2017 ජුලි 29 වන සෙනසුරාදා

හවුලේ කඹ ඇදිල්ල

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

යහපාලන ආණ්ඩුවේ වසර දෙකහමාරක් ගතවීමටත් කළින් මේ ආකාරයට බරපතළ මතගැටුම් සිදුවන්නේ ඇයිදැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් දේශපාලන විචාරකයකුගෙන් ඇසුවේය. මේ දේශපාලන විචාරකයා යහපාලන රජයක් රටට අවශ්‍ය බවට දැඩිව පෙනී සිටි මතධාරියෙකි. ඔහු පවසා තිබුණේ යූ.න්.පී එකයි ශ්‍රීලනිපයයි එකට එකතුව රජයක් පිහිටු වූ විට මෙවැනි තත්ත්වයක් උදානොවනු ඇතැයි යම් කිසිවකු හෝ සිතුවා නම් එය ලොකු වැරදීමක් බවය. එවැනි මත ගැටුම් හැලහැප්පීම් නැතුව ප්‍රධාන පක්ෂ දෙකකට හවුල් රජයක් පවත්වාගෙන යාමට හැකියාවක් නැති බවද කියූ ඔහු පවතින තත්ත්වය තව මාස කිහිපයකින් වෙනස් වෙනු ඇතැයිද කීවේය. එවිට යහපාලන හවුල් ආණ්ඩුව තියෙයිද කියා මාධ්‍යවේදියා ඇසූ විට ඔහු කිව්වේ “තියේවී හැබැයි ලොකු වෙනස්කම් කිහිපයකුත් එක්ක” බවය. ඒ වෙනස්කම් මොනවාදැයි ඔහු විස්තර කළේ නැත. 

රවි කරුණානායක විදේශ ඇමැති වශයෙන් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා තුනක් කුණු කූඩයට ගිය කතාව ගලපාගත යුත්තේ ඒ කතාව සමඟිනි. එම පත්‍රිකා තුන මෛත්‍රිපාල ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන විට රවි වෙනුවෙන් ඇමැති මණ්ඩලය තුළ ප්‍රමාණවත් හඬක් නැගීමට කිසිදු ඇමැතිවරයකු ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. වෙනෙකක් තබා තමන්ට කාර්ය මණ්ඩල ප්‍රධානියකු අවශ්‍ය බවට රවි ගෙන ආ යෝජනාවට ඇමැතිවරු සියලු දෙනාම පාහේ විරුද්ධ වූ බවද සඳහන්ය. ඊට පෙර මුදල් අමාත්‍යංශයේ සිටියදී ද මහත් ආන්දෝලනාත්මක තීන්දු තීරණ සහ හැසිරීම් රටාවන් නිසා රවි එදා සිටම කරළියේ ප්‍රධාන මාතෘකාවක් වී තිබුණි. ඔහු මුදල් අමාත්‍යංශයේ ඉහළ මට්ටමේ නිලධාරී ගණනාවක් විරසක කරගත්තේය. මහා බැංකුවේ එක් නිලධාරියකු හැර සෙසු බොහෝ නිලධාරීන් “උඩින් මිතුරැ යටින් හතුරු” තත්ත්වයට පත්කර තිබුණි. මහබැංකු අධිපතිවරයකුට නියමිතධූර කාල සම්පූර්ණ නොකරම ගෙදර යන්න සිදුවුණේද රවිගේ අමාත්‍යධූර කාලයේදීය. මේ ඔක්කොම කතා බැඳුම්කර වංචාවේ ඉතිහාසය ලියන විට ඒවාට ජීවමාන දත්ත සපයන බවට සැකයක් නැත. 

ආණ්ඩුක බලවත්ම ඇමැති පදවියක් හැටියට සැලකෙන්නේ මුදල් ඇමැති පදවියයි. එය දෙවැනි වන්නේ අග්‍රාමාත්‍ය පදිවියට පමණක් බව සමහරුන්ගේ මතයයි. මුදල් ඇමැතිවරයා සාමාන්‍යයෙන් සැලකෙන්නේ රටේ ජනාධිපතිවරයාගේ හෝ රාජ්‍ය නායකයාගේ සමීපතම කැබිනට් සගයා වශයෙනි. ජනාධිපති පදවිය බිහිවීමට පෙර එය අගමැතිට සමීපම ඇමැතිධූරය විය.

ඉස්සර අගමැතිට පසුව ජනාධිපතිට බෙහෙවින් සමීප වූ මුදල් ඇමැති සමඟ පවතින සුසංයෝගය කැඩුණොත් සිදුවිය හැක්කේ කුමක්ද? පසුගිය දේශපාලන අතීතය තුළ සිදුවීම් දෙකකින්ම පැහැදිලි වන්නේ එහි ආදීනව හොඳ නැති බවය.
70 පැවැති මහ ඡන්දයේදී එවකට බලයේ සිටි ඩඩ්ලිගේ හත්හවුල් යූ.එන්.පී. ආණ්ඩුව පරදවා සිරිමාවෝ නායකත්වය දුන් සමගි පෙරමුණු ආණ්ඩුව තුනෙන් දෙකක බලවත් රජයක් පිහිටු වීය. එහි මුදල් ඇමැති ධූරය හිමිවුණේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට නොවේ. සමගි පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. ඇන්.ඇම්. මෙරට පමණක් නොව එතෙරද නමක් දිනා සිටි සුපතළ ආර්ථික විශේෂඥයෙක් විය. පිළිගත් බුද්ධිමතෙක් විය. මුදල් ඇමැතිකමට ඇහැ ගහගෙන හිටි රොනී ද මැල්ට එහි නියෝජ්‍ය ඇමැතිකමක්වත් ලැබුණේ නැත.

කෙසේ වුවද සිරිමාවෝගේත් ඇන්.ඇම්.ලාගේත්  තුන් හවුල් රජය වසර 5ක් ගෙවෙද්දී 1975 කැඩිගියේය. ඇන්.ඇම්. මුදල් ඇමැති ධූරයෙන් විසිවිය. එම රජයේ බලවත්ම චරිතය වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට ඔහු දැරූ ඇමැති පදවිවලට අමතරව මුදල් ඇමැතිධූරයද ලැබුණේය. ඇන්.ඇම්.ලා ආණ්ඩුවෙන් ගියත් ආණ්ඩුව ඒ වෙලාවේ වැටුණේ නැත. එයට හේතු වූයේ 75දී පැවැත්වීමට නියමිතව තිබූ මහ ඡන්දය අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදීම ඉදිරියට දමාගෙන 77 දක්වා කල් දමාගෙන සිටීමය. කෙසේ හෝ අගමැති මුදල් ඇමැති සම්බන්ධතාව බිඳීගොස් පැවැත් වූ පළමු මහ මැතිවරණය වූ 77 ඡන්දයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව අන්තපරාජයක් ලැබුවේය. 

ඉන් පසුව 77දී බලයට පැමිණි ජේ.ආර්.ගේ ආණ්ඩුවේ මුදල් ඇමැති වුණේ රොනී ද මැල්ය. ඔහු සිරිමාවෝගේ තුන් හවුල් ආණ්ඩුවේ සිට ජේ.ආර්.ගේ ඇරියුමින් ඡන්දෙට කලින් යූ.එන්.පියට එක් වී සිටියේය. ජේ.ආර්. ජනාධිපතිගේ සහ රොනී මුදල් ඇමැතිගේ සුසංයෝගය එම ආණ්ඩුවේ ඉදිරි ගමනේ ලොකුම ශක්තියක් විය. රටට විවෘත ආර්ථිකය හඳුන්වාදී මහ විශාල සංවර්ධන යෝජනා ක්‍රම ගණනාවක්ම ඒ කාලයේ හඳුන්වා දීමට ක්‍රියා කෙරිණි. රට තුළට යාන වාහන ගලා ආවේය. ව්‍යාපාර බිහිවිය. රට රස්සා වලට දොර ඇරැණේය. හැබැයි මේ සියල්ල සිදුවෙන අතර වාරයේ රටේ ප්‍රධානම ප්‍රශ්න දෙකක් යටින් ඔඩුදුවන්නට පටන් ගෙන තිබුණේය. 

එහි පළමුවැන්න වූයේ උතුරේ ත්‍රස්තවාදය හිස එසවීමය. අනෙක දකුණේ තරුණයන් අවි අතට ගැනීමය. ආණ්ඩුව මොනවා කළත් තමන්ගේ ප්‍රශ්න සහ දේශපාලන නිදහස අමතක කර දැමු බව මේ අවිගත් තරැණයන්ගේ ලොකුම චෝදනාව විය. ඈත දකුණින් මේ තරැණ අරගලය හිස ඔසවන විට දකුණේ දේශපාලනඥයකු වූ රොනීට ඒ ඉව නොදැනුණා නම් පුදුමය. ඒ හේතුව නිසාම දැයි කිවනොහැකි වුවද රොනීට මුදල් ඇමැතිකම එපා වී තිබුණි. අවසානයේ මේ මුළු රටම දැන් පවතින්නේ ගිනි කන්දක් උඩ යැයි ප්‍රකාශයක් කරමින් රොනී මුදල් ඇමැති පදවියෙන් චුත විය. ඉන් පසුව යූ.එන්.පී. පාලනය පැවැතුණද එය කොළඹ ඇතුළු නගර දෙකතුනකට පමණක් සීමා වුණේ රටේ එවක තිබූ වාතාවරණය නිසාය. ඊළඟට පැවැති ඡන්දය මේ රටේ පැවැති බිහිසුණුම මහඡන්දය බවට පත් වී ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති පදවියට පත් වුවද ඔහු වසර හතරක් සම්පූර්ණ කිරීමටත් පෙර ඝාතනයට ලක්විය. ඊළඟ ජනාධිපතිවරණයේදී යූ.එන්.පීය පැරදී වසර 17ක් සිටියේ විපක්ෂයේය. (අතරමග වසර දෙකක් හැර)

හැබැයි මේ වනවිට මුදල් ඇමැති පදවිය විධායක ජනාධිපතිධූරයට සින්න වන ලකුණු පහළ වූයේ චන්ද්‍රිකා ජනාධිපති පදවියට අමතරව මුදල් ඇමැති පදවියද ලබාගැනීම නිසාය. ජේ.ආර්. තම විධායක ජනාධිපති ව්‍යවස්ථා සංශෝධනයේදී රටේ මුදල් පාලනය පාර්ලිමේන්තුව සතුවිය යුතු බවට වගන්තියක් ඇතුළු කළත් චන්ද්‍රිකා එම වගන්තිය ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. 

චන්ද්‍රිකාගෙන් පසුව ජනාධිපති වූ මහින්දත් මුදල් ඇමැති පදවිය තබාගත්තේ තමන්ගේ අතේය. එය තම අතේ තබාගනිමින් තම සොහොයුරු බැසිල් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් පත්කොට ඔහු අතට රටේ මුදල් සංසරණයේ වැඩි කොටසක් හැසිරවීමට ඉඩ ලබාදුන්නේය. ඒ කාලයේ විපක්ෂය නැගූ ලොකුම චෝදනාවක් වූයේ මහින්ද තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදාගන්නා බවය. රටේ ආර්ථිකයෙන් සියයට 50කට අධික ප්‍රමාණයක් පැවැරී තිබුණේ මහින්දටත් ඔහුගේ සොහොයුරු බැසිල්ටත්ය. නමුත් විධායක බලතල අත තිබීම හේතුවෙන් චන්ද්‍රිකාටත් මහින්දටත් එරෙහිව කිසිම ඇමැතිවරයෙක් කට හෙල්ලුවේ නැත.

පාර්ලිමේන්තුව හැසිරවිය යුතු රටේ මුදල් බලය විධායකය විසින් හැසිරවෙන විට මුදල් ඇමැතිගේ බලය පාර්ලිමේන්තුවේදී මතුවූයේ අයවැය ඉදිරිපත් කිරීමේදී පමණි. චන්ද්‍රිකාගේ කාලයේ නියෝජ්‍ය මුදල් ඇමැති වශයෙන් සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් අයවැය ඉදිරිපත් කළත් චන්ද්‍රිකා ඒ දවසට පාර්ලිමේන්තුවට පැමිණ සිටියාය. මහින්ද නම් අයවැය ඉදිරිපත් කිරීම කාටවත් පැවැරුවේ නැත.

විධායක බලතල සමඟ මුදල් ඇමැති පදවිය ගැටගැසුණු පසුව එම ගැටය ලිහාගැනීම පහසු වූයේ නැත. හැබැයි මේ රටේ කවදාවත් පරාජය විය නොහැකි බවට විශ්වාසයක් තිබූ විධායක ජනාධිපති පදවියට කණකොකා හැඬුවේද මේ හේතුව නිසාම යැයි කෙනකුට තර්ක කළහැක. මහින්දගේ පාලනයට එරෙහිව රටේ විරෝධය මතුවූයේ කෙළින්ම මුදල් පාලනය සම්බන්ධ චෝදනා හරහාය. ආණ්ඩු බලය අභිබවා පවුලේ බලය විසින් රට පාලනය කරන බවට විපක්ෂය නැගූ චෝදනාවලද පදනම වූයේ මුදල් සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතාය. අවසානයේ මහින්ද පරාජය වන්නේ රටේ ජනාධිපතිවරයා පමණක් හැටියට නොව රටේ මුදල් ඇමැතිවරයා වශායෙනි. රටේ මුදල් ඇමැතිවරු සම්බන්ධ කෙටි ඉතිහාසය එයයි. 

ඉන්පසු බලයට පත් යහපාලන ආණ්ඩුවේ හවුල නිසා ඇතැම් ප්‍රධාන ඇමැති පදවිවල අයිතිය පැවැරුණේ යූ.එන්.පී.යටය. මුදල් ඇමැති පදවිය ඉන් එකක් වීම නිසා යහපාලන ආණ්ඩුවේ අලුත් මුදල් ඇමැතිවරයා වනු ඇත්තේ කවුදැයි කාගේත් දෑස යොමු වී තිබුණේය. එයට ප්‍රධානම හේතුවක් වූයේ කළින් කියූ රටේ මුදල් සම්බන්ධ බරපතළ වංචා දූෂණ චෝදනාය. යූ.එන්.පීය කවදත් මුදල් ඇමති පදවිය රාජ්‍ය නායකයන් සතුව තබා ගැනීමට එරෙහි නිසා ඒ අනුව යමින් මෙවරද පත්වනු ඇත්තේ කවුදැයි බලාසිටියදී රවී මුදල් ඇමති වන බවට රාවයක් පැතිරැණේය. එයට යූ.එන්.පීයේම සමහරුන් විරුද්ධ වූ බවද අගමැති වරයාම මුදල් ඇමති පදවිය තබා ගැනීම උචිත යැයි උපදෙස් ලැබුණු බවද කියති. අවසානයේ රවී මුදල් ඇමති විය.

රවී මුදල් ඇමති වශයෙන් පත්වීමෙන් පසුව ඔහුගේ ඇතැම් යෝජනා, තීන්දු තීරණ රටේ ප්‍රබල විවේචනයට ලක් විය. වැට් බදු, ලොතරැයි ටිකට්පත් මිල, වාහන බදු, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනික බදු, මත්පැන් බදු මේ බොහෝමයක් බදු වෙනස් කිරීම් රටේ මහජනතාවගේ දැඩි විරෝධයට ලක් විය. ඇතැම් තීරණ ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත හෙළීමට පවා හේතු වූ බව පැහැදිලිය. මේ අතරින් ලොකුම චෝදනාව වූයේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ රවීගේ මැදිහත්වීමය.
රවී මුදල් ඇමති පදවිය දරද්දී භාණ්ඩාගාරය, මහ බැංකුව, රේගුව වැනි ප්‍රධාන ආයතන සමඟ ගැටුම් ඇතිකර ගත්තේය. ඔහු ඇතිකර ගත් ගැටුම් මාධ්‍ය හරහා එළිවන විට රවි උත්තර නුදුන්නද රජයට උත්තර බැඳීමට සිදුවිය. මහබැංකු අධිපතිවරයකුට දෙවැනිධූර කාලය අහිමි කිරීම, මුදල් ඇමැතිට පදවිය අහිමි වීම පමණක් නොව රජයේ මුදල් ඇමැතිවරයකු මැදිහත් වූ බවට චෝදනා නැගෙන බැඳුම්කර ගනුදෙනුවක් පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කිරීම රජය ඒවාට ලබාදුන් උත්තරය. ඒ අනුව ආණ්ඩුවට වසර දෙකහමාරක් ගතවනවිට මුදල් ඇමැති වෙනස් විය. මහබැංකු අධිපති වෙනස් විය. රජයේම ගනුදෙනුවක් ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත්විය.

පෙනෙන්නට තිබෙන විදියට මෙවර හිටපු මුදල් ඇමැති රවිට අහිමි වුණේ මුදල් ඇමැතිකම පමණක් නොවීමටද ඉඩතිබේ. ඔහුට එරෙහිව බරපතළ ප්‍රකාශ ඇතුළත් සාක්ෂි ගණනාවක්ම කොමිසම හමුවේ හෙළිවීම නිසා රවිටද කොමිසමට කැඳවීමක් ලැබුණේය. ඔහු දෙවරක් එම අවස්ථාව මඟ හැරියත් ලබන 2 වැනිදා කොමිසමට එන බව දන්වා තිබේ. තමා එහිදී තමන්ට එරෙහි ප්‍රකාශවලට පිළිතුරු දෙන බවද කියා තිබුණේය. එසේ වුවද රවි ගැන පසුගිය බ්‍රහස්තපතින්දා (27) පැවැති මාධ්‍ය හමුවකදී එස්.බී. මෙසේ කියා තිබුණි.

“හිටපු මුදල් ඇමැති සහ වත්මන් විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා ලබන 2 වැනිදා මහබැංකු බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දීමෙන් පසුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ඔහු පිළිබඳව තීන්දුවක් ගනීවි. රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදීත් කැබිනට් මණ්ඩලයේදීත් තමා නිර්දෝශි බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වී ඇති කාරණා බරපතළයි”

අගේස්තු 02 වැනිදා රවිට පමණක් නොව ආණ්ඩුවටද ඉතාම වැදගත් දවසක් විය හැකි බව එස්.බී.ගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. රටේ මුදල් ඇමැති වංශ කතාවේ රවීට හිමිවන තැන එදාට තීරණය වීමට හොඳටම ඉඩ තිබේ. එහෙත් ආණ්ඩුව මුහුණදී සිටින එකම ගැටලුව බැඳුම්කර කොමිසම පමණක් නොවේ. රට පුරා පැතිර යන වැඩවර්ජන රුල්ලද ආණ්ඩුවට ලොකු හිසරදයක් වෙමින් තිබේ. කාලයක් තිස්සේ ඇතුළේ මතවාදී ගැටුම් දැන් ප්‍රතිපත්තිමය ගැටුම් බවට පත්වෙමින් එළියට පැමිණ තිබීම මේ බොහෝ අරගල වලට හේතුව බව පැහැදිලිය. 

තෙල් වර්ජනය සිදුවන්නේ රටේ සම්පත් විදෙස් රටවලට විකුණා දැමීමට එරෙහිව බව ප්‍රකාශ කරමිනි. ත්‍රී’මලේ තෙල් ටැංකි සමූහය. ඉන්දියාවටත් හම්බන්තොට වරායේ තෙල් පර්යන්තය චීනයටත් පැවැරීමට එරෙහිව රටේම සියලු කටයුතු පැය 24කට හිර කිරීමට තෙල් වර්ජනය හේතු විය. නමුත් සමහරු කියන්නේ හම්බන්තොට වරායේ තෙල් පර්යන්තයද ඇතුළු සියලු මෙහෙයුම් කටයුතු චීන සමාගමකට පැවැරෙන ගිවිසුම් මුලින් සකස් කළේ මහින්දගේ රජය බවයි. ඒ කාලයේ එම ගිවිසුමට විරුද්ධ නොවුණු තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති දැන් අත්සන් කිරීමට යෝජිත ගිවිසුමට එරෙහි වීම යට කිසියම් බලවත් හස්තයක අත පෙවීමක් තිබේ දැයි සමහරැ සැක පහළ කරති. මේ තෙල් සටනට ත්‍රි’මලේ තෙල් ටැංකි ඈදුණේ ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී) නිලධාරින් ත්‍රි’මලේදී හිරකර තබාගැනීමේ සිද්ධියත් සමඟය. ඇතැමුන්ගේ මතය එම සිදුවීම කිසියම් පෙළඹවීමක් මත සැලසුම් සහගතව සිදු කෙරුණු ක්‍රියාවක් බවය. තෙල් ටැංකි සමූහය ඉන්දියාවට පැවැරීමේ විරෝධය සටනක් බවට පරිවර්තනය වූයේ එම සිද්ධියත් සමඟය.

මීළඟට රජය දැන් සෑහෙන කාලයක් තිස්සේ දිහ හරින අකුලන හම්බන්තොට වරාය ගිවිසුමද ආණ්ඩුව ඇතුලේ ප්‍රතිපත්තිමය සටනක් බවට පත්වෙමින් තිබේ. මේ ගිවිසුමට එරෙහිව වරාය සේවකයන් සිකුරාදා (28) පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවූයේ ජනාධිපතිවරයා එම ගිවිසුම යළි සමාලෝචනය කිරීමට එකඟ බව තමන්ට දැක්වූ නිසායැයි වරායේ වෘත්තිය සමිති කියයි. එහෙම වුණත් අගමැතිවරයා සිකුරාදා ප්‍රකාශ කර තිබුණේ හම්බන්තොට ගිවිසුම යොදාගත් පරිදි සති අන්තයේදී අත්සන් කරන බවය. එම ගිවිසුමේ රටට අහිතකරව තිබූ කොන්දේසි වෙනස් කොට යළි සකස් කර ඇති බවද මීට පෙර ප්‍රකාශ වී තිබුණි. මේ අනුව පෙනෙන්නේ රටට වැදගත් හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් පවා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර එකඟත්වයක් නොපවතින බවය.

සයිටම්, වෛද්‍ය, තෙල් සහ වරාය වැනි ගැටලු රුසක් මැද ඉදිරියට ඇදෙන හවුල් පාලනය ගැන ඔවුන් බලයට පත් කළ මහජනතාවගේ අදහස කුමක්දැයි දැනගැනීමට මඟක් තිබේ නම් ආණ්ඩුවට තමන් සිටින තැන ගැන හොඳ වැටහීමක් ගත හැකි වනු ඇත. හවුල් පාලනය දැන් එකම අවුලක් බවට පත් කරගෙන ඇතැයි ජනතාව සිතනවා නම් ඒ ගැන පුදුම වීමට දෙයක් නැත. අවුල් ආණ්ඩුවක් අස්ථාවර ආණ්ඩුවක් බවට පත්වීමට වැඩිකලක් යන්නේ නැත.

ශශින්ද්‍ර 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00