2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ආණ්ඩුව සේරම අල කරගෙන

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

- ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

ඔබලා පසුගිය කාලයේ වේදිකාවල බෙරිහන් දීලා කිව්වා ආණ්ඩුවේ කට්ටියක් ඒකාබද්ධයට එනවා කියලා. කෝ තාම නෑනේ?

ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරැ පිරිසක් ගිවිසුම් කාලයෙන් පස්සේ ආණ්ඩුවෙන් ඉවත් වන බවට ඒ අයට ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් සමඟ ඒ අය අපේ අයත් එක්ක සාකච්ඡාවල් ගණනාවක් පැවැත්වුවා. ඒ කිසිම දෙයක් අසත්‍ය නෙවෙයි. ඒ අය නම් තීන්දුවක් ගනී කියලා අපිත් ජනතාවත් බලන් ඉන්නවා. 

ඒත් දැන්නම් අපිට ආරංචිය කියන්නේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට යනවා කියලා?

ඒකාබද්ධයෙ අය යනවා කියලා ඒකාබද්ධය පටන් ගත්ත දවසේ ඉඳලා කියනවා. අවුරුදු දෙකාමාරක් තිස්සේ. ඒත් සිද්ධ වුණේ නෑනේ. සිද්ධ වුණේ ශ්‍රී ලංකා අය එකතු වීම විතරක් නෙවෙයි එජාපය ඇතුළෙත් අවුලක් ඇතිවීම. දේශපාලනයේ අපි කලබල වෙන්න නරකයි. 

ඒත් ආරංචිය හැටියට නම් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ආණ්ඩුවට යනවා කියලා. ඒක ඇත්තද?

නෑ.. එහෙම එක්ක නෑ. ඔය වගේ ආරංචි විටින් විට ආණ්ඩුව විසින්ම පතුරවනවා. ඒ ආණ්ඩුව පවත්වගෙන යන්න බැරිකම නිසා. 

මේ රජය ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන්නෙ නැහැ

ආරංචිය හැටියට නම් ඒකාබද්ධය ඇතුළෙත් මත ගැටුම් නිසා සමහර මන්ත්‍රීවරැ කලකිරීමෙන්ලු ඉන්නේ?

වෙන වෙනම පක්ෂ හැටියට ඒකාබද්ධය ඇතුළේ මත තියෙනවා. ඒ මත තබාගෙන තමයි එකඟ වෙන්න පුළුවන් කරුණුවලට එකඟ වෙලා ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගිලා තියෙන්නේ. එහෙම නැතුව විශේෂ ගැටලුවක් තවම ඇතිවෙලා නෑ. ඒකාබද්ධය ඉදිරියට යනවා. 

ඒකාබද්ධය තුළ නායකයෝ ඉස්මතු වෙන්න හදන තත්ත්වයක් තියෙනවා නේද?

නෑ එහෙම තත්ත්වයක් නෑ. එහෙම ඉස්මතු වීමට හේතුවතුත් නෑ. ජනමාධ්‍යයටත් හොඳ හොඳ “නිව්ස්” දාන්න ඕන නේ. උණු කැවුම් කොකිස් තමයි ඕන. ඒකයි ඔය ඉස්මතුවීම පේනේන්.

මොනවා වුණත් ආණ්ඩුව ගේන හරි දේකට පවා බාල්දි පෙරළලා වැඩේ අල කරන්න නම් දන්නවා නේද?

ආණ්ඩුව හරි දේ කිරීම සඳහා තමයි අපේ බලපෑම දිගටම අරගෙන යන්නේ. ඒ අනුව තමයි අපේ විවේචනය සහ විරුද්ධ වීම සිදුවන්නේ. යම් යම් පනත්වල වගන්ති දෙසීයක් තියෙනවා නම් එකෙන් 05ක් වැරදි නම් ඒකට අපි විරුද්ධ වෙන්න ඕන. ඒකයි අපේ වගකීම. ඒක රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කරන දෙයක්. ඒක කඩාකප්පල්කාරි කියලා අර්ථ කථනය කළාට කමක් නෑ. මොකද අපිට ජනතාවටත් රටටත් ද්‍රෝහී වෙන්න බෑ. 

දැන් ඔබ ඔබලා කියන්නේ ඔබලාගේ ආණ්ඩුවක් ආපුවම මේ ආණ්ඩුව කරන දේවල් වගේ වෙනස්කම් කරනවා කියලා. ඉතින් මේ ආණ්ඩුවත් එක්ක ඒ දේවල් ටික කරන්නකෝ?

නෑ අපි එහෙට එහෙම ගැටලුවක් නෑ. දැන් බලන්න අපි තමයි මැතිවරණ ක්‍රමය ගෙනාවේ. අපියි සම්මත කළේ. නමුත් ආණ්ඩුව තවමත් මැතිවරණය තියාගන්න බැරිවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක තියන්න හදනකොටම පළාත් සභා ටික කල්දමන පනතකුත් ගෙනාවා ආණ්ඩුව. ආණ්ඩුවේ අවශ්‍යතාවය, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම ගැන කිසිම විශ්වාසයක් අපිට නෑ. ඉතින් ඒ නිසා තමයි මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන අපිට විස්වාසයක් නැත්තේ. හැබැයි අපි ගොඩක් දේවල් වලට සංශෝධන ඉදිරිපත් කළා. වැරදි නිවැරදි කළා. ඒ වගේ සාධාරණ දේවල් කරලා තියෙනවා. 

දේශප්‍රේමින් ආදරේ පක්ෂයට නොවේ රටට

ආණ්ඩුවේ අවංකභාවය ඔබලට ගැටලුවක්. ඒත් අවුරුදු දහයක් ආණ්ඩුව කරපු ඔබලාගේ අවංකභාවය පිළිබඳව ඔබලම ප්‍රශ්න කරන්න ඕන නේද දැන්?

දැන් මොකක්ද අපේ අවංකභාවයේ ගැටලුව. මැතිවරණ පැවැත්වුණා නියමිත දිනයේදි විපක්ෂයට කිසිම කරදරයක් නැතුව විපක්ෂය හැටියට කටයුතු කරන්න සහයෝගය දුන්නා. විපක්ෂයේ අයට ආණ්ඩුවට ඇවිත් නැවත විපක්ෂයට යන්න අවස්ථාව දුන්නා. මේ දේවල් ඊයේ පෙරේදා වුණු දේවල්. මේවා අමතක වෙන්නේ නෑනේ. ඒ ආණ්ඩුවේ අඩුපාඩු තියෙන්න ඇති. අඩුපාඩුකම් නැති ආණ්ඩු නෑ. අපි තිස්වරක යුද්ධය ඉවරකරලා අර්බුදකාරී රටක් ඉදිරියට අරන් ආවා.

ඔබේ කණ්ඩායමේ හැමෝම කියන්නේ යුධ ජයග්‍රහණය ගැන. ඒත් ඔබලට චෝදනා එල්ල වෙන්නේ යුද්ධයෙන් පසුව සිදුකළ අත්නෝමතික ක්‍රියා ගැන. මෙතනයි ප්‍රශ්නය තියෙන්නේ. ඒ ගැන වචනයක් කියන්නේ නෑ ඔබලා?

ආණ්ඩුව ඔප්පු කරන්න ඕන ගිය ආණ්ඩුව වැරදියි කියන දේ. ඒකයි නීතිය ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්. සමහර දේවල් කිව්වට සාක්ෂිත් නෑ. ඒත් බලන්න එදා අපි යුද්ධය ඉවර නොකළා නම් මේ වනකොට රටවල් දෙකක්. අන්න එක මේ ජාතියට සුළු දෙයක් හැටියට සලක්න බෑ. මෙන්න මේ අභියෝග මත තමයි රට පාලනය කළේ. එවා පශ්චාත් අභියෝග. ඒවා සුළුවට තියන්න බෑ. ඒ නිසා දේශප්‍රේමිත්වය කියන්නේ පක්ෂයට ඇති ආදරය නෙවෙයි මේ රටට ඇති ආදරය. 

ඔච්චර අභියෝග මැද ආණ්ඩුව කරලත් නිවැරදි මාවතක් නොපෙණුනු නිසා නේද ජනතාව ප්‍රතික්ෂේප කළේ?

ජනතාව ප්‍රතික්ෂේ කරපු ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට දැන් රටට හෙළිවෙලා ඉවරයි. මේ අඩුපාඩු නෙවෙයි ඉස්සෙල්ලා ආණ්ඩුව ආපු සංවර්ධන වේගයෙන් දශමයක්වත් මේ ආණ්ඩුවට යන්න බැරිවෙලා තියෙනවා. ජනතාවගේ අවසාන අරමුණ. රටේ ආරක්ෂාව, තමන්ගේ දියුණුව ඒ අතරතුර පොඩි පොඩි ප්‍රශ්න වලට තීන්දු දෙනවා. ඒ තීන්දු මෙහෙයවන්නේ ජාත්‍යන්තරය.

ජනතාවගේ ඡන්දය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හෑල්ලු කරන්න නරකයි නේද?

ජාත්‍යන්තරව රටවල් එකතුවෙලා සැලැස්මත් හැදුවා රෙජීම් චේන්ජ් කියලා. මේ රෙජිම් චේන්ජ් මොඩලයෙන් තමයි ඉස්සල්ලා ආණ්ඩුව පෙරළුවේ. ඒ වෙනුවෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව විවිධ සංවිධානවලට දුන්නු මුදල් අද වෙනකොට අමෙරිකානු කොංග්‍රස් සභාවෙත් කතා වෙනවා. ඒවා මත තමයි අපි මේවා කියන්නේ.

අපි නිසයි බැඳුම්කර වංචාව එළියට ආවේ

එහෙම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා නම් කොහොමද ඔබලා ජනතාවගේ ඡන්දය ගැන විශ්වාසයක් තබාගන්නේ?

ජනතාව දැන් අත්දැකීමෙන් ලබලා තියෙනවා. මේ වගේ පෙරළි ලෝකයේ වෙලා තිබෙනවා. ඒ වගේම ජනතාව ඒක නිවැරදි කරලත් තියෙනවා.

මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය නිසා නොවේද ගහාමරගන්න පක්ෂ දේශපාලනය වෙනුවට එකතුවෙලා රටක් කරන්න පුළුවන් තැනකට ඇවිත් තියෙන්නේ?

ඒක හොඳයි මහා දර්ශනවාදී ප්‍රකාශන කරන අයට. ප්‍රායෝගිකව රටට හොඳක් වෙලා නෑනේ. රාජ්‍ය පාලනය කඩා වැටිලා. ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටිලා. ඡන්ද අයිතිය කඩා වැටිලා. කරලා තියෙන්නේ ව්‍යවස්ථාවේ ඇමැතිවරු 30යි කියලා තිබ්බ ඒක 50 කරගන්න එක විතරයි. ඒක විතරයිනේ කරලා තියෙන්නේ. රටට කරපු යහපතක් නෑනේ.

ඔබ ඔහොම කිව්වට ජනාධිපතිවරයා කියලා තියෙනවා ඒකාබද්ධයේ කට්ටිය රෑට රෑට එතුමාව හම්බවෙනවා කියලා. මේක රෑ දැනියෙල් දවල් මිගෙල් වැඩක් නේද?

ජනාධිපතිතුමාට රෑට හම්බුණත් දවල්ට හම්බුණත් ඒකාබද්ධයේ අය කතා කරලා තියෙන්නේ රටේ බරපතළ ප්‍රශ්න ගැන. එහෙම නැතුව තමන්ට තනතුරැ ගන්න නෙවෙයි. ජනාධිපතිතුමත් ඒවා අහගෙන ඉන්නවා නම් ඒ ඒකාබද්ධ විපක්ෂයේ අයගේ අදහස් නෙවෙයි. ඒ ජනතාවගේ අදහස්.

ඒ කියන්නේ වටේ විස්තර කියලා ජනාධිපතිතුමවත් ළඟින්ම ඇසුරු කරනවා ඒකාබද්ධයේ අය?

නෑ... අපි නම් නෑ... ඒත් ශ්‍රීලනිපයේ අය ආණ්ඩුවේ අයත් එක්ක සාකච්ඡා කරනවා. මොකද මේ එකම පක්ෂයේ සහෝදරයෝනේ. ඒවා නවත්තන්න බෑ. අපේ අය ආණ්ඩුවේ ශ්‍රීලනිප අයට කියනවා මෙහෙම දේවල් වෙනවා කියලා. ආණ්ඩුවේ අයත් අපිට කියනවා යු.ඇන්.පී එකේ අය මේ වගේ දේවල් කරනවා කියලා. ඒ තොරතුරු ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. ඒ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේත් නෑ. ඒ නිසානේ බැඳුම්කර වංචාව මෙච්චර දුර ආවේ.

සමහර ඇමැතිවරු ඉන්නෙ කනගාටුවෙන්

ඔය ශ්‍රීලනිප සහෝදරයන්ට එකතු වෙන්න දෙන්නේ නැත්තේ ඔබලා කියලා චෝදනාව තියෙන්නේ?

එහෙම චෝදනා කිරිම සාධාරණ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය වැඩි වැඩියෙන් මහින්ද රාජපක්ෂ මහත්තයගේ ගොඩට එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ රටේ තියෙන තත්ත්වය නිසා.

ඔබ ඉස්සෙල්ලා කිව්වා බැඳුම්කර වංචාවක් හෙළිකළ කියලා. දැන් කොමිසමක් දාලා මේ ගැන හොයනවා. ඇමැතිවරු අයින් වෙනවා. මේ දේවල් ගිය ආණ්ඩුවේ වුණේ නෑනේ. මේකනේ ජනතාව පැතුව වෙනස?

ආණ්ඩුවට ඔය තීරණය ගන්න වුණේ ඒකාබද්ධ විපක්ෂය පාරට බැහැලා සටනක් මෙහෙයවලා සිදුකරපු බව කවුරුත් අමතක කරන්න නරකයි. ඒකයි ඇත්ත. ඒ නිසා අපි දැන් යන කොමිසමේ වැඩ කටයුතු බොහොම හොඳින් බලාගෙන ඉන්නෙ. කොහොම වුණත් අපි මේ සටන පටන් නොගත්තා නම් කිසිදෙයක් වෙන්නෙ නෑ.

අගවිනිසුරුවරියක් එළියට දැම්ම ඔබලගේ ආණ්ඩුවට මේ වගේ කොමිසමක් ස්වාධීනව කටයුතු කරන එක පුදුමයක් වෙන්න ඕන නේද?

අගවිනිසුරු ඉවත් කිරීම ගැන කතා කරන්න මම සූදානම් නෑ. මොකද මේ ආණ්ඩුවත් නීති විරෝධීව ඒ වැඩේ කළානෙ. එක දවසෙන් අගවිනිසුරු කෙනෙක් පත් කළානෙ. ඒ වගේම අගමැති කෙනෙක් ඉන්නකොට අගමැති කෙනෙක් පත් කළානෙ. මේවා අමතක වෙච්ච සිද්ධි ලෙස කොලේ වහන්න හදනවා. ඒත් ඒවා දිහා බලනකොට අපිට වැරදියි කිව්ව අය ඊටත් වඩා බරපතළ විදිහට වැරදි කරලා තියෙනවා. ඒ නිසා අපේ රටට අවශ්‍ය වන්නේ යහපත් ප්‍රතිපත්තිගරැක දේශපාලනයක් ක්‍රියාත්මක වීම. ඒ වෙනුවෙන් තමයි අපි කැප වෙන්නෙ.

දැන් ඔබලගෙ පක්ෂය මොකක්ද? පොහොට්ටුවද?

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ රාශියක් තියෙනවා. නායකත්වය දරන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා. පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වය දරන්නෙ මම. පක්ෂ ගණනාවෙන් පොහොට්ටුව එක් පක්ෂයක්. ඒ වගේ තව පක්ෂ ගණනාවක් තියෙනවා. අවසානයේ දී මැතිවරණයක දී තීරණයකට එනවා.

ඔබ දෙගිඩියාවෙන් කතා කරන්නෙ. ඒත් හිටපු ජනාධිපතිතුමා කියලා තිබ්බා තරග කරන්නෙ පොහොට්ටුවෙන් කියලා?

ඒ ගැන දැම්ම මට පිළිතුරක් දෙන්න බෑ. අපි ඉස්සරහදි කියන්නම්.

අපි කළ සංවර්ධනෙන් දශමයක්වත් මෙයාලා කළාද?

වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රීලනිප මැති ඇමැතිවරු පිරිසකට කියලා තියෙනවා, හිටපු ජනාධිපතිවරයා සමඟ එක්ව දේශපාලනය කරන්න කැමතියි කියලා. මේ අය එකතුවෙලා අතින් තරග කළොත් ඔබලට මොකද වෙන්නෙ?

කිසිදෙයක් වෙන්නෙ නෑ. අපි මේ සමුද්‍රයේ චණ්ඩමාරුතයත් එක්ක අවුරැදු තිහ හතළික් ඉදිරියට ආපු පක්ෂයක්. කිසිම කලබලයක් අපිට නෑ. රටට යහපතක් වෙනවා නම් කමක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ ඉඳලම වමේ පක්ෂ එක්ක ගනුදෙනු කරලා තියෙනවා.

දැන් ඔබලා වෙනම දේශපාලන ගමනක් යනවා. හිටපු ආරක්ෂක ලේකම්තුමා සංවිධානයක් හදාගෙන ගමනක් යනවා. මේ දෙගොල්ලොම යන්නෙ එකම පාරෙද?

ආරක්ෂක ලේකම්තුමා දේශපාලන පක්ෂවල සාකච්ඡාවලට ඉඳලා නෑ. ඒ නිසා මට කියන්න බෑ. නමුත් රටේ දේශපාලන සංවිධාන ඇතිවෙනවා. නොවන ඒවත් එකතු වෙනවා. හැබැයි මේ හැමදේම ජනතාව වෙනුවෙන් බිහිවෙන්නෙ.

ආරංචිය තියෙන්නෙ හිටපු ආරක්ෂක ලේකම්තුමා 2020 ජනාධිපති අපේක්ෂකයා කියලා. ඇත්තද?

දැනට තියෙන ප්‍රශ්නය ඡන්දයක් පවත්වා ගැනීම. දැන් අපි දඟලන්නෙ මේ ආණ්ඩුව යටතේ පළාත් පාලන මැතිවරණය පවත්වා ගැනීම. ඊටපස්සෙ පළාත් සභා. අඩියෙන් අඩිය ඒ ගැන කල්පනා කරලා තමයි ඉදිරිය ගැන තීරණ ගන්න ඕන. අපේ රට ඒකාධිපති ක්‍රමයකට හැරැණොත් ආයි ඡන්ද නෑ. ඒක මතක තියාගත්තොත් හොඳයි.

ඇත්තද මේ විශ්වාසභංග ඒකාබද්ධය ගේන්නෙ ආණ්ඩුවේම ඉහළ ඉන්න කෙනෙක්ගෙ වුවමනාව මත කියලා?

ලෝකයේ සෑම පාර්ලිමේන්තුවකම ආණ්ඩුවේ ඇතුළෙ ඉන්න අයත් විපක්ෂයෙ විශ්වාසභංගවලට සහයෝගය දෙනවා. ඒ අර්බුදය උත්සන්න වුණාම. ඔය ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරුන් ඉන්නෙ විවිධ ක්ෂේත්‍රයන්වලට සිදුවෙලා තියෙන දේ ගැන කනගාටුවෙන්.

ඒ කියන්නෙ මේ විශ්වාසභංග කට්ටිය එකතුවෙලා ප්ලෑන් කරලා ගේන්නෙ නේද?

ප්ලෑන් නැතුව කරන්නෙ නෑ.

කොච්චර ප්ලෑන් තිබ්බත් ඒකාබද්ධයට පාර්ලිමේන්තුව ඇතුළෙ විනය පවත්වාගෙන යන්න තවම ප්ලෑන් එකක් නෑනෙ ඔබලට?

කිසිම කඩාකප්පල් කිරීමක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව අංක ගණිතය බාරදීලා තියෙනවා පාර්ලිමේන්තුවට. අංක ගණිතයට අනුව 16, 52ට වඩා වැඩි වෙන්නෙ නෑ. අපේ 52 ඉන්නවා. සම්පන්දන් මහත්තයගේ ටී.එන්.ඒ. එකට 16 යි. ඒ අයට විරුද්ධ පක්ෂයේ නායකකම දීලා තියෙනවා. එතකොට කොහොමද පාර්ලිමේන්තුවේ විනයක් තියෙන්නෙ. විනය එන්න ඕනෙ ඉහළ ඉඳලා පහළට. මේ 52 ගණන් ගන්නෙ නෑ කියන්නෙ ලෝකෙ කොයි පාර්ලිමේන්තුවෙද ඉවසන් ඉන්නෙ.

විපක්ෂ නායකකම දෙනකල් වැඩේ අලකරන එක නවත්වන්නෙ නැද්ද?

අලකරගන්නෙ ආණ්ඩුව. ඒ අය මුල ඉඳලම අලකරගත්තනෙ. අපි නෙමෙයි අලකරගත්තෙ. වරමක් නැති ආණ්ඩුවක් නිසානෙ වැඩේ අලවෙලා තියෙන්නෙ. විරුද්ධ පක්ෂයත් ආණ්ඩුවේ තියාගන්න තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නෙ. 

අද රාජ්‍ය පාලනේ කඩා වැටිලා

ඔබතුලත් කාලයක් විපක්ෂය පාලනය කළානෙ?

අපි කවදාවත් විපක්ෂය පාලනය කළේ නෑ. අපි විපක්ෂය පවත්වාගෙන යන්න සහයෝගය දුන්නා. විපක්ෂ නායකතුමාට අර්බුදයක් අසාධාරණයක් වුණාම විපක්ෂ නායකකම් විතරක් නෙමෙයි පක්ෂ නායකකම රුකගන්නත් අපි උදව් කළා. ඒක ආණ්ඩුවේ යුතුකමක්නෙ. ඒත් අද විපක්ෂ නායක වෙන්න ඕන මහින්ද රාජපක්ෂ. කෝ කිසිම සහයෝගයක් ලැබෙන්නෙ නෑනෙ. පුදුම කරදරයක්නෙ තියෙන්නෙ.

ඒ කරපු දේවල් නෙමෙයිද පස්සෙන් එන්නෙ?

නෑ. මම හිතන්නෙ නෑ. අපි කළේ හොඳ හිතින්. අපිට අවශ්‍ය මේ යුගය වෙනස් කරන්න.

ඔබලගෙ යුගයේ කරපු දේවල් නිසා නෙවේද අද වෙනකොට ජනාධිපති ලේකම් කෙනෙක්ට සිරබත් කන්න වුණේ?

අපි මැරිලා ඉපදිලා නෑ. අපිට මතකයි ලෝකයේ රටවල් 77 ක් රාජ්‍ය නායිකාවක් ලෙස පිළිගත්ත සිරිමාවෝ අගමැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ඒත් ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙදි. මේ වගේ ඒවා ඉතිහාසයේ අමතක සිද්ධි ලෙස ගණන් ගන්න එපා. යූ.එන්.පි ආණ්ඩුවක් පාලනය කරන්නෙ ආණ්ඩුව පවත්වාගෙන යන්න මිසක් රට පාලනය කරන්න නෙමෙයි.

ඔබලගේ මේ සටනෙහි අවසාන ප්‍රතිඵලය මොකක්ද?

මහජනතාව ඡන්දය පාවිච්චි කරලා ජනතාවගේ ජයග්‍රහණය තහවුරු කරන්න. ඒක තමයි අපේ ජයග්‍රහණය.

ඒ කියන්නෙ ඔළු ගෙඩි මාරැවලින් ආණ්ඩු අල්ලන කතා බොරු?

ඔළු ගෙඩි මාරුවෙනවා. ඒවා පාර්ලිමේන්තුවල සිද්ධ වෙනවා. මහජනතාවගේ ඉල්ලීමට ඔය ඔළු ගෙඩි මාරුවේවි.

ඇත්තද 2020 ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට ඔබේ නමත් තියෙනවා කියන්නෙ?

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෝ කවුරැත් තෝරලා නෑ.

ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00