාඩිය අල්ලා විරුද්ධ පක්ෂයට කටඋත්තර නැතිවෙන විදියට වැඩකර ඡන්ද කළ මහින්ද ඒ සියලු ඡන්ද දිනුවත් අවසානයේ ජනාධිපතිවරණයේදී පැරදුණේය. ඒ වනවිට උතුරේද පළාත් සභා ඡන්දය පවත්වා අවසානවී තිබුණි. එයින්ද ලැබුණේ මහින්ද අපේක්ෂා කළ ප්‍රතිඵලයක් නොවේ. ටී.එන්.ඒ.එකට අවශ්‍ය වූ ප්‍රතිඵලයයි. උතුරේ දේශපාලන පක්ෂ කුමක් කිව්වත් උතුරට තමන්ගේ පාලනයක් සහිත පළාත් සභාවක් පත්කර ගැනීමට ටී.එන්.ඒ. සහ ඊට සහාය දුන් ද්‍රවිඩ දේශපාලන පක්ෂවලටත් ජනතාවටත් හැකියාව ලැබුණේ මහින්ද කොටින්ගේ රුදුරු හස්තයෙන් උතුර ගලවාගත් නිසාය. කොටින්ම යුද්ධය ඉවර කළ නිසාය. එසේ නොවන්නට අද උතුරේ පළාත් සභාවක් නැත. ෆෙඩරල් ඉල්ලා කෑගසන්නට විග්නේෂ්වරන් වැනි මහඇමතිවරයකුද නැත.

මේ රටේ පළාත් සභා ඡන්දවල ඉතිහාසය මෙවැනි ඉතා සංකීර්ණ සිදුවීම්වලින් අඩු නැත. එසේ වූවත් කැපී පෙනෙනම ලක්ෂණය වූයේ විධායක ජනාධිපති පදවිය අතැතිව සිටි සෑම නායකයෙක්ම තම පක්ෂය පළාත් සභා ඡන්ද ජයග්‍රහණය කරා මෙහෙය වූ බවය. එය හොඳින් හෝ නරකින් සිදුවිය. ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද මේ කිසිම ජනාධිපතිවරයෙක් පළාත් සභා හෝ පළාත් පලාන ඡන්ද පැවැත්වීම අවදානමක් හැටියට සිතුවේ නැත. අවදානමක් තිබුණු අවස්ථාවලදී පවා ඡන්ද තබා ජයග්‍රහණය අතට ගත්හ. 

ඉතිහාසය එසේ වුවත් වර්තමානය ඊට වඩා වෙනස් වන්නේ ඇයි?

පළාත් පාලන ඡන්ද තවත් කල්යමින් තිබේ. මේ වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභා තුනක ඡන්ද ද කල්දැමීමට හැකිවන පරිදි යෝජනාවක් සම්මත විය. මේ රටේ තවමත් පවතින්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. එහි බලතල ගණනාවක් අඩු කරගෙන තිබුණද ඡන්දයකදී ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලතල ප්‍රමාණවත් කරමින් ඇත. එසේ නම් පළාත් සභා ඡන්ද පැවැත්වීමට ආණ්ඩුව හැමවිටම කකුල පස්සට ගන්නේ ඇයි? එසේ වීමට කොතැනක හෝ කොස්සක් තිබිය යුතුය.

මේ කොස්සට ලොකුම හේතුව ශ්‍රී.ල.නි.ප.යේ පවතින මෛත්‍රීපාල, මහින්ද පාර්ශව දෙකේ විරසකයයි. කොටින්ම ශ්‍රී.ල.නි.ප.යේ බෙදිල්ලයි. පක්ෂයේ සභාපති මෛත්‍රීපාල ජනාධිපතිවරයා අතේ පක්ෂයේ බලය පවතින විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතේ පක්ෂයේ ඡන්ද රැඳී තිබේ. යූ.එන්.පී.යට නම් එවැනි ප්‍රශ්නයක් නැති වුවද පොදුවේ රජයට එරෙහිව එල්ල වන බැඳුම්කර ඇතුළු චෝදනා හේතුවෙන් තම ජනප්‍රියත්වය උරගාබැලීමේ සටනට අවතීර්ණ වීමට තවම හිතහදා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින බව පෙනේ. මේ හේතූන් නිසා මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ රජයට අද සිදුවී තිබෙන්නේ ඡන්දය කල්දැමීමට උපක්‍රම සෙවීමටය. ඡන්දයට මුහුණ දීමට තරම් තමන් ශක්තිමත් වනතුරු කල්බැලීමටය.

මෙයට පෙර කිසිදු විධායක ජනාධිපතිවරයකුගේ රජයක් බිය නොවූ පළාත් සභා මැතිවරණවලට මුහුණ දීමට වත්මන් විධායක ජනාධිපතිවරයාගේ රජය බියද? එයට හේතු සොයාබැලීමට මහින්ද පාර්ශවයේ කසකාරයන් කියන කතා දෙස බැලිය යුතුය.
මේ සියලු දෙනා කියන්නේ ආණ්ඩුව ඡන්ද කල්දමන්නේ බිය නිසා බවය. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය සඳුදා (18) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියට වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් වෙනත් ක්‍රමයකින් හෝ පළාත් සභා මැතිවරණය කල්දමාගැනීමේ කුමන්ත්‍රණයක් රජය දියත් කර ඇති බවය. මහජනතාවගේ ඡන්ද අයිතිය කල්දැමීම සඳහා බලහත්කාරයෙන් කිසිදු නීතියක් සම්මත කර නොගන්නා ලෙස රජයේ ඉල්ලීමක් කරන බවද ඔහු කියා තිබිණි.

ඒකාබද්ධ විපක්ෂය කුමක් කීවත් ආණ්ඩුව පළාත් සභා තුනේ ඡන්දය මේ වසරින් ලබන වසරට කල්දමා ගැනීමට රජය සමත් විය. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක ඡන්දය ද ආණ්ඩුව කෙසේ හෝ එකතු කරගෙන තිබිණි. ඒ එකතු කරගත් ආකාරය කුමක් වුවත් අද හෙටම ආණ්ඩුවේ ඔළුගෙඩි එහා මෙහා කර වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි මැති ඇමැතිලාට නම් එය හොඳ සංඥාවක් වුණේ නැත. පුංචි ඡන්දය හෝ ඉක්මනින් තබන තරමට ඒකාබද්ධ විපක්ෂයට හොඳය. කල් පසුවන විට සිදුවිය හැකි “අනතුරු” බොහෝය.

ආණ්ඩුව ඡන්ද පවත්වන්නේ මේ සියල්ල කිරා මැනබැලීමෙන් පසුව බව පැහැදිලිය. ඡන්දය කල්යන තරමට ඒකාබද්ධ විපක්ෂය තුළ අසහනය පැතිරෙන බව තේරුම් ගැනීම අපහසු නැත. තවත් අතෙකින් පළමුවෙන් තබන්නේ කුමන ඡන්දයද යන්න පිළිබඳව නිරන්තරව සැකයක් පවත්වාගෙන යාමද එක් උපක්‍රමයකි.

පළාත් සභා ඡන්දයක් අදාළ පළාත් සියල්ලෙහිම පැවැත්වීමේ වාසිය පැහැදිලිවම තිබෙන්නේ පවතින රජයටය. රජයේ “චරිත සහතිකය” හොඳ නැති වුවද මැතිවරණයකදී දරන්නට සිදුවන අධික වියදම සහ තම අපේක්ෂකයන්ගේ විවිධ අවශ්‍යතා ඉටුකරදීම වැනි කාරණාවලදී ඕනෑම රජයක් ඉන්නේ විපක්ෂයට වඩා ඉදිරියෙනි. ප්‍රචාරක කටයුතුවලදීද එසේමය. නමුත් පළාත් සභා තුනක පමණක් ඡන්දය පවත්වන විටදී විපක්ෂයට තම සියලු ශක්තිය ඒ පළාත් තුන කෙරෙහි පමණක් යෙදවීම ප්‍රමාණවත්ය. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පිරිස වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වන්නේ නම් ප්‍රාදේශීය මට්ටමින් ඔවුන්ට සිදු කළ හැකි බලපෑම ඉතා ප්‍රබල වනු ඇත. මහින්දලාගේ ශක්තිය වඩාත්ම ඇත්තේ ප්‍රාදේශීය මට්ටමිනි. 

පළාත් පාලන මැතිවරණය ඊට වඩා වෙනස්ය. එය නිසැකවම රට පුරාම එකම දවසේ පැවැත්වෙයි. එහිදී ඒකාබද්ධ විපක්ෂයට රට පුරා බෙදී ගොස් ඡන්ද ව්‍යාපාරය පැවැත්වීමට සිදුවෙයි. එසේ වුවද මහින්දට ශ්‍රීලනිපයේ අඛණ්ඩව පවතින සහාය ඇත්තේ පළාත් පාලන මට්ටමේ මන්ත්‍රීවරුන්ගේය. ඔවුන්ගේ අතිවිශාල බහුතරය මහින්දගේ මැතිවරණ යාන්ත්‍රණයේ හැමදාම ක්‍රියාකාරීව සිටි පිරිසය. නමුත් මේ මන්ත්‍රීවරුන් අවුරුදු එකහමාරකට කිට්ටු කාලයක් බලය රහිතව සිටීම නිසා එක්තරා මට්ටමකින් ඔවුන් සිටින්නේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් ඈත් වෙලාය. ආණ්ඩුව හැකි තරම් පළාත්පාලන ඡන්දය ප්‍රමාද කරන්නේ මේ පරතරය තව තවත් වැඩි කිරීමේ අරමුණින්ද විය හැක.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂයට තවත් ගැටලුවක් වන්නේ ඔවුන්ට ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොලැබී යාමට තිබෙන ඉඩකඩය. කුමන හේතුවකින් හෝ මෛත්‍රිපාල - මහින්ද පාර්ශව දෙක එකතු වන්නේ නැත්නම් මහින්දගේ පිරිසට නාමයෝජනා ලැබෙන්නේ පොහොට්ටු පක්ෂයෙනි. එනම් පොදු ජන පෙරමුණෙනි. ඒ සමඟම ශ්‍රීලනිප ලැයිස්තුවක්ද ප්‍රකාශ වන විට ඡන්දයේදී සාමාන්‍ය ඡන්ද දායකයාත් ශ්‍රීලනිපයේ කැපුවත් නිල් ඡන්ද දායකයාත් කුමන ආකාරයකට ඡන්දය භාවිත කරයිද යන්න තීරණාත්මක සාධකයක් වනු ඇත. දැනට නම් පෙනෙන්න තිබෙන්නේ කොහොම බැලුවත් මහින්දගේ පැත්තේ බර හොඳට වැඩි බවය. එය කොයි අතට පෙරළේදැයි හරියටම දැනගත හැක්කේ ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.

මේ පසුබිම යටතේ ආණ්ඩුව ප්‍රකාශයට පත්කිරීමට ඉඩ තිබෙන මුල්ම මැතිවරණය පළාත් පාලන ඡන්දය වීමට ඉඩ තිබේ. ඡන්දය ප්‍රකාශයට පත් කර ව්‍යවස්ථාවට අනුව ප්‍රචාරක කටයුතු සඳහා කෙටිම කාලය ලබාදී ඡන්දය පවත්වන්නේ නම් රට පුරාම ගොස් තම ඡන්ද ප්‍රචාරක කටයුතු සිදුකිරීම මහින්දට පහසු වන්නේ නැත. එවැනි අවස්ථාවක මහින්ද පාර්ශ්වයට සම්පූර්ණ විශ්වාසය තැබීමට සිදුවන්නේ තමන්ගේ ඡන්දදායකයන් කෙරෙහි පමණි. 

මෙහිදී ඡන්ද කල් යාම ගැන සැලකිල්ලට ගත යුතු තවත් සාධකයක් තිබේ. එනම් මහින්ද පාර්ශ්වයේ ප්‍රබලයන් කිහිප දෙනකුටම එරෙහිව පවතින අධිකරණ කටයුතු මේ වනවිට නඩු බවට පරිවර්තනය වී තිබීමය. එම නඩුවලදී කුමක් සිදුවනු ඇති දැයි කිව නොහැකි වුවත් ඉක්මණින් විභාග වී තීන්දුව ලබාදිය හැකි නඩු ගණනාවක්ම ඉදිරි මාස වලදී විභාගයට ගැනීමට නියමිතය. මේ ඇතැම් නඩු “කෝ හොරු ඇල්ලුවද?” යනුවෙන් වේදිකාවල කෑගැසු අයට එරෙහිව ඇසීමට නියමිත ඒවා බවද සඳහන්ය. ආණ්ඩුව ඡන්ද පැවැත්වීම කල් දමන විට මේ කරුණත් සැලකිල්ලට නොගත්තා නම් පුදුමය.

පසුගිය සති දෙක තුළදී ලලිත් වීරතුංග නඩු තීන්දු හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ කිසියම් කැළඹීමක් ඇතිවූ බව පෙනෙන්නට තිබිණි. ලලිත්ට සහ අනූෂට ඇප ලැබුණත් එම කැළඹීම තවම පහව ගොස් නැත. ඒ සමඟ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන ලද නඩු තීන්දුව ඒකාබද්ධ විපක්ෂයේ සැනසිල්ලට හේතු විය. එහෙත් ආණ්ඩුව ඒ හරහා පළාත් සභා සංශෝධන පනත තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට සූක්ෂම වීම යළිත් ඒ සැනසිල්ල කැළඹීමක් බවට පත් කළ බව පැහැදිලිය. 

කොහොම වුණත් කිසිම ආණ්ඩුවක් බය නැතුව තැබූ පළාත් පාලන ඡන්දයත්, පළාත් සභා ඡන්දත් මේ ආණ්ඩුවට නම් හිසරදයක් බවට පත්ව තිබෙන බව පැහැදිලිය. එයට හේතුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහීමද මහින්දලාගේ ජනප්‍රියත්වය වැඩිවීමද යන්න නම් අවිනිශ්චිතය.

ශශින්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00