2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

වීරකෝන් විජේවර්ධනගේ භූමිකාව

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

ලංකාව ප්‍රාඥයන් දුලබ රටක්ද? ප්‍රාඥයන් සිටියත් ඔවුන්ගේ අදහස් ජනතාවට සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඔවුනට තිබේද? රූපවාහිනිය, ගුවන්විදුලිය, හා පුවත්පත් තුළින් අදහස් ඉදිරිපත් කරනු ලබන බොහෝදෙනා උඩඟු විහිළුකාරයන් මිස ප්‍රාඥයන් හැටියට පිළිගත හැකිද? ජාත්‍යන්තර බසක් නොදත් මෙවැනි අය ප්‍රාචීණ භාෂාවන් ගැනවත් හරවත් දේශනයක් කළ හැකි අයද?

මේ ප්‍රශ්න මාගේ හිතට නැඟුණේ පසුගියදා ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධනගේ මහ බැංකුව හා මූල්‍ය ප්‍රශ්න ගැන රචිත ග්‍රන්ථය එළිදැක්වූ උත්සවයේදීය. මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ මෙම උත්සවයේදී මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වූ ආචාර්ය තේනුවර ද වටිනා දෙසුම් කළහ. තේනුවර දැන් අමෙරිකාවේ ඔහායෝ සරසවියේ අර්ථශාස්ත්‍රය පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහුගේ අංශ ප්‍රධානියාව සිටි විජේවර්ධනට ගෞරව කිරීමක් වශයෙන් ඔහු අමෙරිකාවේ සිට පැමිණියේය. 

ආචාර්ය විජේවර්ධන දුර්ලභ ගණයේ ප්‍රාඥයෙකි. දැනට අවුරැදු බොහෝ ගණනකට පෙර මම විද්‍යෝදය සරසවියේ දේශකයෙකු ලෙස කටයුතු කළෙමි. දවල් කාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හැටියට සේවය කළ මම සවසට ගංගොඩවිලට පැමිණ පැය දෙකක් පමණ දේශන වෙනුවෙන් කාලය යෙදුවෙමි.  සමාජ විද්‍යාව හා රාජ්‍ය පරිපාලනය ගැන පවත්වන ලද මාගේ දේශන හා එවැනිම ආරාධිත දේශකයෙකු වූ බ්‍රැඩ්මන්ඩ් වීරකෝන්ගේ දේශන පමණි එම අංශයේ ඉදිරිපත් වූයේ. එකී නව අංශයේ සිසුන්ට සරසවි පරිපාලනය විසින් සලසන ලද්දේ අප වැනි ආගන්තුකයන්ගේ දේශන වූවද එකල දක්ෂ සිසුන් සැලකිය යුතු කොටසක් අප දේශන මාලාවට සවන් දුන්නෝය. ඔවුන් අතර ඇස්.බී. දිසානායක, රෙජිනොල්ඩ් කුරේ හා චන්ද්‍රසිරි ගජධීර වැනි අය වූහ. එම කාලයේ මහින්ද විජේසේකර නීති අංශයේ සිසුවෙක් වූ අතර ශිෂ්‍ය නායකයෙක් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මුල්පෙලේ නායකයෙක්ද විය. ඔහුගේ ගුරුවරයන් වූ වික්‍රම වීරසූරිය හා ගාමිණී දිසානායක මාගේ මිතුරන්ද වූ නිසා මටද මහින්ද කීපසැරයක් හමුවිය. ඇත්තම කියනවා නම් මහින්ද විජේසේකර නොසිටින්නට විජේවීරට රටේ එතරම් ඉහළ පිළිගැනීමක් ලැබෙන්නේ නැත. ඔහුට විද්‍යෝදය සරසවියේ ජය බිමක් කරදුන්නේ එකල වූවද විශාල පෞරුයකින් හෙබි මහින්දය. එස්.බී. හා ගජධීර කොමියුනිස්ට් ශිෂ්‍ය නායකයන්වූ නිසා ජ.වි.පෙ.යට හසුනොවූ අතර රෙජී කලක් විජේවීරගේ අනුගාමිකයෙක්ව සිටියේය. ගැමි තරැණයන්ගේ ව්‍යාපාරයක් වූ  ජ.වි.පෙ. යේ නායකයෝ උපාධිධාරීන්ට එකල ගරුසරු ඇතිව සැලකුවෝය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ජ.වි.පෙ.යට බැඳුණු දීප්තිමත් ශිෂ්‍යයෙක් වූ ජයදේව උයන්ගොඩව  හඳුන්වන ලද්දේ “ඌ මහත්තයා” නමිනි. 

මේ අලකලංචි අතරේ තමන්ගේ අධ්‍යාපනයට මුල්තැන දෙමින් බුද්ධිමත් ලෝකයට පිවිසු‍ණේ වීරකෝන් විජේවර්ධනයි. ඉතාම නිහතමානී මෙන්ම දක්ෂ සිසුවෙක් වූ ඔහු සරසවි දිවිය තුළ සිය දැනුම වැඩිකර ගැනීමට මහත් උනන්දුවක් දැක්වීය. විද්‍යෝදය සරසවියේ උපකුලපති ආචාර්ය වල්පොල රාහුල හිමි එය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කිරීමට මිස සමාජ විප්ලව බිහිකරන ස්ථානයක් කිරීමට කැපවූයේ නැත. උන්වහන්සේගේ උනන්දුව නිසා හොඳ පුස්තකාලයක් සරසවිය තුළ ගොඩ නැගුණි. මට මතක හැටියට වික්‍රම වීරසූරියගේ මැදිහත්වීම තුළින් ආසියා පදනම හරහා සාහිත්‍යය, සමාජ විද්‍යාව හා ආර්ථික විද්‍යාව පිළිබඳ පොත් විශාල ප්‍රමාණයක් එම පුස්තකාලයට තෑගි කරන ලදී. මෙවැනි ඉංග්‍රීසි පොත්පත් කියවීම සඳහා සිංහල මාධ්‍යයෙන් සරසවියට පැමිණි තරැණ බුද්ධිමතුන් විදේශ භාෂා ඉගෙන ගැනීමට මහන්සි වූහ. ෂඩ් භාෂා පරමේශ්වරයකු වූ රාහුල හිමි විදේශීය භාෂා හා විදේශීය සිසුන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව මනා ද්වි භාෂා උගතකු වීමට විජේවර්ධන සමත්විය. 

මේ කාලය වනවිට ඉහළම ප්‍රාඥයන් වන ගාමිණී කොරයා හා තෙන්නකෝන් වැනි කීර්තිමත් නිලධාරීහු මහ බැංකුවේ ඉහළම තනතුරු හෙබවූවෝය. එම ආයතනය පසුකලෙක දේශපාලනකරණයට ලක්වූවද ඔවුන් බිහිකළ සම්ප්‍රදායන් තවම සජීවීව පවතී. බැඳුම්කර මගඩිය හෙළිකිරීමට එම පැරණි සම්ප්‍රදායට අයත් නිලධාරීහු උත්සුක වූහ. විජේවර්ධනගේ ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ ඔහු විසින් රචනා කරන ලද දේශන හා ලියන ලද ලිපි ගොන්නකි. ඒවායින් මුල්තැන ගන්නේ ලංකා මහ බැංකුව ඇති කිරීමට මුල් වූ අමෙරිකානු අර්ථශාස්ත්‍රඥයෙක් වූ ජොන් එක්ස්ටර් ගැනත් එකල පැවති ආර්ථික පරිසරය පිළිබඳවත් කරන විස්තරයයි.

මහ බැංකුවක කාර්යභාරය රටක මිල ස්ථාවරය රඳවා ගැනීමයි. එය ඉටුකළ යුත්තේ අභියෝගාත්මක දේශීය හා විදේශීය පරිසරයක් තුළයි. එම අරමුණ ඉෂ්ඨ කිරීමේ ප්‍රධාන මාර්ගය උද්ධමනය කළමණාකරණය කිරීමයි. මෙය ලේසිපහසු කාර්යයක් නොවේ. නිදසුනක් වශයෙන් ගතහොත් තෙල් මිල උච්ඡාවචනය වීම කෙළින්ම උද්ධමනය කෙරෙහි බලපායි. දැනට අමෙරිකන් ඩොලර් 50ක් පමණ වන තෙල් බැරලය එක් කලෙක ඩොලර් 150ට පමණ ඉහළ ගියේය. දැන් “හෙජිං ගනුදෙනුව” හැටියට හඳුන්වන ක්‍රියා මාර්ගය එකල මහ බැංකුව විසින් තෙල් මිල කළමනාකරණය කිරීමට ගත් තැතකි. එහෙත් එහි ක්‍රම සහ විධි අභියෝගයට ලක්වෙයි. රටේ මුදල් මුද්‍රණය කිරීමේ අයිතිය හිමිවන්නේ මහ බැංකුවටයි. සෑම මුදල් නෝට්ටුවකම මහ බැංකුවේ අධිපති අස්සන් තබන්නේ එම නිසයි. 

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම පාලනය කළ හැක්කේ මහ බැංකුවට පමණි. එය රටේ වත්කමට සමානුපාතිකව කළ යුතුයි. රටේ භාණ්ඩ හා සේවා සමඟ මුදල් භාවිතය සමතුලිත විය යුතුයි. එහෙත් එය පහසු කාර්යයක් නොවේ. දේශපාලන නායකත්වය හැමවිටම ජනතාවට සීනිබෝල කැවීමට තවතවත්  මුදල් නිරන්තරයෙන් ඉල්ලයි. බැංකුව මුදල් සැපයුම පාලනය කරන්නේ උද්ධමනය අවම කිරීමේ අටියෙනි. එහෙත් රජය මුදල් ඉල්ලන විට එය සීමා කිරීමට යෑම මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව අතර ගැටුමකට මුල පිරීමකි. බොහෝ රජයන් ආර්ථික උපදෙස් නොතකා කෙටිකාලීනව තව තවත් මුදල් ඉල්ලා සිටි. එක්ස්ටර්ගේ සැලැසුම අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. එය මහ බැංකුවේ කාර්යභාරයට බාධාවක් නොවේදැයි යන්න විජේවර්ධන ඔහුගේ රචනා තුළින් නගන ප්‍රශ්නයකි.

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00