2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

එකම දිනෙක් ඡන්ද කතාව උප්පරවැට්ටියක්?

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සමඟ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, පළාත් පාලන ආයතන හා පළාත් සභා මැතිවරණ කල්යාම ඇතුළු වත්මන් දේශපාලන සංස්කෘතිය පිළිබඳව කළ සාකච්ඡාවයි.

මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, යහපාලනය ස්ථාපිත කිරීම වැනි පොරොන්දු දීලයි බලයට ආවේ. මැතිවරණයක් නිසිකලට පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සාධකයක්. දැනටමත් පළාත් පාලන මැතිවරණය කල් දමලා. දැන් පළාත් සභා මැතිවරණයත් කල් දාන්න හදනවා?

ආණ්ඩුව යහපාලන මූලධර්ම පොරොන්දු වුණා වගේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, තොරතුරු පනත, භාෂණයේ නිදහස වැනි යම් යම් සාධනීය දේවල් ගෙනාවා. නමුත් යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය රටක පවතිනවා ද යන්න පිළිබඳ මූලික කොන්දේසිය තමයි නියමිත කාලෙට රටේ පාලකයා පත් කිරීමට ජනතාවට අයිතිය තියනවද කියන එක. පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ මූලික වගකීම පැවරෙන්නෙ පැවති රජයට. කෙටුම්පතේ තිබූ තාක්ෂණික දෝෂ මැතිවරණ කොමිසම විසින් විෂයභාර අමාත්‍යවරයාට පෙන්වල දුන්නේ 2013 දී. ඒත් ඒ සම්බන්ධයෙන් පහුගිය ඇමතිවරයා කටයුතු කළේ නෑ. 

එතකොට වර්තමාන ඇමැතිවරයා?

වර්තමාන ඇමැතිවරයාත් කටයුතු කළේ නෑ. පහුගිය රජය කාලේ සීමා නීර්ණ කටයුතු සිදුකරලා තිබුණෙත් දේශපාලන අභිලාෂයන් උදෙසා. හැබැයි ඒ වැරැද්ද නිසාම දිගටම ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කරන්න මේ ආණ්ඩුවට බෑ. පහුගිය රජය කඩින් කඩ මැතිවරණ තියලා රාජ්‍ය බලය, සම්පත් යොදා උපරිම වාසිය ගත්තා. ඒ මොනවා කළත් ජනතාවට තමන්ගේ පාලකයා තෝරගන්න ඉඩකඩ තිබුණා. මේ මොහොතේ වෙමින් තියෙන්නේ ඡන්ද අයිතිය නැති කරන බරපතළ තත්ත්වයක්. රජය හිතමතාම මැතිවරණය කල්දැමීමට උපක්‍රමයක් විදිහට එකම දිනයක මැතිවරණ පැවැත්වීම කියන කාරණය පාවිච්චි කරන බව තමයි පෙනී ගිහින් තියෙන්නේ. මේක මූලික යහපාලන සංකල්පයටත් පටහැනියි.

ඡන්ද කල්දැමීම සිද්ධවෙන පළමුවැනි වතාව නෙවෙයි මේ. විවිධ හේතූන් මත මීට කලිනුත් කල්දාලා තියෙනවා. මේවගේ කල්දැමීමක ප්‍රතිඵලය මොනවගේ වෙයි කියලා අනුමාන කරන්න පුළුවන් ද?

ජනතාවට තමන්ගේ පාලකයා තෝරගන්න තියෙන අයිතිය අහිමි වුණොත් මේවා අවසන් වෙන්නේ ලේ වැගිරීම්වලින්. මේ බව තරුණ අසහනය පිළිබඳව පත්කළ කොමිසම් වාර්තාවේ සඳහන් වෙනවා. 71 තරුණ කැරැල්ල, 88/89 අසහනය වැනි තත්ත්ව වර්ධනය වෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යූහය ඇතුළේ පුරවැසියාට තමන්ගේ මතයට ඉඩකඩක් නැතිවීම තුළ. 

එහෙනම් මෙහෙම මැතිවරණ කල් දැමීමෙන් මොනවා වෙයි ද?

පළාත් සභාවල මැතිවරණ දිනය තීන්දු කිරීමේ බලය තිබුණේ මැතිවරණ කොමිසමට. 20වැනි සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව හා ව්‍යවස්ථා විරෝධීව එම බලය පාර්ලිමේන්තුවට පවරගන්න උත්සාහ කරනවා. මේවායේ ප්‍රතිඵල වෙන්නේ තරුණ නැගිටීම්, ජනතා නැගිටීම් ඇතිවීම. ජනතාව තමන්ගේ පාලකයා තේරීමේ අයිතිය අහිමි කරනකොට ඒ සඳහා විකල්ප මාර්ග, විකල්ප වූ ක්‍රියාමාර්ග තේරීමේ අවදානමක් තියෙනවා. මැතිවරණ කොමිසම නිදහස් හා සාධාරණ මැතිවරණයක් විතරක් පවත්වලා මදි. නියමිත කාලයටත් මැතිවරණ පැවැත්විය යුතුයි.

ආණ්ඩුව මැතිවරණ කල්දාන්න හේතුව විදිහට කියන්නේ පළාත් සභා මැතිවරණ එකවර පැවැත්වීමට කියලනේ. මීට කලින් රජය මැතිවරණ කඩින් කඩ තියද්දී ඇයි නිරීක්ෂණ කණ්ඩායම් විදිහට විරුද්ධ නොවුණේ?

කඩින් කඩ මැතිවරණ පැවැත්වීමට විරුද්ධව දිගටම හඬ නැගූ ප්‍රධාන සංවිධානයක් තමයි පැෆරල් සංවිධානය. කඩින් කඩ මැතිවරණ පැවැත්වීමෙන් රටේ මුදල් විශාල ලෙස නාස්ති වෙනවා. මැතිඇමතිවරු මේවාට යොදවන කාලය වැඩියි. ඒකෙන් අමාත්‍යංශ කාර්යන්ට කාලය යොදවන්න ලැබෙන්නෙ නෑ. රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ උපරිම විදිහට පාවිච්චි වෙනවා. ඒ විතරක් නෙවෙයි ජනතාවගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදි මතය ප්‍රකාශ වෙන්නෙත් නෑ. ඒ තුළ සියලු මැතිඇමැතිවරුන්ගේ බලහත්කාරය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කඩින් කඩ මැතිවරණ පැවැත්වීම කිසි ලෙසකවත් අපිට අනුමත කරන්න බෑ.

එහෙනම් මොකද්ද තියෙන විසඳුම?

අපි මැතිවරණ කැලැන්ඩරයකට යන්න ඕනැ. එකට තියන්න පුළුවන් මැතිවරණ එකට තියන්න ඕනැ. ජනාධිපතිවරණය, මහමැතිවරණය හා පළාත් පාලන, පළාත් සභා එකට එකතු කරලා පැවැත්විය හැකියි. භාරකාර ආණ්ඩු යටතේ මැතිවරණ පවත්වන්න පුළුවන්. රාජ්‍ය බලපෑම්, රාජ්‍ය සම්පත් කිසිවකින් තොරව මැතිවරණ පැවත්වීමට ඇතැම් රටවල මැතිවරණ පවත්වන්නේ භාරකාර ආණ්ඩුවක් යටතේ.

මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලටත් ගියා නේද?

මේ අවස්ථාවේ අපි අධිකරණයට යන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් පැහැරගැනීමේ සූදානමක් තියෙන හින්දා. පාර්ලිමේන්තු සංශෝධනයකින් තොරව මැතිවරණය එකම දිනයක ඉතාම සරලව තියන්න පුළුවන්. එකක් තමයි 2019 වෙනකම් තියෙන පළාත් සභා විසුරුවලා මුලින්ම තියෙන දිනයට මැතිවරණ පැවත්වීම. එහෙම නැත්තම් දෙක අතරමැද දිනයක තියන්නත් පුළුවන්. ඊළඟ තියෙන බරපතළම කාරණය මෙතෙක් මැතිවරණ කොමිසමට තිබුණ බලය 20 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවට පවරගන්නවා. එහෙම නම් ස්වාධීන කොමිෂන් සභා අවශ්‍යත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව අගයන ආණ්ඩුවක් තුළ මෙහෙම වෙන එක ඉතාම කනගාටුදායකයි. මේ විදිහට ආණ්ඩුව දෙමින් තිබෙන්නේ ඉතාමත් වැරදි පූර්වාදර්ශයක්.

අධිකරණයට යාමෙන් ප්‍රශ්න විසඳෙයිද? නඩු දැමීම පමණක් ප්‍රමාණවත්ද? මීට කලිනුත් අධිකරණයට ගියානේ?

අවාසනාවන්තම කාරණයක් තමයි අපි පළාත් පාලන මැතිවරණය කල්යාමට විරුද්ධවයි නඩු කියන්නේ. ඒත් අධිකරණමය කටයුත්තට මේ වෙනකොට අවුරුද්දකට වැඩි කාලයක් ගිහින්. මේ ක්‍රියාවලිය වෙනස් වෙන්න ඕනැ. යුක්තිය ඉෂ්ඨ වුණාට වැඩක් නෑ. යුක්තිය නියමිත කාලය තුළ ඉෂ්ඨ වෙන්න ඕනැ. අධිකරණය ක්‍රියාවලිය හරහා එක දෙයක් සාර්ථක වුණා. විෂය භාර අමාත්‍යවරයාට නියෝගයක් නිකුත් කළා මාසයක් ඇතුළත සීමා නීර්ණය ගැසට් කරන්න. ඒ අනුව නියමිත එක් දිනකට කලින් ඔහු ගැසට් කළා. අධිකරණ ක්‍රියාවලියේ යුක්තිය ඉෂ්ඨ වුණාට වේගවත් මදියි. අපේ රටේ අධිකරණ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් මාස තුනක්වත් යනවා. විසඳුමක් දෙන්න අවුරුද්දක්වත් යනවා. ඒනිසා තමයි අපි පාලකයන්ට කියන්නේ මැතිවරණ, ව්‍යවස්ථා වැනි කාරණා සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් අපිට අවශ්‍යයි.

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ගැන ජනතාවට තාම පැහැදිලි අදහසක් නෑ. ලංකාවට සුදුසු අනුපාත ක්‍රමයද කොට්ඨාස ක්‍රමය ද. ඔබලාගේ ස්ථාවරය කුමක් ද?

අනුපාත ක්‍රමය තමයි ලෝකෙ තියෙන හොඳම ඡන්ද ක්‍රමය. අපේ තියෙන්නේ අනුපාත ක්‍රමයයි මනාප ක්‍රමයයි එකට එකතුවූ මිශ්‍ර ක්‍රමයක්. ඒ කියන්නේ මේක තමයි ලෝකේ තියෙන හොඳම මැතිවරණ ක්‍රමය. මෙය ක්‍රියාත්මක වූ ආකාරය මතුපිටින් බැලීම නිසාම විශාල සමාජ විරෝධයක් ගොඩනැගිලා තියෙනවා. මනාප ගැටුම් ඇතිවෙලා තියෙන්නේ දිස්ත්‍රික්ක කීපයක අපේක්ෂකයෝ කීප දෙනෙක් අතර පමණයි. එය අපේක්ෂකයාගේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් මැතිවරණ ක්‍රමයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒවගේම අනිත් පැත්තෙන් විශාල මුදලක් වැය කරන්න වන නිසාම රටේ දූෂණයක් ඇතිවෙලා තියෙනවා. මන්ත්‍රීවරයා කොට්ඨාසයට වග නොකියන ස්වභාවයකටත් පත්වෙලා තියෙනවා. ඒනිසා මේ දෙක අතර තැනකට එනවා නම් හොඳයි. මොකද අනුපාත ක්‍රමය තිබුණේ නැත්තම් සුළු පක්ෂවලට පැවැත්මක් නැතිවෙනවා.

කාන්තා නියෝජනය පිළිබඳ ඉල්ලීමකුත් තිබුණා නේද?

පළාත් පාලනයට මැතිවරණයේ දී 25%ක කෝටාවක් කාන්තාවට ලබාදීමේ වැඩි ගෞරවය හිමිවෙන්නේ අග්‍රාමාත්‍යවරයාට. ඒත් නැවත මැතිවරණ ක්‍රමය සංශෝධනය වීමට තියෙන නිසා ඒ අවම කෝටාව ලැබෙයිද කියන්න බෑ. ඒවගේම ලැබෙන කෝටාවත් ඵලදායක විදිහට පාවිච්චි විය යුතුයි. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන්, දක්ෂ, කැපකිරීමක් තියෙන කාන්තාවන් දේශපාලනය ආවොත් විතරයි ඵලදායක වෙන්නේ. ආසන සංවිධායකගේ අභිමතය පරිදි ඔහුට ලැදියාවක් තියෙන, ඥාති සම්බන්ධතාවක් තියෙන, සල්ලි වියදම් කරන්න පුළුවන් කාන්තාවන් දැම්මොත් විශාල හානියක් වෙන්න පුළුවන්. ඒවගේම මම විශ්වාස කරන්නේ නෑ කාන්තා කෝටාවක් දිගටම තියෙන්න ඕන කියලා. ඔවුන්ටත් අභිමානවත්ව තරග කරලා තේරි පත්වෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනැ. 

ප්‍රධාන පක්ෂ දෙකම එකතුවෙලා සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් ඒ අයගේ අභිලාෂයන් ඉටු කරගන්න බැරිවෙලා තියෙන්නෙ ඇයි?

ආණ්ඩුවට එරෙහි බලවේග ආණ්ඩුවට තමන්ගේ වැඩපිළිවෙළ අනුව ඉදිරියට යන්න කිසියම් ඉඩක් දුන්නේ නෑ. ඒකාබද්ධ විපක්ෂය සැබෑ ලෙසම රටට ආදරය කරනවා නම් යම් සාධාරණ කාලයක් දිය යුතුව තිබුණා. දෙවනුව ආණ්ඩුවට නිශ්චිත සැලැස්මක් ඇතිව යන වැඩ පිළිවෙලක් තිබු‍ෙණත් නෑ. ආණ්ඩුව පත්වෙන්න දුන් පොරොන්දු අමතක වෙලා තියෙනවා. ඊළඟ කාරණය යම් යම් නීතීන් නිසා නිලධාරීන් බය වුණා. ඒ නිසා ඔවුන් කොතරම් දුරට ආණ්ඩුවට සහය දුන්න ද කියන කාරණයත් හේතු වුණා. මේ සියල්ල කළමනාකරණය කරන්න දේශපාලනඥයෝ අපොහොසත් වුණා. ඒ තත්ත්වය උඩ තමයි මේ ආණ්ඩුව පහුගිය අවුරුදු තුළ සාර්ථක හෝ අසාර්ථකත්වයක් ලබලා තියෙන්නේ.

මේ දවස්වල ප්‍රධාන මාතෘකාවක් තමයි බැඳුම්කර කොමිසම. මේ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්ට බරපතළ චෝදනාවක් එල්ල වෙලා. බලයේ ඉන්න දේශපාලනඥයන් දූෂණ වංචාවලට පෙළඹීම වළක්වන්න බැරිද?

මේක දේශපාලන සංස්කෘතියේ තියෙන ප්‍රශ්නයක්. ඒකට කෙටිකාලීන් විසඳුමක් නෑ. නමුත් මේ ක්‍රමය තුළ පවා හොඳ දේශපාලනඥයෝ සිටින්න පුළුවන්. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළොත් දේශපාලනඥයෝ මේ ග්‍රහණයට නතුවීමෙන් වළක්වන්න බෑ. එක පැත්තකින් දේශපාලනඥයෝ හොරකම් කිරීම නවත්වන්න නීති හදන්න ඕනැ. අනිත් පැත්තෙන් ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න ඕනැ. 

 සාකච්ඡා කළේ - සකීෆ් සාම් තන්වීරි.
    සේයාරුව |  සුමුදු හේවාපතිරණ.

 

 

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00