2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

සම්පන්දන් පෙන්වූ අලුත් මාවත

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

පොතක් එළිදැක්වීමේ අවස්ථා දේශපාලනඥයන්ට තම අදහස් නිදහස්ව ප්‍රකාශ කිරීමට හොඳ වේදිකාවක් තනාදෙයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීම යනුවෙන් අප අදහස් කරන්නේ දේශපාලන කණ්ණාඩි භාවිතයකින් තොරව සිතට එකඟව විවිධ සංවේදී මාතෘකා සම්බන්ධයෙන් සිදුකරන අවංක මත දැක්වීමකි. මැතිවරණ වේදිකාවලදී යටිගිරියෙන් කෑගසමින් ලෝස් නැතුව සිතට එන බේගල් ඇද බාන ඇතැම් දේශපාලනඥයන් පොතක් එළිදැක්විම වැනි අවස්ථා වලදී සංයමයකින් යුතුව සිතට එකඟව යථාර්ථවාදී ලෙස කතා කරනු ඇසිය හැකිය. දැකිය හැකිය.

අප මේ පූර්විකාව සඳහන් කළේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ජුලම්පිටියේ මංගල හිමියන් විසින් රචිත දෙමළ භාෂාවේ ක්‍රියාපද විමර්ශන නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් දැක්වූ අදහස් පිළිබඳ සටහනක් තැබීමේ ප්‍රවේශයක් වශයෙනි. එම පූර්විකාවේ සඳහන් වූ කරුණු මේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනාට කොයිතරම් අදාළ දැයි සිතා ගැනීම අපගේ පාඨකයන්ට භාරය. එහෙත් ඔවුන් දෙදෙනා විසින්ම එහිදී දක්වන ලද අදහස් කෙරෙහි සැමගේ අවධානය යොමුවීම අවශය යැයි අපි විශ්වාස කරමු. 

රටේ ජාතික ගැටලුවට සෘජුවම සම්බන්ධ මාතෘකාවක් අදාළ ග්‍රන්ථයට ප්‍රස්තුත කාරණා සපයා තිබීම මේ හරවත් සංවාදයට මඟපාදා තිබූ බව මුලින්ම සඳහන් කළ යුතුය. දෙමළ භාෂාවේ ක්‍රියාපද පිළිබඳව සිංහල භාෂාවෙන් පොතක් ලියන විට එම පොත ලියන්නේ ගෞරවනීය භික්ෂුවක් වන විට ඒ ගැන බොහෝ දේ දේශපාලනඥයන්ට කතා කිරීමට අවස්ථාවක් උදාකර දෙයි. සම්පන්දන් මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් එම අවස්ථාව ජාතික ගැටලුවක් සම්බන්ධයෙන් ගැඹුරින් සිතන්නට සියලු ජනකොටස් පොළවන අදහස් ගණනාවක් ප්‍රකාශ කර තිබුණේ එම පසුබිම යටතේය. 

ආර්. සම්පන්දන් මහතා ප්‍රකාශ කර තිබුණේ තමා මේ රට බෙදන්නට ඉඩ නොදෙන බවයි. හිටපු ජනාධිපතිවරයාත් වත්මන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තමනුත් එකට එකතුවී රට නව මාවතකට ගෙන ආ යුතු බවද තමන් සියලු දෙනාම සමගි විය යුතු බවද  මේ පොතේ අර්ථය එය බවද ඔහු කියා තිබිණි. මෙය කොතරම් වටිනා අදහසක් දැයි යළි යළිත් තේරුම් කර දිය යුතු නොවේ. යුද්ධය පැවැති කාලයේ කොටින්ගේ මුද්‍රාව වශයෙන් හඳුන්වනු ලැබූ ද්‍රවිඩ ජාතික සන්ධානයට නායකත්වය දෙන සම්පන්දන් මහතා අද රට බෙදන්නට තමන් ඉඩ නොදෙන බව කියන විට ඊට වෙනත් සහතිකයක් අවශ්‍ය නැත. රට නොබෙදා ගැටලු විසඳා ගැනීම මේ රටේ සෑම පුරවැසියකුගේම ලොකුම ප්‍රාර්ථනයයි. සම්පන්දන් එකී ප්‍රාර්ථනයට ප්‍රාණවායුව එන්නත් කර ඇති බව ඔහුගේ එම ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි. 

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ සුළු ජාතික හෝ මහා ජාතික හෝ යනුවෙන් දෙයක් නොමැති බවත් රට ගොඩනැගීමට සියලුම ජාතීන් එකට එක් විය යුතු බවත්ය. දෙමල ජනතාවට විරුද්ධව තමන් කවදාවත් යුද්ධ නොකළ බවත් යුද්ධ කළේ කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව බවත් යුද්ධයේ නිමාවත් සමඟම සංහිඳියාව ගොඩ නැගුණු බවත් රාජපක්ෂ මහතාගේ කතාවේ සඳහන් විය. සිංහල සහ දෙමළ ජනතාව අතර අතීතයේ තිබූ සුහදත්වය බිඳ වැටීමට දේශපාලනඥයන් වගකිව යුතු බවද ඔහු කියා තිබිණි. උතුරත් දකුණත් අතර විරසක බවක් දිගටම රඳවා ගනිමින් දේශපාලන බොරදියේ මාළු බෑමට වලිකන සියලු දේශපාලනඥයන්ට මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශය ඉතාම වැදගත්වනු ඇතැයි අපගේ වැටහීමය. මෙවැනි යථාර්ථවාදී අදහස් රට පුරා පැතිරෙන විට ජාතීන් අතර අවිශ්වාසය දුරැ කරගැනීමට මාර්ග පෑදෙන බව සඳහන් කිරීම අවශයය.

මෙම උත්සවයට සහභාගි වූ ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක තිරිකුණාමලයේ ආනන්ද හිමියෝ ද මෙහිදී ඉතාම වැදගත් ප්‍රකාශයක් සිදුකළහ. ව්‍යවස්ථාවෙන්ම සම්මත කරදී තිබෙන අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ වැරැද්දක් නැති බව පැවැසූ ආනන්ද මහානායක හිමියෝ මෙවැනි සියුම් සංවේදී කරුණු විශාල කර නොගත යුතු බවද පැවැසූහ. මේ ප්‍රකාශය මේ රටේ සිංහල දෙමළ ඇතුළු සියලු ජන කොටස්වල අවධානයට ලක්වීම අවශ්‍යය. ජාතික ගැටලුව විසඳාගැනීමට මෙවැනි සියුම් සංවේදී කරුණු පිළිබඳව හැඟීම් බරව නොව බුද්ධිමත්ව සිතා කටයුතු කිරීම අවශ්‍යය. උන්වහන්සේ ප්‍රකාශ කළ පරිදි පටු අදහස් වලින් මිදී කටයුතු කිරීම තුළින් රටට විශාල ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බව අවබෝධ කරගත යුතුය.

මේ රටේ අතීතයේ තිබූ සිංහල දෙමළ සබඳතා බිඳ වැටුණේ දේශපාලනඥයන් විසින් බලය ලබාගැනීම සඳහා භාෂාව අවියක් වශයෙන් යොදා ගැනීම හේතුවෙනි. උතුරේ සහ දකුණේ පළාත් දෙකේම එම තත්ත්වයට පාර කැපූ දේශපාලනඥයෝ එදත් සිටියහ. අදත් සිටිති. මේ බලලෝභී කුමන්ත්‍රණකාරී ආත්මාර්ථකාමී දේශපාලන පොරපිටියේ වින්දිතයන් බවට පත්වූයේ සියලු ජනවර්ග වලට අයත් අහිංසක ජනතාවය.

අද පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයේ නායක වශයෙන් සිටින ආර්. සම්පන්දන් මහතා 77දී පාර්ලිමේන්තුවට පිවිසි මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයන් ස්වල්ප දෙනා අතරින් එක් අයෙකි. 77 දී විපක්ෂ නායක වශයෙන් සිටියේද උතුරේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු වූ ඒ. අමීර්තලිංගම් මහතාය. ඔහුගේ දේශපාලන නායකත්වය කොටි සංවිධානය බිහි කිරීමට තිරය පිටුපස සිට ක්‍රියාත්මක වූ හස්තය බවට එදා චෝදනා නැගුණේය. අවසානයේ ඔහු එම කොටි ත්‍රස්වාදයේම ගොදුරක් බවට පත්විය. එය දේශපාලනඥයන් විසින් අතීතයේ සිටම භාෂාව ඉදිරියට දමාගෙන සිංහල - දෙමළ ජාතීන් අතර විශ්වාසය බිඳ හෙලීමට කටයුතු කිරීමේ එක් අවාසනාවන්ත උදාහරණයක් පමණි. 

වත්මන් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා ඊට වඩා පුළුල් දැක්මක් සහිත කෘතහස්ත දේශපාලනඥයකු වීම රටේ වාසනාවකි. අමිර්තලිංගම්ලා රට බෙදන්නට කතා කරන විට සම්පන්දන්ලා රට බෙදන්නට තමන් ඉඩ නොදෙන බව කීම කොතරම් අපූරුද?

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00