2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

අලුත් පක්ෂවලට අනාගතයක් නෑ

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරුන්ගෙන් වැඩිම පීඩාවකට පත්වුණු සභාපති තමයි ඔබ. මේ ප්‍රශ්නවල නිමාවක් නැද්ද?

ඔබ කියන විදිහට පක්ෂයේ අභියෝග රැසකට මුහුණ දුන්නු සභාපති මම නෙමෙයි. විශාල අභියෝගයකට මුහුණ දුන්නේ බණ්ඩාරනායක මහත්තයා. බණ්ඩාරනායක මහත්තයටත් මරණය දක්වාම ආවේ එතුමා කරන ලද වෙනසත් එක්ක ඇති වුණු පීඩනය. එතුමව මැරුවෙත් සෝමාරාමලා විමලා විජේවර්ධනලා වගේ පක්ෂයේම අය. ඒ වගේම මට ගහන්නේ මම දුප්පත් පවුලකින් ආපු එක ගැන කියලා. අන්තර්ජාලයේ ෆේස් බුක් එකෙන් පවා මට ගහන්නේ මගේ දුප්පත්කම අල්ලලා නේ. මමත් ඔක්ස්ෆර්ඩ්, ක්‍රේම්බ්‍රිජ් ගිහින් රදළ පවුලකින් ආවනම් මටත් මෙහෙම ගහන්නේ නෑ. දේශපාලනය තුළ පන්ති පරතරේ තියෙනවා. රටේ ඇතැම් ප්‍රභූ පවුල් මගේ ආගමනය ගැන කැමැත්තක් නෑ. ඔවුන්ට පුදුමයි.

ඔබගේ පස්සෙනුත් සෝමාරාමලා, විමලා විජේවර්ධනලා ඉන්නවද?

(සිනාසෙයි) ඒවා සමාජයේ තියෙන විෂමතා තමයි.

මහින්ද මහත්තයා අපි එළියට දාලා නැහැ

ඔබ පක්ෂය පිරිසිදුකරලා නව මාවතකට ගේන්න හදනවා. ඒත් හිටපු ජනාධිපති මහින්ද මහත්තයා වෙනත් කණ්ඩායමක් එක්ක ශ්‍රිලනිපය රැකගන්නවා කියලා මෙහෙයුමක් යනවා. මේ ප්‍රශ්නයේ අවසානයක් නැද්ද? එකතු වෙන්න බැරිද?

ඉතින් කිසිතැනක මම වෙන්වුණේ නෑ නේ. මට පක්ෂය බාරදුන්නයින් පස්සේ මම තීරණය කළේ පැරදිච්ච පක්ෂය අනාගත ජයග්‍රහණයක් කරා ගෙනියන්න. අලුත් පක්ෂය හැදුවේ කාගේ උවමනාවකටද? පක්ෂය හැදුවේ පාක්ෂිකයන්ගේ උවමනාවකට නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව ඉන්න පිරිසිදු ශ්‍රීලංකා කාරයන්ගේ උවමනාවට නෙමෙයි ඕක හැදුවේ. පක්ෂය ගැන දන්නේ නැති, ඉතිහාසයක් ගැන අහලා නැති, පක්ෂයේ හිටියේ නැති, පක්ෂයේ දර්ශනයක් ගැන දන්නේ නැති අය තමයි ඔය පක්ෂය හැදුවේ. ඔය පක්ෂයට තියෙන දර්ශනය මොකක්ද? දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද? රට ගොඩනගනවා කියලා. එතන තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පවුල් වාදේ. මහින්ද රාජපක්ෂ මහත්තයා බැනර් දාගෙන ඒ පක්ෂයේ රැස්වීම් වලට යනවා. එහෙම ගිහින් කියනවා එතුමා තවම සභාපති කියලා. හරිම ව්‍යාකූලයි නේ.

ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ඇතැම් ජ්‍යේෂ්ඨ අය තවමත් ශ්‍රිලනිපයේ සාමාජිකයෝ. ඔවුන්වත් පක්ෂයට එකතු කරගන්න උත්සාහයක් නැද්ද?
මම එපා කියලා නෑ. ඔය කාටවත් මම යන්න කියලත් නෑ...

ඔවුන් ගේන ප්‍රශ්නය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයව නායකයෙක් ලෙස පිළිගන්න කියන එක?

මහින්ද රාජපක්ෂ මහත්තයව ශ්‍රිලනිපයෙන් අපි එළියට දාලා තියෙනවද? නෑ නේ. අපි කවුරැවත් එළියට දාලා නෑ. ඒ අයයි පක්ෂ හදාගෙන රුස්වීම් තියාගෙන යන්නේ. අපි ඒ අයට එන්න එපා කියලා නෑ.්‍

සයිටම් ප්‍රශ්නය පිටිපස්සෙ ඉන්න කට්ටිය මම දන්නවා

ඔවුන් ගෙන එන තර්කයක් තමයි ඔබ නිසා ශ්‍රිලනිපය එජාපයේ අලියගේ නැට්ට වුණා කියන එක. ඉන් ඉවත් වෙනවා නම් ඔබ එක්ක ඉන්නවා කියනවා.

එයාලා ඔහොම කියානවට වඩා මෙවැනි ආණ්ඩුවක් හැදීමේ සංකීර්ණතාවයක් තියෙනවා. එයාලා කරන විග්‍රහය සරලයි. ඔය ඒකනේ කියන්නේ. මෙවැනි ආණ්ඩුවක් බිහිකරන්න හේතුව හොයන්න ඕනේ. ඇයි අපි ඔක්කොම එපා කියද්දි මහින්ද මහත්තයා අවුරුදු දෙකකට කලින් එදා ඡන්දයකට ගියේ. ප්‍රධාන කාරණා දෙකයි. එකක් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමෙන් ආපු පීඩනයට එතුමට මුහුණ දෙන්න හැකියාවක් තිබුණෙ නෑ. දෙක අද පවතින ආර්ථික අර්බුදය එදා පෙනුණා. එයා හිටියත් මේකට මූණ දෙන්න වෙනවා. එයාලා කියන විදිහට හෙට ආණ්ඩුවක් ගන්නවා නම් මේ ආර්ථික අර්බුදය විසඳන්න ක්‍රමයක් තියෙනවද එයාලට. නෑනේ. අද මේ රටේ ප්‍රශ්න රුසකට විසඳුම් හෙව්වේ මේ ආණ්ඩුව. 2015 මහින්ද රාජපක්ෂ දිනුවා නම් මොකද වෙන්නේ. ආර්ථික සම්බාධකත් දාලා. කවුරුත් ඒ විග්‍රහයට යන්නේ නෑ. මට කිසිම බේදයක් නැතිව ලෝකයේ ඉහළ පහළ රාජ්‍ය නායකයෝ කියලා තියෙනවා ඔයා ආණ්ඩුව කරගෙන යන්න හොඳට. ජාත්‍යන්තර ප්‍රශ්න ගැන එයාලා බලාගන්නම් කියලා කියලා තියෙනවා. කලින් ඔහොම වෙලා තියෙනවද. අපි එනකොට ආර්ථික සම්බාධකත් පනවලා තිබ්බේ. හැබැයි අපි මේ හැමදේම විසඳුවා. මේ ප්‍රශ්න විසඳන්න තමයි සියලු දෙනා එකතු වුණේ. ඔය කියන දේවල් සරලයි. ඒත් රටේ ප්‍රශ්න ගැන හිතනකොට මේ එකතුව වැදගත්. එදා මහින්ද මහත්තයත් හැදුවේ. ඒවා හොඳයි.

ඔබ ආරාධනා කරන්නේ නැද්ද වෙන්වෙලා ඉන්න අයට?

මම සියලු දෙනාට ආරාධනා කරනවා. කාටවත් යන්න කියලත් නෑ. එන්න එපා කියලත් නෑ. හැබැයි අපි එක වැඩපිළිවෙළක යන්න ඕනේ. එක එක්කෙනාට ඕන විදිහට පෞද්ගලික න්‍යායවලට වැඩ කරන්න බෑ. පිරිසිදු දේශපාලන ගමනක් යන්න ඕනේ.

ඔබට උවමනාවක් තියෙනවා පිරිසිදු දේශපාලන ගමනක් යන්න. ඒත් යම් බාධාවක් තියෙනවා හැඟෙනවා?

බාධාවන් තියෙන්නේ පක්ෂ වල නෙමෙයි. පුද්ගලයන්ගේ බාධාවල් තියෙන්නේ. සමාජය දූෂිත වෙලා. දේශපාලනයට එන්නේ මුදල් හම්බකරගන්න. මේ මනාප ක්‍රමය නිසයි ඕක වුණේ.

දැන් මේ ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ පිරිසක් කියනවා සම්මුතිවාදී ආණ්ඩුවේ අවුරුදු දෙකක නිල කාලය නිම වුණාම ඉවත් වෙනවා කියලා?

මම ජනාධිපති විදිහට මගේ ධුරකාලයේදී ආණ්ඩුව කරන්න එපැයි ජනතාව වෙනුවෙන්. මම කියන්නේ ඒ ගමනෙදි පිරිසිදු දේශපාලන ගමනක් යමු කියලා. ජනතාව ඊට සහයෝගයක් දෙයි. මෙතනින් කවුරු හරි යනවා නම් කොතන්ටද යන්නේ කියන ප්‍රශ්නය තියෙනවා නේ. ගිහින් මොකද කරන්නේ. ඒ නිසා මම ඔය යන අයට කියන්නේ අපි හිතන්න ඕනේ රට ගැන කියලා. රට ගැන හිතන්නේ නැතුව තීන්දු ගන්න නරකයි. ගොඩක් අය බලන්නේ තම තමන්ට පෞද්ගලික වෙච්ච තීන්දු ගන්න එක.

මේ ඉන්න ශ්‍රිලනිප පක්ෂියකයා බලාඉන්නවා ශ්‍රිලනිප ආණ්ඩුවක් 2020 හදන්න ඔබ ඒකට සූදානම්ද?

ඒ නිසානේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න සියලු දෙනාට එකතු වෙන්න කිව්වේ. ඒත් ඒ අය අලුත් පක්ෂ හදාගෙන යනවා. හැබැයි ඔය අලුත් පක්ෂවලට අනාගතයක් නෑ. අලුත් පක්ෂ හැදීම තුළ වාසිය ගන්නේ වෙන පිරිසක්.

පොලීසියේ වැරදි ගැන පොලිස් කොමිසම බලාගන්න ඕන

ඔය ජාතික ආණ්ඩු කියන සංකල්පය ආණ්ඩුවෙ අයටවත් තේරෙන්නේ නැති ගතියක් තියෙනවා නේද?

පැහැදිලිවම. දෙපැත්තෙම අයට තේරෙන්නේ නෑ. ඒක පුදුමයට කාරණයක් නෙමෙයි. ආණ්ඩුවට විතරක් නෙමෙයි රටටම මේක අලුත් දෙයක්. ඒකට මනස හදාගන්න ඕනේ. රටවල් දියුණු වෙලා තියෙන්නේ දේශපාලනඥයන්නේ අවංකකමයි කැපවීමයි නිසා. දේශපාලනඥයන් වෙනුවෙන් ආණ්ඩුවක් නෙමෙයි ඕනේ රට වෙනුවෙන් ආණ්ඩුවක්.

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පහුගිය දවසක කියලා තිබුණා ආණ්ඩුව ඇතුළේ ශ්‍රිලනිප මතය යටපත් වෙලා එජාපය හිතු හිතු දේ කරනවා කියලා. එහෙම තත්ත්වයක් තියෙනවද?

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඉදලා මේ අවුරුදු දෙකහමාර තුළ කරපු දේවල් දීර්ඝ ලැයිස්තුවක් දෙන්න පුළුවන්. ඔය ආපු යෝජනා සහ ආයෝජන සම්බන්ධයෙන් කරපු වෙනස්කම්. කරැණු ගණනාවක් තියෙනවා. ශ්‍රීලනිපය හිටිය හින්දා තමයි පක්ෂයේ ප්‍රතිපත්තියට පිටින් යන වැඩ ගොඩක් නතර කරගන්න පුළුවන් වුණේ.

ඔබ පක්ෂයේ නායකත්වය බාරගත්තයින් පස්සේ පක්ෂයේ හිටිය බොහෝ දෙනෙක් ඉවත් කළා. එහෙම වුණාම පාක්ෂියන් කලකිරෙනවානේ?

ඒ අය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැතුව අලුත් පක්ෂයත් එක්ක ඒ අය දුවන්න ගත්තනේ. අලුත් පක්ෂ හදාගෙන වැඩ කරගෙන යනකොට එයාලා සංවිධායකවරු හැටියට තියාගන්න පුළුවන්ද.

දැන් පිරිසක් මේ වෙනකොට පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අරගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයත් ගත්තොත් පක්ෂයට මොකද වෙන්නේ?

සාමාජිකත්වය කියන්නේ කොළ කෑල්ලක දෙයක්. ඒත් වැඩ කරන එක තමයි වැදගත්. එතුමලට සාමාජිකත්වය ගන්න දෙයක් නෑ වැඩ කරනවා නේ එතන.

සමහර ඇමතිවරු ඉන්නවා කොළඹදී ඔබ එක්ක ගමේදී මහින්ද මහත්තයා එක්ක ඉන්න අය. පක්ෂයක් එහෙම කරන්නේ කොහොමද?

එහෙම අය දෙපැත්තෙම ඉන්නවා. එහේ ඉන්න අයත් මට කතා කරනවා නේ. මාව ඇවිත් හම්බවෙනවත් එක්ක.

දැන් සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම අවසන් ඊට පස්සේ ගන්නේ කුමන පියවරක්ද ආණ්ඩුව ගැන? 

ඒක පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරන්නේ. එදා 2015 අගෝස්තු මාසයේ තීන්දු කළේ  2017 දෙසැම්බර් මාසය තෙක් යනවා කියන එක. ඊට පස්සේ තීරණයක් ගන්නවා. දැන් ඔය ස්වාධීන වෙන කට්‍ටිය ආණ්ඩුවෙන් යනවා නෙමෙයි. ඒ අය ආණ්ඩුවට විරුද්ධ වෙන්නේ නෑ. හරි දේවල් වලට සහයෝගය දක්වනවා.

මේ ආණ්ඩුවෙ ඇතැම් අය ගැන ජනතාව කලකිරිලා

දැන් විපක්ෂයෙන් චෝදනා කරනවා කෝ හොරු ඇල්ලුවද... කෝ කිව්ව දේවල් කියලා. ඇයි මේ පරක්කු හොරු අල්ලන්න?

නීතියට එහා ගිය දෙයක් තියනවා. ඒ තමන්ගේ හෘද සාක්ෂිය ඒකෙන් කාටවත් බේරෙන්න බෑ. තමන් හරිද වැරදිද කියලා අහන්න ඕනේ.

ඇයි මේ දේවල් ඉක්මන් කරන්න බැරි. යම් අපහසුතාවයක් තියෙනවද?

ඒවා රජයේ තනතුරැ අරගෙන ඉන්න අය කරන්න ඕන දේවල් නේ. ඒවා ඒ අංශ වල අය කරන්න ඕන. කොහේ හරි තැනක වංචා දූෂණය වෙනවා නම් ඒවා නවත්තන්න ඒ අය කටයුතු කරන්න ඕනේ.

පහුගිය කාලයේ ආණ්ඩුව ගත්ත යම් යම් තීරණ ආපසු හරවලා ගත්තා ඔබ මැදිහත් වෙලා. ඇයි එහෙම වෙන්නේ. ආණ්ඩුව ගන්න තීරණ වැරදිද?

කොහේ හරි වැරැද්දක් තියෙනවා නම් ඒක හදාගන්න ඕනේ ඒක රටට ගැළපෙන්නේ නැත්තන්. යහපාලන රජයට ගැලපෙන්නේ නැත්තන් හිතන්න්න ඕනේ නේ.

කවදාවත් නැතුව නීතිපති දෙපාර්තුමේන්තුව ඇමතිවරු විසින් විවේචනය කරනවා. එහෙම වෙන එක රටේ නීතියට බලපෑමක් නේද?

නීතිපති දෙපාර්තුමේන්තුවට දොස් කියනවා නම් මම ඒකට කැමති නෑ. නීතිපති දෙපාර්තුමේන්තුවේ වැරැද්දක් දකින්නෙත් නෑ. නීතිපති දෙපාර්තුමේන්තුවට නිදහසේ වැඩකරගෙන යන්න දෙන්න ඕනේ.

විශේෂයෙන් සයිටම් ප්‍රශ්නය විශාල අර්බුදයක් වෙලා. දෙපැත්තෙම දරුවෝ අසරණ වෙලා. ඒත් පිළියමක් නෑ?

සයිටම් ප්‍රශ්නයත් දේශපාලන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒක දේශපාලන නොවුණානම් විසඳිලා. ඒ පිටුපස්සේ ඉන්නේ කවුද කියලා මම දන්නවා.

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කිව්වා ඔහුව ඉවත් කළේ බැඳුම්කර කොමිසම සහ හම්බන්තොට වරාය ගැන කතා කරපු නිසා කියලා?

ඒ එක එක්කෙනාගේ අදහස් නේ.

ශ්‍රිලනිප ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ඔබද?

ඔය ඊළඟ ජනාධිපතිවරණයක් ගැන කතා කරන හැමෝම රට වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ. අද දවසේ ප්‍රශ්නය ඕක නෙමෙයි. මේ තියෙන අද ප්‍රශ්නය විසඳන්න ඕන. මම නම් ඊළඟ ජනාධිපතිවරණය ගැන නෙමෙයි හිතන්නේ මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා.

පළාත් සභා මැතිවරණ කල්දානවා කියලා විපක්ෂයෙන් චෝදනාවල් තියෙනවා. ඇයි මේ දේවල් අවසාන මොහොත වෙනකල් ඉන්නේ රටට කියන්න?

එකට ඡන්දය තියන්න ඕන කියලා දැන් වසර ගණනවක ඉඳලා කතාවෙන දෙයක්. ඒක අවසාන මොහොතේ හරි ආපු එක හොඳයි. මේක දීර්ඝ කාලයක් කතා කරපු දෙයක්.

මේ වසරේ මැතිවරණයක් නැද්ද ඒ කියන්නේ?

මට ඒක කියන්න බෑ. පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ තමයි. මේ වසරේ එන්නත් පුළුවන් ලබන වසරේ එන්නත් පුළුවන්.

කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය කඩ වෙන ප්‍රකාශ කරනවා කියලා ඇමැතිවරුන්ට චෝදනා තියෙනවා. ශ්‍රිලනිපයේ සභාපති ලෙස ඔබ ඔබේ ඇමැතිවරැන්ට ගන්න පියවර මොකක්ද?

එහෙම කඩනවා නම් වැරදියි. හැබැයි පක්ෂයේ අයට නම් අවවාද කරලා. දැනුවත් කරලත් තියෙනවා. පක්ෂ බේදයකින් තොරව කියලා තියෙනවා.

නීතිපතිට දොස් කීම වැරදියි

පොලිස්පති පුද්ගලයකුට පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරනවා. ඒ ගැන අදහසක් තියෙනවද ඔබට?

පොලිස් දෙපාර්තමේන්තුවේ වැරදි තියෙනවා නම් පොලිස් කොමිසම දැනගන්න ඕනේ පියවර ගන්න.

පොලිස්පති සම්බන්ධව කොමිසමට බලයක් තියෙනවද?

පොලිසිය සම්බන්ධව සියලු පියවර ගැනීම කොමිසම සතු වගකීමක්.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සම්මේලනය තියෙනවා කොහොමද පක්ෂයේ ඊට සූදානම?

සැප්තැම්බර්  3 හවස දෙකට බොරැල්ල කැම්බල් පිටියේ. එදාට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා. අපි පාර්ලිමේන්තුව නියෝජනය කරණ හැම පක්ෂයකටම ආරාධනා කරනවා. ඉතාම සාර්ථක උත්සවයක් පවත්වන්න. ජාතියේ අනාගතය සඳහා පිරිසිදු ජාතික ව්‍යාපරයක් කියන තේමාව තමයි තියෙන්නේ. අද ලංකාවේ දේශපාලන පක්ෂ සහ පුද්ගලයෝ ගැන ඉන්නේ පැහැදිලි මතයක නෙමෙයි. ආණ්ඩු මාරුවුණාට වංචාව දූෂණය අක්‍රමිකතාවය කියන එක නතර වෙන්නේ නෑ. පහුගිය අවුරුදු දහය ගැන වගේම මේ ආණ්ඩුවේ ඇතැම් අය ගැන ජනතාව ඉන්නේ කලකිරීමෙන්. අන්න ඒ ක්‍රමය වෙනස් කරන්නයි මේ තේමාව යටතේ මෙවර සම්මේලනය පවත්වන්නේ. දුෂණයට විරෝධී ඕන කෙනකුට එකතු වෙන්න පුළුවන්.

ගයාන් ගාල්ලගේ

සේයාරුව I සුදත් සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00