2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

පුපුරාගිය විශ්වාසය

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

මට නිදහස ලැබෙන හවස් වරුවල බී.බී.සී. රූපවාහිනිය විසින් විකාශනය කරන රූපවාහිනී පුවත් නැරඹීම මගේ සිරිතයි. දැන් දින කිහිපයකට පෙර එසේ ජාත්‍යන්තර රූපවාහිනී පුවත් බලන විට මට තැති ගැන්මක් ඇතිවිය. ඊට හේතුව වූයේ මා හොඳින් දන්නා අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ චාර්ලට්ස්විල් නැමති කුඩා නගරයේ ඇතිවූ ජාතිවාදී අරගලයයි. එම නගරයේ එවැන්නක් සිදුවෙතැයි මා කිසිකලෙක සිතුවේ නැත. 

මම මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් වසර දහයක පමණ කාලය තුළ හැම අප්‍රේල් හා සැප්තැම්බර් මාසවල සතියක් පමණ අමෙරිකාවේ වොෂිංන්ටන් නුවර ගත කළෙමි. ඒ ලෝක බැංකුවේ හා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සම්මේලනවලට ලංකාව වෙනුවෙන් සහභාගීවීමටයි. එම ආයතන දෙකේ පාලන මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද මම කටයුතු කළෙමි. ඒ අතරතුර අනිවාර්යයෙන් එක් නිවාඩු දිනයක් වැටෙන නිසා එම නිවාඩු දිනය මා ගතකළේ වර්ජිනියාවේ පිහිටි චාර්ලට්ස්විල් නගරයේය.

එයට හේතුව වූයේ මා කල්‍යාණමිත්‍ර එච්.එල්. සෙනවිරත්න මහාචාර්යවරයා එහි විසීමයි. ඇතැම් විට මා කාර් එකකින් එම නගරයට ගිය අතර සමහර දිනවල බස් රථයක නැගී යෑමත් මාගේ පුරුද්ද විය. වොෂිංන්ටන් නගරයේ කළු මිනිසුන් ගේ පළාතක පිහිටා තිබූ  බස් ඩිපෝව වෙත ගොස් ඈත පළාත්වල ඇති නගර කරා දිවෙන බස්වලට නැඟිය හැක. එම බස් සේවයේ විශේෂත්වය වන්නේ හරියටම සඳහන් වන වේලාවට පිටත්වීම හා ඉලක්කකරගත් නගර වලට කියපු වේලාවටම සේන්දු වීමත්ය. ඒ බස් රථවල වැඩිය ගමන් ගත්තේ කළු මිනිසුන්ය. අමෙරිකාවේ දකුණේ නගරවලට ගිය ඔවුන්ගේ මුල් නෑදෑයන් දකුණේ ජීවත්ව සිට යුද්ධයෙන් පසු උතුරට සංක්‍රමණය වූ බව මට දැනගන්නට ලැබුණි. 

චාර්ලට්ස්විල් වු කලී සරසවියක් මුල් කරගත් නගරයකි. එම සරසවියද එසේ මෙසේ එකක් නොවේ. එය අමෙරිකාවේ මුල් යුගයේ සුප්‍රසිද්ධ ජනාධිපතිවරයෙක් වූ තෝමස් ජේපර්සන් විසින් අරඹන ලද්දකි. ඉහළම ගණයේ සරසවිවලට අමෙරිකාවේ කියන්නේ “අයිවි ලිග්” කියාය. එයින් අදහස් වන්නේ එම විශ්වවිද්‍යාල පරණ ඒවා බවත් එම ගොඩනැගිලි කාලයාගේ අැවෑමෙන් අයිවි නැමැති කොළවලින්  වැසී ගොස් ඇති බවය. තවත් විදියකට කියනවා නම් ඒවා පැරැණි මෙන්ම සම්මානනීය අධ්‍යාපන මධ්‍යස්ථාන බවයි. හාවඩ් හා ප්‍රින්ස්ටන් නැමැති සරසවි මෙම ගණය තුළ උසස්ම තැන් දරයි. 

සෙනවිරත්න මහාචාර්යවරයා සමඟ මා බොහෝ දේ කතාබහ කළා පමණක් නොව චාර්ලට්ස්විල් නගරයේ හා වර්ජිනියා සරසවිය තුළ ඇවිදින්නට යෑමද සිරිතක් කරගතිමි. විශේෂයෙන්ම අප සිත් ගත්තේ නගරය මැද තිබූ කුඩා චීන අවන්හලයි.  මහ බැංකුවේ නිලධාරීන්ද ඇතුළුව අප කණ්ඩායම මෙම චීන බොජුන්හලට ගිය හැමවිටම එහි චීන අයිතිකරැ අපව හඳුනාගෙන මහත් මිත්‍රත්වයෙන් ප්‍රණීත ආහාර සැපයුවේය. මට මතක හැටියට ඔහුද වර්ජිනියා සරසවියේ ආදී ශිෂ්‍යයෙක් විය. එපමණක් නොව එම සරසවියේ පෙරදිග භාෂා හා සමාජ අධ්‍යයන අංශවල උගතුන්ද අපගේ මිතුරෝ වූහ. යාපනයේ දෙමළ දේශපාලනය පිළිබඳ පොතක් ලියා ඇති බ්‍රයන් පැපන්බර්ගර් හා සුප්‍රසිද්ධ ඉන්දියානු ජාතික සමාජ විද්‍යාඥයෝද ඔවුන් අතර වූහ. අමෙරිකාවේ දකුණේ දැකුම්කලු මේ නගරයේ ජීවිත කිසිම හැලහොල්මනක් නැතිව ගලාගෙන ගියේය. එහෙත් වරක් අළුයට ගිනි පුපුරුමෙන් සැලකිය හැකි අඳෝනාවක් එක් ගුරුවරයෙකු විසින් නගන ලදී. එනම් සරසවියට ඇතුළු කිරීමට ලකුණු අඩු කළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්මත විරෝධීව තෝරාගැනීම අමෙරිකන් අධ්‍යාපනය උඩුයටිකුරැ කිරීමක් යැයි ඔහු පැවසීය. අමෙරිකන් සමාජ ක්‍රමය තුළ සැමදෙනාම ගරු කරන්නේ සමබිමක් තුළ තරගකොට වඩාත් දක්ෂතම මෙන්ම හපන්කම් දක්වන්නන්ට යැයි ඔහු දැඩි ස්වරයකින් කීවේය. “කෝටා” ක්‍රමයට කල්ලන් සරසවියට බඳවා ගැනීම එතරම් සාධාරණ නොවන්නක් පමණක් නොව දක්ෂ සිසුන්ට ලබා දියයුතු උසස්ම අධ්‍යාපනය දියාරැ කරන්නක් බවද ඔහු ඇදහුයේය. එහෙත් එම අදහස ඉදිරිපත් කරන ලද්දේ ඉතාම සාමකාමී සාකච්ඡාවක් ලෙසයි. චාර්ලට්ස්විල් හී මෑතක ඇතිවු සිද්ධිය එම විශ්වාසයේ පුපුරායෑමක් හැටියට සැලකිය හැකිය. එහෙත් එම පිපිරීම එළියට එන්නේ අතීතකාමය ලෙසයි. අමෙරිකාවේ දකුණු ප්‍රාන්තයන් හී තිබූ වහල් සේවය මනුෂ්‍යත්වයට අභියෝගයක් යැයි කිවහොත් එය නිවරුදිය. වහල් වෙළඳුන් විසින් අප්‍රිකානු ගම්වලින් බලෙන් අල්ලා ගන්නා ලද අසරණයන්ට දස වධ දී සිරගතකර අමෙරිකාවේ දුම්කොළ හා පුළුන් වගාවට අවශ්‍ය වහලුන් වශයෙන් යොදාගන්නා ලදී. මෙය නම් මහ පොළොව නුහුලන අපරාධයකි.  අමෙරිකන් සාහිත්‍යයත් මෙම අමානුෂිකත්වයේ දිග පළල මනා ලෙස විස්තර කර තිබේ. වහල්භාවය නැති කිරීමට ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වැනි අය කටයුතු කිරීම නිසා දකුණු ප්‍රාන්ත අමෙරිකානු රාජ්‍යයෙන් කැඩීයාමට සිවිල් යුද්ධයක් දියත් කළෝය. මෙම සිවිල් යුද්ධය අදවූවද අමෙරිකානු විඥානයට කා වැදී තිබේ. 

වර්ජිනියාවේ සරසවිය අසල දකුණේ යුද සෙනවියාවූ  ජෙනරාල් රොබට් ලී ගේ ප්‍රතිමාවක් ඉදිකර තිබුණේය. පළාතේ ප්‍රගතිශීලී ජනයා එකී වහල්භාවයේ සංකේතය ගලවා දැමීමට තීරණය කළහ.  (අප සරසවි සිසුන් හැටියට පේරාදෙණිය සිට මහනුවරට පා ගමනක් කොට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු වූ රොබට් බ්‍රවුන්රිග් ගේ ප්‍රතිමාව බිමට හෙළිමට ගත් ප්‍රයන්තය මාගේ සිහියට නැඟේ) වර්ජිනීයාවේ සුදු වර්ගවාදීහු අතීතය අනුස්මරණය කරන එම ප්‍රතිමාව අයින් කිරීමට එරෙහිව කැරලි ගැසූහ. එසේ එක්වූයේ වහල් යුගයේ රජකළ සුද්දන්ගේ උරුමක්කාරයන්ය. අතීතකාමය බොහෝවිට කරළියට ගෙනෙන්නේ වර්තමානයට මුහුණ දිය නොහැකි දුර්වල මනසකින් යුත් අයයි. වර්තමානයේ ඔවුන්ට තරග කිරීමට නොහැකිවූ විට තමාගේ ජාති ආගම්වලට අද්විතීය තැනක් හිමිවූ කාලයේ ඉතිහාසයට ආපසු යති. මෙය මනෝවිද්‍යාවේ සුලභ සොයා ගැනීමකි. වර්තමානයේ අභියෝගවලට බිය මානසිකත්වය ඇති අය අතීතය කබල් ගෑමට ඉදිරිපත්වෙති.

එම නිර්මිත අතීතය වඩා ලෙහෙසියෙන්ම ඉදිරිපත් කළ හැක්කේ මානසික ව්‍යාධියකින් පෙළෙන අයටය. එය මුලින්ම හඳුන්වා දුන්නේ හිට්ලර්ගේ මාධ්‍ය විශේෂඥයකු වූ ගෝබල්ස්ය. “ටැනන්බර්ග්” අතීතයේදී ජර්මනිය විසින් ජයග්‍රහණය කරන ලද යුද්ධයක් ගැනත් එමෙන්ම අතීතයේදී යුදෙව්වන් ජර්මන් ජාතිකයන්ට තලා පෙළන හැටි දක්වන ව්‍යාජ ඉතිහාසයක්ද ඔහු නිර්මාණය කළේය. දැන් ඉන්දියානු හා ලාංකික සිනමා කර්මාන්තයත් එවැනි අතීත කතාවන් පතුරැවා මුදල් ගරා ගැනීමට සූදානම් වී ඇත. එම කතා කලාව නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දිය ෙනාහැක ජනතාවකට ලබා දෙන ලොසින්ජරයක් වැනිය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00