2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

සුමතිපාලට ක්‍රීඩා ඇමැති බයයි!

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

- ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග 

  • හම්බන්තොට වරාය ගිවිසුමට විපක්ෂය දැඟලුවෙ බොරුවට
  • ඒකාබද්දෙ උඩ පැන පැන හිටියට ආණ්ඩුව පනත ගොඩදා ගත්තා
  • ක්‍රිකට් විනාශ වෙනවා බල බලා මට ඉවසාගෙන ඉන්න බැහැ
  • ක්‍රමය වෙනස් නොකර ඡන්ද තැබීම ජනමතයට පයින් ගැසීමක්
  • මම ඇමැති කෙනෙක් වුණත් මගේ පැමිණිල්ල අතුරුදන් වෙලා
  • ක්‍රිකට්වලට වෙච්ච දේ හොයාගන්න බැරිනම් අපේ ආණ්ඩුව දුර්වලයි

මේ ආණ්ඩුවට විවිධ ප්‍රශ්න. එකක් ඉවරවෙනකොට තව එකක්. ඒත් එක ප්‍රශ්නයක්වත් විසඳුවේ නෑ. ඔක්කොම අනාගෙන. ඇයි මේ?

ආණ්ඩුව නම් අනාගෙන නෑ, විපක්ෂයේ ඉන්න හුඟාක් අය පෙන්නන්න හදනවා ආණ්ඩුව අනාගෙන කියලා. ඒත් වුණේ පසුගිය ආණ්ඩුවේ පව්වලට අපිට කරගහන්න වුණා. ඒ ප්‍රශ්න විසඳන්න තමයි පසුගිය අවුරුදු දෙකම වැය වුණේ.

ඒත් තවම එක ප්‍රශ්නයක්වත් විසඳුවේ නෑනේ?

හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙනවා පැය විසිහතරකින්, සතියකින්, මාසයකින් ප්‍රශ්න විසඳයි කියලා. ඒත් ඒකට ටික කාලයක් යනවා. ඒ ක්‍රමවේදයට අපි පාර හදලා තියෙන්නේ. දැන් ගමන හොඳට යනවා. යම් යම් අඩුපාඩු තියෙනවා. මම කියන්නෙ නෑ සියයට සීයක් නිවැරදියි සාර්ථකයි කියලා.

හැබැයි ආණ්ඩුව පාර්ලිමේන්තුව යොදාගෙන සමහර ප්‍රශ්න ඉතා සූක්ෂම ලෙස යටගහනවා?

එතන දුර්වලතාවය විපක්ෂයේ. දැන් බලන්න හම්බන්තොට වරාය ගැන කතා කරන්න අපි දවසක් දෙන්න හිටියේ. ඒත් ඒ අය කෑගහලා ඒ දවස නැති කළා. මම හිතන්නේ එයාලත් කැමැත්තෙන් හිටියේ හම්බන්තොට දෙන්න. මම අමාත්‍යවරයා හැටියට එතනදි විශාල දේවල් ප්‍රමාණයක් වෙනස් කළා. ඒ රටට වාසි වෙන්න. අද තියෙන ගිවිසුම ගැන වුණත් මම සෑහිමකට පත්වෙන්නෙ නෑ. මම කියන්නේ අපිට මේක තව වෙනස් කරන්න තිබ්බා. ඒත් විපක්ෂය බොරුවට දඟලලා නැති කරගත්තා. ඒ අයගේ අරමුණ මාධ්‍යයට නිවේදනයක් දෙන්න විතරයි. හරි විපක්ෂයක් නම් කරන්න ඕන වැරදි පෙන්නලා දෙන එක. 

ඔබලා විපක්ෂයේ ඉන්නකොටත් ඒකම තමයිනේ. බොරුවට කෑ ගහලා ප්‍රශ්න යට යැව්වා?

අපි විපක්ෂයේ ඉන්න කාලේ බොරුවට කෑගහලා ප්‍රශ්න යට කළේ නෑ. අපි හැමදේම හෙළිදරව් කරලා ජනතාවට කිව්වා. ඒත් අද ඒකාබද්ධයේ අය කරන්නේ ඒ අයගේ කාලයේ වැරදිත් අපේ ඇඟට දාන එක.

අද පාර්ලිමේන්තුවේ විපක්ෂය ගැන අවුලක් තියෙනවා නේද? ඒකාබද්ධෙ අය කියන්නේ ඔවුනුයි විපක්ෂය කියලා?

නෑනේ. ඒ අය ඉල්ලුවේ වෙනම නෙවෙයිනේ. එහෙනම් ඒ අයට තිබ්බා මහින්ද රාජපක්ෂගේ කල්ලියේ කියලා වෙනම ඉල්ලන්න. ඒ අය ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්නේ. අපේ ආණ්ඩුවෙත් ඉන්න පුළුවන් කලකිරීමෙන් පැත්තකට වෙලා ඉන්න අය. එහෙම කියලා ඒ අය විපක්ෂය වෙන්නේ නෑනේ. විපක්ෂයක් හැටියට ඉන්න පුළුවන් ටී.එන්.ඒ. එකට විතරයි. 

ඒ වුණත් ඒකාබද්ධ විපක්ෂයනේ අද පාර්ලිමේන්තුවේ එකම හඬ වෙලා ඉන්නේ?

නෑ. ඒ අයට තිබ්බා ආණ්ඩුවට එකතු වෙන්න. දැන් බලන්න ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිප ඇමැතිවරු මොන දේවල් කරනවද කියලා. ඔවුන් තමයි කැබිනට් එකෙදි හඬ නගන්නේ. ඒ නිසා ගොඩක් දේවල් වෙනස් කළේ ඒ ඇමැතිවරු. ඒ නිසා ඔය කණ්ඩායමත් පපුවයි, හයියයි නැතුව මොළෙන් වැඩ කළානම් ඔයිට වඩා දෙයක් රටට කරන්න තිබ්බා.

මීට වඩා දෙයක් කරන්නේ කොහොමද? දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුව යොදාගෙන සියලු මැතිවරණ ඉතා සූක්ෂමව කල්දානවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. ඇයි මෙහෙම කරන්නේ?

අපි 2015 එනකොටම කිව්වා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. ජනාධිපතිතුමා මේ ඡන්ද වෙනස් නොකරන්න තීරණය ගත්තොත් එතුමා කරන්නේ ලොකු පාවාදීමක්. ඒ නිසා ජනාධිපතිතුමාට තියෙන වගකීම තමයි ඡන්දය කොයි වෙලේද කියන එක නෙවෙයි මේක හරි විදිහට තියන එක. ඒ නිසා එක එක්කෙනාට ඕන දෙවල් කරන්න බෑ. රටට හොඳ දේවල් කරන්න ඕන. ඒ නිසා එහෙම නායකත්වයක් අද ඉන්නවා. ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි පක්ෂවලට වඩා රට ගැන හිතන උවමනාවක් තියෙනවා. ඒ දෙන්නා ඒක නොකළොත් මමත් අයින් වෙනවා. 

ඔය කියන කාරණා වෙන්න ඕන. ඒත් ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වන ඡන්ද අයිතියට රජයක් පයින් ගහන එක හොඳ නෑනේ?

මේකනේ වුණේ. ඔය ඡන්ද ක්‍රමය හදන්න පාර්ලිමේන්තුවේ කමිටුවක් හැදුවා. දිනේෂ් ගුණවර්ධන මහත්තයත් හිටියා. එතුමා අවුරුදු ගාණක් තිස්සේ උත්සාහ කළා මේක හදන්න. ඒත් කරගන්න බැරි වුණා. ඇයි ඒ? දේශපාලන අතගැසීම් ආවා. විශේෂයෙන් සීමා නිර්ණය කරද්දී ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි මිනිස්සු ඡන්දය දුන්නේ නව මැතිවරණයක් ගේන්න. ඒක නොගෙනාවොත් අපිත් අසරණ වෙනවා. මොකද මිනිස්සු ඉස්සරහට යන්න බෑ. 

හැබැයි ජනතාවට හිතවාදීද, ජනතා පොරොන්දු වගේ කතා ඔබලා කියන්නේ හැමදේම අවසාන මොහොතට ආපුවම. මීට කලින් කරන්න තිබ්බ දේවල්නේ? 

මම ඔය ගැන එච්චර අධ්‍යයනය කරලා නෑ. ඒත් මම කියන්නේ සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමයට තියන්න ඕන. නැත්නම් වෙන්නේ සල්ලි තියෙන කෙනා දිනනවා. ඒත් අපේ ක්‍රමයෙන් ගමේ වැඩකරන කෙනාට පුළුවන් ජයගන්න. මේක කරපු හොඳම පුද්ගලයෙක් තමයි මගේ තාත්තා. දැන් බලන්න දැන් තියෙන ක්‍රමයට මම යන්න ඕන ආසන 15කට විතර. ඒත් කොට්ඨාස ක්‍රමය තිබ්බා නම් එක කොට්ඨාසයක් හොඳට සංවර්ධනය කරන්න තිබ්බා. මම වැඩ නොකළොත් එදාට ජනතාව මාව ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි රටට අවශ්‍ය ක්‍රමවේදය. 

පසුගිය දවසක තවත් මැතිවරණ සංශෝධන පනතක් සම්මත කරගත්තා. එදා ආණ්ඩුවට තනිවම තුනෙන් දෙකක් තිබ්බේ නෑ. විශේෂයෙන් විපක්ෂයත් ඡන්දය දුන්නා. ආණ්ඩුවට මොකද දැන් ටික ටික බලය අඩුවෙන්නේ?

සමහර මුස්ලිම් දෙමළ අයට යම් යම් අඩුපාඩු වෙනවා ඇති. ඒ නිසයි ඒ අය නොඑන්න ඇත්තේ. මගේ පෞද්ගලික අදහස තමයි මේ ගැන තවත් සාකච්ඡා කරන්න තිබ්බා කියන එක. හැබැයි අගමැතිතුමා කිව්වා යම් අසාධාරණයක් වෙනවා නම් සාකච්ඡා කරමු කියලා. මම හිතන්නේ ඔවුන්ට සාධාරණයක් කරයි. 

එතනදි ආණ්ඩුවට විපක්ෂය සහයෝගය දෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ කුක්කෙක් වෙලාද විපක්ෂය?

ඒකාබද්ධයේ පිරිස උඩ පැන පැන හිටියා මේක පරදියි කියලා. ඒත් විපක්ෂය කරන්න ඕන උඩ පනින එක නෙවෙයි. මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒක සංශෝධනය කරලා නිවැරදි කරගන්න එක. දැන් බලන්න අපි කාන්තා නියෝජනය වැඩි කළා. ඇයි ඒකට විරුද්ධ වෙන්නෙ. දැන් බලන්නකෝ මේ හරහා හොර දූෂිතයන්ට පාර්ලිමේන්තු එන්න බැරි වෙනවා. 

විපක්ෂය ඔහොම ආණ්ඩුවට හේත්තු වුණාට ඒ ප්‍රශ්න හරියයි කියලා හිතනවද? 

පුළුවන්නේ. ඉස්සර මමත් වැරදි දැක්ක ගමන් ආණ්ඩුවෙන් යනවා. මට හුඟ දෙනෙක් කිව්වා ඇතුළේ ඉඳලා සටන් කරන්න කියලා. ඒවගේ මේ ආණ්ඩුවේ ඇතුළේ ප්‍රශ්නවලට මම සටන් කරනවා. හොඳම උදාහරණය ක්‍රිකට්. ඉස්සර වගේ නම් මම අයින් වෙලා යනවා. ඒත් දැන් පරිණත නිසා ඇතුළේ ඉඳලා සටන් කරනවා. 

මෙච්චර  රටේ ක්‍රීඩා ඇමැති කෙනෙක් ඉන්නකොට අර්ජුන ඇයි ක්‍රිකට් මැදට පැනලා දඟලන්නේ?

මේ දඟලන්නේ ක්‍රිකට් ගහන්න යන්නවත් ඇඟ හදාගන්න යන්නවත් නෙවෙයි. මට ඕන මේ ඉන්න දරුවෝ ටික රැකගන්න. මෙච්චර මහන්සි වෙලා රටට ජයග්‍රහණයක් ගෙනාපු ක්‍රීඩාවක් විනාශ වෙනකොට ඉවසන් ඉන්න පුළුවන්ද. මේ මට කෑගැහෙන්නේ ක්‍රීඩා ඇමැතිකම් ගන්න නෙවෙයි. එහෙනම් 2015 දීම යන්න තිබ්බා. මමයි එපා කිව්වේ එදා.

හැබැයි මොන කැක්කුමට ඔබ කෑගැහුවත් ආණ්ඩුව කැක්කුමක් නෑනේ. ඔබේ වචන අහලා පිළියමක් දෙන්න?

ආණ්ඩුව කෙසේ වෙතත් ක්‍රීඩා ඇමැතිතුමා මම කියන දේවල් කවදාවත් ඇහුවේ නෑ. මම දුන්න ලියුමකටවත් උත්තර දීලා නෑ. ඒ නිසා තමයි මම ජනාධිපතිතුමා ගාවට ගියේ. ඒ අය හරි වෙලාවට තීරණය ගනී. ක්‍රිකට් ක්‍රීඩාව විනාශයකට යන්නේ. 

මෙතන තියෙන්නේ ක්‍රිඩාව බේරාගැනීමේ උවමනාවක්ද නැත්තන් සුමතිපාල  - රණතුංග අතර රණ්ඩුවක්ද?

නෑ... ඉස්සර සුමතිපාල පවුලයි අපේ පවුලයි හොඳ මිත්‍රව හිටියේ. ඒත් වැරදි පාරේ යනකොට බලන් ඉන්න බෑ. මෙතන තියෙන්නේ තරහවක් නෙවෙයි. මරාගත්තේ මේ ක්‍රිකට් රැකගන්න. ඒ අය වැරදි මාර්ගේ ගිය නිසා විවේචන කරන්න ගිහිනුයි මේ ප්‍රශ්නය ආවේ. මට විරුද්ධව උසාවි ගිය වෙලාවෙදි මම පෙන්නුවා මොකක්ද ඇත්ත කියලා. මම ඇත්ත කියන නිසයි මිනිස්සු මාව විශ්වාස කරන්නේ. 

එතකොට ඇයි ක්‍රීඩා ඇමැතිතුමා ඔබත් එක්ක පැටලෙන්නේ?

එතුමා කියන්නේ මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් කියලා. හරි පෞද්ගලික ප්‍රශ්නයක් කියන්නකෝ. දැන් මේ ක්‍රිකට්වලට වෙලා තියෙන හානිය ගැන හොයන්න කවුරු හරි දාලා. ඒකත් නෑ. සුමතිපාලලා බුකී ව්‍යාපාරයෙත් ඉන්නවා කියලා මේ රටේ දන්නෙ නැති එකම කෙනා ක්‍රීඩා ඇමතිතුමා විතරයි. රටේ හැම මනුස්සයම දන්න දේ එතුමා දන්නේ නෑ. සුමතිපාලත් එක්ක ඒ දවස්වල ඉඳලා මිත්‍රකම තිබ්බාමට. ඔය ගෙවල් වල ගිහින් කාලා තියෙනවා. එයා අපේ ගෙවල්වල ඇවිත් තියෙනවා. ඒක වෙනම දෙයක්. ඒත් ක්‍රිකටුයි සුමතිපාලයි කියන්නේ දෙකක්. මට පෞද්ගලික ප්‍රශ්න නෑ. 

ඒත් තිලංග සුමතිපාල මහත්තයා කියන්නේ ඔබ ඔහුට විරුද්ධ වෙන්නේ ඔබේ සහෝදරයා වංචාවක් කරලා එළියට දාපු දවසේ ඉඳලා කියලා?

අයියා හිටියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක නිලධාරි හැටියට. කිරිඇල්ල ඇමැතිතුමා ඇමතිවුණ ගමන් තමයි කිව්වේ අපිට ඇවිත් උදව් කරන්න කියලා. ඊට පස්සේ අපි ගිහින් පේන්නුවා ක්‍රිකට් ආයතනයේ වැරදි. ඔන්න එදා ඉඳලා රස්සාව නැතිවුණා. අන්තිමට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වරදක් වුණා කියලා වන්දියක් ගෙව්වා. වරදක් කරලා නෙවෙයි හොරකම නවත්තන්න ගිහිල්ලයි එහෙම වුණේ. අපේ තාත්තලා අම්මලා අපිව හදලා තියෙන්නේ හොරකමක් දැක්කොත් කෑගහන්න කියලා. එයා එහෙම කියනවා නම් එයා නිසා ක්‍රීඩාව විනාශ වෙලා තියෙනවා ගොඩක්. යන්න පුළුවන් ඕනනම් අවුරුදු ගාණකට.

ඇයි තිලංග සුමතිපාල එක්ක ඔබ තරහා?

මම කියන්නේ මට පෞද්ගලික තරහක් නෑ. ක්‍රීඩා ඇමැතිතුමාට තියෙන්නේ හොයන්න මේ සූදු ක්‍රීඩාව කාගෙද? පුවත්පත් කාගෙද? කියලා. මේවා මගේ නෙවෙයිනේ. එහෙම වුණොත් ආණ්ඩුවක් හැටියට අපි දුර්වලයි. 

ඒ වුණාට තිලංග සුමතිපාල කියන්නේ එතුමා ගියොත් ක්‍රිකට් ක්‍රීඩාව ඉවරයි කියලා?

දැනට පේනවනේ එයාගේ පරිපාලනය. මට කියන්න ඇයි මේ රටේ ක්‍රීඩා ඇමැතිවරු තුන්දෙනක් අතුරු කමිටු දැම්මේ. ඒ ක්‍රිකට් ක්‍රීඩාව ගැන තිබ්බ ආදරේට.

ඇයි ඔච්චර දේවල් කරන්න පුළුවන් වෙලත් ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා සද්ද නැතුව ඉන්නේ? කාට බයේද?

සමහරවිට බයට වෙන්නත් ඇති. පේනවනේ එදා කතා කරපු හැටි ඇඟිල්ල දික්කරලා මම බලා ගන්නම් කියලා. එතකොට බය වෙනවනේ. ක්‍රීඩා ඇමැතිතුමාටත් බය ඇති. හැබැයි මම නම් බය නෑ. ඒ කාලේ නම් බය වුණා එයා ගැන දන්න නිසා.

දැන් ඔබත් මේ ආණ්ඩුවේ ඇමැති කෙනෙක්. මේ යහපාලන ආණ්ඩුව තියෙන්නේ. ඉතිහාසයේදීම මේ තරම් ක්‍රිකට් කඩා වැටුණේ මේ ආණ්ඩු සමයේදී. ඒ පාප කර්මයට ඔබත් වගකියන්න ඕන නේද?

ඔව් මමත් වගකියන්න ඕන. ඒ නිසා තමයි ක්‍රීඩා ඇමැතිතුමාට කියලා අහන්නෙ නැති නිසා ජනාධිපතිතුමා ළඟට ගියේ මම. එතුමාව දැනුම්වත් කිරීම මගේ යුතුකම. යහපාලන ආණ්ඩුව බිහි කරන්න බෙල්ල තිබ්බේ අපි. එහෙම කියලා අපි කොයි වෙලාවෙත් තිලංග සුමතිපාල ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ගත්තේ ඇයි? නියෝජ්‍ය කතානායක කමක් දුන්නේ ඇයි? කියලා අපි හොයන්න ගියේ නෑ. ඒවා මට අදාළ නෑ. හැබැයි එයා නිලවරණයකට එනකොට අපි ගිහින් පෙන්නුවා එයා සුදුසු නෑ කියලා. මානව හිමිකම් එකට පැමිණිල්ලකුත් දැම්මා. යහපාලන ආණ්ඩුව වෙලත් තවම ඒ පැමිණිල්ලට වෙච්ච දෙයක් නෑ. ඇමැති කෙනෙක් දැම්ම පැමිණිල්ලටත් එහෙම නම් සාමාන්‍ය මිනිහට කොහොමද කියන්නේ.

ඒ වගේම අද වෙනකොට ක්‍රීඩකයෝ තරග පාවලා දීලා කියලා චෝදනාවක් එනවා?

බොරුනේ. ඒ ක්‍රීඩකයා ගෙදර හිටිය ක්‍රීඩකයෙක්. අන්තිමට නිලධාරින්ගේ වැරැද්දට අහුවුණ් මේ ක්‍රීඩකයෝ. කොච්චර වැරදි දෙයක්ද. ක්‍රීඩකයෝ බිල්ලට දෙන්න නරකයි නිලධාරින්ගේ වැරදිවලට. මේක හැමදාම වුණ දෙයක්. 

ක්‍රිකට්වලින් ඈත් වෙලා නැවත ඔබේ අමාත්‍යංශයට ආවොත් මේ වන විට ඔබටත් චෝදනාවක් තියෙනවා තෙල් සංස්ථාවේ ටෙන්ඩර් සිද්ධියක් සම්බන්ධයෙන්. ඇයි මේ අර්ජුනලට යන යන තැන ලෙඩ වැටෙන්නේ?

ප්‍රශ්න වැටෙන්න හේතුව තමයි යන යන තැන අපි හොරකම නවත්තනවා. උදාහරණයක් කියන්නම් බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තෙල් ටෙන්ඩරයක් තිබ්බා. ඒ ටෙන්ඩරය සම්බන්ධයෙන් චෝදනා සහ පැමිණිලි ආවා. මම ඒක නැවැත්තුවා. නැවැත්තුවම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන ආර්ථික කමිටුවේදි මේක සාකච්ඡා කළා. එතනදි කට්ටිය මට කිව්වා මේ වැඩෙන් අවුල් වෙනවා කියලා. එතනදි මම කිව්වා එහෙනම් ඒ වගකීම ඔයාලා ගන්න කියලා. ඊට පස්සේ අගමැතිතුමා කිව්වා ඔයා මේ වැඩේ කරගෙන යන්න කියලා. අන්තිමට ඒකෙන් ඩොලර් මිලියන 03ක ලාබයක් හෙව්වා. ඒ මගේ සල්ලිද? මෙතන තියෙනවා මාෆියාවක්. 

මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේ හැම අවුලක්ම පටන් ගන්නේ ඔබේ සහෝදරයත් එක්ක?

එයානේ පටන් ගන්නේ මේවා හොයන්න. මට ඇමැතිවරයා හැටියට හැම තැනම රිංග රිංග හොයන්න බෑනේ. එයා සභාපති හැටියට ඒවා හොයන්න ඕන. එයා විශාල කැපවීමක් කරලා මෙහෙම ඇවිත් ඉන්නේ රටක් හදන්න. සමහර අය ඉන්නෙ වෙන ඇමැතිවරු අල්ලගෙන තවමත් සුපුරුදු දේ කරනවා. හැබැයි අපි යන තැන ඒවා කරන්න බෑ. අපේ අයට කියලා තියෙන්නේ හොරකම් කරලා නම් අහුවෙන්න එපා කියලා. 

සමහර වංචාවලට සමහර නිලධාරිනුත් වගකියන්න ඕන කියලා දැන් පේනවා නේද?

නෑ.. නෑ.. සමහර දේශපාලනඥයෝ නිලධාරින් අසරණ කරලා තියෙනවා. ඒත් අපි එහෙම කරන්නේ නෑ. අවාසනාවන්ත ලෙස වැරදිවලට පැටලුණු නිලධාරින් අවසානයේ දුක් විඳිනවා. ඒ නිසා අපි ඉන්න කල් එහෙම කරන්න දෙන්නේ නෑ. මේවා කරන්න දෙන්නේ නෑනේ එක්තරා වෙබ් අඩවියක්. අපෙන් ඇඩ් ඉල්ලලා නොදුන්නම අපිට ගහනවා. හැබැයි ඔහොම එක එක හෙංචයියන්ට මම බය නෑ. 

ඔබ කතා කළ හැමතැනම දූෂණ, වංචාව. යහපාලනය වෙලත් තාම බැරිවුණා ඒවා නවත්තන්න. ඔබ ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරිමෙන්ද?

ආණ්ඩුවක් හැටියට සතුටක් තියෙනවා. හැබැයි ක්‍රිකට්වලට වෙලා තියෙන දේ ගැන කලකිරීමක් තියෙනවා. 

ගයාන් ගාල්ලගේ