2017 ජනවාරි 21 වන සෙනසුරාදා

මිනිස්සු හිතන්නේ දේශපාලකයෝ පල් හොරු කියලයි

 2016 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 12:00 31

 

ඔබ දේශපාලනයට එන්නට කලින් කොහොමද ජීවිතේ..?

ඒක හරිම හැලහැප්පිලි අඩුයි. දැන් වගේ නෙවෙයි.

අපි අහලා තියෙනවා ඔබ ඔබේ උසස් අධ්‍යාපනයේ පටන්ම හිටියේ විදේශ රටවල කියලා...?

මම අමෙරිකාවේ විශ්වවිද්‍යාලයකින් උපාධිය අරගෙන ඊට පස්සේ ආචාර්ය උපාධියත් අමෙරිකාවෙන්ම ගත්තා. යම් කාලයක් විදෙස්ගතව වැඩ කරලා ලංකාවට ඇවිත් අපේම ව්‍යාපාරයක් පටන් ගත්තා තව දෙදෙනෙක් එක්ක එකතුවෙලා. ඒක සමීක්ෂණ ආයතනයක්. පස්සේ ඒකත් උපරිම මට්ටමට ගෙනැවිල්ලා අපි ඒක විකිණුවා. ඒ 2000 අවුරුද්ද. ස්ලිම් නීල්සන් කියන්නෙ ඒ සමීක්ෂණ ආයතනය.

ඊට පස්සේ..?

දෙදාහේ ඉඳලා දෙදහස් දහය වෙනකම් මම වැඩකළා ආර්ථික උපදේශකවරයෙක් හැටියට. ඒ අතර කාලේ මම ආණ්ඩුවේ උපදේශකයෙක් විදිහටත් වැඩකළා. ඒ මම පත්තරේ දැන්වීමක් දැකලා දාපු ඉල්ලුම් පත්‍රයකින් ලැබුණු රස්සාවක්. දැන් ඔය නැණසල කියලා යන එක මුලින් අපි විශ්වඥාන කේන්ද්‍ර කියලා හැදුවේ. ඒ උපදේශකත්වය දරන සමයේ තමයි මහජන උපයෝගීතා කොමිසමේ නීති හැදුවේ.

ඒ ඇරුණාම ඔබ ලෝකයේ බොහෝ රටවල් හා සංවිධාන වෙනුවෙන් සේවය කළා..?

ඔව්. මම නේපාලයේ රජුගේ ආණ්ඩුවේ උපදේශකවරයෙක් හැටියට හිටියා. භූතානයේ රජුට උපදේශකවරයෙක් හැටියට හිටියා. අප්‍රිකාවේ රටවල් 6ක විතර විශ්වවිද්‍යාල එකතුවක ප්‍රධාන උපදේශක හැටියට වැඩකළා. දකුණු අමෙරිකාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, සිංගප්පූරුවේ, තායිලන්තයේ ආදී රටවල් 20කට වැඩි ප්‍රමාණයක වැඩකළා. ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, කැනඩාවේ IDRC එක ආදියටත් ආර්ථික උපදේශකවරයෙක් හැටියට වැඩකළා.

ලොකු වැටුප් එහෙමත් ලැබෙන්න ඇති..?

අපෝ ඔව්. ගෙවීම් ඉතාමත් හොඳයි. දවසකට ඩොලර් දහස් ගණන් ගෙවනවා.

ඔබ කාලයක් දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ රාත්‍රීන් පහන් කරමින් මොකද්දෝ වෙනසක් කරන්න උත්සාහ කළා කියලා කියනව නේද?

ඔව්. ඒ දෙදහස් එක වගේ ඈත කාලේ. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය හරිම අකාර්යක්ෂමයි. ගොවියෝ එක්ක කතා කතා කළාම මිරිස්ගෝනියා ඇළේ පැනලා සියදිවි හානි කරගන්න වෙනවා කියනවා. මුදලාලිලා ගොවියන්ට බණිනවා. මම තේරුම් ගත්තා මෙතන ගැටලුව තියෙන්නේ තොරතුරු හුවමාරුවේ කියලා. වෙළඳපොළට අවශ්‍ය දේ ගොවි මහත්තයා දන්නේ නෑ. ගොවි මහත්තරු ළඟ තියෙන දේ වෙළඳපොළ දන්නේ නෑ. අපි එහේ දුරකථන මඟින් තොරතුරු හුවමාරුව පටන් ගත්තා. ලංකාවේ පළවෙනි වයිෆයි කලාපයේ ලයිසන් එක තියෙන්නේ මගේ නමට. ඒ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ. මේක දැම්මේ 2001දි. මිනිස්සු වයිෆයි කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ..

ලංකාවේ බුද්ධිමත් ප්‍රජාව දේශපාලනය පිළිබඳ කලකිරිලා ඉන් ඉවත් වෙද්දී ඇයි මේ ඔබ මෙවැනි වෘත්තීමය පරිසරයක් අත්හැරලා දේශපාලනයට ආවේ..?

ලෝකයේ රටවල් සංවිධානවලට උපදේශක කටයුතු කරන අවධියේ මම ඒ රටවල්වල ඉඳලා ලංකාවට ආවාම මට වෙලාව ඉතිරිවෙලා තිබුණා. ඒ කාලේ තමයි මුලින්ම දේශපාලනයට සම්බන්ධ වුණේ.

ජාතික ලැයිස්තුවෙන් මුලින් ඇවිල්ලා පස්සේ මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු එන එක එතරම් ලෙහෙසි නැහැ. ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ තෙවැනියා තරම් ඉහළ මනාප ප්‍රමාණයක් අරගෙනයි දැන් පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මේ වෙනස කළේ..?

මට රනිල් වික්‍රමසිංහ නායකතුමන් කිව්වා 2010දි ඡන්දේ ඉල්ලන්න කියලා. ඒ අම්බලන්ගොඩින්.

ඇයි අම්බලන්ගොඩින් එන්න කීවේ?

මගේ ගෙවල් එහේ නිසා මට එහෙන් දිනන්න පුළුවන් කියලා ඉල්ලන්න කිව්වා. ඒත් මට බැහැ එහෙන් ඡන්දේ ඉල්ලන්න යන්න. මම කිව්වා බෑ කියලා. ඒ පාර තමයි බොහොම අමාරුවෙන් තාත්තවයි, බිරියයි, සහෝදරියවයි, සියල්ලෝම කැමති කරගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේ.

2015දි මොකද වෙන්නේ..?

ඔව්. 2012 විතර මාව කෝට්ටේ සංවිධායක හැටියට නම් කළා. අවුරුදු දෙක හමාරක් විතර තමයි මම සංවිධායක හැටියට හිටියේ. ඊට පස්සේ මගෙන් ඇහුවා දැන් ඡන්දේ ඉල්ලනවද කියලා. මම කිව්වා ෂුවර් එකට ඉල්ලනවා කියලා.


මේ ලංකාවේ ඇතුළේ කිසිම වෘත්තියකින් උපයන්න බැරි තරම් මුදලක් දේශපාලනයෙන් උපයන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. ඒ නිසාද ඔබ අර තරම් දේවල් අත්හැරලා දේශපාලනයට එන්නේ..?

දේශපාලනය තමයි සල්ලි වැඩිපුරම හම්බ කරන්න පුළුවන් රස්සාව. ඕන තරම් හොර වැඩ කරන්න පුළුවන්. ඒ හොර වැඩවලින් සල්ලි හම්බ කරන්න පුළුවන්. කෝට්ටේ ආසනයේ පාරවල් ගැන මම සම්පූර්ණයෙන් හොයනවා. එහේ පාරවල් වලින් 80෴කට වඩා හොරට හදලා තියෙන්නේ. මේක හදන්න නම් යහපත් මිනිස්සුත් මෙතෙන්ට එන්න ඕන. එහෙම එන්නේ නෑ අර තියෙන සම්ප්‍රදායික ක්‍රමවේදය නිසා. මම නම් ඉදිරිපත් වුණේ මේ රට අලුත් කරන්න තියෙන කැක්කුම නිසා. කෙනෙක්ට කියන්න පුළුවන් නම් මේ අවුරැදු ගාණට මම හොරකම් කරලා තියෙනවා කියලා, මම හෙට ගෙදර යනවා.

මේ දේවල් ගැන ඔබ ඔහොම කිව්වාට රටේ නායකයෝ නිහඬයි නේද..?

දූෂණ විරෝධී හමුව වෙලාවේ මම නැගිටලා ජනාධිපතිතුමාට කිව්වා දැන් දේශපාලකයෙක් වෙන එක හරි ලජ්ජයි කියලා. වැදගත් මිනිස්සු ඉන්න තැනක ගිහින් කිව්වාම කෙළින්ම හිතන්නේ මූ නම් පල් හොරෙක් වෙන්න ඇති කියලා. ඒත් හැමෝම එහෙම නෑ. මගේ අමාත්‍යංශයේ අමාත්‍ය මංගල සමරවීර මහත්තයා බලන්න. දශක ගණනක දේශපාලනයේ කිසි දවසක දූෂණ වංචා ගැන චෝදනා එල්ලවෙලා තියේද. නෑ.

ඔබ හිතනවද කිසියම්ම හෝ දවසක ඔය හීන දකින පිරිසිදු දේශපාලනේ මේ රටේ තියේවි කියලා..?

ඒකට හොරකම් කරලා අහුවුණොත් දේශපාලකයෝ හිරේ දාන්න ඕන. හොරැන්ට තනි පාටක් නෑ. රතු, නිල්, කහ, කොළ වගේ හැම පාටින්ම ඉන්නවා. ඉස්සෙල්ලා නිල් කට්ටිය එක්ක ඉන්නවා. එයාලා මාරැ වුණාම පස්සේ කොළ කට්ටිය එක්ක එකතු වෙනවා. අපේ ආණ්ඩුවට බැරි නම් මෙහෙම හොරකම් කරන දේශපාලකයන් අල්ලලා හිරේ දාන්න අපිට මේ විෂම චක්‍රය කඩන්න වෙන්නේ නෑ. තව කාරණයක් තියෙනවා.

ඒ මොකද්ද..?

දේශපාලකයින්ට ජීවත් වෙන්න පුළුවන් හා සාධාරණව ඔවුන්ගේ වැඩ කරගෙන යන්න පුළුවන් මට්ටමේ වැටුපක් දෙන්න ඕන. නගර සභාවේ මන්ත්‍රී කෙනෙක්ට රැපියල් පන්දාහද කොහේද ගෙවන්නේ. ඒ ගාණ ගෙවලා ඒ මිනිහා කොහොමද මඟුල් ගෙවල් වලයි, මළ ගෙවල් වලයි යන්නේ. ඒ අතරේ මිනිස්සුන්ගේ වැඩට උදව් කරන්නේ. රැපියල් පන්දාහෙන් බන්දුල ගුණවර්ධනටවත් ජීවත් වෙන්න බෑනේ. දැන් සිංගප්පූරැව වගේ රටක් ගන්න. ඒ රටේ වැරැද්දක් කළා නම් කවුරැ වුණත් ඇතුළේ. හැබැයි ඩොලර් මිලියනයක් පඩිත් හම්බවෙනවා. ඔය දෙකෙන් තමයි මේක තුලනය වෙන්නේ.

ඔබ එදා කොළඹ දිස්ත්‍රික්කයේ තුන්වෙනි තැනට මනාප ගත්තාට දැන් මේ ආණ්ඩුව යන විධියට ඔය ප්‍රතිඵලය අනාගතයේදීත් ලබාගන්න පුළුවන් වේවි කියලා හිතනවාද..?

ආනන්ද තිස්සද අල්විස් ඉතිහාසයේ 1977දී ගත්ත ඡන්ද ප්‍රතිශතය මම කෝට්ටෙන් ගත්තා. මම පිළිගන්නවා ජනතාවට යම් කලකිරීමක් තියෙනවා ආණ්ඩුව එක්ක. මොකද ජනතාව බලාපොරොත්තු වුණ දේවල් වලින් සුළු ප්‍රමාණයයි ආණ්ඩුවට ඉෂ්ට කරගන්න පුළුවන් වුණේ. හැබැයි තව අවුරැදු තුන හමාරක් හතරක් තියෙනවානේ. ඒ කාලේ ඇතුළේ අපිට පුළුවන් වේවි මිනිස්සු බලාපොරොත්තු වුණ දේවල් කරන්න.

ඔබේ විෂය ආර්ථික විද්‍යාව. ඒ සම්බන්ධව ඔබ නිපුණයෙක් හා විශේෂඥයෙක්. හැබැයි ඔබේ ඇමැතිධූරය විදේශ කටයුතු නියෝජ්‍ය. මොකද්ද මේ නොගැළපිල්ල..?

ඔව්. ඇත්ත. අපිට ඉල්ලලා ගන්න බෑනේ. දෙන දේ බාරගන්න වෙනවා. ඒ වගේම මම දැන් මගේ නිපුණත්වය පාවිච්චි කරනවා ආර්ථික රාජතාන්ත්‍රිකත්වය ඇති කරන්න. GSP+ වෙනුවෙන් අපේ කාලය අපි වෙන්කරනවා. දැනුත් මේ ඔබ එද්දි සිංගප්පූරැ මහ කොමසාරිස්තුමා සමඟ සිංගප්පූරැව සමඟ අත්සන් කරන්නට සුදුසු වෙළඳ ගිවිසුම් ගැන කතා කරමින් හිටියේ. දැන් ඔබ ගියාට පස්සේ ඕස්ට්‍රේලියාව එක්ක ඒ කතාබහම සිද්ධ වෙනවා.

හැබැයි රටේ මිනිස්සු නම් කියන්නේ අගමැතිවරයාගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ ඉඳලා ඔබට මෙතෙන්ට එන්න හේතු වුණේ වෙන සිදුවීමක් කියලා..?

කට්ටිය නම් එක එක ඒවා කියනවා. මම දන්නේ නෑ ඒක.

ඔබට පක්ෂය ඇතුළේ යම් ආකාරයක කැපිල්ලක් තියෙනවාද..?

නෑ. එහෙම එකක් තියෙනවා කියලා මම නම් හිතන්නෙ නෑ.

හැබැයි මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ඔබ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය නිසා ඔබට පක්ෂයේ ඉහළින් කැපිල්ලක් තියෙනවා කියලා බාහිර පාර්ශව කියනවා..?

මෙහෙමයි. අපි හිතට එකඟව වැඩ කරන්න ඕන. මහ බැංකු බැඳුම්කර සිදුවීමේ එදත් අදත් මම පෙනී ඉන්නේ එතැන වැරුද්දක් වෙලා නම් අදාළ නීතිමය පියවර ගන්න ඕනෑ කියන තැන. මේකේ සම්පූර්ණ වගකීම මහබැංකු අධිපතිවරයා ගන්න ඕන කියන එකට අපිත් පැකිලීමක් නැතිව අත්සන් කළා.

ඔබ අත්සන් කළෙත් "පාද සටහන්" තියලද..?

 

මේක සංකීර්ණ ක්‍රියාවක්. මට මූල්‍ය ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තියෙනවා. ඒ සම්බන්ධ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් හැටියට ලංකාවේ හා ඇමෙරිකාවේ කටයුතු කළා. ඊට අමතරව ලංකාවේ ප්‍රධානම බැංකුවක භාණ්ඩාගාරිකවරියෙක් හැටියට මේ බැඳුම්කර ගනුදෙනු කරලා තියෙනවා. මම රටේ ප්‍රධානම බැංකුවක බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ ප්‍රධානියා හැටියට කටයුතු කරලත් තියෙනවා. ඉතින් මම හිතනවා ඔය කෝප් කමිටුවේ හිටිය ඇතැම් පිරිසට වඩා මේ කාරණයේදී මම තරමක් ඉස්සරහින් ඉන්නවා කියලා. මේ ගනුදෙනුවේදි ගැටලු සහගත අවස්ථා පැන නැගුණා. ඒකට අධිපතිතුමා වගකියන්න ඕන.

ගනුදෙනු තුළ විනිවිදභාවය තිබුණේ නැද්ද..?

ඔතන ගැටලුව තිබුණේ විනිවිදභාවයේ තමයි. ඔය පර්පචුවල් එකේ හාදයා ගැන වැඩිපුරම විපක්ෂයේ ඉන්නකොට කතා කළේ මම. පර්පචුවල් එක කොටස් වෙළඳපොළේ කරපු මගඩි ගැන මමයි කතා කළේ. ඒක තමයි මම කිව්වේ මේ පර්පචුවල් එකත් මේකට ගේන්නම ඕන කියලා. පර්පචුවල් එකත් මේකට සම්පූර්ණයෙන්ම සම්බන්ධයි. සමහරැ පර්පචුවල් එක ඒකට සම්බන්ධයි කියලා දාන්න බෑ කිව්වා. මම දන්නේ නෑ ඇයි ඒ කියලා. මම මගේ පාද සටහනේ දැම්මා මේක මේ වැඩේට සම්බන්ධයි, මේක පිළිබඳ බලන්න ඕනෑ, මේ තුළ යම් අපරාධ වරදක් තියෙනවාද කියලා බලන්න ඕන කියලා මම ලිව්වා.

පාද සටහනක් ගැන කිව්වාට ඒකේ තියෙන්නේ මොනවද කියලා කවුරැවත් කතා කරන්නේ නැත්තේ ඇයි..?

ඒක තමයි ප්‍රශ්නේ. දැන් ජනවාරි මාසේ ඕක ගැන විවාදයක් එනවානේ.

ඔබ මුලින් කිව්වා හොරැ ඒ ඒ පාට අනුව කාලෙන් කාලෙට මාරැ වෙනවා කියලා. මෙතන වුණෙත් එහෙම දෙයක් ද..?

මේ කියන ආයතනයේත් මට පේන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ. මොකද ඔය නාමල්ලත් එක්ක හිටිය සෙට් එකක්නේ. ඔය සමාගමේ අධ්‍යක්ෂක හිටියේ නිවාඩ් කබ්රාල්ගේ නංගිනේ.

ආණ්ඩුව අය වැය නම් සම්මත කරගත්තා. ඒත් රටේ ජනතාව තාමත් ආණ්ඩුවට බණිනවා මේ අය වැය නිසා..?

ඇත්ත කථාව තමයි රවි ඇමැතිතුමාටත් භාරදූර කාර්යයක් තමයි කරන්න සිද්ධවෙලා තියෙන්නේ. ආණ්ඩුවේ ආදායම කඩාගෙන වැටිලා තියෙන්නේ. ඒක වැඩි කරන්න නම් බදු ගහන්න ඕන. මේක විවේචනය කරන කට්ටිය ගෙවන්න තියෙන බදු ටික ගෙවන්නෙත් නෑ. හැබැයි විවේචනය නම් කරනවා. ඒ වගේම වරායේ, ආගමන විගමන එකේ, රේගුවේ සිද්ධවෙන මහා මගඩි හොරකම් නතර කරන්න ඕන. කවුද මේවා කරන්නේ.. කවුද පිටකොටුවේ බදු නොගෙවා බදු හොරකම් කරන්නේ..

ඔබ විපක්ෂයේ ඉද්දි පැවති ආණ්ඩුවට බැන්නා එයාල හොරා කනවා කිය කිය. දැන් ඔබලා ආණ්ඩුවක් හදාගෙන තාමත් කාටදෝ බණිනවා. බණින එක විතරද කරන්නෙ..

ඔය මිනිස්සු නෙවෙයි මේ හින්දා තැලෙන්නේ පොඩි වෙන්නේ. ඔය මිනිස්සු බදු ගෙවන එක මඟ හරින නිසා ඒකේ පාඩුව ගෙවන්න වෙලා තියෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවට. විවේචන කරන්න එන්නේ දේශපාලන බලවේග හරහා අර පරණ සෙට් එකමයි.

දවසින් දවස ඩොලරය හමුවේ රැපියල කඩාගෙන වැටෙනවා. ඉතිහාසයේ රැපියලේ අවම අගයත් පහුගිය දවසක වාර්තා වුණා. ඒ අතරේ ඛණිජ තෙල් මිල ඉහළ යනවා. අපි මේ උගුලකටද යන්නේ..?

ඩොලර් හම්බ කරන්නේ නැතිව රැපියල බේරගන්න බෑ. ඩොලර් හම්බකරන්නේ අපි අපනයනය කරලා. මහින්ද රාජපක්ෂ මහත්තයා අපෙන් ආණ්ඩුව ගන්නකොට දළ දේශීය නිශ්පාදිතයෙන් 33 – 34%ක් අපි අපනයනය කළා. එතුමාගෙන් අපි ආපහු ආණ්ඩුව ගන්න කොට ඒක 11 – 12%කට අඩුවෙලා තිබුණා. කොහෙන්ද ඉතින් අපිට ඩොලර්. අපි දැන් අපේ අපනයනය වැඩි කරගන්න ඕනෑ. අපේ GSP+ එකත් කපලා. මාළු පිටරට යවන එකත් නැතිවෙලා. අමෙරිකාව එක්ක ගෝරි දාගෙන තිබ්බා. යුරෝපයත් එක්කත් රණ්ඩු. ඉන්දියාව එක්ක ප්‍රශ්න. චීනෙත් එක්ක හොඳයි. හැබැයි චීනේ අය අපෙන් බඩු ගන්නේ නෑ.

ඔය GSP+ එක නැති කළෙත් ඔබලාගේ පක්ෂයේ අය ගිහින් යුරෝපයට කේලාම් කියපු හින්දා කියලා චෝදනාවක් එල්ලවුණා නේද..?

පට්ටපල් බොරැනේ. අපිට එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඉතින් තව කොච්චර දේවල් පුළුවන්ද. එතකොට අර මාළු අපනයනය නැති කරගත්තෙත් අපිද? මේ ඩොලරය රැපියල් එකසිය පනහට යන එකට වගකියන්න ඕන අපේ ආර්ථිකය කඩාදාපු ඒ මිනිස්සු.

 ප්‍රසාද් අබේවික්‍රම
සේයාරැව - සමන්ත ප්‍රදීප්

 

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 06:10
 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, ප.ව. 06:00