2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ඡන්ද කල්දානවට ජනතාවත් විරුද්ධයි

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

- මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය 

පළාත් සභා මැතිවරණය මේ වසරේ දී තියනවාමයි කියලා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා කියලා තියෙනවා. ඒක වෙයිද?

මොන ඡන්දයක්වත් සැප්තැම්බර් 30ට කලින් ගැසට් කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. ඡන්ද හිමි නාම ලේඛනය අපි සහතික කරන්නේ සැප්තැම්බර් 30 වැනිදා. ඊට කලින් 2016යේ පැරැණි ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මැතිවරණය ප්‍රකාශ කළොත් අවුරැදු 19 යි මාස 6ට වඩා අඩු තරුණයන් ලක්ෂ තුනකට විතර ඡන්ද අයිතිය නැති වෙනවා. පළාත් පාලන ආයතන මැතිවරණය ප්‍රකාශ කළාට පස්සේ තවත් දවස් 75ක් අපිට අවශ්‍යයි. එතකොට දෙසැම්බර් මාසේ ඡන්දෙ තියන්න පුළුවන්. ඒත් දෙසැම්බර් මාසේ යෙදෙන නිවාඩු දවස් සහ සාමාන්‍ය පෙළ විභාග හේතුවෙන් ඡන්දේ තියන්නත් අපහසුයි. එහෙම වුණොත් ජනවාරි 08 තමයි.

ඒකට මැතිවරණ කොමිසම සූදානම්ද?

ඔව්. අපි දින ගනිමින් ඉන්නේ. 

මඩකලපුවෙ සභා 9ක අවුරුදු හතරකින් ඡන්ද නැහැ

එතකොට පළාත් පාලන ඡන්දය තියන්නේ මොන ක්‍රමයටද?

දැනට තියෙන නීතිය අනුව එක් සභාවක කොට්ඨාස සියල්ලට පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් තරග කරලා දිනන අය සභාවට තේරී පත්වෙනවා. අනුපාත ක්‍රමයට ඒ සභාවට වෙන්කර තියෙන කොට්ඨාස ගණන සියයට පහකට වැඩි ඡන්ද ගණනක් දිනා තියෙන පරාජිත අපේක්ෂකයන්ගේ ඡන්දවලින් තෝර ගන්නවා. ඊට අමතරව අනිවාර්යයෙන්ම හැම පක්ෂයක් විසින්ම ඉදිරිපත් කළ යුතු මුළු සංඛ්‍යාවෙන් හතරෙන් එකක කාන්තා නියෝජන‍ ලැයිස්තුවේ අනුපිළිවෙළ අනුව කාන්තාවන් පත් කරනු ලබන්නේ කොමිසම විසින්. සමහර වෙලාවට එක් සභාවක කොට්ඨාස 20යි නම් සියලුම නියෝජිතයන් කාන්තාවන් වෙන්න පුළුවන්. නමුත් පිරිමින්ට උපරිම පත්වෙන්න පුළුවන් 15ක් විතරයි. මේ දැනට තිබෙන ක්‍රමය. 

ඒ කියන්නේ මේවා වෙනස් වෙනවද?

පළාත් පාලන ආයතන පනතේ තිබුණ තාක්ෂණික දෝෂ සංශෝධනය කරන්න කියලා අපි කිව්වා. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන පනත් කෙටුම්පතෙන් ඒ දෝෂ ඉවත් කරනවාට අමතරව 5% කඩඉම ඉවත් කරලා තියනවා. ඇප මුදල් අඩුකරලා. මේවට අමතරව අලුත් මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් පක්ෂ අතර සාකච්ඡා වෙනවා. අපි දන්නේ නෑ ඒක කොතරම් දුරට සාර්ථක වෙයිද කියලා. දැනට තිබෙන අනුපාතය කොට්ඨාස ගණන 75 ට 25යි. යෝජනා වෙලා තියෙන්නේ 60යි 40ක් විය යුතුයි කියලා. මේකේ අනුපාත කොට්ඨාස තෝරගන්නත් සංකීර්ණ ක්‍රමයක් යෝජනා වෙලා තියෙනවා.

ඔබ කියන අලුත් ක්‍රමයේ කාන්තා නියෝජනයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය කියනවා. එහෙම වුණොත් ඒකට විරුද්ධ වෙනවලු. මොකද්ද මේ ගැටලුව?

දැනට තියෙන ක්‍රමයට අනුව 25% ක කාන්තා නියෝජනය කොමිසම විසින් පත් කළ යුතු වෙනවා. ඒත් අලුතින් ඉදිරිපත් වෙන ක්‍රමයේදී කාන්තා නියෝජනය 25%ක් වන අයුරින් පක්ෂයේ අය විසින් පත්කළ යුතුයි කියලා යෝජනා වෙනවා. මේවාට මැතිවරණ කොමිසමේ කිසිම සම්බන්ධයක් නෑ. දේශපාලන පක්ෂ නීති කෙටුම්පත් කරන අය එක්ක සාකච්ඡා කරලා මිශ්‍ර ඡන්ද ක්‍රමය පවත්වාගෙන මේ කිව්ව සංශෝධනයත් කරලා තියෙනවා. මේ ක්‍රමයේදී එල්ලෙන ආසන (over hang) ඇතිවෙන්නත් පුළුවන්. මේකේ තියෙන වාසිය තමයි සෑම ඡන්දයකට වටිනාකම් ලැබීම. ජර්මනිය, නවසීලන්තය වගේ රටවල තියෙන මිශ්‍ර සමානුපාත නියෝජන ක්‍රමය මේක තමයි. 

මැතිවරණයට අපි දින ගණිනවා

ආණ්ඩුව මැතිවරණ පරක්කු කරගෙන, විවිධ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් එක එක විදිහට මැතිවරණ ක්‍රමය වෙනස් කරද්දී ඇයි මැතිවරණ කොමිසම මැදිහත් වෙන්නේ නැත්තේ?

මැතිවරණ කොමිසම ආණ්ඩුවට කිව්වේ සභික සංඛ්‍යාව වැඩි කරන්නේ නැතුව කාන්තා නියෝජනය සහතික කරමින් තරැණයන්ගේ නියෝජනයට හැකි උපරිම අවස්ථාව දෙමින් ඡන්දය තවදුරටත් ප්‍රමාද කිරීමෙන් වැළකිය යුතු කියලයි. පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් හදන්න පුළුවන් කියලා අපි පිළිගන්නවා. පළාත් පාලන අායතන පනතට අවශ්‍ය සාමාන්‍ය බහුතරයක් විතරයි. තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. 2015 දි වුණත් ඕනැනම් අනුපාත ක්‍රමය අවලංගු කරලා පැරැණි ක්‍රමයටම මැතිවරණය තියන්න තිබුණා. ඒත් තාම මැතිවරණ නොතියා ජනතාවට අකමැති අනුපාත ක්‍රමයට යන්න හදනවා.

පළාත් සභා තුනක කාලය ඉවර වෙනවා සැප්තැම්බර් මාසෙදී. දැන් මේ ඡන්දය කල්නොදමා තියන්න කියලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ජනාධිපතිවරයාට කියලා තියෙනවා. එතකොට මේ මැතිවරණයයි ෆයිසර් ඇමැතිතුමා කියන පළාත් පාලන මැතිවරණයයි දෙකම මේ අවුරැද්දෙම තියන්න පුළුවන්ද?

පළාත් සභා මැතිවරණය නියමිත වෙලාවට තියන්න අපි සූදානම්. 20 වැනි සංශෝධනය ඉදිරිපත් වුණාට නීතිගත වෙලා නෑ. ඒ නිසා ඔක්තෝම්බර් 02 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව ඡන්දය තියන්න නාමයෝජනා කැඳවනවා. ඉන් සති අටකට පමණ පස්සේ මැතිවරණය තියන්න පුළුවන්. දෙසැම්බර් මුල ඡන්දය තියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා නොවැම්බර් අවසන් සතියේ මැතිවරණය පැවැත්වෙන්න පුළුවන්.

නීතිය අර්ථ දැක්වීම අපේ වැඩක් නොවේ

දේශපාලන පක්ෂවල ඇතැම් නායකයන් ඔබට චෝදනා කරනවා මැතිවරණ කොමසාරිස් තමන්ගේ රාජකාරිය ඉටු කරන්නෙ නැතිව එක එක පක්ෂවලට එක එක කතා කිය කියා ඉන්නවා කියලා.

මම පොදුවේ මිසක් කිසි පක්ෂයකට මොකුත් කියලා නෑ. එක එක පක්ෂවලට වෙන වෙන කරුණු කියලා නෑ. පාර්ලිමේන්තුවට නීති වෙනස් කිරීමේ බලය තියෙනවා. ව්‍යවස්ථාව අර්ථ නිරෑපණය කිරීමේ බලය තියෙන්නේ අධිකරණයට. 20 වැනි සංශෝධනය ගැන ජනමත විචාරණයක් ඕනෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් ජනමත විචාරණයක් තියෙයි. ඕන නෑ කියලා කියලා පාර්ලිමේන්තුව පනත සම්මත කළොත් කොමිසමට කරන්න දෙයකුත් නෑ. නමුත් කොමිසමේ මතය නිසි ජනතා එකඟතාවයකින් තොරව ඕනෑම ඡන්ද විමසීමක් කල් තැබීම සහ මහජන නියෝජිත ආයතනයේ කාලය දීර්ඝ කිරීම රටේත් ලෝකයේත් ප්‍රජාතන්ත්‍රවාදී යහපත් මූලධර්මවලට එකඟ නැති බවයි. රටේ ජනතාවත් ඡන්ද කල්දමනවාට විරුද්ධයි. මේ බව අපි පොදුවේත්, ප්‍රසිද්ධියේත් කියලා තියෙනවා, වෙන වෙනම පක්ෂවලට ලියලත් තියෙනවා.

දැන් රජය 20වැනි සංශෝධනය ගැසට් කළා. ඒකට අනුව පළාත් සභා ඡන්ද එකම දවසක තියන්න නියම වෙනවා. එහෙම එකම දවසක තියන එක හොඳ ද නරකද?

එකම දවසක තියන්න ඕනෑ කියන එකේ කිසි ගැටලුවක් නෑ. ලංකාවේ පළාත් සභා මැතිවරණ කවදාවත් එකට තියලා නෑ. 

එහෙමනම් මැතිවරණය නිලකාලය අවසානෙට නිමවන පළාත් සභාවේ දිනය වෙනකම්ම අනෙකුත් පළාත් සභා මැතිවරණ කල් දැමීම හොඳයි ද?

මැතිවරණ එකට පැවැත්වීම හොඳයි කියලා නිල කාලය නිශ්චිත දිනයක් නැතුව දීර්ඝ කරන්න පුළුවන් ද කියන එක ගැටලුකාරියි. අපිට බලයක් තිබුණා නම් 2013 දීම සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණය තියනවා. මඩකලපුවේ සභා නවයක අවුරුදු හතරක් තිස්සේම මැතිවරණ නෑ.

පසුගිය රජයේ නායකයන් කියන්නේ අපි ඕනතරම් ඡන්ද තිබ්බා කියලා. ඕනතරම් ඡන්ද තියන එක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක යහපත් ලක්ෂණයක් ද?

ඡන්ද තියෙන එක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් තමයි. හැබැයි ඡන්ද තියෙනකොට ඒකට අවශ්‍ය යහපත් වාතාවරණයක් තියෙනව ද කියන එකයි වැදගත්. කොමිසමක් විදිහට අපි එක් එක් පක්ෂ වේදිකාවන්වල කියපු දේවල්වලට උත්තර දෙන්නෙ නෑ.

ලංකාවේ පළාත් සභා මැතිවරණ කවදාවත් එකට තියලා නෑ

මොකද්ද මේ ජනාධිපතිවරණ දිනය පිළිබඳ ගැටලුසහගත තත්ත්වයක් පැනනැගිලා තියෙන්නේ?

කිසිම ගැටලු සහගත තත්ත්වයක් නෑ. නියම වෙලාවට කියන්න පුළුවන්. කාටහරි නියම දිනය 2019 ද 2020 වකවානුව නිශ්චය කරගන්න ඕන නම් ධූර කාලය 5ද 6ද කියලා තීරණය කරගන්න ඕන නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලලා තේරුම්ගන්න පුළුවන්. නීතිය අර්ථ දැක්වීම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථදැක්වීම මැතිවරණ කොමිසමේ කාර්යභාරයක් නෙවෙයි. අපට කියන්න පුළුවන් එකම කරැණ අවුරැදු පහ වුණත් හය වුණත් ජනාධිපතිවරණය 2021 නොවෙයි. මොකද නිල කාලය අවසන්වීමට මසකට පෙර ඡන්ද විමසීම තියන්න ඕනෑ.

සමහර දේශපාලන නායකයෝ චෝදනා කරන්නේ ඔබ ඡන්ද තියනවට වඩා උනන්දු වෙන්නේ 18 ප්ලස් ව්‍යාපෘතියට කියලයි.

ඡන්ද තියන්න වාතාවරණ එන්න එපැයි. 18 ප්ලස් ව්‍යාපෘතිය විතරක් නෙවෙයි අපි උනන්දු වෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඡන්දායකයෝ දැනුම්වත් කිරීමටත් එක්ක වැඩ කරනවා. ඡන්ද තියෙනවට සමානව ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය, නීතියේ ආධිපත්‍ය සුරැකීම ආදිය සඳහා මෙහෙයවන්න පුළුවන් නම් ඒක ඡන්ද තියන එක තරම්ම වැදගත්. එතකොට ජනතාව අනෙක් පක්ෂ කාර්යාල පොඩිකරන්න යන්නේ නෑ, ඡන්ද නීති උල්ලංඝනය කරන්නේ නෑ, නීති විරෝධී ලෙස කටයුතු කරන්නේ නෑ. 

සාකච්ඡා කළේ සකීෆ් සාම් තන්වීරි
සේයාරැව | සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00