2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

හිට්ලර්, ට්‍රම්ප්, මදුරෝ සහ උද්ධමනය

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

ආචාර්ය වීරකෝන් විජේවර්ධන විසින් ලංකා මහ බැංකුව පිළිබඳව රචිත වටිනා පොත දොරට වැඩියේ  එම බැංකුවේ පසුබිම් කටයුතු ගැන රටේ විචිකිච්ඡාවක් පවතින අවධියකය. මහ බැංකුව රටේ දේශපාලන කඹ ඇදිලිවලින් ඈත්ව සිටිය යුතුවේ. එසේවුවද මේ ආර්ථික මර්මස්ථානය දේශපාලඥයන් විසින් දූෂණය නැමැති මඩ ගොහොරුවට ඇද දමා ඇත. ආචාර්ය විජේවර්ධන තරයේම කියා සිටින අයුරු මෙය කිසිසේත් අනුමත කළ හැකි තත්ත්වයක් නොවේ.

ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරය රටේ මිල ස්ථාවරය රැකගැනීමට අවශ්‍ය මූල්‍යමය පරිසරයක් ඇති කිරීමයි. තවත් අතකින් බැලුවහොත් එය රටේ සංවර්ධනය තුළ උද්ධමනය අනිසි ලෙස නැඟීම වැළැක්වීමයි. උද්ධමනය අසාමාන්‍ය ලෙස ඉහළ නැඟීම තුළ රටේ ජනතාවට විශේෂයෙන්ම දුප්පත් ජනතාවට ඉසිලිය නොහැකි බරක් පැටවේ. අර්ථ ශාස්ත්‍රඥයන් කියන පරිදි උද්ධමනය යනු අප්‍රකාශිත බද්දකි. මේ අයුරින් උද්ධමනය නිසා රටක් අර්බුදයකට ගිය හැටි ගැන හොඳම නිදසුන හිට්ලර්ගේ නැඟීමට පෙර පැවති ජර්මනියේ ආර්ථිකයයි. පළමුවැනි ලෝක යුද්ධය පරාජයවීමෙන් පසුව මිත්‍ර රටවල් ජර්මනියේ කෑල්ලක් ප්‍රංශයට අත්කර දුන්නා පමණක් නොව නොසෑහෙන ලෙස ජර්මන් මුදල් උදුරාගත්තෝය. එයට එකම දියහැකි පිළිතුර වූයේ තවතවත් ජර්මන් මුදල් මුද්‍රණය කිරීමයි. මෙසේ භයානක ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසා ජර්මන් කාසිය අවප්‍රමාණයවී උද්ධමනය අහස උසට නැංගේය. පවුලක මුළු ආදායම පාන් රාත්තලක් ගැනීමටවත් ප්‍රමාණවත් නොවීය. මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට සුප්‍රසිද්ධ අර්ථ ශ්‍රාස්ත්‍රඥයකු මෙන්ම ව්‍යාපාරිකයෙකුවූ රතනොව් නමැති යුදෙව් නායකයා මුදල් ඇමති ලෙස පත්කරන ලදී. එහෙත් ඔහු විසින් යොදාගන්නා ලද දැඩි ආර්ථික පිළිවෙතට රටේ විරෝධයක් ඇතිවී “යුදෙව් ඌරා” ලෙස නිග්‍රහයට ලක්කර ඔහු මහමඟ ඝාතනය කරන ලදී. රතනොව්ගේ ඝාතනයත් සමඟම ජර්මන් ආර්ථිකය කඩා වැටුණු අතර හිට්ලර්, ආර්ථිකය ස්ථාවරය කිරීමේ නමින් ජාතිවාදය කරපින්නාගෙන රාජ්‍ය බලය හිමිකර ගත්තේය.

හිට්ලර්ගේ නැඟීම කෙළින්ම උද්ධමනයේ ප්‍රතිඵලයක් ලෙස දැන් පිළිගෙන තිබේ. එම යුගයේ ජර්මන් කොමියුනිස්ට් පක්ෂය හිට්ලර්ට ප්‍රහාරයක් එල්ල කිරීමට මැලිවූයේ ඔහු ධනවාදය නැති කිරීමේ ආයුධයක් ලෙස යොදාගත හැකිය යන න්‍යාය අනුවයි.  හිට්ලර් සහ ස්ටාලින් අතර ගිවිසුමක් ද අස්සන් කරන ලදී.  එහෙත් එම ගිවිසුම ක්‍රියාත්මක වූයේ ජර්මන් කොමියුනිස්ට් පාක්ෂිකයන් සහ යුදෙව්වන්ගේ මළමිනී උඩිනි.  හිට්ලර් යුද්ධය යොදාගත්තේ ජර්මනියේ දිළිඳුකම නැති කිරීමේ උපක්‍රමයක් හැටියටයි. අද අමෙරිකාවේ ට්‍රම්ප් ද කරන පරිදි මේ යුද්ධ සැලසුම් නිසා දේශීයව විශාල යුද ආයුධ නිපදවීමේ කර්මාන්තයක් ගොඩනැඟී රැකියා ලබාදීමක් ද සිදුවිය. අලුත්ම ආර්ථික සංඛ්‍යා අනුව ට්‍රම්ප්ගේ පාලනය තුළ අමෙරිකන් ආර්ථික වර්ධනයේ මෙන්ම රැකියා සැපයීමේ සැලකිය යුතු සුබවාදී නැඹුරැවක් දැක්වේ. සාමාන්‍යයෙන් සියලුදෙනාටම රැකියා සැපයීමේ සංඛ්‍යාවෙන් රැකියා විරහිත භාවයේ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් දක්වා අමෙරිකාව ගෙන ඒමට ට්‍රම්ප් සමත්වී තිබේ. 

උද්ධමනය නිසා බලවත් අර්බුදයකට වෙනිසියුලාවත් දැන් පත්ව සිටී. වරක් කියුබාවට පමණක් දෙවැනි වූ චාවේස් හා මදුරෝගේ වෙනිසියුලාව අද දුප්පත් රටක් මෙන්ම දේශපාලන පොරපිටියක් බවට පත්ව ඇත. වරක් දකුණු අමෙරිකාවේ මෙන්ම ලෝකයේම පොහොසත් තෙල් නිපදවන දේශයක්වූ එම රට අද උද්ධමනය නිසා ගෘහණියන් පාරට බසින තත්ත්වයක් දක්වා පෙරළී තිබේ. කැස්ත්‍රෝගේ කියුබාවේ අසාර්ථක ආර්ථික න්‍යාය මෙතෙක් ක ල්වත් රඳවා ගැනීමට හැකිවූයේ වෙනිසියුලාවෙන් නොමිලේ ලැබුණ තෙල් හා මූල්‍ය ආධාර නිසාය. දැන් එම රටවල් දෙකම අඳුරු අනාගතයකට මුහුණ දී තිබේ. චාවේස්ගේ සමාජවාදී වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ පසුබිම වූයේ අසීමිත ලෙස ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළ යෑමයි. එම වාසිදායක රැල්ල මත රුසියාව, ඉරානය, වෙනිසියුලාව, ලිබියාව සහ ඉරාකය වැනි රටවල් බලවතුන් බවට පත්වූහ. එහෙත් අමෙරිකාව මුල්කරගත් බටහිර රටවල් තම දේශ සීමාවන් තුළම තෙල් ලබා ගනිමින් ලෝක තෙල් මිල නොසිතූ අයුරින් පහත හෙලුවෝය. මෙම අහඹු සිද්ධිය නොවන්නට ලංකාවේ ආර්ථිකයද මේ වනවිට අර්බුදයට ගොස් හමාරය. ඇත්ත කතාව නම් අපට අයවැය ලේඛනයක් පවා සාර්ථකව සකස් කළ හැක්කේ දැනට ලාබෙට තෙල් මිලදී ගත හැකි නිසයි.  නමුත් අපට එල්ල කළ හැකි විවේචනයක් වන්නේ එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන නොගන්නා බවයි. රාජපක්ෂ යුගයේ තෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ගියේය. දැන් එය ඩොලර් 50කි.

උද්ධමනය පාලනය කිරීමේ අවශ්‍යතාවය ද සිත්හි තබාගෙන මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරයි. එවැන්නක් කිරීමට තනි අයිතිය ඇත්තේ මහ බැංකුවටයි. රටේ සේවා හා භාණ්ඩවලට අනුපාතිකව මුදල් සංසරණය වියයුතුය. එවිට උද්ධමනය අවම වනවා පමණක් නොව ආර්ථික වර්ධනයට සමගාමීව රටේ මුදල් සංචිතයද වර්ධනය වෙයි. එහෙත් දේශපාලන නායකත්වය හැමවිටම ඉල්ලන්නේ අයවැය හිඟය පියවීමට මුදල් මුද්‍රණය කරදෙන ලෙසයි. වැය පාලනය කිරීමට නොහැකි හෝ අකමැති රජය පිළියම් වශයෙන් බලන්නේ වඩ වඩාත් මුදල් මුද්‍රණය කිරීමටයි. එය අතීසාරයට අමුඩ ගැසීමක් හා සමානය. නියම විසඳුම නම් අය වැඩිකොට වැය පාලන කිරීමයි. එහෙත් ආදී කල්පිත සහ පසුගාමී සමාජ දර්ශණ ඇති පක්ෂවලට එසේ අයවැය කළමනාකරණය කළ නොහැකිය. රාජ්‍ය අංශය පරිපාලනය කරන අතර පෞද්ගලික අංශයේ ආයෝජන ඉක්මනින් වැඩි කළයුතු වේ. දේශීය ආයෝජන ප්‍රමාණවත් නොවන්නේ නම් විදේශ ආයෝජන ලබා ගතයුතුය.  සුදු අලි බවට පත්වී ඇති රාජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත නොකළහොත් වැඩි වැඩියෙන් මුදල් මුද්‍රණය කිරීමට අනිවාර්යයෙන් සිදුවේ. රාජ්‍ය ආයතන, ආකාර්යක්ෂමතාවය, දූෂණය හා නාස්තිය පිළිබඳ ප්‍රතිමූර්ති බඳුය. එහෙත් ආණ්ඩු එම අංශයට අත ගැසීමට තරම් ධෛර්යවන්ත නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ උද්ධමනයට ඉඩදී පැලැස්තර ඇලවීමයි. ලංකාවේ දේශපාලන බලය අතිනත මාරුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පිළිබිඹු කිරීමකටත් වඩා උද්ධමනය අනිවාර්යයෙන් රජයක ජනප්‍රියතාවය සෝදා හරින නිසාය.

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00