2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

මම සූදුවට ක්‍රිකට් පාවා දීලා නැහැ

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 117

- නියෝජ්‍ය කථානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල

 

තිලංග සුමතිපාල කියන්නේ සෑම රාජ්‍ය නායකයෙක් ළඟින්ම ඉන්න චරිතයක්. තිරයෙන් පිටුපස ඉඳිමින් රාජ්‍ය නායකයින් යම් ආකාරයක හැසිරවීමක් ඔබ කරනවද? කොහොමද එහෙම වෙන්නේ?

ප්‍රථමයෙන්ම කියන්න ඕනේ මම නායකයන් හසුරුවන්නේ නෑ. හැබැයි අපි දරන මතය තුළ තියෙන මූලධර්මය සමඟ ගැළපෙන පක්ෂයත් එක්ක වැඩ කරන්න නිතරම උත්සාහ ගන්නවා. එතකොට අපි ක්‍රියාත්මක වෙන්නේ පක්ෂයේ නායකයන් පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක.  ඒ වගේම මට විනයක් තියෙනවා. ඒ තමයි මගේ නායකයත් එක්ක වැඩකරන එක. එහෙම වැඩ කරනකොට නායකයගේ අදහස්වලට ගරු කරන්න ඕන. අපිට මත තියෙන්න පුළුවන්. අදහස් තියෙන්න පුළුවන්. ඒත් අපේ මතවාදයන් එක්ක පක්ෂයේ ප්‍රතිපත්ති නායකයා සමඟ ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් අපිට පැවැත්මක් තියෙනවා. නායකත්වය විවේචනය කරමින් ගමන් යනවා නම් පැවැත්මක් නෑ ඕනෑම තැනක. මේ ප්‍රතිපත්ති අනුගමනය කරලා වැඩකළ නිසා තමයි නායකත්වයෙනුත් මට ගෞරවයක් තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් නිසා වෙන්න ඇති ඔබට එහෙම පෙනෙන්නේ.

ඒ කියන්නේ ඔබගේ මේ විනය නිසයි මේ විශ්වාසය ගොඩනැගෙන්නේ?

අපි නිතරම හිතන්න ඕනේ රට ජාත්‍යන්තර වශයෙන් ඔසවා තබන්නේ කෙසේද කියලා. ඒ මූලධර්මයට එකඟ මිනිස්සු හැමතැනකදීම එකතු වෙනවා. එහෙම බැරි අය යනවා. හැමතිස්සේම ඒ ප්‍රතිපත්ති මත තමයි දේශපාලන නායකත්වයක් සමඟ අපි එකතුවෙන්නේ.

ආණ්ඩුව වැටුණා කියලා ජනාධිපති ඉල්ලා අස්වෙනවද

ඒ ප්‍රතිපත්ති කොහොම වුණත් ආණ්ඩුව ප්‍රතිපත්තියක් නැති වැඩ නිසා නැති ප්‍රශ්න ඇතිකරගෙන තියෙනවා නේද?

මට එක උදාහරණයක් කියන්න.

දැන් බලන්න සයිටම් ප්‍රශ්නය, ඒ වගේම රටේ සම්පත් විකුණනවා කියලා චෝදනා එල්ල වෙනවා. මේවා සුළුපටු නෑ.

මම කියන්නේ එහෙම ප්‍රශ්න නොවුණා නම් තමයි ආණ්ඩුවක් නොවන්නේ. රජයක් හැම තිස්සෙම අභියෝගාත්මකයි. ඒ අභියෝගය මැද රජයට පුළුවන් වෙන්න ඕන තමන්ගේ ප්‍රතිපත්තියේ ඉඳිමින් ජනතාවට, රටට බහුතර වාසියක් සිද්ධ වෙනවා කියලා කියන්න. එතනදී මේ අවස්ථාව කියන්නේ විශේෂ දෙයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ වෙනම මූලධර්මයක් තියෙන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ තවත් මූලධර්මයක් තියෙන පක්ෂයක්. මේ දෙක එක එකතුවෙලා ආණ්ඩු කිරීම අභියෝගාත්මකයි. නමුත් මේ අවස්ථාව සුරම්‍ය අවස්ථාවක්. මේ තමයි ව්‍යවස්ථාව ගැන හිතන්න ඕන කාලය. රටේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව තමයි අපි හැමෝගෙම මාර්ගය. ඒ ව්‍යවස්ථාවේ අපි දැක්ක ප්‍රධාන කරුණු කිහිපයක් තමයි අපි මේ වෙනස් කරන්න යන්නේ. දැන් බලන්න මෛත්‍රිපාල මහත්තය කිව්වා මනාපයට තිත කියලා... ඒ දේ කළා. මේ රටේ මිනිස්සු එකතු වුණානේ ඒක නැති කරන්න. ඒ දේ කාට බැරිවුණත් මෛත්‍රීපාල මහත්තය කළා ගිය සතියේ. මේක අමාරු කාර්යයක්. කාටවත් තනියම කරන්න බෑ. මේ පිනම ඇති මෛත්‍රිපාල මහත්තයට. බලන්න මේ මනාප ක්‍රමය නිසා අමු අමුවේ මහ දවල් මිනිස්සු මරාගත්ත රටක්. භාරත ලක්ෂ්මන් වෙඩි තියලා මරණවා. ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එල්ලුම් ගස් යනවා. මේ මනාප ක්‍රමය නිසා. ඒ නිසා උස් මිටි පහත් තැන් ඇති අපිට මූල්‍යමය වශයෙන් පහසු වෙන්නත් පුළුවන්. ඒත් අපි ඊළඟ පරම්පරාවට හොඳ පාලන ක්‍රමයක් හදලා යන්න ඕන.

ඔබ මේ පැවැත්ම ගැන කතා කරනවා. ඒත් ඔබේම පක්ෂයේ පිරිසක් මේ පාලන ක්‍රමය යහපත් නෑ කියලා යන්න යනවා. මිනිස්සුන්ට හිතාගන්න බෑනේ කවුද හරි දේ කියන්නේ කියලා?

නෑ ඒක ස්වභාවිකයිනේ. මහින්ද රාජපක්ෂ මහත්තය 17 දෙනෙක් යූ.ඇන්.පී. එකෙන් කඩලා ආණ්ඩුවක් හැදුවා. ඒ වෙලාවේ යුද්ධය හිමිකර ගැනීම සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන නිසයි එහෙම කළේ. එනිසා කාලයෙන් කාලයට ඒ ඒ අයගේ අදහස් මතවාද ඉස්මතු වෙනවා. මේ පළමු අවස්ථාව නෙමෙයි.

මෙතන වෙන්නේ ශ්‍රීලනිපය දෙකඩ කැඩිලා නායකයෝ දෙන්නෙක් බිහිවෙන එක. මහින්ද මෛත්‍රීට මෛත්‍රී මහින්දටත් දොස් කියනවා....

මහින්ද මහත්තයා මෛත්‍රීපාල මහත්තයා විවේචනය කිරීම සාමාන්‍ය දෙයක්නේ. මෛත්‍රී මහත්තය මහින්ද මහත්තයා වගේ විශාල දේශපාලන පවුල් පසුබිමකින් ආපු කෙනෙක් නෙමෙයිනේ. බොහෝම ග්‍රාමීය මට්ටමින් ආපු කෙනෙක්. මහින්ද මහත්තයා මෛත්‍රී මහත්තයාව විවේචනය කරන එකට අපි එකඟ නෑ. ඒත් අපිට ඒක නවත්තන්න බෑ. එක් පක්ෂයක් හැටියට දිනෙන් දින ජනතා විශ්වාසය දිනාගනිමින් පක්ෂය ගොඩනැගෙනවා. පක්ෂයේ පැරැණි සාමාජිකයෝ පක්ෂය පවුල්වලට යටවෙනකොට මේ අපේ පක්ෂය නෙමෙයි කියලා අතහැරියා. පංච මහා බලවේගයක් එක්ක ආරම්භ වුණු පක්ෂයක්. ඒත් පක්ෂයේ විශ්වාසය පහුගිය කාලයේ පලුදු වුණා. සභාපති මහින්ද මහත්තයා, කථානායක චමල් මහත්තයා, ජාතික සංවිධායක බැසිල් මහත්තයා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගෝඨාභය මහත්තයට, තරැණ සංවිධානය සම්පූර්ණයෙන් නාමල් සහෝදරයට. මේක පවුලේ පක්ෂයක් වුණානේ. එවැනි පවුලක පක්ෂයක් ප්‍රතිපත්තියක් එක්ක යන්න පුළුවන් පක්ෂයක් බවට පත්වුණා පහුගිය අවුරුදු දෙකේදී. ඒ නිසා බිම් මට්ටමෙන් ජනතාව එකතුවෙනවා.

ක්‍රිකට් තරගවලට - තේරීම් වැඩට මම ඇඟිලි ගහන්නෙ නෑ

මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් කියන්නේ සැබෑ ශ්‍රීලනිපය තියෙන්නේ ඔවුන් ගාව කියලා.

එහෙම කියන්නේ දිනේෂ්. විමල්, ගම්මන්පිල වගේ අයනේ. අලුතින් ආපු අයත් ඉන්නවානේ.

පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ විනය පිරිහිලා මන්ත්‍රීවරු සෙංකෝලේ කෑලි කෑලිවලට කඩනවා. මෙහෙම කොහොමද රටක් ඉදිරියට ගෙනියන්නේ?

ඔය සියලු මන්ත්‍රීවරු නටන්නේ භූමිකාව මොකක්ද කියලා හඳුනාගන්න ඕන. සෙංකෝලේ කියන්නේ සභාවේ සංකේතවත් දෙයක්. අපි දැන් බුදුන් වඳින්නේ නෑනේ මල් තියන්නේ නැතුව. එහෙම ගියහම මූනිච්චාවට පන්සල් ගියා වගේනේ. මේ සංකේතවලින් කරන්නේ ආයතනයේ ගුණාත්මකභාවය ඓතිහාසික වටිනාකම, අභිමානය පෙන්නුම් කරන එක. අපි හිතනවා නම් මේවා විනාශ කරන්න ඕනේ. සම්ප්‍රදායන් කඩන්න ඕන කියලා. වෙන්නේ අපි නියෝජනය කරන ආයතනයේ ගෞරවය විනාශ වෙන එක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නම් මම තමයි උත්තරීතර ආයතනයේ නියෝජිතයා. ඒ නිසා මෙහෙම කරන්න ඕන කියලා. ඒ අයට තමයි ඒ ගෞරවය කෙළසලා තියෙන්නේ. මේවා ඒ ඒ පක්ෂවල නායකයෝ දැනගන්න ඕන මේවා කියලා දීලා නවත්වන්න. ඒ නිසා පහළ ඉන්න කට්ටිය ආයතනය නියෝජනය කරන්න ගන්නවා නම් විභාගයක් තියලා ගන්න ඕන. එතකොට මේ අයට ප්‍රාථමික දැනුමක් එනවා. පක්ෂ නායකයොත් දැනගන්න ඕන විධිමත් පුහුණුවක් තියෙන අයට තැන දෙන්න.

ඔබ ආසාම කරන විෂය වන ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කළොත් විශාල කඩා වැටීමක් තියෙනවා. හැමෝම දොස් කියන්නේ ඔබට?

ඒ ක්‍රිකට් දන්නේ නැති අයනේ.

ඔබ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න ආවය කියලා ආණ්ඩුවේ අයත් කියනවනේ?

දැන් හිතන්න මුදල් ඇමැතිතුමාගේ ප්‍රශ්නයක් ආවොත් සෞඛ්‍ය ඇමැතිතුමාගේ ප්‍රශ්නයක් ආවොත් අපි එකතුවෙලා ප්‍රශ්නයට විසඳුම් හොයන්න වෙනවා. ඒකට ජනාධිපතිතුමයි, අගමැතිතුමයි ඉවත් වෙන්නේ නෑනේ. ක්‍රිකට් කියන ආයතනයට පාසල්, යටිතල පහසුකම්, පුහුණුව, විනිශ්චයකරැවන්, ක්‍රීඩකයින්, ජාත්‍යන්තර ක්‍රීඩා, අයි.සී.සී. සබඳතා, මූල්‍ය ශක්තිය ශක්තිමත් කිරීම් වගේ දේවල් බැලුවම ක්‍රිකට් ක්‍රීඩා කරන්න තියෙන්නේ සියයට 30ක වගේ ප්‍රමාණයක්. හැබැයි රටේ ජනතාව ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණය සියයට සීයක් බලාපොරොත්තු වෙනවා. ප්‍රේක්ෂකයන්ට ඕන ක්‍රිකට්. එනිසා අපි බලනව කොතැනද අඩුපාඩු කියලා බලලා ඒවා පරිවර්තනය කරන්න.

මෙතන තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමක්නේ.

ඇත්ත අපි පිළිගන්නා. ඒක හරි තැනට දාන්න පුළුවන් කාටද ජනාධිපතිතුමාට පුළුවන්ද අගමැතිතුමාට පුළුවන්ද? බෑ. ඒක වගකීම තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයට. ඒ වගකීමෙන් බැහැර වෙන්නේ නෑ. ඒ අඩුපාඩු අපි හදනවා. හැබැයි හදන්න කාලයක් යනවා. මේ සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉන්නවා කාලයක් සෙල්ලම් කරලා ඔවුන්ටම අනන්‍ය වූ ක්‍රමවේද. ඔවුන්ව පැය 24න් අයින් කරන්න බෑ. අපේ අලුත් කණ්ඩායම හොඳයි. හැදීගෙන එනවා. ඒ ගැන අපි විශ්වාස කරනවා. කොහොමත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත්වෙලා නවක ක්‍රීඩකයන් ඇතුළට එනකල් අපිට ගැටලුවක් තියෙනවා.

විරෝධය පෑ ප්‍රේක්ෂකයන් පිටුපස ඉන්නේ එක්තරා රූපවාහිනී නාලිකාවක්

ඒ දෙයින් වෙන්නේ අපට වඩා පහළ සිටි කණ්ඩායම් එකදිගට ඉදිරියට එන එකනේ?

බංගලිදේශය අවුරැදු හතරක් ගියා උඩට එන්න. බංගලිදේශය පුහුණුකරැව එළෙව්වේ කවුද? අපේ පුහුණුකරැනේ. ඒවා වැරදි. ඒ නිසා ඉතිහාසයේ කරපු වැරදිවලින් අපි බැටකනවා.

ඒත් ඔබ ආපුවමනේ මේ ප්‍රශ්න මතුවුණේ?

අපි එනකොට බිලියන 06ක් ණය තිබුණා. ඒ ණය ගෙවලා මේ වෙනකොට මූල්‍යමය පැත්තෙන් ශක්තිමත් කරලා තියෙනවා. සොරකම් නතර කළා. විනයක් හැදුවා. විගණන වාර්තා හදලා තියෙනවා. පරිපාලන පැත්තෙන් උසස් තැනකට අපි ගෙනාවා. දැන් ඒ ආයෝජනය කණ්ඩායමට කරන එක තමයි කරන්නේ. තාක්ෂණය හඳුන්වා දෙනවා. අපේ කණ්ඩායම නූතන් වගේ තාක්ෂණයක් එක්ක ගමන් කිරීමට පරිවර්තනය වෙමින් ඉන්නේ. ඒ නිසා මේ තත්ත්වයෙන් ඉහළට එන්න ටිකක් කල් යයි. එහෙම නැතුව මේ පරාජයවලට හේතුව ක්‍රිකට් පාලක මණ්ඩලය කියන එක වැරදියි.

මෙතන ඔබට එල්ලවන එක චෝදනාවක් තමයි තේරීම් කමිටුවේ වැඩවලට උඩින් ක්‍රීඩකයන් තෝරනවා කියන එක.

මේ කණ්ඩායම්වලටත් මම විරැද්ධයි. මම ඇහුවා සෙකන්ඩ් ටෙස්ට් එකේදී ලෙෆ්ට් ආමර්ලා දෙන්නෙක් ගැහුවේ කොහොමද කියලා. ඇයි එක ෆාස්ට් බෝලර් කෙනෙක් දැම්මේ කියලා. මමත් ඔයාලා වගේ ප්‍රේක්ෂකයෙක්. මම ඇඟිලි ගහන්න යන්නෙම නෑ. මම දන්නෙත් ගහන දවසේ දවල්ට.

මොනදේ දන්නේ නැතිවුණත් ටොස් එක තීරණය කරන්නේ ඔබ කියලයි කියන්නේ?

ටොස් එක දාන්නේ මම නෙමෙයිනේ. කිසිසේත්ම නෑ. එකක් තමයි මට තණතිල්ල ගැන අවබෝධයක් නෑ. මොකද තණතිල්ල මැදට යන්නේ නෑ. ඒක පුහුණුකරැත් එක්ක කතා කරලා කණ්ඩායම ගන්න තීරණයක්.

එදා දිනපු ටොස් එකත් අවුලක්නේ?

එදා දිනපු ටොස් එකත් පරාදයි. කණ්ඩායම ගත්ත තීරණය නෙමෙයි නායකයා අරගෙන තියෙන්නේ. කපුගෙදර එවැනි තීරණ ගත්තේ ඇයි කියලා අපි දන්නේ නෑ. අපි ඒ ගැන කතා කරලා වැඩකුත් නෑ. ඒක අවාසනාවන්ත තීන්දුවක්. මගේ දරුවෝ වගේ ඉන්න ක්‍රීඩකයන්ගේ වැරදි ප්‍රසිද්ධියේ කතාකරන එක වැරදියි. පෞද්ගලිකව අහනවා. ගුරුසිංහගෙන් අහනවා. එයාගෙන් තමයි වාර්තා ඉල්ලන්නේ. සමහර කාලවලදී වැරදෙන්න ගත්තම දිගටම වැරදෙනවා. ඒ වැරැද්ද හදාගන්න අමාරුයි. හිටපු ක්‍රීඩකයොත් චෝදනා කරලා මේ ක්‍රීඩකයන්ගේ මනස පහත  හෙළන්න යනකොට අපි මැදිහත් වෙලා ඔවුන්ට තවත් දොස් කියන්න නරකයි. අඩුපාඩු තියෙනවා නම් කතා කරන විදිහක් තියෙනවා. දරැවෝ වගේ අපිට මෙච්චරයි ඉන්නේ.

සූදුව ගැන කතා කරන්නේ මගේ පවුලෙ අයට මඩ ගහන්න

හිටපු ක්‍රීඩකයෝ පවා දොස් කියන්නේ ඔබට. කණ්ඩායමට නෙමෙයි?

ඒ එක්කෙනෙක් නේ.

ඔවුන් චෝදනා කරන්නේ ඔබ ක්‍රීඩාව සූදුවක් කරගෙන විකුණගෙන කන තැනට ඇවිත් කියලා.

ඔහොම වෙනවා නම් ඔය කණ්ඩායම සම්පූර්ණයෙන් මම කියන දේ නේ කරන්න ඕන. එහෙම කරලා මැච් එක පාවාදෙන්න ඕන. එහෙම මැච් පාවාදීලා ඇන්ජලෝ කැප්ටන්කම නැති කරගනීද. කැප්ටන්කම කියන්නේ අභිමානයක්නේ. ඒත් ඔහු ඉල්ලා අස්වුණානේ. ඒ නිසා ඕවා බොරු කතානේ. ඔය සම්පූර්ණයෙන් බොරදියේ මාළු බාන වැඩක්. ඔය ව්‍යාපාරය අයිති මගේ සහෝදරයට. ඒත් මට මඩගහන්න කරන වැඩක් මේක. අපේ පවුලේ අයට මඩගහන්න කරන වැඩක්.

ඔය රණතුංගලා එක්ක තියෙන ප්‍රශ්නය මොකක්ද?

එයා දන්නවා ඇත්ත කතාව. මම ඔය ධම්මික රණතුංගව ක්‍රිකට් බෝඩ් එකේ චෝදනාවලට අස් කරනකල් රණතුංගට මම තමයි ලංකාවේ හොඳම පරිපාලකයා. පුළුවන් නම් කියන්න ධම්මික අයින් කරන්න කලින් මට වචනයක් කිව්වද කියලා. ධම්මික එලවනකොට මගේ උප සභාපති ප්‍රසන්න රණතුංග. ධම්මික එලෙව්වයින් පස්සෙයි මම තමයි බුකි සම්බන්ධ පාලකයා නුසුදුසුයි කියන්නේ. ඒ නිසා මම කැමති නෑ මඩට මඩ එකතු කරන්න. මම කැමති මඩ නැතුව ගොඩෙන් එනවට. එන්න ක්‍රිකට් කතා කරන්න. ලෝකයේ අනික් රටවල හිටපු ක්‍රීඩකයෝ කණ්ඩායමට උදව් කරන්නේ. ඒත් අපේ රටේ අය ක්‍රිකට් ආයතනයට ඇවිත් බලය ඉල්ලනවා. අයියලා මල්ලිලා එකතුවෙලා වැඩ කරන්න මේ හදන්නේ. ඔය අර්ජුන රණතුංග මහත්තයා ලැජ්ජ නැතුව මල්ලිගේ උප සභාපතිකමට ඉල්ලුවානේ. දෙන්නම පරාදයිනේ.

රණතුංග සුමතිපාලලගේ රණ්ඩුව නිසා ජාත්‍යන්තර වශයෙන් නම කැතවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලනේ?

නැහැ. අපි යන්නේ නෑ එයාලා එක්ක තර්ක කරන්න. මොකද අපිට වෙලාවක් නෑ. අනික එයා කියන ඒවා ලෝකේ පිළිගන්නවද කියලත් මම දන්නේ නෑ.

2019 ලෝක කුසලාන අරමුණු කරගෙන ගෙන ආපු ග්‍රෙහම් ෆෝඩ් පුහුණුකරු යන්න ගියා. ඒ වගේම තේරීම් කමිටුව ඉවත් වුණා. මේ දෙයින් පේන්නේ ඔබත් එක්ක තියෙන ප්‍රශ්න නොවෙයිද?

නෑ. තේරීම් කමිටුව ඉවත් වෙච්ච එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අය ටික කාලයකට අපි පත්කළේ. වර්තමානයේ ක්‍රීඩකයන්ට එල්ලවන පීඩනයත් එක්ක සනත් සහ ඒ කණ්ඩායම් කලකිරීමෙන් ඉන්නේ. එකයි ඉවත් වුණේ. ග්‍රැහැම් ෆෝර්ඩ් මහත්තයගේ ප්‍රශ්නය නම් වෙන දෙයක්. ඔහු ඉවත් වෙන්න ඉල්ලීමක් කළා. ඉතින් අපි ඔහුව ඉවත් කළා. ඔහුගේ භාර්යාවගේ ප්‍රශ්නයක් නිසයි යන්න වුණේ. මට ඒක කියන්න බෑ අපි දෙන්නා එකඟ වුණා නොකියා ඉන්න. එහෙම නැතුව ඔහුට අපිත් එක්ක ඉන්න බැරිකමක් නෑ. කට්ටියක් කිව්වා අසංක ගුරුසිංහ එක්ක ඉන්න බෑ කියලා. ඒත් එහෙම දෙයක් නෙමෙයි. අසංක ගුරුසිංහ මහත්තයව ගෙනාවේ හේතුවක් නිසා. මේ විනය හදන්න ඕන. ඒත් ඔහුගේ පැමිණීම මේකට හේතුවක් කරන්න හැදුවා කට්ටිය.

ඔය අයියලා මල්ලිලා හදන්නෙ ක්‍රිකට් බලය අතට ගන්න

ප්‍රේක්ෂකයන් අර විදිහට හැසිරීම අනුමත කරන්න බෑ. ඒත් දිගින් දිගට පරදිනකොට එහෙම වෙන එක සාධාරණයි නේද?

ඒක රටට කැලලක්. අපි ශ්‍රේෂ්ඨ ජාතියක්. ඒ පෙළගැහුණේ අපේ ළමයින්ට විරුද්ධවනේ.

මේ විරෝධය පෑ ප්‍රේක්ෂකයෝ සංවිධානාත්මක පිරිසක් කිව්වා. එහෙම වෙන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම. මේ පිටුපස්සේ ඉන්නේ එක්තරා රූපවාහිනී නාලිකාවක්. ඔවුන් තමයි මේක මෙහෙයවන්නේ. ඒවගේ ෆේස්බුක් කල්ලියක් ඉන්නවා. ඉතිං මේවා සංවිධානාත්මක නැද්ද? මේවටද අපි වැඩ කරන්නේ. සමහර අය උත්සාහ කරනවා ක්‍රිකට් ක්‍රීඩා ආයතනය වට්ටලා ආණ්ඩුවට පාඩු කරන්න. සමහර අය ඉන්නවා මේකට බලයට එන්න. ඒ අය කැමතියි ප්‍රේක්ෂකයා කුලප්පු කරන්න. ප්‍රේක්ෂකයා එහෙම වෙන්න නරකයි.

ඇයි සංගක්කාර, මහේල වැනි ප්‍රවීණ දක්ෂ ක්‍රීඩකයන්ගේ සහාය ලබාගන්න බැරි?

අපි සංගක්කාරට කතා කළා. ඔහුගෙන් උපදෙස් ගන්නවා. මම බලාපොරොත්තු වෙනවා මහේලව. මහේල උපක්‍රමශීලී පුහුණුකරුවෙක්. අද ඔහු එන්න කැමති නම් ප්‍රධාන පුහුණුකරු ලෙසට මම කැමතියි ඔහුව ගන්න. නමුත් ඔහුගේ වැඩත් එක්ක නිදහස් නෑ. මහේලට පුළුවන් නම් හෙට ඉඳන් පටන් ගන්න මම කැමතියි ගන්න.

තේරීම් කමිටුව ඉවත් වුණා කලකිරීමෙන්. ඔබටත් ඇති කලකිරීමක්. ඔබවත් ඉවත් වෙනවද මේ වගකීම අරගෙන?

මාව පත්කළ සාමාජිකයෝ කලකිරිලා නම් මම අයින් වෙලා යනවා. තේරීම් කමිටුව පත්කරන්නේ අපි. ආණ්ඩුව වැටුණා කියලා ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නෑනේ. ඇමැති කෙනෙක් වැරැද්දක් කළා කියලා අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් අප්සට් වුණා කියලා කථානායක ඉල්ලා අස්වෙන්නේ නෑ. ආයතනය වැටෙන්න දෙන්නේ නෑ. එහෙම වැටෙන්න දුන්නොත් මහා පාවාදීමක් වෙනවා.

ගයාන් ගාල්ලගේ
සේයාරුව - සුමුදු හේවාපතිරණ