2017 ජුලි 28 වන සිකුරාදා

ඩීල්කාරයෝ ඒ පැත්තෙ කොන්ද තියෙන අය මේ පැත්තෙ

 2017 ජුලි 28 වන සිකුරාදා, පෙ.ව. 06:00 166

- කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

ඒ දවස්වල කතාවක් තිබ්බා තැටිය රත්වුණාම රොටිය පුච්චගන්න ඕන කියලා. දැන් දැන් ආණ්ඩුවේ තැටියත් රත්වේගෙන යන්නේ. ඒකාබද්ධ විපක්ෂය රොටී පුච්චනවද? ගිනි තපිනවද?

සාමාන්‍යයෙන් තැටිය රත්වුණාම රොටිය පුච්චගන්න ඕන කිව්වේ යහපාලන රජය පත්වෙන්න කලින්. ඕක කිව්වේ අපේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. හැබැයි එහෙම කියලා පත්වෙච්ච ආණ්ඩුව දැන් දැන් දැන දැන රොටිය පුච්චා ගන්නවා. දැන් මේක රොටී පුච්චන්න පුළුවන් තැටියක් නෙමෙයි. අනාථ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.

ඒ කියන්නේ තවම ඒකාබද්ධය සූදානම් නෑ රොටී පුච්චගන්න?

නැහැ. අපි දන්නවා වෙලාව. දැන් ඔය එන්නේ ඒකේ පෙරනිමිති. පුච්චගන්න ඕන වෙලාවට මේ අය වගේ නෙමෙයි. අපි කරවෙන්නේ නැතිවෙන්න පුච්ච ගන්නවා. මේ අය වගේ කර කරගන්නේ නෑ.

මේ ආණ්ඩුව එක බෝක්කුවක් හැදුවද?

පහුගිය සතියේ තෙල් සංස්ථාවේ සේවකයන් අත්අඩංගුවට ගත්ත වෙලාවේ ගිහින් පොලීසිය ඇතුළේ යුද්ධයක් කළා. මේවා රඟපෑම් නේද?

මේ තෙල් සංස්ථාවේ මිනිස්සු එළියට බැස්සේ පඩි වැඩිකරගන්න නෙමෙයි. මේ රටේ ජාතික සම්පත් ආණ්ඩුව කුණු කොල්ලයට විකුණන එක නවත්තන්න කියලයි ඔවුන් ඉල්ලුවේ. ඊට පස්සේ ඒ ගැන සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා ගාවට ගෙන්නලා නැවත යන මිනිස්සු තමයි මේ අල්ලගත්තේ. ඒ විතරක් නෙමෙයි පාතාලකාරයෝ දම්මලා ගැස්සුවා. එලව එලවා ගැහුවේ උන්. පොලිසියයි හමුදාවයි බලන් ඉන්නකොට. ඉතින් ඒ මිනිස්සු බේරගන්න යන්නේ නැත්තන් ඒකාබද්ධ විපක්ෂයේ නෙමෙයි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමිනුත් වැඩක් නෑ.

ගුටිකාපු මිනිස්සු දැකලා අද දුක හිතුණු ඔබලට එදා රතුපස්වල හලාවත දේවල් වෙනකොට දුක හිතුණේ නෑ නේද?

බොහොම පැහැදිලියි. එදා රතුපස්වල බැහැලා පොලිසිය හරි හමුදාව හරි කරපු දේ වැරදියි කියලා එදා හිටිය ඇමැති කෙනෙක් වශයෙන් පිළිගන්නවා. ඒ නිසා තමයි අපි පැරදුණේ. මේ ආණ්ඩුව ආවේ කටුනායකවත්, රතුපස්වලවත් කරන්න නෙමෙයි. මේ අය ආවේ යහපාලනයට. රාජ්‍ය සේවකයාට ඇහුම්කන් දෙන්න. කටුනායක, රතුපස්වල සිද්ධි සිල්ලර නම් මේවා තොග වෙළෙඳාම් වගේ.

ඔබ කියනවා පාතාලය දම්මලා ගැස්සුවලු. ඒත් ඔබලා කිව්වා අපි පාතාලය මර්දනය කළා ඒ කාලේ කියලා. බලාගෙන යනකොට එහෙම වෙලා නෑ නේද?

පැහැදිලිව කියන්නම්. ඒ දවස්වල තුවක්කු කඩු කිනිසි විතරක් නෙමෙයි බටර් ගාන පිහියක්වත් අතේ තියාගත්තේ නෑ. මිනිස්සු නීතියට ගරුකළා. දැන් එහෙම නීතියට ගරැ කරන්නේ නෑ. උතුරේ විනිසුරුතුමාගේ ආරක්ෂක නිලධාරියා වෙඩි තියලා මරණවා. කළුතර බන්ධනාගාරය ඉස්සරහා වෙඩි තියලා මරණවා. ඒත් පොලිස් ප්‍රකාශක අත්තන ඇට කාලා වගේ දොඩවනවා. පිටරට පැන හිටිය පාතාලයෝ නැවත ඇවිල්ලා. මොකද ඒ අය යූ.ඇන්.පී. එකේ හිතවත්තුනේ. 

හමුදාවයි පොලීසියයි බලන් ඉද්දී තෙල් සේවකයන්ට ගැහුවා

පාතාලය අත අරිමුකෝ. හැබැයි රටේ වෙන ප්‍රශ්න පිටුපස්සේ නම් ඒකාබද්ධය ඉන්නේ කියලා ආණ්ඩුවෙන් චෝදනා තියෙනවා?

පැහැදිලිවම කියන්නම්. මේ අයට හැම ප්‍රශ්නයකටම හේතුව රාජපක්ෂ තෛලය. මේ අය හිතන්නේ එයාලට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපි ඒ පිටුපස ඉන්නවා කියලා. වගකිවයුතු විපක්ෂයක් හැටියට ජනතා ප්‍රශ්නවලදී අපිට මුනිවත රකින්න බෑ. ආණ්ඩුවට මුක්කු ගහලා කඩේ ගිහිල්ලා වරප්‍රසාද අරගෙන කටවහගෙන ඉන්න එක නෙමෙයි විපක්ෂයේ කාර්යභාරය. ඒ නිසා ජනතාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මේ සටන අරගෙන යනවා. දැන් අපි ආණ්ඩුවට රතු එළිය පත්තුකරලා තියෙන්නේ.

ජනතා සටන කරනවා කියලා පොලිස් ස්ථානවලට බැහැලා පොලිස් නිලධාරීන්ට තර්ජනය කරන එක සටනක් නෙමෙයිනේ?

කිසිසේත් එහෙම බාධාවක් කළේ නෑ. පොලිසිය ඔය වෘත්තීය සමිති නායකයන්ට පොලිසිය ඇතුළේදීම ගහලා. පාර්ලිමේන්තුව ඇතුළේ අගමැතිවරයා කියනවා අත්අඩංගුවට ගත්ත අය නිදහස් කළා කියලා. ඒත් අපි යනකොටත් ඔවුන් ඇතුළේ. ඒ විතරක් නෙමෙයි ගහලා. මේ වෘත්තීය සමිති නායකයෝ. ඒ වගේ වෙලාවක කතා කරද්දී නවගුණවැල අතේ තියාගෙන කතා කරන්න බෑ. අපි කතා කළේ නීතියට අනුව. නැත්නම් අපි අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා.

ඔබලට බලයක් ආවොත් ඔය පොලිස් නිලධාරීන්ට දෙයියන්ගේම පිහිටයි නේද?

කිසිසේත් නෑ. අපි බලයට ආවොත් නීතියට එහා ගිහින් වැරදි කරන අයට නීතියට අනුව දඬුවම් දෙනවා.

මංගල හොඳයි අඟහරු ලෝකෙ ඇමැතිකමට

හැබැයි ඔබලගේ කාලේ නීතියට එහා ගිහින් වැඩකරපු පොලිසියේ අය බේරිලා හිටියා. දැන් තමයි ඒ අයත් අහුවෙන්නේ?

රණවිරුවන්ව දඩයමනේ මේ රජයේ වැඩකටයුත්ත. ඒකට හේතුව තමයි ජිනීවා ගිහින් පොරොන්දු වෙච්ච ටික ඉටුකරන්න ඕන. ඒවා ඉෂ්ඨ කරන්න තමයි මෙහේ අය ඇල්ලුවා කියලා පෙන්නන්නේ. ඔය කාරණය 88, 89 දීත් වුණා. කවුරු හරි ආණ්ඩුවට වදයක් වෙන මිනිහෙක් හිටියොත් ජේ.වී.පී. ලිස්ට් එකට දාලා ඉවර කළා. ඕක තමයි මේ කරන්න හදන්නේ. ඒකෙන් වෙන්නේ කිසි නිලධාරියෙක් වැඩකරන්නෙ නැතුව ඉන්නවා.

පසුගිය දවස් ටිකේම පාර්ලිමේන්තුව ඇතුළේ ගෝරි. ඒ අස්සේ ආණ්ඩුව ඔවුන්ට අදාළ පනත් ගෙනල්ලා දාලා සම්මතකරගන්නවා. විපක්ෂය ආණ්ඩුවේ ගැටයට අහුවෙලා නේද?

මේ ආණ්ඩුවට අංක ගණිතය බෑනේ. පාර්ලිමේන්තුවේ 225නේ ඉන්නේ. ඒ අයගෙන් 113ට එහා ගිය අයට ආණ්ඩුවක් කරන්න පුළුවන්. ඊළඟට වැඩිම කණ්ඩායම කවුද කියලා බලලනේ විපක්ෂය තෝරන්න ඕන. අපේ ඉන්නවා 52ක්. ඒත් අපිට විපක්ෂය දීලා නෑ. දීලා තියෙන්නේ සම්බන්ධන්ගේ 16යි. ජනතා විමුක්ති පෙරමුණේ 06යි. 22යි දීලා තියෙන්නේ. ඒකනේ විපක්ෂය කියන්නේ. ඔය දෙගොල්ලොම මෛත්‍රී මහත්තයයි යහපාලන රජයයි බලයට ගේන්න වැඩකරපු අය. ආණ්ඩුව ගෙනාපු අයම  විපක්ෂයක් හදනකොට එතන ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද. ඒක වළපල්ලට යවලා තියෙන්නේ. ඒ වළපල්ලට ගිය ප්‍රජාතන්ත්‍රවාදය බේරගන්න ඉන්නේ අපි. ඒකයි අපිට කරන්න පුළුවන් උපරිම දේ පාර්ලිමේන්තුවේ කරන්නේ.

හැබැයි ඔබලගේ දේශපාලන සූත්තර නිසා අමාරුවේ වැටෙන්නේ රටේ ජනතාව?

මේ රටේ මිනිස්සු අනාථ වෙලා ඉවරයි. මේ ආණ්ඩුවේ වැඩ නිසා. ඔයා හෙට ගිහින් ඡන්දය තියන්නේ නැති එක ගැන මත විමසුමක් කරන්න. ගමකින් 100ක් ගන්න. හංසයට කතිර ගැහුව ඔක්කොම කියන්නේ අපිට වැරදුණා කියලා. ඇයි මේක ඇතුළේ නායකයෝ රොත්තක් ඉන්නවනේ. ඒ නිසා එක දෙයක්වත් හරියට වෙලා නෑ. ජනතාවට ඉක්මනට මේ වැරදිච්ච දේ නිවැරදි කරගන්න ඕන. එහෙම නොකළොත් වෙන්නේ අවසානයේ රටක් බාරගත්තත් කරන්න බැරිවෙන එක. මොකද ආණ්ඩුව හිටියොත් වෙන්නේ මේ රටේ සියලු දේවල් විකුණලා ඉවර කරන එක.

ඔබ කියනවා ආණ්ඩුව රටේ දේවල් විකුණනවා කියලා. ඒත් ආණ්ඩුව කියන්නේ නම් රාජපක්ෂල වික්ක දේවල් බේරගත්තා කියලා.

එහෙම කියන අයට කටේ එන්න ඕනේ අර ගමේ මිනිස්සු කියන දේවල්. මහින්ද රාජපක්ෂ මේ රටේ කිසිදෙයක් විකුණලා නෑ. ආයෝජකයන් ආවා. හැබැයි හවුල් ව්‍යාපාර කළේ. අද පෙනි පෙනී විකුණනවා. ඔය හම්බන්තොට වරාය හරහා තායිලන්තයට නැව් මාර්ගයක් අනාගතේ කැපෙනවා. ඒත් ඒවා පෙනි පෙනී විකුණනවා. ඒ නිසා අපි කියන්නේ පුළුවන් නම් මහින්ද රාජපක්ෂ විකුණූ දෙයක් මෙන්න කියලා ඔප්පු කරලා පෙන්නන්න කියන්න. මේ අය ආපු ගමන් පෝර්ට් සිටිය නැවැත්තුවා. නවත්තලා අපිට වැඩිය තව අක්කර අසූවක් චීනයට ලියලා දුන්නා.

බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් මේ වෙනකොට කොමිසමක් ක්‍රියාත්මක වෙනවා. එතනදි යම් යම් ඇමතිවරැන්ගේ පව් කරළියට එනවා. ඇයි මේ ඒකාබද්ධය ඒ දේවල්වලට ප්‍රතිචාරයක් නැත්තේ?

අපි බලාගෙන ඉන්නවා මේ ටිකේ මොකක්ද වෙන්නේ කියලා. හැබැයි අපි දෙයක් කියන්නම්. මේ තියෙන්නේ ජනාධිපති විමර්ශන කොමිසමක්. විමල් වීරවංශව වාහනයක් අවභාවිතා කළා කියලා ඔහු රිමාන්ඩ් කළා. ඒත් ගෙඩිය පිටින් මංකොල්ලකාපු අය බේරෙනවා. ඔය කොමිසමට නඩු දාන්න බෑ. ඒ අය ඕක අහලා ජනාධිපතිට දෙයි. ඒ නිසා අපි මේ සිද්ධියේ අවසානය වෙනකල් බලාගෙන ඉන්නේ.

අපි ආණ්ඩුවට රතු එළිය පත්තු කළා

ඔබලා ආණ්ඩුව ආරම්භයේ ඉඳලම එක එක අයට විරුද්ධ විශ්වාසභංග ගෙනාවා. ඇයි මේ සිද්ධියට විශ්වාසභංගයක් ගේන්නේ නැත්තේ. ඒකාබද්ධ විපක්ෂය ඇතුළෙත් බෙදිලද?

සැප්තැම්බර් පහුවෙනකල් බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියලා පෙනෙයි.

මේ වෙනකොට ශ්‍රීලනිප ආණ්ඩුවේ 18ක් ඉවත්වෙන්න යනවා. මේක පිටිපස්සේ ඉන්නේ ඒකාබද්ධය නේද?

කතාවක් තියෙනවා ඉපදිච්ච ගමන් පයින් යන්නේ නෑ කියලා. බඩගාලා, දණගාලා තමයි යන්නේ. ඒවගේ ඒකාබද්ධයත් එහෙම ගමන් යනවා. නන්දිකඩාල්වලින් යුද්ධය අවසන් කළා වගේ වෙලාවට අපිත් අපේ වැඩේ අවසන් කරනවා. ඒත් යුද උපක්‍රම කියන්න බෑ දැන්ම.

ඒකාබද්ධයේ අයත් නගින්නේ සිරිපාදේ. නල්ලතන්නියෙන් නැග්ගත්, රත්නපුර පාරෙන් නැග්ගත් නගින්නේ උඩ මලුවටලු. ඒත් සමහර අය තනියෙන් කඳු නගින්න යනවලු නේද?

අපි නම් ඔය කතාව කිව්වේ නෑ. සිරිපාද කතාව කිව්වේ ජාතික ලැයිස්තුවෙන් ආපු ආණ්ඩුවේ ඩිලාන් පෙරේරා. එයාලට වෙන්නේ මඟ ඉන්න. කොහොම වුණත් අපේ කවුරුත් නෑ තනි කඳු නගින. අපි කියන්නේ මේක තීරණාත්මක වසරක් කියලා.

මේ සටන කරන්නේ ආණ්ඩුව පෙරළන්නද නැත්තන් හරි පාරට ගන්නද?

මේ ආණ්ඩුවට යන්න පුළුවන් කමක් නෑ ඉදිරියට. හදාගත්ත දීගෙත් හරි නෑ. ීගය අනාථයි. තවත් ඉදිරියට ගියොත් රට අස්ථාවරයි. ඒ නිසා මේ ආණ්ඩුව පෙරළලා තමයි අපි නවතින්නේ.

පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරු කරලා ආණ්ඩු පිහිටුවන්න පුළුවන්ද?

ඉතිහාසයේ නොයෙකුත් විදිහට ආණ්ඩු පෙරළලා තියෙනවානේ. ඡන්ද වලිනුත් පෙරළිලා තියෙනවා. ඔළුගෙඩි මාරුවලිනුත් ආණ්ඩු පෙරළිලා තියෙනවා. ඒ ඕනෑම ක්‍රමයකින් පෙරළන්න පුළුවන්.

ඔබ‍ගෙ පිරිසක් කියනවා එජාපය අතඇරලා ආවොත් මෛත්‍රී මහත්තයා  එක්ක ආණ්ඩුවක් පිහිටුවන්න කැමතියි කියලා. විමල්, ගම්මන්පිල, දිනේෂ් වගේ අය කියනවා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. කවුද ඇත්ත කියන්නේ?

අපි කියන්නේ පහුගිය මැතිවරණයේදී ඉල්ලුව විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයව අගමැති පුටුවට ගේන්න කියලා. එහෙම නැත්තන් අපි විපක්ෂයේ වාඩිවෙනවා. ඒ නිසයි අපි ශ්‍රීලනිපයේ අයට කියන්නේ අපිත් එක්ක එන්න කියලා.

ඒ කියන්නේ දැන් ශ්‍රීලනිපය දෙකට මැද්දෙන් කැඩිලා?

දෙකට මැද්දෙන් කැඩිලද, වැඩි කොටසක් ඉන්නේ කොහෙද කියලා ඉදිරි පළාත් පාලන ඡන්දයේදී අපිට බලාගන්න පුළුවන්.

මහින්ද මහත්තයා කිව්වේ නම් කවදාවත්, ශ්‍රීලනිපය දෙකට කඩන්නේ නෑ කියලා. එක් පිරිසක් පොදුජන පය හදාගෙන ශ්‍රීලනිපයේ සාමාජිකයන් බඳවා ගන්නවා. ඇයි මෙහෙම දේවල් වෙන්නේ?

ශ්‍රීලනිපය කියන්නේ අපි ආදරය කරන පක්ෂය. ඒකට අපි ද්‍රෝහි වෙලා නෑ. ඒත් අද පක්ෂයට මොකද වෙලා තියෙන්නේ. මධ්‍යම කාරක සභාවේ ජ්‍යෙෂ්ඨයෝ හිටියේ. අද කවුද ඉන්නේ. ඒ නිසා අපි පක්ෂය කඩන්නේ නෑ. අපි පක්ෂය කෙළින් කරනවා.

පොඩි වරදකට විමල් හිර කළා ගෙඩි පිටින් කාපු අය තාම එළියෙ

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්තයා කිව්වා ගෙවන ණයවලින් 82%ක් අරගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කියලා. ඇයි මෙච්චර ණය ගත්තේ?

මංගල සමරවීරට ඇමැතිකමක් ගන්න තිබ්බේ මේ ලෝකේ නෙමෙයි අඟහරැ ලෝකේ. හොඳ ග්‍රහලෝකවල ආණ්ඩු කාටවත් ණයවෙලා නෑනේ. ඒ නිසා මෙයාලා බබාලා වෙන්න යන්නේ. අපි ගත්ත ණයවලට වැඩකරලා තියෙන්නේ. අවුරුදු දෙකහමාරක් ඇතුළත යුද්ධයක් නෑ. තෙල් අඩුවෙලා තියෙද්දිත් අපිට වඩා ණය අරගෙන තියෙන්නේ මොකටද මේ ආණ්ඩුව. එක බෝක්කුවක් හැදුවද? අවුරුදු දෙකහමාරට ගහපු බෙරේකුත් නෑ. බෙරේ පළුවකුත් නෑ. අපිට බණින එක විතරයි කරන්නේ.

ඔබලා කියනවා හොරකම් කළා නම් පෙන්නන්න කියලා. ආණ්ඩුව ඒවා පෙන්නලා අල්ලපුවම කියනවා දේශපාලන පලිගැනීම් කියලා?

හොයලා බලන්නකෝ. පොලිසිය කැමති නම් ඇප දෙනවා. නැත්තම් හිරකරනවා. මේක සෙල්ලමක් වගේ. නීතිය නවලා තියෙන්නේ හොඳටම. නවන නැවිල්ලටයි එහෙම වෙලා තියෙන්නේ. පොලිස්පතිතුමත් කිව්වනේ නවනවා කියලා.

හැබැයි සමහර ඒකාබද්ධෙ අය නිදහසේ ඉන්නේ ආණ්ඩුවත් එක්ක ඩීල් තියෙන නිසයි කියලා ආණ්ඩුවේම අය කියනවා?

කිසිසේත්ම නෑ. කොන්ද කෙළින් තියන් ඉන්න අය තමයි අපි ගාව ඉන්නේ. ඩීල් දාන කට්ටිය තමයි ඒ පැත්තට ගියේ. නිර්භීත මිනිස්සු ටික තමයි ඒකාබද්ධයේ ඉන්නේ.

ගයාන් ගාල්ලගේ
සේයාරුව | සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00