2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ආර්ථික අර්බුදයට එරෙහි සටන බරපතළයි

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

- ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

මේ ආණ්ඩුව වර්තමානය වෙනකොට විශාල අර්බුද රැසකට මුහුණදීලා තියෙනවා. ඒ අර්බුද විපක්ෂයකට නම් රත්තරන් වගේ. ඒත් වර්තමාන විපක්ෂය ඒ දේවලින් ප්‍රයෝජන ගන්නවද?

විශේෂයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්ති ආණ්ඩුව බලයට පත්කරන්න වෙහෙසවුණු අයත් සමඟ ගැටීමකට ලක්වෙලා තියෙනවා. ඒ ගැටීම තැන තැන තිබුණට එය එක මධ්‍යස්ථානයකට ගේන්න දේශපාලන පක්ෂ අසමත් වී තිබෙනවා. ඒ නිසා අපි හිතනවා ඒ විසිරිලා තිබෙන ආණ්ඩු විරෝධී මතවාද එක තැනකට ගේන එකයි අපිට තියෙන ලොකුම අභියෝගය. ඔබ කියූ පරිදි ඒ විරෝධතාවයත් එක මධ්‍යස්ථානයකට ගේන්න අපට සිදුවෙලා තියෙනවා.

විශේෂයෙන් පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්ෂයත් ඉන්නවා. ඔබත් එහි කොටස්කාරයෙක්. ජනතාව එල්ල කරන චෝදනාවක් තමයි විපක්ෂය තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පමණයි සටන් වදින්නේ කියලා?

විශේෂයෙන් කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ සංයුතියේ විකෘතිතාවයක් ඇතිවෙලා තියෙනවා. ඒ ශ්‍රීලනිපයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා වෙනම වාඩිවීම නිසා. මේ විකෘති තත්ත්වයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ කඳවුර. ඒ වගේම දෙමළ ජාතික සන්ධානය ගත්තොත් ඔවුන් මූලික කරගන්නේ උතුරත්, දෙමළ ජාතික ජනතාවගේ ප්‍රශ්නත් විතරයි. ඔවුන්ගෙන් ජාතික වශයෙන් කාර්යභාරයක් ඉටුවන්නේ නෑ. බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසයි අපි කිව්වේ මැතිවරණයේදී ආණ්ඩුව සම්බන්ධව ගැටලුවක් නෙමෙයි තියෙන්නේ ශක්තිමත් විපක්ෂයක් සම්බන්ධ ගැටලුවක් කියලා.

එක හොරෙක් තවත් හොරෙකුට කවදාවත් දඬුවම් දෙයිද?

 

විපක්ෂය ප්‍රශ්න වටේ දුවනවා නේද? එක ප්‍රශ්නයකටවත් විසඳුමක් හොයාගන්න බැරිවෙලා තියෙනවනේ.

අපේ පක්ෂය ගැන කතා කළොත් පොදුවේ රටේ ප්‍රශ්නත්, ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙනුත් පෙනී ඉඳලා තියෙනවා. ඒත් ශ්‍රීලනිපයත්, එජාපයත් කේන්ද්‍ර ගතවෙලා තියෙන්නේ තමන්ගේ ප්‍රශ්නවලට විතරයි. ඒකනේ දෙගොල්ලන්ට එකතුවෙලා ආණ්ඩු කරන්න පුළුවන්. ඔවුන් මේ ආණ්ඩු කරන්නේ තමන්ට යමක් කරගැනීමේ අරමුණෙන්. පේනවනේ මේ පක්ෂ දෙකේම මහලේකම්වරු පක්ෂ මාරැකරපු හැටි. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුව පත්වුණු ගමන් ගෙනාවා අමාත්‍යධුර 48 ගැන ප්‍රශ්නයක්. ඒ ගෙනාවෙත් ඔවුන්ට අවශ්‍ය තාන්න මාන්න හදාගන්න. ඒ නිසා ඒ පක්ෂවලට අවශ්‍ය ඔවුන්ගේ පැවැත්ම විතරයි. විශේෂයෙන්ම රාජපක්ෂ කඳවුරට ඒක අදාළයි.

ඔබ කිව්ව පාර්ලිමේන්තු විකෘතිතාවය නිසාද ජනතාව අමතක වෙලා තියෙන්නේ කාට කාටත්?

බලන්න ඔය ප්‍රධාන පක්ෂ දෙක හැමදාමත් විපක්ෂයේ ඉන්නකොට දුර්වලයි. බලන්න 1977 ඉඳලා 1993 අගභාගය වෙනකල් ශ්‍රීලනිපයක් තිබ්බේ නෑ. 1994 ඉඳලා 2015 වෙනකල් එක්සත් ජාතික පක්ෂයක් තිබ්බේ නෑ. ඒ නිසා මේ පක්ෂ දෙකෙන් කවදාවත් විපක්ෂයේ භූමිකාවක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒත් අපි තහනම් ව්‍යාපාරයක් ලෙස සිටිද්දිත් විපක්ෂයේ භූමිකාව ඉෂ්ට කළා. පසුගිය කාලෙත් අපි ඒ දේ කළා. අද වනවිට ඒ වගකීම පැවරිලා තියෙන්නේ අපිට. අපිට මතකයි රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව සටන පටන් ගත්තේ 2013 ඉඳලා. අවුරුදු 08 ගියාට පස්සේ. තවම මේ ආණ්ඩුවට අවුරුදු දෙකහමාරයි. ඒ නිසා අපි තව බලමු. අපි ඉබාගාතේ පොලු ගහන දේශපාලනයක් කරන්නේ නෑ.

රාජපක්ෂ පාලනය පෙරළා දැම්මේ දූෂිතයි කියලා. ඒත් මේ ආණ්ඩුව ආපු ගමන්ම දූෂණ චෝදනා එල්ල වෙනවා. දූෂණයෙන් තොරව ආණ්ඩු කරන්න බැරිද?

දූෂණය කියන්නේ මේ සමාජ ආර්ථික දේහයේම උපතක්. එය පුද්ගලයකුගේ වරදට වඩා දූෂණ වළල්ලක් තියෙන්නේ. ඒ වළල්ල ඇතුළේ දේශපාලකයෝ ඉන්නවා. ඉහළ රාජ්‍ය නිලධාරීන් යම් ප්‍රමාණයක් ඉන්නවා. ව්‍යාපාරිකයෝ ඉන්නවා. මාධ්‍ය හිමිකරුවෝ ඉන්නවා. පොලීසිය, හමුදාව, අධිකරණයත් ඉන්නවා. ඒ නිසයි වංචාව දූෂණය සම්බන්ධයෙන් සටන සරල එකක් නොවන්නේ. ඔවුන්ට පාතාල සබඳතා තියෙනවා. නීතිවිරෝධී අවි ආයුධ තියෙනවා. යාන වාහන තියෙනවා. මේ හැමදේම එකට බැඳිලා තියෙන්නේ. ඒක ආණ්ඩු මාරුවකින් කරන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට නෑ. මොකද කොච්චර ආණ්ඩු මාරුවුණත් නිලධාරි යාන්ත්‍රණයෙත් දේශපාලන යාන්ත්‍රණයෙත් වෙනසක් නෑ. ඒ නිසා ඒක මර්දනය කරන්න සටන් කරන්න ඕන. අපි ඒ දේ කරනවා. වර්තමාන ආණ්ඩුව මේ දූෂණ වළල්ලේ එක්තරා කොටස්කාරයෙක්. දැන් බලන්න පැවති දූෂිත ආණ්ඩුව පෙරළලා ජනවාරි 08 වැනිදා බලය ලබාදෙනවා ජනතාව. ඒත් ඊට මාස දෙකක් යන්න කලින් 27වැනිදා මහා වංචාවක් වෙනවා. ජනතාව වංචාව පිටුදකිනකොට සමහරැ උත්සාහ ගන්නවා වංචාවක් කරන්න. ඒ නිසා මේ ආණ්ඩුව වංචා කරන්න විතරක් නෙමෙයි වංචාකරැවන් ආරක්ෂා කරන්නත් පෙනී ඉන්නවා.

විශේෂයෙන් බැඳුම්කර සිද්ධිය ගැන කතාකරන කොට මේ හෙළිදරව්ව සිදුකළේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ගත්ත ආරම්භය අවසානයක් කරන්නේ කොහොමද?

විශේෂයෙන් අපේ රටේ දූෂිතයන්ට දඬුවම් දෙන්න නීතියක් තියෙනවා. අදාළ ආයතන තියෙනවා. ඒත් මේ ආයතන කවදාවත් ස්වාධීන නෑ. ඒ පාලන අධිකාරිය යටතට ඔවුන් නතු කරගන්නා නිසා. මේ දේවල් ගැට ගැහෙනවා. අපේ වගකීම තමයි ඒවා හෙළිදරව් කිරීම. ඒ වගේම මතයක් ගොඩනගන එක. ඒත් අවසාන වශයෙන් බලය තියෙන්නේ පාලකයාට. ඔවුන්ගෙන් ඒ දේ කොයිම වෙලාවකවත් බලාපොරොත්තු වෙන්න බෑ. හරියට නිකන් බල්ලෙක් නාවන්න අරගෙන යනවා වගේ තමයි පාලකයන්ගෙන් දඬුවමක් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපේ අරමුණ තමයි ඔවුන්ට බලකිරීම. කවදාවත් හොරෙක්ගෙන් හොරෙක්ට දඬුවම් බලාපොරොත්තු වෙන්න බෑ. හොරෙක්ට දඬුවම් කළ හැකි වන්නේ හොරකම් නොකරපු මිනිහෙක්ට විතරයි. ඔබ බලාපොරොත්තු වෙනවද රනිල් මෛත්‍රී ආණ්ඩුවෙන් දඬුවම්. නෑ කවදාවත් වෙන්නේ නෑ.

විපක්ෂයේ වගකීම පැවරිලා තිබෙන්නෙ අපිට

ඒකාබද්ධ විපක්ෂය මේ වෙනකොට වර්තමාන විදේශ ඇමැති රවි කරුණානායක මහතාට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න තීරණය කරලා තියෙනවා. ඇයි ජනතා විමුක්ති පෙරමුණ නිහඬ?

අපි එකක් විශ්වාස කරනවා. මේ මහා දූෂණ වංචාවල කුළුණ ලෙස රවි කරුණානායක හඳුන්වන්න අපි සූදානම් නෑ. මුදල් අමාත්‍ය ධුරයෙන් රවී කරැණානායක ඉවත් කළාටත් එවැනිම කතාවක් ගොඩනගන්න උත්සාහ කළා. විශේෂයෙන් කියන්න ඕන වංචා දූෂණ චෝදනා ඇති එක් අයෙක් විතරයි මේ හෙළිදරව් වෙලා ඉන්නේ. ඒ නිසා අපි කොයි වෙලාවකවත් සමාජය පෙළගස්වන්න සූදානම් නෑ ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ පමණින් මේ ප්‍රශ්නය ඉවරයක් වෙනවා කියලා කියන්න. ඔහුව ඉවත් කරලා වාඩිකරන කෙනා සම්බන්ධයෙන් කවුද සහතිකයක් දෙන්නේ. ඒ නිසා අපේ අරමුණ තමයි පුළුල් සංවාදයක් ඇතිකරන එක. ඒ සටනේදී මේ මේ හෙළිදරව් වන එක් එක් වංචාවලට විශ්වාසභංගයක් වගේ දෙයක් ගේන එක හිතකර වෙනවා. ඒත් ඒකෙන් මුළු වංචා දූෂණ නවතිනවා කියලා අපි විශ්වාස කරන්නේ නෑ. විශේෂයෙන් රාජපක්ෂ අයගේ මතය වෙලා තියෙන්නේ ඒ ගොල්ලොත් හොරු අපිත් හොරැ කවුද හොඳම හොරා කියලා තෝරන එකයි. ඒ නිසා තනි පුද්ගලයෙක් අරමුණු කරගෙන සටන් කරන්නේ නෑ. කෙසේ වෙතත් අපි විශ්වාසභංගයක් ගේන්න පුළුවන්ද බැරිද කියන එක සාකච්ඡා කරනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියලා තිබ්බා තනි පුද්ගලයකුට නෙමෙයි ආණ්ඩුවටයි විශ්වාසභංගයක් ගේන්න ඕන කියලා. ඔබලත් ඉන්නේ ඒ මතේමද?

මම හිතන්නේ ආණ්ඩුව පෙරළිය යුත්තේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි පෙරළීමකින් නෙවෙයි. අපි අරමුණ කරන්නේ, එළියේ ක්‍රියාත්මක වන ආර්ථික, සමාජීය, දේශපාලනික ප්‍රතිපත්තියට එරෙහිව බලවේගයක් ගොඩනගන එක. ඇත්තටම විශ්වාසභංගය වෙලා තියෙන්නේ මොකක්ද! මේ පක්ෂ දෙක අවුරුදු 70ක් තිස්සේ සිදුකරපු ප්‍රතිපත්ති තමයි විශ්වාසය භංග වෙන්න හේතුවෙලා තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව විශ්වාසභංගයක් ගේන්න වෙනවා මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්තිවලට එරෙහිව.

කබීර් හෂීම් අමාත්‍යවරයා කියලා තිබ්බා රවි කරුණානායක අමාත්‍යවරයට එරෙහිව ගේන විශ්වාසභංගය පරාජය කරනවා කියලා. ඒ තුළින් පේන්නේ ආණ්ඩුව බලවත් කියලා නේද?

ඔව්. මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නකොට සිග්නල් කණු වගේ මිනිස්සු ඉන්නකොට, හිතක් පපුවක් නැති හැඟීම් දැනීම් නැති අය ඉන්නකොට, පොළවල්වල කුණු මාළු වගේ මිනිස්සු ඉන්නකොට ඔය වගේ පාරම් බාන්න පුළුවන්. ඒ වගේම ඔහු කියලා තිබ්බා ආණ්ඩුව විසින් රවී කරුණානායක ආරක්ෂා කරනවා කියලා. එහෙම තමයි මේ හැමෝටම තියෙන්නේ. තමන්ගේ හොරැ තමන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක්.

ඔබේ පක්ෂය විසින් මේ වනවිට රට තුළ සයිටම් විරෝධී මතයක් ගොඩනගලා තියෙනවා. මේ නිසා දොස්තරවරු නිතර වර්ජනය කරනවා. මේ දේවල්වලින් පීඩාවට පත්වෙන්නේ රටේ ජනතාව නොවෙයිද?

ඕනෑම වර්ජනයක ප්‍රමුඛතම බලපෑම එල්ල වෙන්නේ ජනතාවට. එවැනි වර්ජනයකදී දවසක් සතියක් බලපාන පීඩාවද නැතිනම් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා දීර්ඝ කාලයක් තිස්සේ විඳවන්න වෙන බලපෑමද කියන එක හොයා බලන්න ඕන. අද අපේ රටේ විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීලා තියෙන තැන තමයි අධ්‍යාපනය. මේ නිසා දරැවනුත්, මවුපියනුත් ඒකේ ගොදුරක් වෙලා විශාල පිරිවැයක් දරන්න වෙලා තියෙනවා. ලෝකයේ කොහෙවත් මෙවැනි පීඩාකාරී අධ්‍යාපනයක් නෑ. මේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ සල්ලි තියෙන අයට දොරටු විවෘත කිරීමක් හැටියට.

සයිටම් ප්‍රශ්නයේදී ඔබට විපක්ෂයෙන් චෝදනාවක් එල්ලවුණා ඔබේ දරුවා ස්ලිම් එකේ ඉගෙන ගන්න ගමන් අනෙක් දරුවන්ගේ අධ්‍යාපනයට අකුල් හෙළනවා කියලා?

ප්‍රධාන ප්‍රශ්නේ මගේ දරුවද? අනෙක් අයගේ දරුවාද කියන එක නෙමෙයි. උසස් පෙළින් පස්සේ විශ්ව විද්‍යාලයට යන්න බැරිනම් ඒ හැමෝටම වෙලා තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ මේ වර්තමානයේ යන ප්‍රමාණයත් නතර කරලා දාන්න. ඒකෙන් හැඟෙන්නේ නෑ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ දරුවන්වත්, පාක්ෂිකයන්ගේ දරැවන්වත් උසස් පෙළින් පස්සේ ගෙදර ඉන්න ඕන කියලා. ඒ නිසයි ඒ අය මේ යථාර්ථයේ ඉන්න ගමන් අපි මේ සටන අරගෙන යන්නේ. ඒ නිසා අපි හරිම ස්ථාවරයි.

පක්ෂ දෙකේ අවුරුදු හැත්තෑවේ පාලනය අපි වෙනස් කරනවා

ඒකෙන් ජනතාවට හැඟෙන්නේ දෙබිඩි චරිතයක් කියලනේ?

කිසිසේත්ම නෑ. ඒකනේ අපි කියන්නේ ඔබේ දරුවා ඔතන ඉගෙන ගන්න ගමන් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ සටනට එන්න කියලා. ඒකට එකතුවිය යුතුයි. එතනයි අරගල කරන්නේ. ඒ අරගලය වෙනුවෙන් අපි සටන් කරනවා.

ඒ අරගලය උපරිම සාර්ථකයි නේද? දැන් පෙරටුගාමී පක්ෂයත් ඔබලත් එක්ක එක වේදිකාවේ?

අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ගත්තොත් එයාලා අපේ, අනෙකා සටන් සගයා, කියලා පිළිගන්නේ නෑ. මොකද එයාලා සටන් බලවේගයක් නෙමෙයි. ආණ්ඩුව තමයි හරිහැටි මේ වේදිකාවක් ගොඩනගාගන්න ඕනේ. ඒත් අපුල දනවන වැඩපිළවෙළක් තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසයි මෙවැනි වේදිකාවක් ගොඩනැගුණේ. විශේෂයෙන් සයිටම් පිළිබඳ ගැසට් පත්‍රය ඉදිරිපත් කළේ දිනේෂ් ගුණවර්ධන. ඒ දිනේෂ් ගුණවර්ධන එයට විරැද්ධ වෙනවා නම් ඊට වඩා කැක්කුමක් තියෙන්න පුළුවන්ද කිරිඇල්ලට. ඒ නිසා ඒ ඒ අයට පොදුවෙච්ච අදහස් මතවාද තියෙන්න පුළුවන්. ඒත් අපි විශ්වාස කරන්නේ මීට විරැද්ධ අරගලයක් එකතු වී සටන් කළ යුතුයි කියලා.

ආණ්ඩුව කියන්නේ නම් අයාලේ ගිය සයිටම් ආයතනය නිසි තැනට ගන්න ගිහිල්ලයි මේ ප්‍රශ්නය වුණේ කියලා?

කොහෙද ගෙනල්ලා තියෙන්නේ. සයිටම් කියලා කඩයක් තිබ්බා රෝහලක් තිබ්බා. අරගලය තිබ්බේ සයිටම් වලට. ඒ ආයතනයට ප්‍රශ්නයක් තිබ්බා. තමන්ගේ දරුවන්ට සායනික පහසුකම් ලබාදෙන්න රෝහලක් නැතිකම. එහෙම තියෙද්දි රෝහල රජයට පවරා ගත්තා. දැන් විසඳලා තියෙන්නේ කාගේ ප්‍රශ්නයද? මම දැක්කා කැබිනට් එකෙන් තීරණයක් අරගෙන තියෙනවා හැම මාසයකම කෝටි 20ක් වියදම් කරලා අරගෙන යන්න. මේ දරැවන්ගේ ප්‍රශ්නයද විසඳුවේ නෑ. ඒ රෝහල මොකක්ද? ඒ දරුවන්ට එකවතාවක අධිකරණයෙන් තීන්දුවක් දෙනවා හෝමාගම රෝහලට යන්න කියලා. ඒ කියන්නේ හෝමාගම රෝහල තරම්වත් මේක සුදුසු නෑ කියලනේ. එක්කෝ ජනාධිපතිවරයා රාජිත සේනාරත්නගේ මුසාවලට රැවටිලාද දන්නේ නෑ. එක්කෝ දැනගෙන බොරැ කරනවා. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙවැනි අරගලයකදී මේ වගේ අපබ්‍රංස විසඳුම් ලබාදීලා නෑ.

විශේෂයෙන් ආණ්ඩුව පත්වෙනකොට කිව්වා අරගලකරුවන්ගේ මතයට සවන් දෙනවා කියලා. ඒත් ආණ්ඩුව වර්තමානයේ මර්දනකාරී වැඩ පිළිවෙළක් අරගෙන යනවා නේද?

අනිවාර්යයෙන්ම. රාජපක්ෂවරු මෙවැනි තත්ත්වයකට පරිවර්තනය වෙන්න අවුරුදු හතක් අටක් ගියා. හැබැයි මෛත්‍රී රනිල් ආණ්ඩුව අවුරුදු දෙකහමාරක් තුළ ඒ තත්ත්වයට මර්දනයට ආවේ. ඒකෙන් පේන දෙයක් තියෙනවා මේ පතුලේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා.  ඒ අර්බුදයට එරෙහිව ජනතාව සිදුකරන සටන නවත්තන්න බෑ. ඒ නිසයි එය දරාගන්න බැරැව පහර දෙන්නේ. හිර කරන්නේ. ඉතා වේගයෙන් රාජපක්ෂ පාලනය ඉක්මවා යන තැනට යනවා.

පසුගිය දවසක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවේ 113ක් ගත්තත් ඔහුගේ අවසරයක් නැතිව ආණ්ඩු පිහිටුවන්න දෙන්නේ නෑ කියලා. ඇත්තටම එහෙම බැරිද?

අපි කිසිසේත් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩු හදන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම මෑතක් වෙනකල් තිබ්බා ජනාධිපතිවරයාට ආණ්ඩුව විසිරවීමේ බලය. එයත් දැන් නෑ. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට අත පෙවීමේ බලය අඩුවෙලා තියෙනවා. ඒත් අග්‍රාමාත්‍යවරයා පත්කිරීම සිදුකරන්නේ ජනාධිපතිවරයා. එනිසා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වෙන්නේ අගමැතිවරයා නම් අගමැති පත් කරන්නේ ජනාධිපතිවරයා නම් කොච්චර බහුතරය ගත්තත් ආණ්ඩුව තීරණය කරන්නේ ජනාධිපතිවරයා  තමයි. ඒ නිසානේ ජනාධිපතිට පුළුවන්කම ලැබුණේ මන්ත්‍රීවරු හැත්තෑ ගණනක් තියාගෙන රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න. ඒ නිසා මෛත්‍රිපාල සිරිසේන මහත්තය එවැනි පූර්වාදර්ශයක් ජනවාරි මාසයේ අටවෙනිදා ලබාදීලා තියෙනවා.

මේ ආණ්ඩුව පෙරළිය යුත්තේ ඔළුගෙඩි වෙනස් කරලා නොවේ

ඔබ පහුගියදා පාර්ලිමේන්තුවේ මාධ්‍යය අමතමින් කිව්වා ආණ්ඩුව පනත් සම්මත කරගන්න ඒකාධිපති ස්වරූපයක් අරගෙන තියෙනවා කියලා. සෙංකෝලේ කරේ ගියාගෙන පනත් සම්මත කරන්නේ කියලා. මොකක්ද මේ කතාව?

ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හුදු වාක්‍යයක තියෙන එකක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, යහපාලනය කියන දේ ගැටගැහිලා තියෙන්නේ මේ ආර්ථිකය කියන සාධකය මත. ආර්ථිකය යහපත් නම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න පුළුවන්. ආර්ථිකය කඩා වැටිච්ච තැනක ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙන්න එපා. එනිසා අපේ පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ මහත්තයගේ හස්ත සංඥාවලට කථානායක මෙහෙයවන තැනට පත්වෙලා තියෙනවා. ඒකෙන් පේන්නේ අර්බුදයේ ස්වභාවය.

එතකොට මෙවැනි මතවාදයක් තියෙන ජනතා විමුක්ති පෙරමුණේ අවසන් අරමුණ මොකක්ද?

අනිවාර්යයෙන්ම පාලන බලයක් ගොඩනගා ගත යුතු වෙනවා. පහළ පන්තියේ මිනිස්සුන්ට බලය පවරා ගැනීමේ ක්‍රමයකට යා යුතුයි. නැත්තම් වසර හැත්තෑවක්ම එකම පන්තියක් මේ රට පාලනය කළේ. තව පනහක් දීලා බැලුවත් කිසිදු වෙනසක් වෙන්නේ නෑ.

ඒ කියන්නේ 2020 ජේ.වී.පී. ස්ටෝර්ස් එකක්ද දාන්නේ?

අපි කල්පනා කරනවා 2020 වෙනකොට ආණ්ඩුව පෙරළිය හැකි ආණ්ඩුවක් පිහිටුවිය හැකි ජනතා ව්‍යාපාරයක් ගොඩනගන්න. අපි ජනතාව හමුවට ගිහිල්ලා තියෙනවා. අපි ජනතාවට කියලා තියෙනවා අපිට බලය දෙන්න කියලා. ගතානුගතික දේශපාලනය අත් හරින්න කියන්නේ.

ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. ඔබට විශ්වාසද ජනතාව ඒ වරම දෙයි කියලා ඔබලට?

අපි විශේෂයෙන් විශ්වාස කරනවා අපේ රටේ ජනතාව හැඟුම්බර ජනතාවක්. නම්‍යශීලී ජනතාවක්, ඇහුම්කන් දෙන ජනතාවක්. විටින් විට රැළිවලට ගසාගෙන යන ජනතාවක්. ඒ නිසා සම්මිශ්‍රණයක් තියෙනවා. හැබැයි විශ්වාස කරන ප්‍රතිපත්තියක් ආවොත් ජනතාව එය පිළිගනී.

ගයාන් ගාල්ලගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ